
පසුගිය සැප්තැම්බර් 19 දින පස්වරුවේ නිව්යෝර්ක් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා අතර පැවති විශේෂ හමුවේදී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරියුම් කරන බවත්* ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. මෙම අදහස ජනාධිපතිවරයා තුළ වසර කිහිපයක සිට පැවැති බව සනාථ වන්නේ 2019 නොවැම්බර් මාසයේද භාරත් ශක්ති වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ නිතින් ගෝකලේ සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවේදීද මේ බව සඳහන් කර තිබූ හෙයිනි. විවේචනය කරමින් සිටිනවාට කිසිවකුට ප්‍රයෝජනයක් අත් නොවන පැරණි දේ අමතක කොට අපේ රට සංවර්ධනය කිරීම සඳහා එක්ව වැඩ කිරීමට හා තම වර්ගයා වෙනුවෙන් සේවය කරන්නට එක්වන ලෙස තමා දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටින බවත්, ශ්‍රී ලංකාවේ උපන් සියල්ලන් ශ්‍රී ලාංකිකයන් වන අතර ඒ සැමට සම අයිතිවාසිකම් ඇති බවත්, ඔවුන් යථාර්ථය තේරුම් ගත යුතු වන අතර ඇතැම් නොකළ යුතු දේද ඇති බවත්* එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම මාධ්‍යවේදියාට ප්‍රකාශ කර තිබිණි.
දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට තමන් කැමති බවට ජනාධිපතිවරයා ජිනීවාහිදි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ. ජනාධිපතිවරයා ඕනෑම කෙනකු සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි. එහෙත් දෙමළ ජනතාවගෙන් තේරී පත්වූ නියෝජිතයන් තමන් බැවින් දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍ය නම් තමන් සමඟ පළමුවෙන් සාකච්ඡා කොට විසඳුමක් සෙවිය යුතු යැයි ඔහු ප්‍රකාශ කළේය.
ද ක්වෙස්ට් ඕර්ග්* නමැති වෙබ් අඩවියටද ඔහු ප්‍රකාශයක් ලබා දී තිබූ අතර එහි මෙලෙස සඳහන් කර තිබිණි. දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් අපි සතුටුවනවා. එහෙත් මේ වසරේ ජූලි 16 වැනිදා ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයට තමා සමඟ සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කළත් අවසාන මොහොතේදී එය අත්හිටුවනු ලැබුවා. ඇතැම් විට කිසියම් ප්‍රශ්නයක් ඇතිවූවාද දන්නේ නැහැ. ඔහු අපට ලිපි දෙකක් එවමින් කියා සිටියා ඉතා ඉක්මනින් වෙනත් දිනයක් ලබාදෙන බවට. දැන් මාස දෙකක් ගතවෙලා. අප තවමත් සාකච්ඡාවක් සඳහා බලා සිටිනවා. නිව්යෝර්ක් නගරයේදී ඔහු කියා තිබෙනවා දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට කැමති බවට. ඒ පිළිබඳව අප සතුටු වන අතර ඔහුට සුබ පතනවා. එහෙත් මෙහි සිටින දෙමළ ජනතාවගේ නියෝජිතයන් වන්නේ අප බැවින් අප සමඟද සාකච්ඡා කර මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට ක්‍රියා කළ යුතුයි* යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
උතුරු ඇමරිකාව, යුරෝපය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල ව්‍යාප්ත වී ඇති ගෝලීය දෙමළ සංසදයේ (ජීටීඑෆ්) ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් සඳහන් කර ඇත්තේ දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වූ අභිප්‍රාය ප්‍රගතිශීලී පියවරක් බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට කැමති බව ප්‍රකාශ කිරීම නිසැකවම ප්‍රගතිශීලී පියවරක් වන අතර එය සාදරයෙන් පිළිගන්නවා* යැයි ඔහු කියා තිබේ. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ හදිසි වෙනස් වීම පිළිබඳව ප්‍රශ්න කරමින් සුරේන් සුරේන්ද්‍රන් කියා තිබුණේ සය මසකට ඉහත එනම් 2021 මාර්තු මාසයේදී ගෝලීය දෙමළ සංසදය වැනි සංවිධාන තහනම් කිරීමට රජය ගැසට් කළ බවයි.
