2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

ලංකාවේ රූගත වූ විදේශ චිත්‍රපටයක මුල්වරට නර්තන ඉදිරිපත් කළ ලෝ පූජිත නිළිය රංජනා තරංගරාජා

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 88

1950 වසරේ කැරොල් රීඩ් (Sir Carol reed) නම් විශිෂ්ට ඉංග්‍රීසි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලංකාවට පැමිණියේ තමා ලංකාවේදී රූගත කරන Out cast of the Island (දිවයින්වලින් පිටමං කළ තැනැත්තා) චිත්‍රපටයේ පෙර සූදානම සඳහාය. චිත්‍රපට අධ්‍යක්ෂවරයාට තම චිත්‍රපටයේ නාමාවලිය පසුබිමින් නිරෑපණය වන උඩරට නැටුමක් සඳහා නර්තන ශිල්පිනියකගේ අවශ්‍යතාවය මතුවිය. මේ ගැටලුවට විසඳුම් ලබාගැනීමට කැරොල් රීඩ් එවකට කොළඹ මහ නගර සභාවේ නගරාධිපති මෙන්ම ප්‍රධාන චිත්‍රපට ප්‍රදර්ශන සමාගමක් වන සිලෝන් තියටර්ස් සමාගමේ සභාපති එස්. සෙල්ලමුත්තු මහතා හමුවිය.

ඔය වැඩේට හොඳටම ගැලපෙන කෙනා මම හොයලා දෙන්නම්. අපි දැන්ම යමු මහරගමට. මගේ හොඳම මිත්‍රයෙක් ඉන්නවා තංගරාජා කියලා. එයාගේ නෝනා දක්ෂ උඩරට නැටුම්කාරියක්.* සෙල්ලමුත්තු මහතා කැරොල් රීඩ් සමඟ මහරගමට ගියේය.
සෙල්ලමුත්තුගේ මිත්‍රයා තංජරාජා කවුද?
සරවනමුත්තු තංගරාජා ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් BA හා Bsc උපාධි ලබා එවකට කොටහේනේ පවත්වාගෙන ගිය සාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කළේය. හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක හා හිටපු අමාත්‍යවරයකු වූ සී.පී. ද සිල්වා යන මහත්වරු තංගරාජා මහතාගේ ශිෂ්‍යයෝ වූහ.

තංගරාජාගේ බිරිය වූයේ රංජනාය. ඇය උඩරට නැටුමට ඇති ප්‍රවීණත්වය කැරොල් රීඩ් ඉදිරියේ රඟ දැක්වීය. අධ්‍යක්ෂවරයා අතිශයින්ම සතුටට පත්විය. රීඩ්ගේ දෙවැනි ලංකා ගමනේදී මුලින්ම ලංකාවේ රෑගත වූයේ රංජනාගේ උඩරට නැටුමය. මේ දර්ශනය සඳහා ඇය අල්ගම කිරිගණිත, ඉඹුල්ගොඩ අර්නෝලිස් යන ගුරුන්නාන්සේ හා තම යෙහෙළියන්ද සහභාගි කර ගත්තාය. ඇගේ මේ විස්මිත උඩරට නැටුමෙන් උද්දාමයට පත් අධ්‍යක්ෂවරයා චිත්‍රපටයේ නාමාවලියට පමණක් නොව, චිත්‍රපටයේ අවස්ථා කිහිපයකටම සහභාගි කර ගත්තේය.

