2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

කාටත් අමතක ලංකාවේ පළමු ටෙලිනාට්‍යය

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 20

1982 අංක 6 දරණ ප්‍රාදේශීය හා ජාතික රූපවාහිනී සඳහා වූ පනත ඔස්සේ ලැබුණු නෛතික බලයෙන් පදනම වැටුණු ජාතික රූපවාහිනිය 1982 පෙබරවාරි 14 දින ආරම්භ විය. එහි විකාශන ඇරඹුණේ 1982 පෙබරවාරි 15 වැනිදාය. එම වසරේදීම ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රථම ටෙලිනාට්‍ය එම ජාතික නාලිකාවේ විකාශනය වූයේය. දිමුදු මුතු නම් වූ එම ටෙලිනාට්‍යය මෙරට පමණක් නොව දකුණු ආසියාවේම බිහිවූ ප්‍රථම ටෙලිනාට්‍යය බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය කලාව එතැන් පටන් දශක දෙකකට ආසන්න කාලයක් සෙමෙන් සෙමෙන් විවිධ ශෛලීන් ඔස්සේ වර්ධනය වනු පෙනිණි. සෙමෙන් එහෙත් ස්ථාවර ලෙස සිදුවූ මෙම වර්ධනය අවර ගණයේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය හා අවර ගණයේ රසිකත්වය නිසා වරින්වර බිඳ වැටෙන්නට ගත්තේ දශක දෙකහමාරක් පමණ ඉක්මවූ පසුවයි. එසේ වුවද පසුගිය වසර කිහිපය තුළ නැවත ප්‍රේක්ෂක රසිකත්වයට නිගා නොදෙන, ඔවුන්ගේ රසඥතාව වර්ධනය වන නිර්මාණ වරින්වර බිහිවෙන්නට පටන්ගෙන තිබේ. ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාව තුළින් සාර්ථක යැයි කිවහැකි ඉහළම ගණයේ නිර්මාණ අතලොස්සක් බිහිවෙන්නටත්, පොදු ප්‍රේක්ෂකයාගේ රසඥතාවට නිගා නොදෙන සාමාන්‍ය මට්ටමේ ටෙලිනාට්‍ය රාශියක් බිහිවීමටත් මූලික පදනම දැමුවේ පළමු ටෙලිනාට්‍ය වූ දිමුතු මුතු වලින් බව කිව හැකිය.

එක් අතෙකින් රූපවාහිනිය යනු වාණිජ මාධ්‍යයක් නිසා එයින් අතිශය කලාත්මක නිර්මාණ බලාපොරොත්තු වීමද මෝඩකමකි. රූපවාහිනිය යනු ප්‍රායෝගික වශයෙන් වෙළෙඳ දැන්වීම් මත යැපෙන මාධ්‍යයකි. එම නිසා ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය කරනුයේ වෙළෙඳ දැන්වීම් ටික පෙන්වා ගැනීම උදෙසාය. 1980 ගණන්වල මුල් කාලයේදී, විදෙස් රටවල ටෙලිනාට්‍ය මැද එක් වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය වන බව ඇසූ විට අපි මවිත වූයෙමු. දැන්නම් ටෙලිනාට්‍යයක් බලන අපි ඒ මැද වෙළෙඳ දැන්වීම් හත අටක් ප්‍රචාරය වුවද මවිත නොවන්නෙමු. කෙසේ වුවද මේ අසීරුතා මැද කලාත්මක බව රඳවා ගැනීමේ යම් වගකීමක් ටෙලිනාට්‍යකරුවාට පැවරුණේ නම් ඊට පදනම වැටුනේ දිමුතු මුතු ඇතුළු මුල්කාලීන ටෙලිනාට්‍ය නිසාය.
රෑපවාහිනියෙන් බලාපොරොත්තු විය නොහැකි තරම් ධර්මසේන පතිරාජයන්ගේ කඩුල්ල වැනි නිර්මාණ එළිදකින තරමට ටෙලිනාට්‍ය කලාව වරෙක ගුණාත්මක මට්ටමෙන් ඉහළ ගියේය. දිමුතු මුතු වැනි ටෙලිනාට්‍යයකින් නොව වෙනත් අවර ගණයේ ජෝගියකින් ටෙලිනාට්‍ය කලාව අරඹා ප්‍රේක්ෂකයා නොමග ගෙන ගියේ නම් එම උන්නතිය අපට දැකගන්නට නොහැකි වනු ඇත. එසේ වී නම් 2002/2003 පමණ කාලයේ පටන්ගත් ඉන්දියානු කසිකබල් ටෙලිනාට්‍ය අනුකරණ රුල්ල බිහිවෙන්නේ ආරම්භයේ පටන්මය.

දිමුතු මුතු නාට්‍යය මහ පොළොවේ ස්ථාවරව ගොඩනැගුණු කුලුනු කිහිපයක් මත ඉදිවූ සවිමත් ගොඩනැගිල්ලක් වැනිය. එහි පදනම ඒ තරම් සවිමත්ය. එම නාට්‍යයේ අධ්‍යක්ෂ ඩී.බී. නිහාල්සිංහ ටෙලිනාට්‍ය කලාව සවිමත් කරනු වස් සිනමාවේ ස්ථාවරය ඔස්සේ ගොඩනැගුණු එක් සවිමත් කුලුනකි. එහි තිරරචනය කළ ධර්ම ශ්‍රී මුණසිංහ ගුවන් විදුලි නාට්‍යයේ දස්කම් පෑ සිනමාවේද රංගන දස්කම් පෙන්වූ කලාකරුවෙකි. පළමුවෙන්ම මෙම කලාකරුවන්ට එම පදනම වැටුණු ආකාරය ගැන යමක් කිවමනාය.
සත් සමුදුර නම් ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසයේ නොමැකෙන නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂණය කළේ ඩී.බී. නිහාල්සිංහය. බිනරමලී චිත්‍රපටයේද කැමරා අධ්‍යක්ෂනය ඔහුගේය. සිනමා ඉතිහාසයේ පළමු සිනමාස්කෝප් චිත්‍රපටය වූ වැලිකතර නම් යෝධ නිර්මාණයේ අධ්‍යක්ෂවරයා නිහාල්සිංහ විය. හෙතෙම 1972 රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානියා බවට පත්විය. ශ්‍රී ලංකා පුවත්පත් කලාවේ දැවැන්තයකු වූ ඩී.බී. ධනපාල වන ඔහුගේ පියාගේ අභාෂය උපතේ පටන් ඔහුට ලැබුණු බවට සැක නැත. අපගේ පළමු ටෙලි නිර්මාණය වන දිමුතු මුතු අධ්‍යක්ෂණය කරමින් ඔහුගෙන් ටෙලිනාට්‍ය කලාවට පදනම වැටෙන්නේ අපගේ වාසනාවටයි.

ධර්ම ශ්‍රී මුණසිංහ ඒ වනවිට ජනප්‍රියව පැවති හා ගුවන්විදුලි නාට්‍ය ගණනාවක රචකයා බැවින් ඔහු පොදු ප්‍රේක්ෂක/ශ්‍රාවක රසඥතාව මැනවින් හඳුනා සිටියේය. ඔහු අතින් ලියැවුණු රේඩියෝ නාට්‍ය කෙරෙහි අවධානය යොමු කළවිට ඔහුගේ පදනම වඩාත් සාක්ෂාත් වේ. තනි රචකයකු අතින් නොකඩවා එක දිගට ගියැවුණු පළමු සිංහල රේඩියෝ නාට්‍ය පෙළ වූ මොණරතැන්න නාට්‍යයේ රචකයා ඔහුය. ඔහු මුවන් පැලැස්ස නාට්‍යයේ සම රචකයෙක් විය. ගජමුතු, ආදරණීය ජුලියස්, මුදලිමංකඩය (මෙය ඔහුගේ විමර්ශන ඇසුරින් ලියූවක් වන අතර තහනමට ලක්විය) මී මැස්සෝ ඇතුළු රේඩියෝ පෙළ නාටක 23ක් ඔහු අතින් ලියැවී තිබේ. එපමණක් නොව සැමුවෙල්, බර්ටි, ඇනස්ලි තිදෙනා හා එක්ව ඔහු නිර්මාණ කළ විනෝද සමය නාට්‍යයද විය. කාලයක් එම තිදෙනා සමග මෝඩ පහේ චරිතයකට පණ දෙමින් ඔහුද කටහඬ එක් කළේය. ගුවන් විදුලි රඟමඬලද ඔහු ලියූ වාර බොහෝය. හුලවාලි චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතයට සම්මානයක්ද හිමිවිය. මේ සියල්ල ඔස්සේ ඔහු ගෙන ආවේ, ගුවන්විදුලියට පණදුන් තේවිස් ගුරුගේ, ඩී.එම්. කොළඹගේ, එච්.එම්. ගුණසේකර වැනි ජනමාධ්‍ය ශූරයන්ගේ නොමඳ ආභාෂයයි.

කලාත්මක පරිචය තුළින් සපයන පදනම නළු-නිළි කැළ අතින්ද දිමුතු මුතු හරහා ටෙලිනාට්‍ය කලාවට එක්වූයේය. අමරසිරි කලංසූරිය, හන්තානේ කතාවෙන් සිනමාවට එක්වී, අහස්ගව්ව, අපේක්ෂා, පරිත්‍යාග, බඹරු ඇවිත් ඇතුළු සිනමා කතා රාශියකින් තරුණ හදවත් ආකර්ෂණය කරගෙන සිටියේය. තරුණියන්ටත් වඩා කඨෝර දිවියෙන් පන්නරය ලබන තරුණයෝ ඔහුට ආදරය කළහ. ගමේ ට්‍රුක්ටර් එළවමින් අයාලේ ගොවිතැන් කොට මැදපෙරදිග රුකියා සොයා ගිය ගම්බද තරුණයාගේ චරිතය ඔහු දිමුතු මුතු නාට්‍යයට එක් කළේ ප්‍රේක්ෂකයාට (එවකට) නැවුම් අත්දැකීම් ලබාදෙමිනි.

වයස අවුරුදු 18 දී මනමේ නාට්‍යයට එක් වෙමින් රංගනය ඇරඹූ දේවිකා මිහිරානි දිමුතු මුතු නාට්‍යයට එක්වූයේ 21 වැනි වියේදීය. ඩග්ලස් සිරිවර්ධනයන්ගේ සුබ සැන්දෑවක් නාට්‍යයේද ප්‍රධාන චරිතය රඟපෑ ඇය, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ හිඟන කොල්ලා චිත්‍රපටයෙන් මුල්වරට සිනමා රංගනයට එක්වූවාය. දිමුතු මුතු  නාට්‍යයේ ඈ රඟපෑ නන්දාගේ චරිතයට හොඳම නිළිය සම්මානය ලද දේවිකා මිහිරානි, පිට පිට වසර තුනක් වඩාත් ජනප්‍රිය නිළිය බවට පත්වූවාය.
දිමුතු මුතු ටෙලිනාට්‍යයට රංගනයේ දායකත්වය දැක්වූ නවනන්දන විජේසිංහ, චිත්‍රා වාකිෂ්ඨ, ධර්ම ශ්‍රී මුණසිංහ, ප්‍රියා රණසිංහ ඒ ඒ චරිතයන්ට සාධාරණය ඉටුකිරීම ඉන් මතු එළිදකින ටෙලිනාට්‍යවලටද මහඟු ආදර්ශයක් විය.
ටෙලිනාට්‍යයේ රෑප පෙළ හා එක්ව, රෑපය හා නාදනය තනි වින්දනයකට නතු කරන නිපුන් පී.වී. නන්දසිරිගේ සංගීතයද අමතක නොවන්නකි. එය නැවත නැවත අවධානය යොමුකර අසන්නට සිත් දෙන්නකි.

දිමුතු මුතු නාට්‍යයේ එන කලංසූරිය රඟපෑ ජයාගේ චරිතය පසුව එළිදුටු ටෙලිනාට්‍යවලටද බලපෑ බව පෙනී යයි. විශේෂයෙන් ධම්ම ජාගොඩ අධ්‍යක්ෂණය කළ, සෝමවීර සේනානායක රචනා කළ පළිඟු මැණිකේ නාට්‍යයේ ආ ශ්‍රියන්ත මෙන්ඩිස් රඟපෑ සූරසේනගේ චරිතයද මැදපෙරදිග ගොස් මුදල් උපයාගෙන ගමට එන චරිතයකි. දිමුතු මුතු නාට්‍යයේ වූ සිනමාත්මක ආභාෂයට පළිඟු මැණිකේ නාට්‍යයෙන් වේදිකා නාට්‍ය කලාවේ අභාෂයද ධම්ම ජාගොඩත් ශ්‍රියන්තත් අතින් එක්වී සූරසෙන චරිතය වඩාත් නාට්‍යනුරෑපී, රසවත් චරිතයක් බවට පත්වෙයි. එය දිමුතු මුතු හි එන ජයාගේ චරිතයෙන් තවත් පඹයක් පමණ ඉහළට එසැවී නළුවාට වැඩ දැමිය හැකි චරිතයක් ලෙස සෝමවීර සේනානායක අතින් ලියැවී ඇත. සූරසේන චරිතය අදත් නැවත නැවත නැරඹිය හැකි චරිතයක් බවට පත්විය. මගේ අදහසේ හැටියට ඊට මූලබීජය වැටුණේ දිමුතු මුතු නාට්‍යයේ මැදපෙරදිග ගොස් පැමිණෙන ජයාගේ චරිතයෙනි.

දිමුතු මුතු නාට්‍යයට පාදක කරගන්නේ මෙරට සමාජ ආර්ථික පරිවර්තනයට හේතුවූ ප්‍රබල කරුණකි. අසූ ගණන්වල මුල දක්වා මෙරට ආර්ථිකයට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන ආදායම් මාර්ග වූයේ තේ, රබර්, පොල් අපනයනයන්ය. ඉන්පසු ඇඟලුම් සහ මැණික්වලට මුල් තැන ලැබිණි. අසූ ගණන්වල අග භාගය වනවිට ආර්ථිකයට විදේශ විනිමය ගෙන එන පළමු තැන ඇඟලුම් කර්මාන්තයට හිමිවූ අතර දෙවැනි තැන ගත්තේ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ මුදල්ය. වෙනත් අයුරකින් කිවහොත් මෙරට ආර්ථිකයට දෙවැනියට වැඩිපුර විදේශ විනිමය ගෙන ආවේ දිමුතු මුතුහි ජයාලා සහ පළිඟු මැණිකේහි සූරසේනලාය. ගම්බද යැපුම් කෘෂි කර්මය පදනම් වූ ආර්ථිකය සූරසේනලා හා ජයාලා පෝෂණය කරන්නට තරම් සවිමත් වූවක් නොවේ. වැඩිවන ජනගහනයට රැකියා සපයන්නට තරම් ගම්බද කෘෂි ආර්ථිකය සවිමත් නැත. ශ්‍රමිකයන් කොටසක් අනිවාර්යයෙන්ම ඉන් ඉවත්ව යා යුතුය. ඔවුන්ට මෙරට වෙනත් ක්ෂේත්‍රවලද රුකියා ලබාගැනීම උගහට වූ විට විවර වූයේ මැද පෙරදිග රැකියාය.
මෙරට නගරබද ගම්බද බොහෝ ශ්‍රමිකයන් මැදපෙරදිග ඇතුළු විදෙස් රටවල රුකියාවට යාම නිසා සමාජ පරිසරය මුළුමනින්ම වෙනස් විය. ගෙවල් දොරවල් ඇඳුම්, පරිභෝජන රටාව පවා ඉන් වෙනස් විය. පවුල් ඇතුළත සාමාජිකයන්ගේ අන්තර් සම්බන්ධතාද එයින් වෙනස් වූයේය. දිමුතු මුතු තේමාව ග්‍රහණයට නතුකර ගත්තේ ඉහත කී සමාජ ආර්ථික පරිවර්තනයයි. අදටත් මෙරටට විදේශ විනිමය ලැබෙන දෙවැනි මූලාශ්‍රය විදෙස්ගත ශ්‍රමිකයන් එවන මුදල්ය.

දිමුතු මුතු නාට්‍යයෙන් ආරම්භ කළ ටෙලිනාට්‍ය කලාවේ ගුණාත්මක බව සලිත වන්නට ගත්තේ ඉන්දියානු ටෙලිනාටක මාලා (මෙගා) ගලා ඒම නිසාත් ඒවායේ ආභාෂයෙන් මෙරට ටෙලිනාට්‍ය බිහිවීම නිසාත්ය. එහෙත් මේ සියලු අභියෝග මැද කලාත්මක ටෙලි නිර්මාණ බිහිකරමින් නොසැලී සිටි නිර්මාණකරුවන් රාශියකි. ආනන්ද අබේනායක, සුදත් රෝහණ, විමලරත්න අධිකාරි, අසෝක හඳගම ඉන් කිහිපදෙනෙකි. ඒ අතරට නාමල් ජයසිංහ වැනි තරුණ නිර්මාණකරුවෝද එක්වූහ. සහෝදරයා, කූඹියෝ, තණමල්විල කොල්ලෙක් (රොෂාන් රවීන්ද්‍ර) සහ සුනිල් කොස්තාගේ සුදු ඇඳගෙන කළු ඇවිදින් වැනි නිර්මාණ බිහිවූයේ දිමුතු මුතු නාට්‍යයෙන් දැමූ පදනම සවිමත් නිසාය.
දිමුතු මුතු නිර්මාණය වූයේ සිනමාව හැරුණු විට අපගේ සළරෑ මූලාශ්‍රය රෑපවාහිනිය පමණක්ම වූ කාලයේය. එහෙත් දැන් පරිගණක තිරවල අතැති දුරකථනවල පවා රෑප භාෂාව භාවිතා වේ. මේ සියලු අභියෝග මැද දැන් රෑප භාෂාවේ ශික්ෂණය රඳවාගෙන ගුණාත්මක ටෙලි නිර්මාණ එළි දැක්වීම ඉතා අසීරුය.

► සමන් පුෂ්ප ලියනගේ