2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

කබ්රාල්ගේ මාස හයේ කස පිපිරිල්ල

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 7

“ඉදිරි මාස හයක කාල සීමාව අවසන් වනවිට වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීමට දැනට ගෙන ඇති උත්සාහයන්ගෙන් ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරනවා. සංචාරක අංශයෙන් ලැබෙන මුදල් ප්‍රවාහයන් යථා තත්ත්වයට පත්වීමට ඇති ඉඩ වැඩියි. එසේම වරාය නගර ව්‍යාපෘතිය සහ යෝජිත කාර්මික කලාප ආරම්භ වීමත් සමඟ ඍජු විදේශ ආයෝජන ගලා ඒම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ මඟින් ඉදිරි මාස හයක කාලය අවසන් වනවිට විදේශීය අංශය සඳහා වඩා යහපත් පදනමක් සකස් වෙනවා ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.”

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරි මාස හයක් පිළිබඳ “ප්‍රතිපත්ති පෙරදැක්ම” ඉදිරිපත් කරමින් පසුගිය (01) සිකුරාදා එසේ පැවසීය. 2021 ඔක්තෝබර් 01 දින සිට 2022 මාර්තු 31 දක්වා මාස හයක් සඳහා මෙම පෙරදැක්ම  ඉදිරිපත් කළ අතර, 2022 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා වසරක කාලසීමාව සඳහා වන ඉදිරි දැක්ම 2022 ජනවාරි 04 දින ඉදිරිපත් කිරීමට නියමිත බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

• ඉදිරි අභියෝග 10ක්

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග සංඛ්‍යාව දහයක් ලෙස අධිපතිවරයා සිය සය මාසික පෙරදැක්මේ දක්වා ඇත. මන්දගාමී ආර්ථික වර්ධනය සහ පීඩාවට පත්ව ඇති ව්‍යාපාර, කොවිඩ් ආශ්‍රිත සමාජ හා ආර්ථික කටයුතු සීමාකර ගැනීම හේතුවෙන් ඇතිවූ දැඩි බලපෑම, විදේශ විනිමය හිඟය හා ශ්‍රී ලංකා රුපියල තියුණු ලෙස අවප්‍රමාණය වීම ගැන පවතින බිය, ආශ්‍රිත ණය ඉහළ යාමට ඇති හැකියාව, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගය ඉහළ යාම එම අභියෝග අතර ප්‍රමුඛ වෙයි. දැනට නොපියවා ඇති විශාල අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර වගකීම හේතුවෙන් රාජ්‍ය ණයවල තිරසර භාවය පිළිබඳ පවතින අවදානම පහළ මට්ටමේ පවතින නිල විදේශ විනිමය සංචිත, දුර්වල ආදායම, නිල නොවන ප්‍රේෂණ ප්‍රවාහ ඉහළ යාම, අහිතකර ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම, ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී ඇති පාරිභෝගිකයන්, ආනයනකරුවන් විසින් ආනයනික භාණ්ඩ තොග රැස්කිරීම නිසාද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි අභියෝගවලට ලක්වෙමින් පවතී. එසේම දේශීය හා විදේශීය මාධ්‍ය වාර්තා, අපනයනකරුවන් විසින් විදේශ විනිමය රැස්කරනු ලැබීම සහ විශ්වාසනීයත්වය පිරිහීම සමාජයේ තැති ගැනීමකට හේතුවී තිබෙන බව එහි දැක්වේ. එසේ වුවද මහබැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ අතීතයේදීද දැඩි අභියෝගවලට මුහුණදුන් අපේ රට විවිධාකාරයෙන් පැමිණි එම අභියෝග ජයගත් බවය.

• කාල රාමු 3යි

ආර්ථික අභියෝග ජය ගැනීමට යන ගමනේදී මූල්‍ය පද්ධති ස්ථායිතාව ඇතිකළ යුතු අතර එම කාර්ය ප්‍රධාන වශයෙන් පැවරී ඇත්තේ රජයට සහ මහ බැංකුවටය. ඒ හැර එම කාර්ය ප්‍රධාන වශයෙන් පැවරී ඇත්තේ රජයට සහ මහ බැංකුවටය. ඒ හැර එයට දායකත්වය ලබාදිය යුතු කොටස්කරුවෝ වෙති. ආර්ථිකය ශක්තිමත් භාවය ඇති කිරීම සඳහා සහ සාර්ව ආර්ථික ස්ථායිතාව ලබාගැනීම සඳහා කාල රාමු තුනක් සහිත සැලැස්මක් යෝජනා කර තිබේ. ණය නොවන මූල්‍ය ප්‍රවාහ කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදෙමින් විදේශ ණය ව්‍යුහය වැඩිදියුණු කිරීම රාජ්‍ය මූල්‍ය සහ විදේශ අංශවල ඉලක්ක ළඟාකර ගැනීම, මැදි කාලයේ සිට දිගුකාලය දක්වා ඕනෑම කම්පනයකට ඔරොත්තු දීම සඳහා සියලුම සාර්ව මූලිකාංගවලට අදාළ ස්ථාවර තත්ත්වයක් ගොඩනැගීම, දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම, අඩු උද්ධමන පරිසරයක් තුළ වඩා ඉහළ වර්ධනයක් ලබාගැනීම, විදේශ විනිමය අභියෝගය සහ ණය සේවා අවශ්‍යතා සැලකිල්ලට ගෙන කාලපරිච්ඡේදය නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් ආර්ථිකය යළි නගා සිටුවීම ගැන සය මාසික පෙරදැක්මේ සඳහන්ය.

එම මාස හයක කාලසීමාව අවසන් වනවිට වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම සඳහා දැනට ගෙන ඇති ප්‍රයත්නවල සැලකිවයුතු ප්‍රගතියක් පෙන්නුම් කරන බවද කියයි. සංචාරක අංශයෙන් ලැබෙන ආදායම යථා තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බවටද අනාවැකි පළකර තිබේ.

• රුපියලේ අගය සමාලෝචනයට

මෙහිදී මූල්‍ය පද්ධති ස්ථායිතාව කෙරෙහි තර්ජනයක් ඇතිකරන තීරණාත්මක ගැටලු කෙරෙහිද අවධානය යොමුකර ඇත. මෙහිදී තීරණාත්මක ගැටලු තුනක් උද්ගතවනු ඇතැයි අධිපතිවරයා කියයි. ඒවා වන්නේ ණය හා විදේශ විනිමය සම්බන්ධ ගැටලු, මූල්‍යමය ගැටලු සහ සාර්ව ආර්ථික ස්ථායිතාවයට අදාළ ගැටලු වේ. මේ වනවිට මූල්‍ය ප්‍රවාහ වඩාත් සමීපව නිරීක්ෂණය තහවුරු කිරීමට නිසි ක්‍රමවේද සකස් කරමින් පවතී. මැදකාලීනව අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර ණය තොගය ක්‍රමයෙන් අඩු කෙරේ. මූර්ත සඵල විනිමය අනුපාතික සැලකීමේදී ඉදිරි මාස තුන තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල රුපියල් 199 සිට 203 දක්වා මට්ටමේ තරගකාරී ලෙස පවත්වාගෙන යාම සහ ඉන් අනතුරුව එය සමාලෝචනය කිරීමටද අපේක්ෂිත වේ. එසේම පෞද්ගලික විදේශ මුදල් ගිණුම්, අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හා නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හිමියන්ට වර්තමානයේ භුක්ති විඳින පහසුකම් සහ වරප්‍රසාද ඒ ආකාරයෙන්ම හිමිවේ.

• බැංකු අධීක්ෂණය

බැංකු නොවන අංශය ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීම සඳහා සුදුසු බදු ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම තුළින් මූල්‍ය අංශය ශක්තිමත් කිරීමේ උත්සාහයන්ට සහය වන බවද කියයි. එසේම ඉදිරියේදී රජය සතු වාණිජ ව්‍යවසායවල ඇතැම් අලාභ රාජ්‍ය බැංකු මගින් දැරීමේ ක්‍රමය නවත්වනවා ඇත. ඛනිජ තෙල් වියදම් දැරීමට රාජ්‍ය බැංකු විසින් ලබාදෙන ණය ප්‍රමාණය අඩු කෙරේ. පුළුල් සැලැස්මක් සහිතව අසාර්ථක වූ මුදල් සමාගම් හය සමගද කටයුතු කරන අතර එහිදී මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාමේ බලපත්‍රය අත්හිටුවා හෝ අවලංගු කර ඇති සියලුම බැංකු නොවන මූල්‍ය ආයතනවල ඉදිරි දැක්ම තක්සේරු කිරීම සඳහා සමාලෝචනය කරනවා ඇත. එවැනි මූල්‍ය ආයතන නැවත යථා තත්ත්වයට පත්කිරීමට හැකිවන්නේ යැයි සලකනවා නම් නිසි ව්‍යාපාර සැලසුමකට යටත්ව ඒවා යළි නගා සිටුවීම සඳහා ප්‍රාග්ධන ආයෝජන යෙදවීමට සැලසුම් සකස් කෙරේ. අධිකරණ ක්‍රියාවලදී අවශ්‍ය මැදිහත්වීම් සිදුවන අතර, බලපත්‍ර අත්හිටුවා ඇති බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල ආයෝජනය කළ හැකි ආයෝජකයන් සමග සාකච්ඡා කිරීමට නියමිතය. කෙසේ වුවද “නව සාමාන්‍යකරණය” තුළ බැංකු කටයුතු අධීක්ෂණය කිරීම නව අභියෝගයකි.

• පිරමීඩ ගනුදෙනු නැවැත්වීම

මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තියට සහායවීමට අවශ්‍ය වන පරිදි සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති මෙවම් භාවිත කිරීම සිදුකෙරේ. තිරසාර සංවර්ධනය පිළිබඳ දිගුකාලීන අත්දැකීමකින් යුතුව දේශීය හා විදේශීය සම්පත් ලබාගැනීම සඳහා හරිත මූල්‍යන විකල්ප ගවේෂණය කෙරේ. සැමට ප්‍රතිලාභ ලැබෙන පරිදි ආර්ථික වර්ධනයක් ඇතිකිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන්ද අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත. මංගත ක්‍රමවේද හරහා ක්‍රියාත්මක වන යෝජනා ක්‍රමද ඇතුළුව පිරමීඩ යෝජනා ක්‍රම මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර ගනී. තහනම් යෝජනාක්‍රමවල ආයෝජනය කිරීමෙන් සාමාන්‍ය ජනතාව වැළැක්වීම සඳහා 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ පැවරී ඇති බලතල අනුව මහබැංකුව විසින් තවදුරටත් ගන්නා පියවර යටතට තහනම් යැයි සැකකරන තහනම් යෝජනාක්‍රම සහ වෙනත් මූල්‍ය වංචා පිළිබඳ තොරතුරැ හා පැමිණිලි ගැන කරුණු සෙවීමට පරීක්ෂණ කිරීම, වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම, පිරමීඩ යෝජනාක්‍රම පිළිබඳ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමද සිදුකෙරේ.

• ණය ගැනුම්කරුවන්ට සහන

රටේ බොරතෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ද්‍රවශීලතාව සැපයීම, විනිමය අනුපාතිකය ගැන සහ හිඟයක් ලබාදී රුපියලේ වටිනාකම් මතින් සමනය කරන රජයේ සුරැකුම්පත්වල ආයෝජනය ප්‍රවර්ධනයට දායකත්වය සපයයි. අපනයන ඉපැයිය ලැබීම අනිවාර්යයෙන් රුපියල්වලට පරිවර්තනය කිරීම ශක්තිමත් කරන අතර විදේශ විනිමය ආපසු ගෙන්වීම නොකළහොත් අපනයනකරුවන්ගේ ලාභ සඳහා සියයට 14ක බද්ද සියයට 28ක් කරන ලෙස රජයෙන් ඉල්ලීමට අපේක්ෂිතයා බලපෑමට ලක්වූ මුදල් සමාගම් සඳහා ද්‍රවශීලතා ආධාර සපයන අතර ණය සහ සහන කාලය දීර්ඝ කිරීමටද කටයුතු කෙරේ. වසංගතයෙන් බලපෑම්වලට ලක්වූ ණය ගැනුම්කරැවන් සඳහා රටේ නීතිය ක්‍රියාත්මක කිරීම හා වාහන නැවත පවරා ගැනීම ඉදිරි මාස හයේදී අත්හිටුවීමට ක්‍රියා කෙරේ.

• මුදල් තැන්පතු අවශ්‍යතාව අත්හිටුවීම

 වසංගතය හේතුවෙන් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සිදුවූ හානිය අවම කිරීම සඳහා සැලසුම් කළ යාන්ත්‍රණයක් හරහා හිඟ පොලිය පියවීමට රුපියල් මිලියන 15,000ක් වෙන් කිරීම, වසංගත කාලය තුළ අවශ්‍ය මුදල් සැපයීමට ගත් ක්‍රියාමාර්ග නැවත හැරවීම උදෙසා මුදල් ප්‍රතිපත්ති ක්‍රම පාවිච්චි කිරීම, මූල්‍ය අංශය තිරසාර ස්ථාවරත්වයක් කරා මෙහෙයවීමට අවශ්‍ය සාර්ව විචක්ෂණ මෙවලම් මෙන්ම, සූක්ෂණ විචක්ෂණ නියාමනය හා අධීක්ෂණ භාවිතා කිරීම, අධ්‍යාපන හා සෞඛ්‍ය අවශ්‍යතා සඳහා විදේශ විනිමය කඩිනමින් ලබාගැනීමට පහසුකම් සැලසීම, සංක්‍රමණික දීමනාව සහ ආයෝජන පිටතට ගලායෑම් මත පනවා ඇති උපරිම සීමා 2022 ජනවාරි මාසයේ සිට ඉවත් කිරීම අත්‍යවශ්‍ය නොවන හදිසි නොවන ආනයන සඳහා පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කෙරේ.

එන්නත් කිරීමේ ක්‍රියාවලිය සාර්ථක වීමත් සමගම සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් රට ක්‍රමයෙන් විවෘත කිරීම මගින් සෑම අංශයක්ම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්කිරීම පුළුල් වනු ඇත. මේ කාල පරිච්ඡේදය තුළ ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත්කිරීමට ඵලදායී ලෙස ආර්ථික ක්‍රියාකාරකම්වල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අවිධිමත් ව්‍යාපාර සහ දෛනික වැටුප් ලබන්නන් වැනි අවදානමට ලක්වීමට ඉඩ ඇති කණ්ඩායම්ද ඇතුළත් වේ.

 යසවර්ධන රුද්රිගු