1951 වසරේ ලොවපුරා තිරගත වූ &අවුට් කාස්ට් ඔෆ් ද අයිලන්ඩ්* චිත්‍රපටය නැරඹූ නරඹන්නන් රංජනාගේ උඩරට නැටුමට යහපත් ප්‍රතිචාර දැක්වූ බව කැරෝල් රීඩ් එංගලන්තයේ සිට රංජනාට ලියා එව්වේය. මෙය දුටු ජර්මනියේ රෑපවාහිනී අධ්‍යක්ෂ Eitel Lang ලංකාවට පැමිණ රංජනාගේත් අර්නෝලිස් හා කිරිගණිත ගුරුන්නාන්සේලා සහ පිරිසගේ උඩරට නැටුම් කිහිපයක් රෑගත කළේය.
මේ අතර තවත් විශේෂයක් විය. ලංකාදීප පත්‍රයේ කර්තෘ ඩී.බී. ධනපාලයන්ට එයාමේල් ලිපියක් ලැබිණ. එය එවා තිබුණේ කොළඹ මහ තැපැල් කන්තෝරුවෙනි. ලිපිනයක් නැති Ceylon නම් එවූ මේ එයාමේල් ලිපියේ එංගලන්තයේ පත්තරයක පළ රංජනාගේ ඡායාරෑපයක් කපා අලවා තිබුණි. ලංකාවේ කලාශිල්පිනියකට එවූ එම එයාමේල් ලිපිය යොමුකිරීමට සුදුසුම තැනැත්තා &ලංකාදීප* කර්තෘ බව තේරුම් ගැනීමට තැපැල් ස්ථානාධිපතිට දුරදක්නා ඥානයක් තිබුණි. ලිපිය දුටු ධනපාලයන් විසින් හඳුනාගෙන සිටි කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා මාර්ගයෙන් ඒ ලිපිය තංගරාජාට ලැබීමට සැලැස්විය.
නර්තන ලෝකයේ පෙරළි කළ රංජනා කවුද?

1922 අප්‍රේල් 03 වැනිදා රංජනා තිලෝක්අම්මා වත්තල හුණුපිටියේ උපත ලැබුවාය. හතළිස් පස් හැවිරිදි සරවනමුත්තු 1935 වසරේ තම කල්‍යාණ මිත්‍ර වල්පොල රාහුල හිමියන් සමඟ වත්තල හුණුපිටියේ නිවසක පදිංචියට ගියේය. මේ නිවසට රාහුලහිමියන්ගේ කල්‍යාණ මිත්‍ර කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමියන්ද (පසුව කේයස් නමින් ප්‍රකට කවියකු වූ සාගර පළන්සූරිය) ඉඳහිට වැඩම වූහ.
තංගරාජාගේ යාබද නිවසේ සිටි දැරියක් මිදුලේ දෙළුම් ගහයට නර්තනයේ යෙදෙනු දැකීම සුලභ සිද්ධියක් විය. තංගරාජා තම කාමරයේ ජනේලයෙන් නිතර දකින මේ රුඟුමින් රසාස්වාදයක් ලැබීය.

රංජනා දැන් නැටුවා ඇති එන්න ගේ ඇතුළට* දැරියගේ මව කියනු තංගරාජා අසා සිටියේය. ඇගේ නම &රංජනා* බව දැනගත් හෙතෙම පසුදාද සුපුරුදු රංගනය බැලීමට සැදී පැහැදී සිටියේය.
මේ ගෑනු ළමයාට හොඳ මඟපෙන්වීමක් කළොත් හොඳ අනාගතයක් තියෙයි* තංගරාජා සිතුවේය.

තංගරාජාට රාහුල හිමියන්ගේ මිත්‍රකම නිසා වරෙක පැවිදි වීමට සිත් ඇතිව සිටියේය. දක්ෂතා ඇති මේ දැරිය ඔහුගේ ගමන් මඟ වෙනස් කළේය. ඔහු රංජනාගේ මව හමුවී මෙසේ කීවේ ඒ නිසාය.
රංජනා නැටුමට තියෙන දක්ෂතාවයට මම උපකාර කරන්නම්. අපි ඇයව ඉන්දියාවට යවලා උගන්වමු. යන එන මුදල් මම දෙන්නම්.*

මේ අනුව රංජනා දකුණු ඉන්දියාවේ &කලා ක්ෂේත්‍ර* වෙත ඉගෙනීමට යැවීමට තංගරාජා කටයුතු කළේය. &කලා ක්ෂේත්‍ර* යේ දී ඇය ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වූ අඩයාර්හි රුක්මණී දේවි අරුන්තල් මහත්මිය ළඟ භාරත නැටුම් පුහුණු කළ පසුව මයවරම් වී.ඇන්ඩ් ශ්‍රී මන්ශිකම් පිල්ලෙයිගෙන්ද උගත්තාය. රංජනා නර්තනය හදාරා සමුගන්නා අවස්ථාවේ රුක්මණී දේවි අරුන්තල් &I wish she could succeed me at kalakhethera* යැයි ආශීර්වාද කරමින් කීවාය. ඉන්පසු ඇය තන්ජෝර්හි නැටුම් විශේෂඥවරියක වූ මීනක්ෂි සුන්දරම්පිල්ලෙයි හා වලූර් මානික්කම් පිල්ලෙයි යටතේ විශේෂ පුහුණුවක් ලැබුවේද තංගරාජාගේ අනුග්‍රහයෙනි.
මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් ලියන ලද ශ්‍රී ලාංකික නර්තන විකාශනය 1908-1978 කෘතියේද මහාචාර්ය මුදියන්සේ දිසානායක හා මහාචාර්ය කාරියවසම් විසින් රචිත &ශ්‍රී ලාංකේය නව නර්තන කලාවේ පුරෝගාමියෝ* කෘතිවලද රංජනා ගැන තොරතුරු සඳහන් වෙයි.

භාරතයේ නර්තනය හදාරා ලංකාවට පෙරළා පැමිණි රංජනා, කල්පනා කර ඇත්තේ තමාගේ කලා ජීවිතයට සෑම අනුග්‍රහයක් දැක්වූ තංගරාජාට කෙසේ කළගුණ සලකන්නේ කෙසේද? කියාය. දිනක් ඇය තංගරාජාට මෙසේ කීවාය.
ඔබ නිසා අද මම දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒ ණය දුප්පත් මම කෙසේ ගෙවම්ද?
මට අවශ්‍ය ඉගෙන ගන්න කෙනෙකුට උපකාර කරන්න. මම ගුරුවරයෙක්. ඉගෙන ගන්න එකේ වටිනාකම මම දන්නවා.
ගුරුවරයා කියන්නේ උත්තම පුරුෂයකුට. ඔබ ශාස්ත්‍රය නුදුන්නට ඔබ උත්තම පුරුෂයෙක්. ඒ පුරුෂයාගේ ජීවන සහකාරිය වෙලා මගේ ණය ගෙවීමට මට ඉඩදෙන්න. රංජනා, තංගරාජාගේ දෙපා නැමද කීවාය.
තංගරාජා තුෂ්ණිම්භූතව බලා සිට ඇගේ නළල සිඹ, තවත් ටිකක් හිතන්න. ඔබ වයස අවුරුදු 27ක තරුණියක්. මම මැදිවියේ මිනිහෙක්. අපේ වයස් පරතරය අවුරුදු 27ක්.
මම තීරණය කරලා ඉවරයි. ඔබ මගේ ස්වාමිපුරුෂයා විය යුතුයි. රංජනා ස්ථීරවම කීවාය.

