2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

ජන සංගීතයේ හදවත හඳුනාගත් දේවාර් සූර්යසේන

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 10

වීර මලේ රොන් ගෙන යන්නේ

හොයි වන බඹරා වීර මලේ රොන් ගෙන යන්නේ

උදය ගිරින් සූර්යයා නග

ඔය රම්‍ය මලෙන් පැණි උරා නිතී

මලින් මලට පැණි උරා ගනී

බඹරා වීර මලේ රොන් අරන් යතී

උදය ගිරෙන් සූර්යයා නගී

මේ ගීතය ගැයූ ගායකයා මතකද?

ඔහු දේවාර් සුර්යසේනය. ඔහු අපේ ජන සංගීතයේ චමත්කාරය හඳුන්වා දුන් සංගීතඥයාය.

ඔහු කේම්බ්‍රිජ් සෙන්ට් ජෝන්ස් විද්‍යාලයට බැඳී ඉතිහාසය, නීතිය පිළිබඳ ගෞරව බී.ඒ. උපාධිය ලැබූ හා ලන්ඩන් රාජකීය සංගීත විද්‍යාලයේද උපාධිධරයෙකි.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙන බැරිස්ටර්වරයකු (අධිනීතිඥවරයකු) වශයෙන් සමත්ව සිටි ඔහු සංගීතය ගැන තිබූ ආදරය නිසාම එංගලන්තය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය යන රටවල ඇවිද ජන ගී ගැන පර් යේෂණය පැවැත්වීය. තම සහකාරිය වූ නෙළුම් දේවිය සමඟ ඉන්දියාවේ නොයෙක් පළාත්වලද, ඇවිද කලක් ගුරුදේව තාගෝර්ගේ ශාන්ති නිකේතනයේ නැවතී බෙංගාලි සංගීතය, රවීන්ද්‍ර සංගීතය හැදෑරෑ මේ යුවළ ඉන්දීය හා තිබ්බතීය ජන ගීත්, සින්දුත් මැනවින් හදාරා සිංහල ජන කවි සහ වන්නම් ආදිය සංගීත විද්‍යාවට එකඟ වන බවත් පවසමින් සිංහල ජන සංගීතයේ චමත්කාරය හඳුන්වා දීමට සමත් වූහ.

දේවාර් සූර්යසේන තම සංගීත චාරිකාව ගැන ආනන්දතිස්ස ද අල්විස් විසින් සංස්කරණය කළ %ලංකා^ සඟරාවට (1945 ඔක්තෝබර්) විස්තර කර තිබිණි.

මාගේ සංගීත චාරිකාව ආරම්භ වනුයේ තොටිල්ලෙන් යැයි කිව යුතු තරම්ය. මගේ වයස මාස ගණනකින් සීමාව තිබියදී මගේ මෑණියන් මට නැලවිලි කවි කියන විට, ඇස් විදහාගෙන බලා උන් මා කවියෙහි අග කොටස අදින්නට හවුල් වූ බව මගේ මෑණියෝ කියති. මා ඉතා කුඩා අවධියෙහි පවා, අපේ ගෙදර ගායන වාදන කිසිවක් වුවහොත් නින්දට නොගොස් එය අසා සිටීම මගේ පුරුද්ද විය. ඇතැම් විටෙක, අපේ ගෙදර භෝජන සංග්‍රහයකින් පසුව, අමුත්තන් ගායනයෙහි යෙදෙන අවස්ථාද විය. එවිට, ඉතා මහත් ආසාවෙන් එයට කන් දී ගෙන සිටීම ද මගේ පුරුද්දය. මගේ සහෝදරිය පියානෝ වාදනය කරන්නට පුරුදුව සිටියාය. බීතෝවන්, ෂූබෙට්, ෂෝපෑන්, ෂූමාන් ආදී ශ්‍රේෂ්ඨයන්ගේ උසස් සංගීත සංධ්වනිවල අගය මා උගත්තේ ඇගෙනි.* දේවාර් කියා තිබිණි.

