2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

බලංගොඩ මානවයාට උප්පැන්න ලියූ සිරාන් දැරණියගල

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 19

අපේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට නොපිරවිය හැකි පාඩුවක් වූ දිනයක් ලෙස පසුගිය ඔක්තොබර් 5දා සැලකිය හැකිය. දකුණු ආසියාවේ විශිෂ්ට පුරාවිද්‍යාඥයකු ලෙස සම්භාවනාවට පාත්‍රව සිටි හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයකු මෙන්ම, ප්‍රාග් ඉතිහාසය පිළිබඳව මහා ප්‍රාඥයකු වන ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල අප අතරින් සදහටම සමුගැනීම එයට හේතුවයි. ආචාර්ය, සිරාන් දැරණියගලයන්ගේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ පර්ෙය්ෂණ අවදිය වසර 50කට ආසන්න කාලයක් පුරා දිව යයි. 

වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා කියා සිටියේ, මෙරට දැවැන්ත පුරාවිද්‍යාඥයන්ගේ පරපුරේ අවසන් පුරුක ගිලිහුණු බවයි. 

මිය යන විට ඔහු 79 වැනි වියේ පසුවිය. ඔහු වාසය කළේ තවත් පුරාවස්තුවක් වැනි කුරුවිට එක්නැලිගොඩ පාරේ පිහිටි එක්නැලිගොඩ වලව්ව නම් ඉපැරණි නිවසේය. එය ඔහුට මව් පාර්ශ්වයෙන් හිමිවූ නිවසකි. ඔහු ජීවත් වුණේ බිරිඳ වන ඇනී සිබිල් හැනිබාල් දැරණියගල හා පුතු සමඟයි. 

බලංගොඩ මානවයා කියන විටම අපට මතක් වන්නේ හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ ආචාර්ය පෝල් ඊ. දැරණියගලයි. සිරාන් දැරණියගල ඔහුගේ පුතෙකි. තම පියා විසින් කරන ලද කැණීම්වලට වඩා විද්‍යාත්මක කැණිම් ක්‍රමයක් භාවිත කළ සිරාන් දැරණියගලගේ සොයාගැනීම් මගින් දකුණු ආසියාවේ ඉතා වැදගත් ප්‍රාග් ඓතිහාසික ස්ථාන රාශියක් අප රටේ තිබෙන බව හෙළි විය. අනුරාධපුර ඇතුළු නුවර කැණීම් මගින් ඔහු ලංකාවේ අක්ෂර පිළිබඳව ඉදිරිපත් කළ මාතවාදය ඉන්දීය පුරාවිද්‍යාඥයන් පවා පුදුමයට පත් කළේය. 

ඔහුගේ කැණීම් මගින් බුන්දල පතිරාජවෙල ප්‍රදේශයෙන් ලංකාවේ පූර්ව ශිලායුග මානව මෙවලම් සොයාගත් අතර ඒවා අවුරුදු 125,000ක් පැරණි බව කාලනිර්ණවලින් හෙළිවිය. බූන්දල පතිරාජවෙල ආශ්‍රිත පුරාවිද්‍යාත්මක පර්ෙය්ෂණ සිරාන් දැරණියගලගේ වෘත්තීය ජිවිතයේ විශිෂ්ටතම පර්ෙය්ෂණකි. 
ඔහු කෙතරම් නිහතමානී ද යන්න මා දුටු එක්තරා සිද්ධියකින් පැහැදිලි විය. දැනට වසර කිහිපයකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් කැණීම් සහායක ආර්.ඒ. ද මැල් ඇගැයීමට උත්සවයක් සංවිධානය කළේය. මැල් වැඩිපුරම කැණිම් වැඩ කර තිබුණේ ආචාර්ය දැරණියගල යටතේය. තමාට උදව් වූ සේවකයාට උපහාර දැක්වීමට එදින ආචාර්ය දැරණියගල රත්නපුර සිට කොළඹට ආවේ තෑගි පෙට්ටියකුත් ඔසවාගෙනයි. ඒ විතරක් නොවේ. මැල් ඉහළට ඔසවා තබමින් අගනා කතාවක් ද කළේය. 

සිරාන් දැරණියගලගේ නිජබිම රත්නපුර කුරුවිටයි. ඔහු 1942 මාර්තු 1දා උපත ලබන්නේ  ලංකා ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යාක්ෂවරයකු වන පෝල්ස් එඩ්වර්ඩ් පීරිස් දැරණියගල මහතාගේ තෙවැනි දරුවා ලෙසිනි. ඔහුගේ මව ප්‍රිනි මොලමුරේය. මුත්තණුවන් වූයේ තවත් විශිෂ්ට විද්වතෙක් ලෙස අදටත් සලකන ශ්‍රීමත් දැරණියගල පෝල්ස් ඊ. පීරිස්ය. ඔහු පාසල් අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලිනි. ඉන්පසු 1963 දී එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබාගැනීමට සමත් වූ අතර අධ්‍යයනය කළ විෂයයන් වූයේ වාස්තු විද්‍යාව සහ සංස්කෘත භාෂාවයි.  

ඉන්පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව හදාරා ඒ පිළිබඳ පශ්චාත් උපාධිය 1966 දී ගෞරව සාමාර්ථයක් සහිතව හිමිකර ගත්තේය. සිරාන් පුරාවිද්‍යා විෂයේ සෑම අංශයකම දක්ෂතා පෙන්වූ හොඳම ශිෂ්‍යයාට හිමි වන ගෝර්ඩන් චයිල්ඩ් සම්මානය දිනාගත් දෙදෙනාගෙන් එක් අයෙක් ද විය. 

ඔහු ලංකාවට පැමිණෙන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කැණීම් අංශයක් තිබුණේ නැත. ඒ වන විට ප්‍රාග් ඓතිහාසික කැණීම් විද්‍යාත්මක නොවන ලෙස සිදුකළේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවයි. 1968 වසරේ දී ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ පළමු සහකාර කොමසාරිස් වශයෙන් පත්වීම් ලැබුවේය. සිරාන්  දැරණියගල ප‍්‍රාග් ඓතිහාසික පර්ෙය්ෂණ නවතම අයුරකින් ආරම්භ කිරීමට සැලසුම් කළේය.  ඔහුගේ කැණීම් මෙරට ප්‍රාග් ඓතිහාසික පර්ෙය්ෂණ ජාත්‍යන්තර තලය දක්වා ගෙන ගියේය.  විදේශීය පුරාවිද්‍යාඥයන් වන ආචාර්ය කේ.ඒ.ආර්. කෙනෙඩි, එෆ්.ආර්. ඕල්චින්, කේ.ඩී.බී. කොඩ්රින්ටන් ආදීන් සහ ඉන්දීය පුරාවිද්‍යාඥයන්ගේ සහයෝගයත් ඔහු ලබාගත්තේය. 

දැරණියගලගේ පළමු කැණීම 1969 දී අනුරාධපුරයේ ඇතුළුනුවර ගෙඩිගේ ප්‍රදේශයේ සිදුකෙරිණි. එහිදී හමුවූ පුරාණ අක්ෂර සහිත වළං කැබලි නිසා මහින්දාගමනයට පෙරත් මෙරට අක්ෂර භාවිතයක් පැවති බව හෙළිවිය. ඉන්පසු අදින් වසර 130,000ක් පැරණි ඉරණමඩු පාංශු සංයුතිය යනුවෙන් හැඳින්වෙන නැගෙනහිර වෙරළ තීරයේ ගවේෂණ සිදුකෙරිණි. ඔහු තම ආචාර්ය උපාධි නිබන්ධනය සකස් කළේ එම ගවේෂණයෙන් ලබාගත් දත්ත පදනම් කරගෙනය. එම නිබන්ධනයට අමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමි විය. ඒ 1998 දීය. Prehistory of Sri Lanka (an ecological perspective) යන නමින් එම නිබන්ධය වෙළුම් දෙකකින් යුක්තව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පළ කර තිබේ. එදා මෙදාතුර ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ආසියානු කලාපයෙන් බිහි වූ විශිෂ්ටතම ආචාර්ය උපාධි නිබන්ධනයක් සේ එය සැලකේ.  

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්ෙය්ෂණ අනුව, අදින් වසර 125,000ක පමණ සිට ක‍්‍රි.පූ. 1,000 පමණ වන තෙක් කාලයක් පුරා පැතිර යන ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සාධක රාශියක් හමුවේ. ආචාර්ය දැරණියගල දිවයිනේ ප‍්‍රාග් ඓතිහාසික ස්ථාන අවම වශයෙන් 100,000ක් වත් පවත්නා බව පවසා තිබේ. එමෙන්ම එම ස්ථාන කඩිනමින් හාරා විනාශ නොකර වඩාත් විද්‍යාත්මක දත්ත මත සෙමින් ගවේෂණය කළ යුතු බවත් අනාගතයේ වඩාත් දියුණු ශිල්ප ක්‍රම බිහිවන බවත් ඔහු නිතරම කියන කරුණකි. 

දකුණු ආසියාවෙන්ම නූතන මානවයා හෙවත් බලංගොඩ මානවයා පිළිබඳව ලැබෙන්නා වූ පැරණීතම සාධක බුලත්සිංහල ෆාහියන් ලෙන (අදින් වසර 32,000-2,500), කුරුවිට බටදොඹලෙන (අදින් වසර 27,000-10,000), කිතුල්ගල බෙලිලෙන (අදින් වසර 25,000-1,500) ආදී කැණීම් ස්ථානවලින් සොයාගත්තේ ආචාර්ය දැරණියගලගේ කැණීම් උපදේශකත්වයෙනි. ලොව දියුණුම, ක්ෂුද්‍ර ශිලා මෙවලම් තාක්ෂණයක් පිළිබඳව සාධක ද එම කැණීම්වලින් ලැබී තිබේ.  
1983-92 අතර කාලයේ දී පුරාවිද්‍යා කැණීම් උපදේශකයෙක් වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඔහු සේවය ලබාදුන්නේය. ඔහු 1992 සිට 2001 දක්වා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ කාලයේ ජාතික පුරාවිද්‍යා ප‍්‍රතිපත්තිය සකස් කිරීම, ලංකාවේ පුරාවිද්‍යා උරුමය සුරුකීම සම්බන්ධ ව්‍යාපෘති හා මහජනයා දැනුවත් කිරීම් ආදී කටයුතු රාශියක් සඳහා මුල්වී ක‍්‍රියා කළේය. 

ආචාර්ය සිරාන් දැරණියගල 1976-77 කාලයේ දී හාවර්ඩ් සරසවියේ හා 1978න් පසුව, කැලණි සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණි හා පේරාදෙණි සරසවි යන ආයතනවල ආගන්තුක කථිකාචාර්යවරයෙක් ලෙස ද සේවය කළේය. 1999 දී සබරගමු විශ්වවිද්‍යාලය ඔහුට විද්‍යාසූරි (D.Sc) ගෞරව සම්මාන උපාධීය පිරිනැමූ අතර   2001 දී පේරාදෙණි සරසවියෙන් සාහිත්‍යසූරි (D.’Litt) ආචාර්ය උපාධිය පිරිනැමීය.

 කුසුම්සිරි විජයවර්ධන