2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

අනාගත පරපුරට හෙටක්!

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 10

අතීතයේ අපේ රටේ අධ්‍යාපනය සෘජුවම සිදුවූයේ බෞද්ධ විහාර හා ආශ්‍රයෙනි. නමුත් යටත් විජිත යුගයේ ආරම්භය සමඟ මෙම සම්බන්ධය ක්‍රමයෙන් අවම වූ අතර ක්‍රිස්තියානි මිෂනාරි අධ්‍යාපනය ප්‍රථමයෙන් වෙරළබඩ පළාත්වලද පසුව රට අභ්‍යන්තරයේද ක්‍රියාකාරී විය. මෙම අධ්‍යාපනය විශේෂයෙන්ම මුහුදු බඩ ප්‍රදේශයන්ගේ දැඩි සේ ව්‍යාප්ත විය. රජයේ ඉහළ තනතුරු මෙම විද්‍යාලයන්ගේ අධ්‍යාපනය ලැබූවන්හට පමණක් සීමා වූ අතර අධ්‍යාපනය හා තනතුරු මාධ්‍යයෙන් බෞද්ධ හා හින්දු ළමයින් ක්‍රිස්තියානි කිරීම එමගින් සිදුකරන ලදී. කළමනාකරණ කොමිෂන් සභාවට (1981) අනුව, “අධ්‍යාපනය යනු සීමිත ක්‍රියාකාරකම් ක්ෂේත්‍රයකට අදාළ දැනුම හා කුසලතාවයට වඩා ජීවිතයේ සෑම අංශයකින්ම අවශ්‍ය දැනුම, කුසලතා, සදාචාරාත්මක වටිනාකම් සහ අවබෝධය වර්ධනය කර ගැනීම අරමුණු කරගත් ක්‍රියාකාරකම්ය.” මේ අනුව අධ්‍යාපන ක්‍ෂේත්‍රයයෙහි නියැලෙන්නන් විසින් අධ්‍යාපනය මගින් ප්‍රධාන ගැටලු දෙකක් වෙනුවෙන් විසඳුම් සෙවිය යුතු වේ. ඒවා නම්, සිසුන් කළ යුත්තේ කුමක්ද සහ ඔහුන් ජීවත් විය යුත්තේ කෙසේද යන්න‍ය. මෙම ගැටලු දෙක සඳහාම විසඳුම් සෙවීම මගින් ප්‍රායෝගික ප්‍රතිඵල අත්පත් කරගත හැකි වේ.

මේ අනුව, අධ්‍යාපනය මගින් ජීවත්වීමේ අර්ථය හා පරමාර්ථය වටහා දිය යුතු සේම ඒ සඳහා නිවැරුදිව ජීවත්වීමේ ආකාරය නැතිනම් සම්මා ආජීව යන්න වටහා දිය යුතුය. මෙම අරමුණ ඉටුකර ගැනීමේදී ලාභය පමණක් අරමුණු කරගත් ව්‍යාපාරික ආයතන මගින් ඉටු නොවනු ඇත. මෙම යහපත් ජීවිතයක් ගත කිරීම පෙරදැරි කරගත් අධ්‍යාපනය ඕනෑම සමාජ ක්‍රමයකටම පොදු වන අතර වර්තමාන තාක්ෂණය පදනම් කරගත් සමාජයට වුවද මෙම අරමුණ පොදුය. වර්තමාන තාක්ෂණය පදනම් වූ සමාජය තුළ විශේෂිත වූ වෘත්තීමය දැනුම හා කුසලතා හා අධ්‍යාපනය සම්බන්ධ වීමේ අවශ්‍යතාවය වේ. මෙහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව කෙටියෙන් විමසා බැලීම වැදගත් වේ.

බ්‍රිතාන්‍යයන් විසින් 1836 දී කොල්බෲක් කොමිසමේ නිර්දේශ මත පදනම්ව රජයේ පාසල් අධ්‍යාපනය ආරම්භ කරන ලදී. පසුව සියලුම රජයේ පාසල් නැවැත්විය යුතු බවට කොල්බෲක් නියෝග කළද, ධර්මදූත පාසල් සඳහා මෙම නියෝගය අදාළ නොවූ අතර ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක විය. මෙහිදී පාඨකයා තුළ පාසැල් අධ්‍යාපනය රජයේ පාලනය යටතේ පැවතිය යුතුද යනුවෙන් ගැටලුවක් ඇතිවිය හැක. ඒ මගින් බලාපොරොත්තු වන්නේ සියලුම ජන කොට්ඨාශයන්ට අධ්‍යාපනයේ සාධාරණ අයිතිය ලබාදීමය. අපගේ අධ්‍යාපනය රජයේ මූල්‍ය සැපයුම, පාලනය හා මග පෙන්වීම යටතේ අද දිනද ක්‍රියාත්මක වන අතර එසේම මෙහි අනිසි ප්‍රතිඵලය වන්නේ අධ්‍යාපනය පිළිබඳ වූ ඒකාධිකාරී හිමිකමක් රජය සතු වීමය. එම හිමිකම මත සිසුන් රජයේ මතවාදයට එකඟ විය යුතුය යනුවෙන් අදහස් කරමින් රජය තම මතවාද බලහත්කාරයෙන් සිසුන් මත පැටවීමට උත්සාහ දරණු ඇත. නමුත් රජය යනු මහජනතාව බව අමතක කළ යුතු නොවේ. 

අද දින වනවිට ශ්‍රී ලංකාවේ පුද්ගලික අධ්‍යාපන ආයතන රජයේ පාලනයෙන් බැහැරව විවිධ ආයතන නමින් ක්‍රියාත්මක වනු ලැබේ. මෙම පුද්ගලික අධ්‍යාපනය ප්‍රාථමික, ද්විතීයික, සහ තෘතීයික යන සියලුම අංශයන්ගේ පවතින අතර කළින් සඳහන් කළ ලාභය පමණක් පෙරදැරි කරගත් අධ්‍යාපන ආයතන මගින් යහපත් ජීවිතයක් ලබා ගැනීමට හා පවත්වා ගැනීම සඳහා දායක වන්නේදැයි විගණනය කිරීමේ අයිතිය රජය සතු වේ. 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා 2018 වසරේදී දරණ ලද රජයේ වියදම සමස්ත දළ දේශීය නිෂ්පාදන වටිනාකමින් 1.86%ක් වේ. ආසියානු කලාපීය රටවල් අතුරින් අපට පිටුපසින් සිටින්නේ බංග්ලාදේශය පමණකි. 2019දී ශ්‍රී ලංකා මධ්‍යම රජය මගින් අධ්‍යාපන අංශය සඳහා රුපියල් මිලියන 290,327ක් වෙන් කළේය. මෙය දළ දේශීය ආදායමෙහි කොටසක් ලෙස 2% වඩා අඩු මට්ටමේ පැවති අතර එය පෙර වසරට වඩා 0.07ක වැඩිවීමකි.  ලෝකයේ තෝරගත් රටවල් ගණනාවක අධ්‍යාපනය සඳහා 2017 සහ 2018 වසරේදී තම ද.දේ.නි. වැයකර ඇති ප්‍රතිශත අගය පහත වගුව 1 මගින් දක්වා ඇත.

ශ්‍රී ලංකාව 2018 වසරේදී සමස්ත රජයේ වියදමින් 11.33%ක් අධ්‍යාපනය සඳහා වැය කර ඇත. ලෝකයේ රටවල් 60ක් අතරින් අපට හිමිවන්නේ 50 වැනි ස්‍ථානය වේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ සැලකිය ප්‍රමාණයේ ආයතන ගණනාවක් පවතී. මේ වනවිට මධ්‍යම රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය අමාත්‍යංශ පහත වේ.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන,  පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා

අධ්‍යාපන ප්‍රති සංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්

දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවන් හා බෞද්ධ විශ්ව විද්‍යාල

මෙයට අමතරව පළාත් සභා සතුවද අධ්‍යාපන අමාත්‍යංශ පවත්වා ගනිති. මෙම සියලුම ආයතන වෙන වෙනම පවත්වාගෙන යාමෙන් ඇතිවන්නේ ප්‍රතිලාභ ඉක්මවා යන පිරිවැයක් ඇතිවීම පමණකි. එසේම අධ්‍යාපනයේ ගුණත්වයෙහිද වර්ධනයක් සිදු නොවනු ඇත. මෙම සියලුම ආයතනයන්ගේ පොදු පරමාර්ථයක් පැවතියද එක් එක් අමාත්‍යංශ අතර හෝ දෙපාර්තමේන්තු අතර මෙම කාර්යන් ඕනෑකමින් හා උනන්දුවෙන් ඒකාබද්ධ වීම සිදු නොවේ. මේ නිසා එක් අතකින් රජයේ පිරිවැය අඩුකර ගැනීම සඳහා පුද්ගලික අංශයේ අධ්‍යාපනය වර්ධනය කිරීම හැර රජයට ඇති විකල්පය වන්නේ මෙම රාජ්‍ය ආයතන ප්‍රමාණය අඩුකර උදාහරණ ලෙස අධ්‍යාපන හා රුකියා කටයුතු අමාත්‍යංශය ලෙස එකක් පිහිටුවීම මගින් ඇතිවන මුදල් ඉතිරිය අධ්‍යාපනයේ ප්‍රවර්ධනය සඳහා ආයෝජන කිරීම ය. අනික් අතින් ජාත්‍යන්තර මූල්‍ය සපයන ආයතන රජයේ වියදම් අඩු කර කුඩා රජයක් ඇති කිරීමට බල කරනු ලැබේ. දේශපාලනමය බලය පමණක් අපේක්ෂිත රාජ්‍ය පාලනයකින් කිසිසේත් එවැන්නක් බලාපොරොත්තු වීම අහසේ මාලිගා තැනීම වැනි නිශ්ඵල කාර්යයකි. එමෙන්ම, රට නොව තම බඩ ගැන පමණක් මූලික කරගත් ඊනියා දේශපාලකයින් කිසිසේත් තම බලය අත්හැරීමට කැමති නොවනු ඇත.

තමා ඉගෙන ගත් දේ සැබෑ ජීවිතයේදී අදාළ කර ගන්නා විට එය දැනුම වේ. දැනුමේ වටිනාකම ඇතිවන්නේ භාවිතය තුළිනි. දැනුම යන්න කාලය අනුව වෙනස් වන නමුත් ප්‍රායෝගිකව යෙදීමෙන් එම කුසලතා ප්‍රත්‍යක්‍ෂ වේ. ඒ නිසා දැනුම යනු තමන්ගේම අත්දැකීම් හෝ ඉගෙනීම් තුළින් කරුණු, තොරතුරු සහ කුසලතා ලබා ගැනීමේ ක්‍රියාවලියකි. යමෙක් අත්විඳින හා තේරුම් ගන්නා දෙයින් ඔහු වඩාත් දැනුමැති වන බැවින් අත්විඳිය නොහැකි කිසිවකින් දැනුම ඇති නොවේ. ඒ නිසා අධ්‍යාපන ක්‍රමය තුළ න්‍යාය මෙන්ම ප්‍රායෝගික භාවිතය යන දෙකම අන්තර් ගත විය යුතු බව පැහැදිලි ය. අධ්‍යාපනය යනු පාසල්, විද්‍යාල හෝ විශ්වවිද්‍යාල වැනි විධිමත් ආයතනයකින් ක්‍රමානුකූලව ඉගෙනීමේ ක්‍රියාවලියක් වන අතර දැනුම යනු තමන්ගේම අත්දැකීම් හෝ ඉගෙනීම් තුළින් කරුණු, තොරතුරු හා කුසලතා ලබා ගැනීමේ ක්‍රියාවලියකි. මේ හෙයින් වෘත්තීයමය හෝ සේවා ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනඥයින් තම සිසුන්ට න්‍යාය ඉගෙන ගැනීමට සහ න්‍යායන් වැදගත් වන්නේ ඇයිදැයි තේරුම් ගැනීමට පමණක් නොව න්‍යායික රාමු ප්‍රායෝගිකව අදාළ කර ගැනීම පිළිබඳව ඉගෙන ගැනීමටද ඉඩ සැලසිය යුතුය. 

 මහාචාර්ය නිමල් ජයන්ත නවරත්න

කළමනාකරණ හා මූල්‍ය පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය