2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

කොළඹට ඇවිත් පාට් දැමූ හම්බන්තොට චණ්ඩි නගරාධිපති

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 28

කටුස්සගේ කරේ රත්‍රං බැන්දම අං එනවා වගේ යැයි කතාවක් පසුගිය දිනෙක මාධ්‍ය ඔස්සේ කීවේ රටේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙකි. ඊට පසුබිම කොළඹ දිස්ත්‍රික්කයේම තවත් දේශපාලනඥයකු සමඟ ඇතිවූ කතාවක් දුරදිග යාම හා සම්බන්ධය. එය එපමණය. මේ සිදුවීමත් තනතුර හා බලය අවභාවිත කිරීමක් ගැනය. එයත් කටුස්සගේ කරේ රත්‍රං බැන්දා වැනි දෙයකි. එහි පසුබිම් කතාව ගෙතෙන්නේද ප්‍රාදේශීය දේශපාලකයකු වටාය. ඔහු දකුණුලක කෙළවරේ හම්බන්තොට නගරාධිපතිවරයාය.
තනතුරත් නිල බලයත් අධි මානසිකත්වයෙන් සලකා එය අවභාවිත කරමින් සිය චරිතය පමණක් නොව තම දේශපාලන පක්ෂය හා තනතුරේ ගෞරවයත් නසාගත් ඔහුගේ කෙරුවාව බම්බලපිටිය පොලිස් පොතේ ලියැවී තිබේ. එම පැමිණිල්ල වැඩිදුරටත් ලියැවී ඇත්තේ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඉඩමකට අයුතු ලෙස ඇතුල් වී එහි සිටි අහිංසකයන් දෙදෙනකුට පහර දී තුවාල සිදුකර ඇති බව සඳහන් කරමිනි.

කොළඹ 04 බම්බලපිටිය කොතලාවල ඇවනිව්හි පිහිටි මූල්‍ය වටිනාකමින් අගනා බිම්කඩකි. රාත්‍රී කාලයේදී හදිසියේම එහි කඩාවැදුණු මෙම නගරාධිපතිවරයා එම ස්ථානයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් දෙදෙනකුට පහරදී තිබුණි. සිදුවීම වාර්තා වූයේ ඉකුත් 15 වැනිදාය. පහර කෑමෙන් තැලීම් සීරීම් සමඟ තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගනු ලැබීය.

පහරදීම සිදුවූ බව කියන ඉඩමට දෙපාර්ශ්වයක් හිමිකම් කියන බව කියැවේ. කාලයක පටන් හිමිකාරීත්වය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින නිසා ඒ පිළිබඳ නීතියේ පිහිට පතා ඇත. ඒ අනුව පවතින ඉඩම් ආරවුල විසඳීම අපේක්ෂාවෙන් පොලිසිය මැදිහත්ව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමක්ද සිදුකර ඇත. මෙකී සිදුවීම පාදක කොටගෙන දෙපාර්ශ්වය විසින්ම ඉඩමේ ආරක්ෂාව සඳහා යැයි කියමින් වෙන් වෙන් වශයෙන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු යොදවා සිට ඇත. එවැනි තත්ත්වයක් තුළ මීට සබඳකම් කියන හම්බන්තොට නගරාධිපතිවරයා ඊට පෙරදිනකද අනවසරයෙන් ඉඩමට ඇතුල් වී ඇති බව කියයි. ඒ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට කරුණු වාර්තා වී ඇතැයිද පැවසේ.

කෙසේ වෙතත් පසුගිය 15 වැනිදා සිදුවූ බව කියන පහරදීම සම්බන්ධයෙන් නගරාධිපති එරාජ් ප්‍රනාන්දු යන අය බම්බලපිටිය පොලිසිය වෙත පැමිණ බාර වී තිබුණි. එහිදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි ඔහුට සමථ මණ්ඩලයේ පෙනී සිටින ලෙසට උපදෙස් ලබාදී ඇත. මෙසේ උපදෙස් ලබාදෙමින් ඇප ලබාදීම සිදුකර තිබුණේ පසුගිය 19 වැනිදාය. මෙම පහරදීම සම්බන්ධයෙන් කියැවුණේ පහර කෑ එක් අයකුගේ දතකට හානි සිදුව ඇති බවකි. පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වූයේද එය සනාථ කරන සාධකය. 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ කොතලාවල ඇවනිව් ඉඩමට පැමිණි ප්‍රාඩෝ රථයක් හා තවත් රථයක පැමිණි පිරිස ආරක්ෂක නිලධාරීන්ට පරැෂ වචනයෙන් බැණ වැදී පහරදී තිබෙන බව වාර්තා වේ.
පොලිස් ඇප ලැබුණු නගරාධිපතිවරයා එම අවස්ථාවේ මාධ්‍යය කියා තිබුණේ මෙවැන්නකි. 

සිද්ධිය වුණා කියන ඉඩම වසරකට වැඩි කාලයක ඉඳලා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. ඔවුන් දෙන්නා බලන්න ගිය වෙලාවක මෙහෙම සිදුවීමක් වුණා කියලයි මට එන්න කීවේ. මම පොලිසියට ගිහින් කටඋත්තරයක් දුන්නා. මම හම්බන්තොට නගරාධිපති නිසයි මෙච්චර කතා වෙන්නේ. මම ඉඩම් අල්ලන්න ගියා කියලයි කතා වෙන්නේ.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් එරාජ් ප්‍රනාන්දු මහතාගේ පැරණි කතාද තිබේ. එවකට යූ.එන්.පී.යේ මන්ත්‍රීවරැ පිරිසක් රාජ්‍ය ආයතනවලට ඇතුල්වීමට බලයක් ඇතැයි කියමින් මත්තල ගුවන්තොටුපළ පරීක්ෂා කිරීමට එයට ඇතුල් වී තිබිණි. එහිදී එරාජ් ප්‍රනාන්දු නගරාධිපතිවරයා පිස්තෝලයක් අතැතිව පිරිස පසුපස පන්නා ගිය බව වාර්තා විය. ඒ සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයකදී නගරාධිපතිවරයා ප්‍රකාශ කොට තිබුණේ තමා අත වූයේ ප්ලාස්ටික් සෙල්ලම් පිස්තෝලයක් බවය. කෙසේ වෙතත් සිදුවීමට එරෙහිව ඔහුට සිරදඬුවමක්ද නියම විය. මෙය 2015දී සිදුවූවකි.

මෙම සිදුවීමද ඊට පෙර වසරේ 2014දී සිදුවූවකි. එහි කතානායකයාද මෙම නගරාධිපතිවරයාමය. වීදි නාට්‍ය කණ්ඩායමකට හා විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් කිහිප පොළකට පහරදීම හා බියවැද්දීම එම චෝදනාවයි. ඒ සම්බන්ධයෙන් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු දින ගණනක් රක්ෂිත බන්ධනාගාරගත විය. එම පහරදීම හා බලපෑම සිදුකරන අවස්ථාවේදීත් ඔහු අත පිස්තෝලයක් තිබූ බව වාර්තා විය. පසුව නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ සිදුවීමට ගිය ගැටුමක් තමා මැදිහත්ව නිරාකරණය කළ බවකි. එහිදී කියා තිබුණේ ගැටුම අතර තමාගේ අත බැඳි අත් ඔරලෝසුව නැති වූ බවය. එවකට එහි වටිනාකම රැපියල් ලක්ෂ තුනහමාරක් බවද කියැවිණ.

ඇතැම් මහජන නියෝජිතයන් හැසිරෙන්නේ බලයෙන් උමතු වූ ලෙසය. පසුගිය දිනෙක බන්ධනාගාර දෙකකින් අසන්නට ලැබුණේද එවැනි බලය අනිසි ලෙස භාවිතයකි. එබැවින් රටේ දේශපාලන බලය දාමරිකයන් හා නූගතුන් අතට පත්වීම බරපතළ හානියක් බව ලියා තබමු.

 සමන්ත විල්තෙර