2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග යළි කල් යයිද

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 30

ලක්ෂ අටකට අධික පිරිසක් පෙනී සිටීමට නියමිත අ.පො.ස. උසස් පෙළ හා 5 වසර ශිෂ්‍යත්ව විභාගය මේ වසරේ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවේදැයි යන සැකයක් මේ වනවිට ඇතිවී තිබේ. ගුරු විදුහල්පති වර්ජනය දිගින් දිගටම ඇදී යාමත්, විෂය මාලා ආවරණය කිරීමට නොහැකි වීමත්, විභාග අයදුම්පත් ඉදිරිපත් කිරීමට බොහෝ විදුහල්පතිවරුන් මෙතෙක් කටයුතු නොකිරීමත් මෙම සැකයට තුඩු දී තිබේ.

මේ වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිත වූ අ.පො.ස. උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වීමටත්. ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත වූ 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වැනි දිනයේ පැවැත්වීමටත් දැනට සැලසුම් කර තිබේ.  විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අ.පො.ස. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය යළිත් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන නොමැති බවයි. 
අ.පො.ස. උසස් පෙළ හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම් පත් භාර ගැනීම පසුගිය සැප්තැම්බර් 15 වැනිදායින් අවසන් විය. අවස්ථා කිහිපයකදීම අයදුම්පත් භාර ගැනීමේ දිනය කල් දැමීමට සිදුවූයේ පවතින කොවිඩ් තත්ත්වය නිසා පාසල් වසා තැබීම හා පසුගිය ජූනි මාසයේදී ආරම්භ කෙරුණු ගුරු විදුහල්පති වැඩ වර්ජනය හේතුවෙනි.  ගුරු විදුහල්පතිවරුන්  ඔන් ලයින් ඉගැන්වීම්වලින් සහ සියලු විභාග කටයුතුවලින්ද ඉවත් වන්නට තීරණ කිරීම හේතුවෙන් 2021 මාර්තු මාසයේ පැවැත්වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලද ප්‍රමාදවීමේ වාතාවරණයක් තුළ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් ඉදිරිපත් කිරීමද ඇනහිටියේය. 

ගුරු විදුහල්පති වෘත්තීය සමිති කියා සිටියේ තම ඉල්ලීම් ඉටුවන තුරු අ.පො.ස. උසස් පෙළ හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් පත් ඉදිරිපත් නොකිරීමට තමන් තීරණය කළ බවයි. එම ගැටලුව විසඳීමට අවශ්‍ය නම් එක්කෝ තම ඉල්ලීම් ලබාදීම හෝ නැතිනම් අයදුම්පත් සම්පූර්ණ කිරීමේ දිනය දිගු කිරීමට අමාත්‍යංශය පියවර ගත යුතුයැයි ඔවුහු කියා සිටියහ.

විභාග සඳහා අයදුම්පත් භාර ගැනීම සැප්තැම්බර් 15 දිනයෙන් අවසන් වුවද පැවති වාතාරණය යටතේ බොහෝ සිසුන්ට නියමිත දිනයේ තම අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ ඒවා විදුහල්පතිවරුන් විසින් ඉදිරිපත් කළ යුතු වූ බැවිනි. බොහෝ විදුහල්පතිවරුන් වැඩ වර්ජනයේ යෙදී සිටි හෙයින්  අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනයට උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සිටින පාසල් 354න් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණේ පාසල් 16ක් පමණි. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සිටින පාසල් 3283න් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණේ පාසල් 944ක් පමණි. ඒ අනුව අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන් සහිත පාසල් 338 ක්ද, ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් සිටින පාසල් 2339 ක් ද තවමත් අයදුම්පත් සම්පූර්ණ කර ඉදිරිපත් කර නොමැත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය පසුගිය 15 වැනිදා වුවද මෙතෙක් අයදුම්පත් යොමු නොකළ සිසුන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවය.

මෙවර අ.පො.ස. උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගේ අයදුම්පත්‍ර මෙතෙක් විභාග දෙපාර්තමේන්තුවට යොමු නොකළ විදුහල්පතිවරුන් ඔවුන්ට පැවරී තිබෙන රාජකාරිමය වගකීමක් පැහැර හැර තිබෙන බැවින් ඔවුන් තමන් අයත් අධ්‍යාපන කලාපය හරහා අභියාචනයක් සමඟ අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවට යොමුකිරීමේ හැකියාව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.. 

වසර 24ක් පුරා නොවිසඳුනු ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් එම වෘත්තිය සංගම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී මේ වන විට මාස දෙකහමාරකට අධික කාලයක් ගතවී තිබේ. එහෙත් ගුරු සංගම් තවමත් තම ස්ථාවරය වෙනස් කර නොමැත. ඔවුහු තම ඉල්ලීම් ඉටු කරන තෙක්  වර්ජනය අත්නොහරින බවද, මාර්ගගත ඉගැන්වීම් කටයුතුවල හා විභාග අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින බවද දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටිති. පසුගියදා පත් කළ පාර්ලිමේන්තු අනුකමිටුව මගින් කරන ලද නිර්දේශ පිළිගැනීමටද ඔවුන් සූදානම් නැත.   පාසල් යළි ආරම්භ කිරීමට පෙර තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් අවශ්‍ය යැයි ඔවුහු කියා සිටිති.  