දේවාර් සූර්යසේනගේ මුල් නම හර්බට් චාල්ස් ජෙකොබ් පීරිස්ය. ඔහු උපන්නේ 1899 මාර්තු 28 වැනිදාය. ඔහුගේ පියා වූයේ මෙරට ජාතික නිදහස් සටන් ව්‍යාපාරයේ කැපීපෙනෙන නායකයකු වූ අධිනීතිඥ සර් ජේම්ස් පීරිස්ය. (එතුමා නමින් කොළඹ නගරයේ මාවතක් නම් කර තිබේ.) මුලින් එංගලන්තයට ගොස් පදිංචි වූ මුල්ම ශ්‍රී ලාංකික පවුල ජේම්ස් පීරිස්ගේ පවුලය. ජේම්ස් පීරිස් විවාහ වූයේ සුප්‍රකට වෙළෙඳ ව්‍යාපාරික ජේකබ් ද මැල්ගේ දෙටු දියණිය සමඟිනි. මේ යුවළට දූ පුතුන් සිව් දෙනෙකි. ලෝක ප්‍රකට සංගීත විශාරදයකු වූ හර්බට් පීරිස් (පසුව දේවාර් සූර්සේන), ලෙනාඩ් පීරිස් ප්‍රත්‍රයන්ය. ක්ලැමන්ට් දියෙස් මහත්මිය හා ජේ.එල්. කුරේ මහත්මිය දියණියවරුන්ය.

දේවාර් සූර්යසේන කියා ඇති ආකාරයට තම පවුලේ පිරිස නිතර සිංහලයෙන් දෙඩූ, ඇතැම්විට සිංහල කවියෙන් හෝ සින්දුවෙන් හෝ, අප විනෝදයට පත් කළ නෑයෝද හිතවත්තුද, සිංහල ගී සින්දු ඉගැන්වූ ගුරුවරුද සිටියහ.

එකල මම මගේ ආච්චිගේ ගෙදරට නිතර යන්නට පුරුදුව සිටියෙමි. ආච්චිගේ නිවෙස පිහිටියේ කොළඹ නොරිස් කැනෑල් මාවතේය. භක්තිමත් බෞද්ධ කාන්තාවක වූ ඇගේ නිවෙසෙහි නිරන්තරයෙන්ම වාගේ දන් දීමත්, පිරිස් කියවීමත් පැවතිණි. අප තදබල ක්‍රිස්තු භක්තිකයන් වුවද මේ තැන්වලට යන්නට අපට ධෛර්යය දෙන ලද්දේය. ඒ හෙයින් අපි බෞද්ධ භික්ෂූන් වහන්සේ සමඟ ද මිත්‍ර වීමු. ඉතා කුඩා අවධියේ පටන්ම මම අද්භූතාකාරයෙන්, සංගීතයට ඇදී යන කන් ඇත්තෙමි.

1908 දී අපේ පවුලේ උදවිය පළමු වරට එංගලන්තයට ගියහ. 1909 එහිදී වැළඳුණු සරම්පයෙන් සහ සන්නිපාතයෙන් බලවත් ලෙස ඔත්පල බවට පැමිණි මට මගේ විද්‍යාලයෙන් අස්වී මව්පියන් සමඟ පෙරළා ලක්දිවට එන්නට සිදුවිය. මගේ වයලීනය මට සැනසිල්ලක් වූයේ මේ අවධියේය. ලංකාවේ දී ටාෆ්ස් නම් ගුරුවරයාගේ සේවය ලබාගන්නට හැකි විය. ආණ්ඩු අභ්‍යාස විද්‍යාලයේ අවුරුදු දෙකක් ඉගෙනීමෙන් පසු 1914 දී යළිත් එංගලන්තයට ගිය මම කෙන්ටනයේ ටන්බ්‍රිජ් විද්‍යාලයට බැඳුණෙමි. මේ කාලයේ විද්‍යාලයීය සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන ගායකයාද, සින්දුවෙහි ගැඹුරු හඬ දෙන ගණයේ නායකයාද මම වීමි. විද්‍යාලයීය සංගීත කණ්ඩායමේ ත්‍යාගය අත්වූයේ මටය. එංගලන්තයේ ඉංග්‍රීසි විද්‍යාලයක සංගීත කණ්ඩායමේ මුල්තැන මීට පෙර කවරදාවත් සිංහල ළමයකුට ලැබිණැයි මම නොසිතමි.

මා විද්‍යාලයෙහි ගත කළ අන්තිම අවුරුද්දේ යුද්ධ නිලධරයන් පුහුණු කරන ස්ථානයෙහි, බට ලී නලා ගයන පිරිසක් තෝරා ගැනුණි. මා ද එහි කැඳවනු ලැබ, අන්තයෙහි එහිද ප්‍රධාන ස්ථානය මට හිමිවිය. 1916 ටන්බ්‍රිජ් විද්‍යාලයෙන් අස්වී පෙරළා ලංකාවට පැමිණෙන විට මම තරමක් සැලකිය යුතු වයලීන වාදකයකු හා ගායකයකුව සිටියෙමි.

දේවාර් සූර්යසේන ලංකා සඟරාවට ලියූ මගේ සංගීත චාරිකාව ලිපි පෙළේ මේ විස්තර සඳහන්ව තිබිණි.

එංගලන්තයේ උගනිද්දී අභාවයට යාමේ අනතුරට ගොදුරුව පැවති ඉංග්‍රීසි ජන ගීත ප්‍රස්ථාර සොයාගත් දේවාර් සූර්යසේන රටින් රට ගමින් ගමට ගියේය. සිංහලයන් වූ අපි අපේ ප්‍රෞඪ වංශය පිළිබඳව ආඩම්බර මදි යැයි ඔහුට සිතුණි. 1929 දී ලංකාවට පෙරළා පැමිණි පසු ඔහු සිංහල ජන ගීත සොයා සංග්‍රහ කළේය. මේ සඳහා ඔහු මුදලි මුහුන්දිරම්වරුන්ද, ගම්මුලාදෑනීන්ද පාසල් ගුරුවරුන් සොයා ගොස් පුරාණ සිංහල සින්දු එකතු කරගත් ඔහු ගම්මුලාදෑනියන් මාර්ගයෙන් පැරණි වන්නම්, ජන කවි, දැන සිටි ගමේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් ඒවා ගායනා කොට ටේප් රෙකෝඩයකින් පටිගත කළේය. ඒ සඳහා ඔහු අපමණ දුක් ගැහැට විඳිමින්, පැල්පත්වල නවාතැන් ගෙන කුරක්කන් රොටි, කොච්චි මිරිස් සම්බෝලයකින් සංග්‍රහ වින්ඳ අවස්ථාද, රූ පහන් වනතුරු ඒ ඔවුන් සමඟ ජන ගී ගයමින් සතුටට පත් අවස්ථාද ඇත. ඒ පිළිබඳව ඔහු ලංකා* (1945) සඟරාවට ලියූ ලිපියක මෙසේ ලියා තිබිණි.

ජන ගීතයක් සොයනු සඳහා මා ගිය සංචාරයන්හිදී සී සෑම, ගොයම් නෙලීම, ඔරු පැදීම සහ නියම වශයෙන් පරම්පරා ගීතයන් යැයි කිව හැකි නාරසිංහ හටනේ කව්, ගී, විරිඳු ආදිය ද පිළිබඳ ප්‍රස්ථාර ලකුණු කොට ගතිමි. ඒවා ගායනය කරනු ලබන්නේ රබන් පදවලට අනුවය. හැබැයි මහනුවර නළුවන් වෙතින් ඔවුන්ගේ ගී ගැයීමේ නාසිකා ස්වරයට අනුකූලව ඒවා මා මුලින්ම අසද්දී අති පීඩාකර ස්වභාවයක් දැනුණේය. 1929 මහනුවර ක්වීන්ස් හෝටලයෙහි පැවැත්වුණු සංගීත සන්ධ්‍යාවකදී පුර්වෝක්ත වන්නම් කිහිපයක් මම ගායනා කළෙමි. ඒ ගීතෝත්සවයෙහි කෙළවර මා වෙත පැමිණි ඇතැම් රටේ මහතෙක් මට කීවේ මෙසේය.

