2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

නැවත මෙරට ත්‍රස්තවාදයට ඉඩ නැහැ

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 33

- ජනපති එ.ජා. සමුළුව අමතමින් කියයි

2019 වසරේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා දෙසුමක් පැවැත්වූයේ ප්‍රථම වරටය. කොවිඩ් වසංගතය නිසා ජනාධිපතිවරයා ස්වකීය විදේශ චාරිකා සීමා කර තිබූ අතර ගතවූ වසර දෙකටම ඔහු නිල සංචාරයක නිරත වූයේ ඉන්දියාවේ පමණි.

මෙවර නිව් යෝර්ක් නගරයේදී ආරම්භ වූයේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ 76 වැනි සැසිවාරයයි. ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සහ විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුය. 

නිව් යෝර්ක් නගරයේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා එහි නිල කටයුතු සම්බන්ධීකරණය කළේය.
මෑත ඉතිහාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කුඩාම දූත පිරිස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ මෙවර සහභාගි වූ දූත කණ්ඩායමයි. මීට පෙර ඇතැම් අවස්ථාවල එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමට ගිය රාජ්‍ය නායකයන් සමඟ දූත කණ්ඩායමේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් 110 දෙනකු පමණ සිටි අවස්ථාද තිබුණි.
එ.ජා. මහ සමුළුවට සහභාගි වීමට 

නිව් යෝර්ක් වෙත පැමිණෙන බොහෝ රටවල රාජ්‍ය නායකයන් නවාතැන් ගන්නේ World of Astoria නැතිනම් Leaves Residence වැනි සුපිරි පන්තියේ හෝටල්වලය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙවර නවාතැන් ගත් හෝටලයද මෙවර රාජ්‍ය නායකයන් සඳහා වෙන්කර තිබූවකි. එය Newyork Grand Central හෝටලයයි. 

රාජ්‍ය නායක මහ සමුළුවට පෙර බොහෝ රාජ්‍ය නායකයෝ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා සහභාගි වෙති. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුලින්ම මුණගැසුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතාය. ඉන් අනතුරුව කුවේට් අග්‍රාමාත්‍යවරයා, ලැට්වියා  ජනාධිපතිවරයා මුණගැසුණි. පසුව යුරෝපා සංගමයේ රටවල් ගණනාවක රාජ්‍ය නායකයන් මුණගැසීමට ද නියමිත බව වාර්තා විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද හමුවීමට ඉඩ ඇති බවක් වාර්තා වුවද ඒ ගැන නිශ්චිත තොරතුරු මෙම සටහන ලියන විටත් ලැබී නැත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාව විශේෂ වූවකි. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා මහ ලේකම්වරයාට දැනුම් දුන්නේ තමන් ප්‍රජාතන්ත්‍රවාදය අනුව මහජන වරමින් තේරී පත්වූ රාජ්‍ය නායකයකු බවයි. එම නිසා රටේ පවත්නා ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාදීව විසඳීමට උපරිමයෙන් කැපවන බවද කීය. රටේ බහුලව සිදුවන උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර ඇතුළු වෘත්තීය සටන්වලදී වෙනත් රජයන් මෙන් විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර හෝ බැටන් ප්‍රහාර එල්ල කිරීමටවත් තම රජය පියවර ගෙන නැතැයි පැවසූ ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ට උද්ඝෝෂණය කිරීමට ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණ ස්ථානයක් පවා වෙන්කර දී ඇතැයි සඳහන් කළේය. ජිනීවා මානව හිමිකම් සංවිධානය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නගන බොහෝ චෝදනා පදනම් විරහිත බව පැවසූ හෙතෙම ඉදිරි කාලයේදී තමන් විශේෂ පියවරක් ඉදිරියට තබමින් විදේශගතව සිටින දෙමළ ඩයස්පෝරාව සමඟද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
කොවිඩ් එන්නත්කරණය සම්බන්ධව එ.ජා. මහ ලේකම්වරයාට කරුණු දැක්වූ ජනාධිපතිවරයා එන්නත අවශ්‍ය ජනගහනයෙන් 50කට අධික පිරිසකට එන්නත් ලබා දී ඇතැයිද කීය. තමන්ගේ රාජ්‍ය පාලන කාලය ඇරඹි මාස දෙකකට පසු කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම නිසා ආර්ථික දුෂ්කරතා හටගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සහයෝගය ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන තම සංවිධානය අවධානයෙන් පසුවන බව කීය. පසුගිය වසරවල යම් යම් අංශවලින් මානව හිමිකම් විෂයෙහි ප්‍රගතිදායක පියවර තබන්නට ශ්‍රී ලංකාවට හැකිවීම සතුටට කරුණක් යැයිද ඔහු දැනුම් දුන්නේය. කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගැන සතුටට පත්වන බවද ඔහු කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීම සිදුවූයේ 21 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30ට පමණය. මෙම සමුළුවේ ප්‍රධාන තේමාවක් වූ ලෝකය කොවිඩ් වසංගතයෙන් මුදවා ගැනීම පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය. එහිදී කොවිඩ් කළමනාකරණයට ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර ඔහු විස්තර කළේය. එසේම කොවිඩ් වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ගැන අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙරට තුළ නැවත කිසි දිනක ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් ඇති නොවන තැනට කටයුතු සලසා ඇතැයි පැවසීය. මෙහිදී ගෝලීය ත්‍රස්තවාදය ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන් හා ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතු බව සඳහන් කළ හෙතෙම බෞද්ධ දර්ශනය අනුව ක්‍රියා කිරීම පිළිබඳ මනා දැක්මක් ශ්‍රී ලංකාව සතු යැයි වැඩිදුරටත් කීය. කාබනික ගොවිතැන ගැනද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් නව අත්දැකීම් උකහා ගනිමින් සිටින බව පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීම සඳහා පිටත්ව යන මොහොතේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සමීපතමයන් හා ඇතැම් ඩයස්පෝරා සාමාජිකයන් ස්ථාන ගණනාවක තමන්ගේ දුක් ගැනවිලි කියමින් විරෝධතා ව්‍යාපාර කීපයක් පවත්වනු ලැබුණි. ඒ අතර තවත් පිරිසක් ජනාධිපතිවරයාට සහයෝගය පළ කරමින් ජාතික ධජ රැගෙන ශ්‍රී ලාංකික දූත පිරිසට සුබ පතනු දක්නට ලැබුණි. මහ සමුළුව ඇමතීමෙන් පසුව තවත් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු මුණගැසීමටත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා එහි පැමිණි රාජ්‍ය නායකයන්ට පිරිනමන විශේෂ භෝජනා සංග්‍රහයට සහභාගි වීමටත් ජනාධිපතිවරයා සැලසුම් කර තිබුණි.

 සංජීවිකා සමරතුංග                      

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00