තංගරාජා එකඟ විය. හොඳ කලාරසිකයකු වූ තංගරාජා විවාහයෙන් පසු 1945 වසරේ මැයි මාසයේ භාරත නාට්‍යම් හා අභිනයම් නමින් රංජනාගේ නර්තන ප්‍රසංග ඉදිරිපත් කර ඇත.
මේ කාලයේ ලංකාවට කේරළ කලා මණ්ඩලයේ නිර්මාතෘවරයා, අධ්‍යක්ෂවරයා හා කථකලි නර්තනයේ ප්‍රධානියකු වූ වල්ලතෝල් මහා කවියා පැමිණ ඇත. එතුමාට ගරු කරන්නැයි මහාචාර්ය ගුණපාල මලලසේකර ඉල්ලා සිටියත් දමිළ කලා රසිකයන්ගේ නොතකා හැරීම ගැන වල්ලතෝල් ගුරුතුමා කම්පා වූ බවත්, එතුමාට නොසැලකූ ලංකාවේ රසිකයන් රංජනා අගය කළ බවත් පැවසෙයි. තංගරාජා කොළඹ දී පදම් කිහිපයක්ද නටරාජා නදම්ත නර්තනයත් වල්ලි කණ්නවන් අංග අගය කළ බව මහාචාර්ය තිස්ස කාරියවසම්හු පවසා තිබූහ. (ශ්‍රී ලාංකික නර්තනයේ විකාශනය - පිටුව 86)

1950 දී එස්. තංගරාජා නිෂ්පාදනය කළ සිංහලයන්ගේ උපත බර්ත් ඔෆ් සිංහල සහ 1952 දී කළ ලංකා උපත (බර්ත් ඔෆ් ලංකා) මෙරට ලලිත කලා වංසයේ නව පරිච්ඡේදයක් වශයෙන් උගතුන්ගේ අගයට ලක්විය. ලංකා උපත හි උඩරට නැටුමේ එන හනුමා වන්නම ඇසුරෙන් චිත්‍රා සහ ස්වරණපාලි ලෙස රංජනා රඟපෑ අතර දීඝගාමිණී කුමාරයා හා අභය කුමරු ලෙස කිරිගණිත ගුරුන්නාන්සේද, පණ්ඩුකාභය සහ පණ්ඩුවාසදේව ලෙස ඉඹුල්ගොඩ අර්නෝලිස් ගුරුන්නාන්සේද රඟපෑහ. මේ මුද්‍රා නාට්‍යයේ ගීත රචනය සාගර පළන්සූරිය ගෙනි.

විවාහයෙන් පසුද රංජනා වැඩිදුරටත් උඩරට නැටුම් ඉගෙනීමට ආසා කළ නිසා තංගරාජා තම සමීපතම මිතුරකු වූ කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරාගේ බිරිය වූ නර්තන විශාරද චන්ද්‍රලේඛා ඇසුරට පත් කළේය. චන්ද්‍රලේඛා විසින් අල්ගම කිරිගණිත ගුරුන්නාන්සේ වෙත 1950ද යොමු කළේද චන්ද්‍රලේඛාවන් විසිනි. මේ කාලයේ කැරොල් රීඩ් නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලංකාවට පැමිණියේය.
තංගරාජා සහ රංජනාට දරුවන් පස් දෙනෙකි. වැඩිමහල් පුතා ටී. අර්ජුන (තංගරාජා අර්ජුන) චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස ප්‍රකටය. වසන්තේ දවසක්, කලියුග කාලේ, සාරා චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු නිෂ්පාදන අධ්‍යක්ෂණය කළ වසන්තේ දවසක්* චිත්‍රපටයට 1981 වසරේ ජනාධිපති චිත්‍රපට සම්මාන උළෙලේදී සම්මාන 08ක් හිමි විය. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන එංගලන්තයේ London School of film Technique ආයතනයේ සිනමා පිළිබඳ උපාධිය ලැබූ ඔහු 2017 වසරේ මිය ගියේය. දෙවැනි පුතා හරිරාම් තංගරාජා බ_නායි රාජ්‍යයේ සුල්තාන් පවුලේ මූල්‍ය උපදේශකවරයාය. තුන්වැන්නා විෂ්ණුප්‍රිය තංගරාජා ස්පාඤ්ඤ රජයේ බාක් ප්‍රාන්තය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. සිව්වැන්නා කමලකුමන් තංගරාජා ඇමෙරිකානු බැංකු සමූහයක නියෝජිතවරයෙකි. බාලම දියණිය මාණික්කවල්ලි තංගරාජා ඉංග්‍රීසි මාධ්‍යවේදිනියකි.

තංගරාජා පවුලේ වැඩිමලා වූ ටී. අර්ජුන මේ ලියුම්කරුගේ මිතුරකු වූයේ හැත්තෑවේ දශකයේ මුල සිටය. සරසවිය පුවත්පතට සම්බන්ධ වූ අලුත ඔහු පදිංචිව සිටි කොටහේනේ කොලේජ් වීදියේ නිවෙසට අපි කොස්ගස්හන්දියේ සිට පයින් ඇවිදගෙන ගියෙමු. අප එහි යන්නේ පාන්දර හයට පමණය. අර්ජුන උදෑසන ජලස්නානය කරන තෙක් ඔහුගේ විශාල ගෘහයේ ඇතුළුවන තැනම තංගරාජා මහතා ඉංග්‍රීසි පුවත්පතක් බලමින් සිටී. මුහුණපුරා රුවුල වවාගෙන සිටි ඔහු කාරුණික පුද්ගලයෙකි. අප යන හැමවිටම (සතියකට වරක්) එළුකිරි සහිත උස වීදුරුවක් රංජනා මහත්මිය ගෙනඒම අනිවාර්ය සිද්ධියකි. තංගරාජා මහතා ව්‍යක්ත ඉංග්‍රීසියෙන් අසන ප්‍රශ්නවලට කෙටි පිළිතුරක් දීමට මම ප්‍රවේශම් වීමි. මේ උපශාන්ත පුද්ගලයාගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබේ නම් යන සිතුවිල්ල මට හැමවිටම සිතුණි. ඔහුගේ කාමරයේ ලෝකයේ ඉහළම සම්භාව්‍ය කෘති සහිත පුස්තකාලයක් විය. නිවසේ ලෑලි දැමූ පොළොව මත පාද තබමින් රංජනා නම් නර්තන විශාරදවරිය නර්තන පුහුණුවන්නී මනස්කාන්තය. මෘදංග වාදකයාගේ තාලෙට ඇය පාද තබන්නීය. මම හිඳ සිටි පුටුවෙන් නැවී ඒ දෙස බලමි.

ඇතුළට ගිහින් බලන්න. තංගරාජා මහතා කීය. සුවඳ දුම්වල සුවඳ මුළු නේපත්‍යාගාරය සිසාරා හමයි. කොතරම් සුන්දර දුර්ලභ ආස්වාදනීය වරමක්ද මට ලැබී ඇත්තේ.
මා මිත්‍ර අර්ජුනගෙන් පසුකලෙක තම මව හා පියා ගැන මට අසා දැනගන්නට ලැබුණි.

&තම තාත්තාගේ සමීප මිතුරෙක් වූ කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමියන් (සාගර පළන්සූරිය) මාර්ගයෙන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා කොටහේනේ වලව්වකදී හමුවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951 ආරම්භ කරන විට ආරම්භක භාණ්ඩාගාරික තාත්තා. තාත්තා මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති කාලේ තමයි කැරෝල් රීඩ් ලංකාවට ඇවිත් සෙල්ලමුත්තු සමඟ ආවේ. සිනමාව ගැන යාන්තමට උනන්දුවක් තියෙන ඒ කාලේ කැරොල් රීඩ් දිහා මැජික් කාරයෙක් විදිහට දැක්කේ. මගේ අම්මා කාරුණික මවක්. ආගන්තුක සත්කාරය ඉහළින්ම පිළිවෙළට කළ කෙනෙක්. තාත්තා හුඟක් ඇසුරු කළේ උගත් භික්ෂූන් වහන්සේලා. වල්පොල රාහුල, ආනන්ද සාගර, කොටහේනේ පඤ්ඤාකිත්ති, යක්කඩුවේ හාමුදුරුවෝ, බඹරුන්දේ සිරි සීවලී, කොටගම වාචීස්සර, හැවන්පොළ රතනසාර ආදී හිමිවරු අපේ ගෙදර දානෙ වළඳන්න එනවා. අම්මා ඒ දාන දෙන දවසේ හොඳට පේවිලා ක්‍රමානුකූලව මැනවින් දානය සකසා දෙනවා.
රංජනා ගැන තොරතුරු දැනගැනීමට කලකට ඉහත විශිෂ්ට කලාකරු සෝමබන්ධු විද්‍යාපති සූරීන්ගේ බිරිය වූ මාලතී විද්‍යාපති මහත්මිය හමුවීමු.
මගේ පියා වූ අල්ගම කිරිගණිත ගුරුන්නාන්සේගෙන් රංජනා නැටුම් ඉගෙන ගන්නකොට මට වයස අවුරුදු 10ක් විතර ඇති. තාත්තාගෙන් නැටුම් ඉගෙනගෙන &විජය කුවේණි* කියන මුද්‍රා නාට්‍ය කළේ රංජනා. විජයට රඟපෑවේ තාත්තා. රංජනා කුවේණි. මේ නාට්‍යයේ මමත් රඟපෑවා.

රංජනා තංගරාජාගෙන් අන්තිමට ඉගෙනගත් ගෝලයන් අතර මහාචාර්ය මුදියන්සේ දිසානායකද වෙයි. ඔහු පවසන්නේ උඩරට නර්තනයේ හැඩතල හා යම් යම් අංග වික්ෂේපයන් භරත නැටුම ආශ්‍රයෙන් තවදුරටත් වර්ණවත් කිරීමටත්, සුලලිත කිරීමට උත්සාහ ගත් විශිෂ්ට රංගන ශිල්පිනියක් බවය. රවිබන්ධු විද්‍යාපතිද රංජනාගේ ගෝලයෙකි.

තවුසකු වැනි පුද්ගලයකු වූ හින්දු භක්තික තංගරාජාගේ පාණ්ඩිත්‍යවය කෙරෙහි වල්පොල රාහුල හිමියන් වශී වූ බව වල්පොල රාහුල හාමුදුරුවෝ මැයෙන් ගුණදාස ලියනගේ විසින් ලියූ කෘතියේ සඳහන් වෙයි.

රාහුල හිමියන්ට වෙනම කාමරයක් පිළියෙළ කර දුන් තංගරාජා මහතා උන්වහන්සේට අවශ්‍ය කෑමබීම්, පොතපත ආදිය නොමිලයේ සපයා දී ගණිත විද්‍යා ආදී ශාස්ත්‍රද නොමිලයේ ඉගැන්නුවේය.* එම කෘතියේ සඳහන්ව ඇත.
රාහුල හිමියන්ට පැරීසියේ සෝබෝන් විශ්වවිද්‍යාලයට යාමටද උපකාර අනුග්‍රහ කර ඇත්තේ තංගරාජා යුවළය. යාපන අර්ධද්වීපයේ උතුරු කෙළවරේ වඩමාරච්චි ප්‍රදේශයේ වල්ලිපුරම් නමැති ගමේ පිහිටි විෂ්ණු කෝවිලේ තිබූ වල්ලිපුරම් රන්පත් ඉරුවේ මුල් අයිතිකරුද තංගරාජා මහතාය.

රංජනා තංගරාජා 1984 වසරේ ඉන්දියාවේ හින්දු කෝවිල් වන්දනා කිරීමට ගියාය. රමේෂ්වරම්හි පූජාවක් පවත්වා මගේ සිතට අද අමුතු සතුටක් දැනෙනවා කියා අසළ තිබූ ගල් පඩියක හිඳගත් ඇය ගල් කණුවකට පිටදී මඳ නින්දකට වැටුණාය. එදා දිනය 1984 මාර්තු 12 වැනිදා ඇය සුවසේ නින්දේම මිය ගියාය.

 

► ඒ.ඩී. රන්ජිත් කුමාර