මෙම පරිපාලනය විසින් අපට තහනමක් පනවනු ලැබුවත් ගෝලීය දෙමළ සංසදය ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ කටයුතු කිරීම නැවැත්වුවේ නැහැ. මෑතකදී වුවද, රටේ උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත ලංකාව තුළම, කොවිඩ් -19 වසංගතයට එරෙහි සටනේදී සහය දැක්වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් වටිනා වෛද්‍ය උපකරණ සඳහා අපි පහසුකම් සලසා දුන්නා. අපේ ජනතාවගේ දුක් ගැනවිලි පමණක් නොව ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවගේ දුක්ගැනවිලි විසඳීමට හැකි නම් අපි ඕනෑම කෙනකු හා සාකච්ඡා කිරීමට සූදානම්* යැයි, ඔහු වැඩිදුරටත් කියා තිබේ.
ජනාධිපතිවරයාට සාකච්ඡා කිරීමට අවශ්‍ය දේශීය යාන්ත්‍රණය සම්බන්ධයෙන් ගත් කළ, අධිකරණමය නොවන ක්‍රියාවලියක් හා යාන්ත්‍රණයක් තුළින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ගෝලීය දෙමළ සංසදය කැමැති බවද, අධිකරණ යාන්ත්‍රණයක් තුළින් නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව මඟින් එය කළයුතු ආකාරය පැහැදිලිව විස්තර කර ඇති බවද ඔහු පවසා තිබේ.
අභ්‍යන්තර යාන්ත්‍රණයක් තුළින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු විසඳා ගත යුතු බවටත්. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බවටත් ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ද හින්දු* පුවත්පතද විශේෂ ලිපියක් පළ කර තිබිණි.
කොටින්ගේ බෙදුම්වාදී අරගලය යළි පණ ගැන්වීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් ඩයස්පෝරා කණ්ඩායම් “කොටි හිතවාදී” කණ්ඩායම් ලෙස හඳුන්වමින් සය මසකට ඉහත දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන කිහිපයක් තහනම් කළ, එම සාමාජිකයන් ත්‍රස්තවාදීන් ලෙස නම් කළ ජනාධිපති රාජපක්ෂ මහතාගෙන් මෙවැනි ආරාධනයක් ලැබීම වැදගත් යැයි එහි සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක් සඳහා දෙමළ ඩයස්පෝරාවේ කණ්ඩායම් සහයෝගය දක්වන නමුදු ඔවුන් ඒකාබද්ධ දේශපාලන බලවේගයක් නොවන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හා දේශපාලන විචාරකයකු වන වී. තණබාලසිංහම් හින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබේ. ඔවුන් ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ නියෝජිතයන් ලෙස සැලකිය නොහැකි බවත්, මේ පිරිස ලංකාව අතහැර වෙනත් රටක පුරවැසිභාවය ලබාගත් පිරිසක් බවත් ඔහු කියා තිබේ.
ජාත්‍යන්තර ප්‍රජාවට බලපෑම් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඩයස්පෝරා කණ්ඩායම් මත විශ්වාසය තබන නමුත් බොහෝ කණ්ඩායම් “අන්තවාදී ස්ථාවරයන්” අනුගමනය කරන බව තමන්ට නිරීක්ෂණය වී ඇතැයි ඔහු කියා තිබේ.. රට තුළ සිටින මධ්‍යස්ථ දෙමළ ජනයා විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් බවක් පෙන්නුම්කරන විටෙක, ඩයස්පෝරාවේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කළ හැක්කේ කුමක් දැයි තණබාලසිංහම් මහතාගෙන් හින්දු පුවත්පතේ මාධ්‍යවේදියා විමසූ විට ඔහු කියා ඇත්තේ විදේශ ආයෝජන වැනි කටයුතුවලදී ඩයස්පෝරාවට සහය දිය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ සිදු කරන ලද සංහිඳියා කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට ඩයස්පෝරාවට උත්සාහ කළ හැකි නමුදු, ඔවුන්ට කිසි දිනෙක දේශපාලන විසඳුමක් ලබා ගැනීමේ ප්‍රධාන බලවේගය විය නොහැකිය. එබැවින් දේශීය යාන්ත්‍රණයක් මගින් විසඳුමක් අවධාරණය කරන ජනාධිපතිවරයාට ඩයස්පෝරාව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වීම පුදුමයට කරුණක් යැයිද, ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව ජනාධිපතිවරයා මුලින්ම සාකච්ඡා කළ යුත්තේ දෙමළ ජනතාවගන් තේරී පත්වූ නියෝජිතයන් සමඟ යැයිද ඔහුගේ මතය වී තිබේ.
දෙමළ ඩයස්පෝරාවේ එක් පිරිසක් ජනාධිපතිවරයාගේ ඉල්ලීම සුබවාදී ලෙද දකින අතර තවත් පිරිසක් එය ප්‍රතික්ෂේප කරන බව පෙනෙන්ට තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතමින් සිටි අවස්ථාවේ දෙමළ ඊළාම් අන්තර්ජාතික රජය නමින් හැඳිවෙන සංවිධානයේ ප්‍රධානි සහ කොටි සංවිධානයේ හිටපු නීති උපදේශකවරයා වූ විස්වනාදන් රුද්‍රකුමාර් නිව්ෙයා්ර්ක් නුවර විරෝධතාවක් පවත්වා තිබේ. ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය පැතිර ඇති බවත්, දෙමළ ජනතාවට යුක්තිය ඉටු වීමට ඉඩක් නොමැති බව. දශක ගණනාවක් පුරා අත්විඳ ඇති බවත්, දෙමළ ජනතාවගේ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සඳහා වන ඉල්ලීම දෙමළ ජනයාගේ පමණක් නොව, ජාත්‍යන්තර ප්‍රජාවගේද ඉල්ලීමක් බවත් ඔහු එහිදී පිරිස අමතමින් කියා තිබේ. ජාතික ගැටලුව පිළිබඳ දේශපාලන විසඳුමක් සඳහා වැදගත් වන සහ ඩයස්පෝරාවට ජන සංහාරක රාජ්‍යයක් සමඟ සාකච්ඡා කිරීම අතිශයින් දුෂ්කරය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීම, උපකල්පිත ලෙස යුදෙව් ජන සංහාරයෙන් පසු යුදෙව් ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට හිට්ලර් කළ ඉල්ලීමක් හා සමානයැයිද ඔහු ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහාචාර්ය නලින් ද සිල්වා තම ෆේස් බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබේ.
ඊනියා ඩයස්පෝරාව හෙවත් විසිරුණු දෙමළ ජනයා අද නඩත්තු කෙරෙන්නේ එංගලන්තය මගින්. දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගේ හා ලන්දේසීන්ගේ නිර්මාණයක්. එය සිංහල බෞද්ධත්වයට එරෙහිව සකස් කරන ලද්දක්. ලන්දේසීන් ලංකාවෙන් ගිය පසු ඉංගිරිසින් දෙමළ ජාතිවාදය පෝෂණය කර රුකගත්තා. අවසානයේදී එය දෙමළ ත්‍රස්තවාදය දක්වා විකාශය වුණා.
ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් ලෙස පරාජය කිරීමට සැලසුම් කෙළේ එලෙස විකාශය වූ දෙමළ ජාතිවාදයයි. එදා නන්දිකඩාල් කලපුවේ දී පරාජය වුණේ ඒ සම්පූර්ණ කතාවයි. ඉන් පසු තවත් ඒ ගැන කතා නැහැ. දෙමළ ත්‍රස්තවාදය පරාජය වීමත් සමග දෙමළ ජාතිවාදයත් පරාජය වුණා. ඒ අදහස් මාලාව ම පරාජය වුණා. යුද්ධය හරි, මෙහෙයුම් හරි කියන්නේ දේශපාලනය ඉදිරියට ගෙන යෑමක්. යුද්ධය කියන්නේ දේශපාලන තීන්දු ගන්නා එක් ක්‍රමයක්. සාකච්ඡා කළ යුතු ප්‍රශ්නය කුමක්ද? මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක්ද? ඒ ප්‍රශ්නය අසා දැන් අවුරුදු තිහක් පමණ වන නමුත් තවමත් පිළිතුරක් නැහැ. කිසිවකුට ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න බැරි වෙලා. දෙමළ නායකයන්ටත් ඒ ප්‍රශ්නයට උත්තරයක් නැහැ* යැයි සඳහන් කර තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා