2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

‌මෝල්පතියන්ගේ ගෝරිය

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 22

රජය මඟින් සහල් මිල සඳහා උපරිම මිලක් පනවා තිබූ ගැසට් නිවේදනය ඉවත් කිරීමත් සමඟ පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් ව්‍යාපාරිකයෝ ගොවීන්ගෙන් වැඩි මිලට වී මිලදී ගැනීම ආරම්භ කළහ. මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන් විසින් ගොවීන් සතුව තිබෙන වී ඔවුන්ගේ නිවෙස් වෙතට ගොස් මිලදී ගන්නා බව වාර්තාවිය. අඛණ්ඩව තිරගත වූ සහල් නාටකයේ දෙවැනි කොටසට අවශ්‍ය පිටපත සැකසෙන බවක් අප හට පෙනී ගියේය. ඒ නිසාම සහල් මෝල් හිමියන්ගේ හබය ගැන සොයා බැලීමට අපි තීරණය කළෙමු.

ලැබී ඇති තොරතුරුවලට අනුව මේ වනවිට නාඩු වී කිලෝවකට රුපියල්  63ක්, සම්බා වී කිලෝවකට රුපියල් 70ක් සහ කීරි සම්බා වී කිලෝවකට රුපියල් 90ක මිලක් මෝල් හිමියන් විසින් නියම කරනු ලැබ තිබේ. ඒ අතර මේ මොහොතේදී මහා පරිමාණ මෝල් හිමියන් විසින් සම්බා සහල් කිලෝවට රු.140ක මිලක්, නාඩු සහල් කිලෝවට රු.115ක මිලක්, කීරි සම්බා කිලෝවට රු.165ක මිලක් නියම කර තිබේ. මෙම ඉලක්කම්වලින් කියැවෙන්නේ බැලූ බැල්මට පෙනෙන සරල කතාව නොවේ. පසුගිය මාස කිහිපය තුළ ආණ්ඩුව විසින් මෝල් හිමියන් වෙත ලබාදුන් පීඩනය ඔවුන් පෙරළා ආණ්ඩුවට ලබාදීමේ සැලසුම් බව පෙනී යයි.

පසුගිය සතියේ දේශය හෙළිදරව් කළ පරිදි රජයේ පාලනයෙන් ගිලිහුණු සහල් මිල පාලනය මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියන් 10 දෙනෙක් අතට ගෙන සිටිති. මෙම මෝල් හිමියන් 10 දෙනාගෙන් සිව්දෙනකුම දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රබල පවුල්වල සාමාජිකයන් වීම විශේෂත්වයකි. ඒ අනුව අපට අවබෝධවන සරල සත්‍යයක් තිබේ. මෙම සහල් ඒකාධිකාරිය බිඳදැමීට පහසු නැත. සහල් නිෂ්පාදනය හා මිල තීරණය කිරීම සම්බන්ධයෙන් රජය ගනු ලබන තීරණද, වී මිලට ගැනීම සම්බන්ධයෙන් රජය ගනු ලබන තීරණද, නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන මෝල් හිමියන් කිසිවිටෙක ඉඩ නොදෙති. එය ගෙවුණු සති කිහිපය තුළ සියලු රට වැසියන්ට නැවත නැවත පසක් විය.

එහෙත් මෙරට සමස්ත සහල් නිෂ්පාදනයෙන් 60කට පමණ දායක්ත්වය ලබා දෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා කුඩා පරිමාණ වී මෝල් හිමියන්ය. එහෙත් වෙළෙඳ ඒකාධිකාරය මහා පරිමාණ මෝල් හිමියන් සතුවේ. ඒ ඔස්සේ පැහැදිලි වන සත්‍ය නම් මෙය හුදු නිෂ්පාදන සම්බන්ධව ගොඩනැගුණු ඒකාධිකාරියක් නොවන බවයි. මෙම සහල් මාෆියාව දේශපාලන, රාජ්‍ය පරිපාලන ආදිය හරහාද ගමන් කොට ඇති බව පැහැදිලිය. අදක ඊයක නොව කාලාන්තරයක් තිස්සේ ඔවුන් විසින් තම වෙළෙඳ ඒකාධිකාරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය පරිපාලන තීන්දු තීරණවලට බලපෑම් කොට තිබේ. ඊට නිදසුන් ඉතිහාසය පිරික්සන්නන් හට කොතෙකුත් සොයාගත හැකිය.

මිල පාලනය ඉවත් කිරීම හේතුවෙන් නව අර්බුදයක් නිර්මාණය වන බව ඇතැම්හු කියමින් සිටිති. එහෙත් එය අර්ධ සත්‍යයකි. සහල් ආනයන තීන්දුව සේම මිල පාලනය ඉවත් කිරීමේ තීන්දුවත් පාරිභෝගිකයාට සහන සැලැසීමේ අරමුණ පෙරදැරිව රජය විසින් ගනු ලැබූ තීරණය. මිල පාලනය ඉවත් කිරීමට තීරණය කළේ ප්‍රධාන මෝල් හිමියන් සහල් නිෂ්පාදනය හා බෙදාහැරීම නැවැත්වීම සඳහා තීරණයකට එළැඹීමත් සමඟය. එය ඒ මොහොතට සාපේක්ෂ හොඳම විකල්පය විය.

සහල් ආනයනය කිරීමට තීරණය කෙරුණේ වෙළෙඳපොළ තුළ සහල් මිල ඉහළ යෑමට විසඳුමක් වශයෙනි. එයද සාපේක්ෂව හොඳම විකල්පය විය. නමුත් මේ හරහා බලධාරීන් අපේක්ෂා කළ සහනය ජනතාවට ලබාදීමට හැකිවූවාද යන්න සැබෑ ගැටලුවකි. පාරිභෝගිකයාට සහන සැලැසීම සඳහා ගත් මේ තීරණ දෙක මහා පරිමාණ මෝල් හිමියෝ සිය වාසියට හරවා ගැනීමට උත්සහා දැරෑහ. පසුගියදාක ප්‍රධාන මෝල් හිමියෝ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නව මිල සංශෝධනය ඉදිරිපත් කළහ. ඒ දෙස රටම විමතියෙන් බලා සිටියහ. එහෙත් ඔවුන් තවම වෙළෙඳපොළට අවශ්‍ය සහල් සපයා නොමැත. ඒ අතර නව මිල සංශෝධනය පිළිබඳ ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති. ඉන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ උපාය මාර්ගික අවශ්‍යතාවයි. එම ඉල්ලීම් කිසිවක් පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අවශතාව පෙරදැරිව ඉදිරිපත් නොවේ.

මේ අතර සතියකට ඉහතදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා කුඩා පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගම් ප්‍රකාශ කළේ නාඩු වී කිලෝවක් රු. 60 කට මිලදී ගෙන එම හාල් කිලෝව රුපියල් 107 ටත් සම්බා වී කිලෝව රුපියල් 70 මිලට ගෙන එම සහල් කිලෝව රුපියල් 130 ටත් කීරි සම්බා වී කිලෝව රු.80 මිලට ගෙන එම සහල් කිලෝව රු.150 ටත් අලෙවි කරන්නට තමන් සූදානම් බවය. මෙය පැහැදිලිවම මහ පරිමාණ මෝල් හිමියන්ට සිදුකළ අභියෝගයකි. එහෙත් ඔවුනට එම අභියෝග ජය ගැනීම පහසු නැත. රජය විසින් මෙම පිරිස් දිරිගැන්වීම සිදුකළ යුතුවේ. උපක්‍රමිකව සහල් ඒකාධිකාරිය බිඳ දැමීමට නම් බලධාරීන් විසින් මෙම පිරිස ජාල ගතකොට සම්බධීකරණ කළ යුතුවේ. ඒ සඳහා වැඩපිළිවෙළක් පසුගිය කාලයේ ක්‍රියාත්මක විය. දැනගන්නට ලැබෙන පරිදි එම වැඩපිළිවෙළ මේ වනවිට අඩාල වී තිබේ.

කෙසේ නමුත් රටපුරා ඇති කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල්වල  නිෂ්පාදන ධාරිතාව, ගබඩා කර තබා ගැනීමේ පහසුකම්, යන්ත්‍ර සූත්‍ර අදිය පිළිබඳ සැලකූ විට මහා පරිමාණ මෝල් සමඟ තරග කිරීමට ඔවුනට පහසු නොවේ. එම නිසාම සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් නගා සිටුවීමට අමතර රාජය විසින් සිදු කළයුතු කටයුතු කිහිපයකි. වී සහල් බවට පරිවර්තනය කරන වී මෝල් කිහිපයක් රජය යටතේ ආරම්භ කිරීමය. රජයේ වී ගබඩා ධාරිතාව වැඩිකොට වී සංචිතයක් පවත්වා ගැනීමට ක්‍රියා කිරීම වැදගත්වේ. විශේෂයෙන්ම ආරක්ෂිත සංචිත සම්බන්ධව මෙතෙක් අනුගමනය කර ඇති පිළිවෙත පසු විපරමකට ලක්කළ යුතුව තිබේ. එය අසාර්ථක කාර්යක්ෂම පිළිවෙතක් බව දැනටමත් ඔප්පු වී හමාරය.
මෙය අනූව දශකයේ සිට රට දිගින් දිගටම මුහුණ දෙන ගැටලුවකි. මීට පැලැස්තර විසඳුම් ලබා දී පැනනැගුණු අර්බුදය විසඳා ගැනීම සියලු ආණ්ඩුවලට ප්‍රතිපත්තිය විය. එයම වර්තමානය දක්වා මෙම සහල් අර්බුදයට දික් ඇදීමට හේතුවද විය. මේ මොහොත කළමනාකරණ කරගැනීම නොව දීර්ඝකාලීන විසඳුමක් ලබාදීම බලධාරීන්ගේ සැබෑ වගකීමයි.

 චමිඳු නිසල් ද සිල්වා