මහනුවර දිස්ත්‍රික්කයෙහිම ඉපිද එහිම හැදුණු වැඩුණු අපි අවුරුද්දේ සෑමදාම වන්නම් අසා පුරුදු ඇත්තෙමු. එහෙත් ඔබේ ගායනා මුඛයෙන් අද ඒවා අසනතුරු ඒවායේ සුමිහිරි රසයවත් ගීත මාධුර්යවත් කිසිවිටෙක අපට අවබෝධ නොවීය. ඒවා ඔපමණ සුරම්‍යදැයි අපි නොදැන සිටියෙමු.

1928 දී ඔහු චාල්ස් ජේකබ් පීරිස් නම් ඔහු ඉංග්‍රීසි නම හා වාසගම අතහැර දේවාර් සූර්යසේන නම ගෙන, ලන්ඩනයේ පදිංචිව සිටි සිංහල තරුණියක වූ ඊඩිත් ද ෆොන්සේකා සමඟ විවාහ විය. පසුව දේවාර් මෙන්ම ඇය ද ඊඩිත් නම අතහැර %නෙළුම් දේවි^ නම් වූවාය. ආචාර්ය තිස්ස අබේසේකරයන් විසින් ලියූ අයාලේ ගිය සිතක සටහන්* කෘතියේ දේවාර් සූර්යසේන ගැන මෙසේ සඳහන් වෙයි.

පසුව දේවාර් හා නෙළුම් දේවි ශාන්ති නිකේතනයට බැඳී සංගීතය ඉගෙන ගත්හ. සිරිදේව යනුවෙන් ප්‍රසිද්ධව සිටි දේවාර් සූර්යසේන නවසිය තිස්වැනි දශකයේ මුල් කාලයේ සිටම සිංහල ජන ගී හා පැරණි නාඩගම් මෙන්ම ටවර්හෝල් නාට්‍යවල ගී ද කොළඹ ඉංග්‍රීසි උගත් ඉහළ පන්තියට හඳුන්වා දීම සඳහා වන තුටු මෙහෙවරක යෙදී සිටි අපූර්ව පුද්ගලයෙක් විය.

එංගලන්තයේ අගරුජිනිය වූ වර්තමාන එලිසබෙත් මහ රැජිනගේ මව වූද එවකට සෝර්ක් ආදිපාදවරයාගේ ආර්යාව ඉදිරියේ ඔහු ගී ප්‍රසංගයක් පැවැත්වූ අතර එය වර්තමාන සිංහල සංගීතයේද ආරම්භක අවස්ථාවක් ලෙස සැලකිය හැකි බව ආචාර්ය තිස්ස කියා ඇත.
දේවාර් සූර්යසේන විසින් ගැයූ බඹර කෝකිල නාද සපිරි ගීතය යුරෝපයේ රටක ඇසුණු මුල්ම සිංහල ගීතය ලෙස නම් කරන ඔහු, ප්‍රසංග වේදිකාවේ ගැයුණු මුල්ම නාඩගම් ගීයත් (ගුමු නාදේ දෙන බඹරගෙ) සර්පිනාව හා මද්දලය වෙනුවට සුගම තත් භාණ්ඩ භාවිත කරමින් නාඩගම් ගීයක් නවීන වේදිකාවේ ඉදිරිපත් වූ මුල්ම වතාවත් ලෙස දැක්වේ.

දේවාර් සූර්යසේන හා නීලියා ජයරත්න ගැයූ මේ නාඩගම් ගීය ජෝන් ද සිල්වාගේ සකුන්තලා නාට්‍යයේ විශ්වනාත් ලව්ජිගේ සංගීතයට ජෝන් ද සිල්වා විසින් රචිත ගීතයකි.

ගුමු නාදේ දෙන බඹරගෙ දොසිනා කරදර විය බෝ සේ

ඒ මල දමලා ගුම් ගාලා

මාගෙ මූණ රිද්දා

වත මාගේ, මල වාගේ, දැක භෘංගේ, මෙහි රිංගේ

මම කාට කියමි හිරිහැර දෙන මේවා

මාගෙ මූණ රිද්දා

මෙහි එන ගීත අපට ලබාදුන්නේ දුර්ලභ ගීත පොත්, සිනමා සඟරා චිත්‍රපට පෝස්ටර් සංරක්ෂක ඉංජිනේරුවකු වන නාරාහේන්පිට සුදර්මන් ද කොස්තා විසිනි.

දේවාර් සූර්යසේන නෙළුම් දේවි යුවළ 1930 දී පමණ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැත්වූ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා වූයේ බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරයා ළඟට සිටි උසස්ම සිවිල් නිලධාරියා වූ ඇන්ටන් බර්ට්‍රම්ය. මේ ප්‍රසංගයේදී ප්‍රේක්ෂකයෝ ඉල්ලා සිටියේ මලේ මලේ ඔය නාමල නෙලා වරෙන්^ නම් පාරු සීපදයයි.

මේ රටේ මෙච්චර ලස්සන සංගීතයක් තියෙනවායි කියලා මම දැන සිටියේ නැහැ. ඇන්ටන් බර්ට්‍රම් පවසා ඇත.

මමත් දැනගෙන හිටියේ නැහැ මෑතක් වනතුරුම. දේවාර් පවසා තිබිණි.

මේ සිද්ධිය දේවාර් විසින් තිස්ස අබේසේකරයන්ට කී කතාවකි.

1978 දේවාර් සූර්යසේන විසින් ලියූ Of Sri Lanka Sing නම් ස්වයං චරිතාපදානයක් ලියා තිබුණි.

1948 පෙබරවාරි 04 වැනිදා ප්‍රථම නිදහස් දිනය නිමිත්තෙන් පැවති පැජන්ට් ඔෆ් ලංකා සංදර්ශනයේ සංකල්පය දේවාර් සූර්යසේනගෙනි. ඔහුගේ ගීත ඇතුළත් Song of Sri Lanka තැටියක් නිකුත් කළ ඔහු ලේඛකයකු ලෙසද ප්‍රතිභාව පෙන්වා ඇත. තම පියා වූ සර් ජේම්ස් පීරිස් ගැන චරිතාපදානයක් ලියූ අතර කෘතියේ නම ලයිෆ් ඔෆ් සර් ජේම්ස් පීරිස්*ය. පනහ දශකයේ ලංකා ගුවන්විදුලියේ ජන ගී වන්නම් උපදේශක මණ්ඩලයේ සභාපතිත්වය දැරුවේද ඔහුය. 1966 ලංකා කලා මණ්ඩලය මගින් ගැමි අනු මණ්ඩලය පිහිටුවීමටද ඔහු පුරෝගාමී විය. 1950 වෛද්‍යනාදන් ගුවන්විදුලි කොමිෂන් සභාවේ සාමාජිකත්වයක්ද දැරුවේය.

ධනවතකු වූ ඔහු පහසුවෙන් මුදල් සොයා ගැනීමට හොඳම ක්‍රමය වන අධිනීතිඥ වෘත්තීය අත්හැර ඉතා සියුම් කලාවකට සිය මුළු ජීවිතය කැප කළ අවංක සංගීතඥයකු ලෙස ප්‍රකටය. කොලොම්බියා ග්‍රුමෆෝන් සමාගමේ තරගයකදී ත්‍යාග දිනාගත් එකම ගායකයා ඔහුය. තාගෝර් සංගමයේ ප්‍රථම සභාපතිවරයා වූ ඔහු ලංකා කලා මණ්ඩලයේද උප සභාපති ලෙස කටයුතු කොට ඇත. 1953 දී ඔහුට එංගලන්තයේ මහ රුජිනගෙන් සී.බී.ඊ. නම්බු නාමය ද හිමිවිය.

ජන සංගීතයේ චමත්කාරය හඳුනාගත් දේවාර් සූර්යසේනගේ ජීවිතය අඳුරු වූයේ ඔහුගේ නිර්මාණාත්මක හා පර්යේෂණාත්මක සංගීත දිවියේ සහායිකා වූ නෙළුම් දේවි 1977 දී මිය යාමත් සමඟිනි. ඔවුන් ජීවත්ව සිටියේ කොල්ලුපිටියේ %ගීතාංජලී^ නිවෙසේය. දේවාර් සූර්යසේන මීට 40 වසරකට පෙර 1981 නොවැම්බර් 11 වැනිදා මිය ගියේය.