අයදුම්පත් භාර දීමට නොහැකි වූ සිසුන් සම්බන්ධයෙන් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කළ ප්‍රකාශයට. පිළිතුරු වශයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ විකල්ප ක්‍රියා මාර්ගයක් ගන්නවා යනුවෙන් පවසන්නේ තර්ජනය කිරීමක් ලෙස තමන්ට හැඟෙන බවයි. සිසුන් ලියාපදිංචිය කළ යුත්තේ විදුහල්පතිවරුන් බවත් මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ සිදු නොකොට ගුරුවරුන්ගේ ගැටලුවට විසඳුමක් ලබා දීමට බලධාරීන් ක්‍රියා කළ යුතු බවත් ඔහු කියා සිටියේය. 

පසුගිය සතියේ ගුරු විදුහල්පති සංගම්වල සාමාජිකයෝ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සමග සාකච්ඡාවක් පැවැත්වූහ. එම සාකච්ඡාවෙන් පසු ඔවුන් මාධ්‍යයට ප්‍රකාශ කළේ එයින් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවූ බවයි. අවසානයේ ලේකම්වරයා එකඟ වී ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීමටය. එහෙත් එම හමුව මෙතෙක් සිදුවී නැත.

මේ අතර උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර පමණක් සැප්තැම්බර් 21 දින වන විට යොමු කර අවසන් කිරීමට තමන් තීරණය කළ බව දැනට වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණව සිටින විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය. එහෙත් ශිෂ්‍යත්ව විභාග අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමට ඔවුන් තීරණය කර නොමැත. එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා ප්‍රකාශ කළේ උසස් පෙළ විභාගය සඳහා දරුවන් සූදානමින් සිටින හෙයින් දරුවන් ගැන සිතා තමන් මෙම තීන්දුවට එළඹි බවයි. මෙම ගැටලුව දිග්ගැස්සූවේ රජය බවද, කෙසේ නමුදු මේ වසරේ උසස් පෙළ විභාගය පැවැත්වීමට අවස්ථාව සලසා දීමට තමන් තීරණය කළ බවද, ශිෂ්‍යත්ව විභාගය සඳහා තමන් ඉල්ලුම්පත්‍ර යොමු නොකරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ අනුව සියලු අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබුවොත් උසස් පෙළ විභාගය මේ වසරේ නියම කර ඇති දිනට පැවැත්වීමේ හැකියාවක් පැවතියද ශිෂ්‍යත්ව විභාගය කෙදිනක පැවැත්වීමට හැකිවේදැයි කිව නොහැකිය.

මේ අතර සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය වී නොමැති හෙයින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කල් දැමීමට පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය ඉල්ලා සිටී. එහි ප්‍රධාන ලේකම් ශෙහාන් දිසානායක ප්‍රකාශ කළේ  විෂය නිර්දේශ ආවරණය කර ගැනීමට සුදුසු වටපිටාවක් නොමැතිව විභාගයට දින නියම කර තිබීම දරුවන්ට කරන බලවත් අසාධාරණයක්. බැවින් විභාග පැවැත්වීම සඳහා අවම වශයෙන් මාස තුනක්වත් ලබාදිය යුතු බවයි..

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව එළඹෙන අයවැයෙන් විසඳන තුරු ඔන්ලයින් ක්‍රමයට රාජකාරියේ නිරත වූ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට  සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන දෙමස සඳහා රුපියල් 5000 දීමනාවක් ලබා දීමේ චක්‍රලේඛය පසුගිය 17 දා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ. එමෙන්ම ගුරු විදුහල්පති සේවය සහ ගුරු උපදේශක සේවා සංවෘත සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය ලබන නොවැම්බර් මාසයේ නිකුත් කරන බවද ඉතිරි නිර්දේශ සය මසක් තුළ ක්‍රියාත්මක කරන බවද මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කර තිබේ. එහෙත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයන් කියා සිටින්නේ තම වැටුප් විෂමතාව විසඳන තෙක් තමන් සේවයට නොපැමිණෙන බවය. මෙම වර්ජනයට ගුරුවරුන් 2,47,000 පමණ පිරිසක් හා, විදුහල්පතිවරුන් 16,000ක පමණ පිරිසක් සහභාගී වී සිටිති.

මේ අතර පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹි ඇතැයි  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මාධ්‍යයට පවසා තිබේ. ඔහු සඳහන් කළේ පෙරපාසල්ද ඇතුළුව 1 සිට 6 වසර දක්වා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවති බවයි.

පෙර පාසලේ සිට 5 දක්වා හෝ 6 දක්වා පන්ති ආරම්භ කිරීම කළ යුතුයි කියලා සාකච්ඡා කළා. දින වෙන් කිරීම සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා ඉදිරි සති දෙක තුන ඇතුළත තීන්දු කරනවා. ප්‍රථමයෙන්ම 200ට අඩු දරුවන් සිටින පාසල් 5,000ක් තියෙනවා. ඒවා ආරම්භ කරනවා. එහිදී ප්‍රමුඛත්වය ලබාදෙන පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. ඒවාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවශ්‍ය මාර්ගෝපදේශ ලැබෙයි. යනුවෙන් ප්‍රකාශ කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා