2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

ලංකාවේ ලාබාලතම ගුවන්නියමුවරිය සත්නාරා

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 350

ඇය අහසට ආසා කළාය. ඈත අහසේ පෙනී නොපෙනී යන, කුඩා තිතක් සේ පෙනෙන ගුවන්යානා දෙස ඇය බලා සිටියාය. ගුවන් යානයක ශබ්දයක් ඇසූ සැණින් මිදුලට දිව යන ඇය එයට අත වැනුවාය. ඒ ඇගේ ළමා කාලයයි.  සත්නාරා ප්‍රනාන්දු.. දැන් ඇය ගුවන්යානයක නැගී තනිවම අහසේ සැරිසරන්නීය. සත්නාරාට වයස අවුරුදු දාහතකි. මේ වන විට ශ්‍රී ලංකාවේ ලාබාලතම පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රලාභිනිය වන්නේ ඇයයි.

සත්නාරා පවුලේ එකම දරුවාය. විදෙස්ගතව සිටින සත්නාරාගේ පියා ව්‍යාපාරිකයෙකි. ඇගේ මව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවකි. සන්තාරාද ළමා කාලයේ සිටම ගුවන්යානා පදින්නට හීන දැක්කාය.

2006 වසරේදී සිවිල් යුද්ධ කාලයේදී අපේ ගෙදර උඩින් කෆීර් යද්දි ගේ ඇතුළේ ඉඳන් කෑගහගෙන මම මිදුලට ඇවිත් ඒ වේගෙන් යන කෆීර් යානාවලට (බායි) කියල කෑ ගහලා ඒවා දිහා හරිම ආසාවෙන් බලාගෙන හිටියා. පුංචි කාලේ ඉඳන් මම ප්ලේන්වලට පුදුම විදිහට ආසා කළා. මට තාම මතකයි ඒ කෆීර් යානා දිහා බලාගෙන (අම්මි.. මම ෆයිටර් ජෙට් පයිලට් කෙනෙක් වෙනවා) කියලා අම්මිට කියලා තිබුණා. හැබැයි පොඩි කාලෙදි මම ඒවා එච්චර ඇඟට ගත්තේ නැහැ. ඔය අතරේ අම්මි ගුවන් ගමන් ගිහින් එද්දි මට වැඩිපුරම ප්ලේන් තමයි ගෙනාවේ. මම ඒ ප්ලේන් එක්ක සෙල්ලම් කරනවාට වඩා වැඩිපුරම කළේ ඒ ප්ලේන් කඩ කඩා ආයෙත් හදන එකම තමයි.” යැයි සත්නාරා ඇගේ ළමා කාලයේ සුන්දර මතකයන් අවදි කළාය.
සත්නාරා කුඩා සෙල්ලම් ගුවන්යානාවල කුඩා කැබලි එකින් එක ගලවා නැවත සවි කරමින් ළමා කාලය ගත කළාය. ගැහැනු ළමුන් සෙල්ලම් ගෙවල් හදන්නට, බෝනික්කන් සමඟ සෙල්ලම් කරන්නට ආසා කළද සත්නාරාගේ ළමා කාලය වැඩිපුරම ගතවූයේ සෙල්ලම් ගුවන්යානා අලුත්වැඩියා කිරීමටය. ඇතැම් දිනවල ඇය සෙල්ලම් ගුවන්යානාවල කැබලි මාරු කරමින් අලුත් යානා සකසන්නට උත්සාහ කළාය. පවුලේ එකම දරුවා වන සත්නාරාගේ පියා විදෙස්ගතව සිටීමත් මව වරින් වර තම රැකියාව සමඟ ගුවන්ගත වීමත් සමඟ නිවෙසේ තනිව සෙල්ලම් කළ සත්නාරාගේ ළමා කාලය වැඩිපුරම ගෙවුණේ මේ සෙල්ලම් ගුවන්යානා සමඟය. ඇය තමන්ගේ සෙල්ලම් ගුවන්යානාවලට පුදුමාකාර ලෙස ආසා කළාය. කුඩා රෙදි කැබැල්ලකින් ඒවා පිසදමමින් ඒවා පිළිවෙළට තබන සන්තාරා ඒ කිසිවක් වෙනත් කෙනකු අල්ලනවාටද එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඇගේ ළමා ලෝකය මේ සෙල්ලම් ගුවන් යානාවලින් අපූරුවට හැඩවිය.

සත්නාරා ඉගෙනුම ලැබුවේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේය. පාසලේදී ඇය විෂයක් ලෙසින් නර්තනය හැදෑරුවාය. 2016 වසරේ පාසලේ පැවති ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වූයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පළමු ගුවන් නියමුවරිය වූ කැප්ටන් අනූෂා මොහොමඩ්ය.

“එදා කැප්ටන් අනූෂා මොහොමඩ් මහත්මිය ඇගේ කතාව අතරතුරේ කියපු දෙයක් මගේ හිතට තදින්ම දැනුණා. (Fly high and never give up) කියල කියපු ඒ දේ මගේ හිතට ගොඩක් කා වැදුණා. එතකොට මම අට වසර පන්තියේ තමයි ඉගෙන ගත්තේ. ඒ කියපු දේත් එක්ක මම ගෙදර ගිහින් (අම්මි මට පොඩි කාලේ ඉඳන් තිබුණු හීනයට දැන් තවත් ආසාව වැඩි වුණා) කියලා කිව්වා. ඒ නිසා මට ඒ හීනය දකින්න ඕන වුණා. සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණාට පස්සේ උසස් පෙළ කරන්න බැහැ කියලා අම්මිට කිව්වා. කිසිමදාක මට අම්මි කිසිම දේකට බල කරලා නැහැ. (ඔයා ඒලෙවල් කරන්න ඕනෙ) කියලා කිව්වෙම නැහැ. ඒ නිසා මම උසස් පෙළ කරන්නෙ නැතිව මේ සම්බන්ධයෙන් ඉගෙනගෙන මේ ක්ෂේත්‍රයට ඇතුළුවෙන පාර හොයාගත්තා. පාසලේදී මම නර්තනය හැදෑරුවා. මම මුද්‍රා නාට්‍යවලට ගොඩක් කැමැති කෙනෙක්. පාසල් ගුරුවරියන් පවා මගේ ඒ හැකියාවන් පිළිබඳව දැනගෙන හිටියා. ගෙදරදී වුණත් තනියම මම නැටුවා. රඟපෑවා. හැබැයි ඒ දේවල් දකින්න කවුරුත් හිටියේ නැහැ. මම චිත්‍ර අඳින්න හරි කැමතියි. අදටත් මම නිවාඩු පාඩුවේ ගෙදර ඉද්දි චිත්‍ර අඳිනවා. හොඳටම චිත්‍ර අඳින්න බැහැ. හැබැයි පුළුවන් විදිහට ලස්සනට අඳිනවා. ඒ වගේම මම නිසදැස් ලියන්නත් හරි ආසයි.” යැයි සත්නාරා දේශයට පැවසුවාය.

සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වූ සත්නාරා ගුවන්යානා ඉගැන්වීමේ පාසලකට ඇතුළත් වී ඒ සම්බන්ධව සියලුම දෑ ඉතා හොඳින් ඉගෙන ගත්තාය. ගුවන් යානයේ සියලුම කොටස් සම්බන්ධව මෙන්ම ඒ සියලුම කොටස් අලුත්වැඩියා කිරීමේ සිට ගුවන්යානය පැදවීම දක්වා සියලු දේ ඇය හොඳින් ඉගෙන ගත්තාය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ලාබාලතම පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රලාභිනිය ලෙස සන්තාරා ප්‍රනාන්දු ඇගේ හීනය සැබෑකර ගත්තාය. ඒ වන විට ඇයට වයස අවුරුදු දහසයකි.

“ජීවිතේ පළමු වතාවට මම තනියම ගුවන්යානයක් පැදගෙන ගිය දවසේ හිතට පුදුමාකාර සතුටක් දැනුණා. අවුරුදු ගාණක් තිස්සේ මම ආසාවෙන් බලාගෙන හිටපු හීනයට දැන් යනවා කියලා දැනෙද්දි දැනෙන හැඟීම මාරයි. 2020 අවුරුද්දේ අගෝස්තු 18 වැනිදා තමයි මම පළමු වතාවට මගේ ගුවන්යානය අරගෙන ගියේ. එදා මගේ අම්මි, තාත්ති, මගේ නෑදෑයෝ රත්මලාන ගුවන් තොටුපළට ඇවිත් මම ගිහින් එනතුරු නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා. මම ඉගෙන ගත්තේ සකුරායි පෞද්ගලික ගුවන් පාසලෙන්. අපිට පුහුණුවීම් සීමාවෙලා තිබුණේ රත්මලාන සිට කළුතර දක්වායි. ඉතින් එදා ඒ ඇතුළත අපි පුහුණුවීම් කළා. එදා මම ගුවන්ගතවෙලා ආපසු එනතුරු හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ මගේ ගමන ගැන මගේ හිතේ ඇතිවුණු හැඟීම ගැන දැනගන්නයි. එදා මට වගේම ඒ හැමෝටම සතුටු දවසක්.” සත්නාරා පැවසුවාය.

මේ වන විට සත්නාරා වාණිජ ගුවන් නියමු බලපත්‍රය (Commercial pilot license) සඳහා පුහුණුවීමේ යෙදෙන්නීය. එය ලැබීමෙන් පසුව ඇයට ශ්‍රී ලංකා ගුවන් සමාගමක හෝ වෙනත් විදෙස් ගුවන් සමාගමක ගුවන් නියමුවරියක ලෙස සේවයට කිරීමට හැකියාව හිමිවේ.

බොහෝවිට ගුවන්යානා ධාවනය කරනුයේ පිරිමි පාර්ශ්වයයි. ගුවන් නියමුවරියක ලෙස කෙටි කාලයක් තුළ සත්නාරා තම අධිෂ්ඨානය ඔස්සේ ඇගේ හීනය ජය ගත්තාය.

(ගැහැනු ළමයෙක් කියා මේ වගේ දෙයකට යොමුවෙන්න කවදාවත් බය වෙන්න එපා. පසුබට වෙන්න එපා. මෙවැනි ගමන් එද්දි ඕනෑතරම් බාධා ඒවි. පාසලේදි (මම කවදා හරි පයිලට් කෙනෙක් වෙනවා) කියලා කියද්දි සමහර යාළුවෝ මට සමච්චලයට හිනාවුණා. (මෝඩ අදහස් අතහරින්න. ඔයා පයිලට් කෙනෙක් වෙන්නේ කොහොමද?) කියලා සමහරු කිව්වා. කවදාවත් මම ඒවායින් අධෛර්යමත් වුණේ නැහැ. කවදාවත් ඒ වගේ දේවල්වලින් සැලෙන්න එපා. හැම ක්ෂේත්‍රයකම වැඩිපුර සේවය කරන්නේ පිරිමි. නමුත් ගැහැනු ළමයින්ටත් තමන්ගේ හීන හැබෑකර ගන්න පුළුවන් බව අමතක කරන්න එපා. ලංකාවේ සාමාන්‍ය පෙළ ඉවරවෙලා උසස් පෙළ කරන්නම ඕනෙ, ඊළඟට කැම්පස් යන්න ඕනෙ කියලා හිතන දෙමව්පියටන්ට මගේ අම්මි පණිවිඩයක් දුන්නා. මගේ හැකියාව, මගේ ආසාව මගේ අම්මි තේරුම් අරගෙන මට ඒ ඔස්සේ යන්න පාර පෙන්නුවා. එහෙම නොවුණා නම් තාමත් මට එකම තැනක රැඳිච්ච චරිතයක් වෙලා ඉන්න තිබුණා.” යැයි ඇය වැඩිදුරටත් දේශයට පැවසුවාය.

මේ වන විට සත්නාරා පැය එකසිය විස්සක පමණ ගමන් පථයක තම ගුවන්යානය ධාවනය කර අවසානය. දිනක් ඉහළ අහසේ පියාසර කරන ගුවන්යානය නැවතත් ගුවන් පථයට ගොඩබස්වද්දී ඇයගේ වේගය මඳක් වැඩිවුවද ඇය කලබල වූයේ නැත. ඇය ගුවන්යානයට පුදුමාකාර ලෙස ආසා කළාය. එය ප්‍රවේශම් කළාය. හිතින් කලබල නොවූ ඇය ජීවිතය කුමක් වුවත් ගුවන්යානයට පොඩි හෝ සීරීමක් නොවී එය ගොඩබස්වන්නට අදිටත් කර ගත්තාය. කෙසේ හෝ ඇයගේ අධිෂ්ඨානය සාර්ථක විය.
සත්නාරා දැඩි ලෙස දෙවියන් වහන්සේ විශ්වාස කළාය. සෑමවිටම උන්වහන්සේගේ ආශිර්වාදය තමාට හිමි බව ඇය විශ්වාස කළාය. මේ හැම ජයග්‍රහණයක් පිටුපසම වූයේ ඇගේ මවගේ හා පියාගේ මගපෙන්වීමය. ගුවන් සේවිකාවක් ලෙස වසර ගණනාවක් ගුවන්ගත වන සත්නාරාගේ මව දවසක සිය දියණිය පදවන ගුවන්යානයක නැග යන දිනය වැඩි ඈතක නොවන බව අපට සිතුණේ මේ පුංචි කෙල්ල තුළ ඇති අධිෂ්ඨානය හා කැපවීම නිසාමය.

දිශානි ජයමාලි කරුණාරත්න