2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

රටම තිගැස්සූ ඥානසාර හිමිගේ කුමන්ත්‍රණ හෙළිදරව්ව

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 73

පාස්කු ප්‍රහාරය වැනි වූ තවත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් රට හමුවේ පවතින බවට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පසුගියදා ප්‍රසිද්ධ රූපවාහිනී සාකච්ඡාවකදී අනාවරණය කළහ. එය රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ බරපතළ ප්‍රකාශයකි. මේ කතාවත් සමඟ රටේ මහජනතාව භීතියට පත්ව නැතැයි කීම මුසාවකි. 

එම ප්‍රකාශය අතරතුර හෙළි වූයේ ගෙවෙමින් තිබෙන සැප්තැම්බර් මස 4 සහ 9 වැනිදා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපි දෙකක් ලියා ඇති බවකි. එහි එක් ලිපියක උපුටා ගැනීමක විස්තර කෙරුණේ ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට සිදුකෙරෙන කුමන්ත්‍රණ හා අන්තවාදී බලපෑම සම්බන්ධයෙනි& යන මාතෘකාව යටතේය. එහි එක් පරිච්ඡේදයක සටහන්ව ඇත්තේ සිවිල් සංවිධාන හා පුද්ගලයන් මගින් ආරක්ෂක අංශ පසුබෑමට පත්වන ආකාරයේ ක්‍රියාදාමයක් දියත් කර ඒ තුළින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන සැලසුමක් රට තුළ ක්‍රියාත්මක විය හැකි බවය. කුඩා ආරක්ෂක හිදැස්වලින් රිංගා පාස්කු ප්‍රහාරය වැනි අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් රට හමුවේ ඇත. එබැවින් අන්තවාදය මගින් ගොඩනැගෙන ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ කෙටිකාලීන විසඳුමක් හා රට තුළ දැනට සිටින අන්තවාදී මතවාද ව්‍යාප්ත කරන්නන් හඳුනාගෙන ඔවුන් නීතියේ රුහැනට කොටු කරගත යුතුය යනුවෙනි.

මෙම බරපතළ තොරතුර අනාවරණය කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් කියා සිටියේ තොරතුරු හා සාක්ෂි සහිතව වගකීමෙන් ඉදිරියේදී නැවත ප්‍රහාරයක් සිදුවීමේ අවදානම ගැන ප්‍රකාශ කළ බවය. උන්වහන්සේ එය මනාව ඔප්පු කළ හැකි බවද කියා සිටියහ. ඒ අතර 2013 වසරේ සිදුවීමක් උන්වහන්සේ සිහිපත් කළහ. ඒ මහරගම පැවැත්වූ බොදුමහ සමුළුව පිළිබඳවය. එහිදී ඥානසාර හිමියෝ මෙසේ පැවසූහ.

බෞද්ධයන් වෙනුවෙන් අපි බොදුබල සේනාවක් ගොඩනැගුවා. මම ආරාධනා කළා කතෝලිකයන්ටත් කරුණාකරලා කිතු සේනාවක් හදාගන්න කියලා. අපට අනාගතයේදී මහ භයානක අනතුරකට මුහුණ දෙන්න වෙනවා කීවා. එහෙම කියලා පස්සෙ දවසක නිල නිවෙසට ගිහින් කාදිනල්තුමා මුණගැහුණා. එතනදි කීවා පුළුවන් නම් හලාවත සිට පෑලියගොඩ දක්වා ඔබතුමාගේ මීසම්වල කතෝලික පියතුමන්ලා සහ බාරකරුවන් මෙම ස්ථානයට රැස් කරලා දෙන්න කියලා. අප ළඟ තිබෙන තොරතුරු බෙදාගන්න පුළුවන් කියලා. අනිවාර්යෙන් කතෝලිකයන්ට එරෙහිව ප්‍රහාරයක් එන්න නියමිතයි කියලා කීවා. මේ කතාව 2017 දී කීවේ. ඒක කියන්න හේතුවක් තිබුණා. මේක ආගමික ප්‍රශ්නයක් මතු කළා නොවේ. අපි අවුරුදු 15ක් පමණ ගවේෂණය කළා. ඒකට අදාළ සෑම ලේඛනයක්ම අප සතුයි.

මේ තොරතුරුවලට අදාළව ලොව රටවල් ගණනාවක ම්ලේච්ඡ ප්‍රහාර පිළිබඳ අධ්‍යයන තොරතුරු තිබුණු බවද උන්වහන්සේ කීහ. එම අවස්ථාවේ කාදිනල්තුමන් ඊට එකඟ වූ නමුත් ඇතිවූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් එය ඇහිරී ගිය බව ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ. වැඩිදුරටත් උන්වහන්සේ කියා සිටියේ රට තුළ සිදුවන ඉස්ලාම් උන්මන්තක අන්තවාදී වැඩ නිසා සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් පවා හෙම්බත්ව සිටි බවකි. ඊට හේතුව වහාබිසම් හා සලබිසම් මතවාද දෙක තුළ සංවිධානය වූ කණ්ඩායම් කිහිපයකි. තබ්ලික් ජමාත්, තවුහිද් ජමාත්, ජමාතේ ඉස්ලාම්, ඉක්වාන් මුස්ලිම් යන සංවිධාන හතර ප්‍රධානය. ඔවුන් විසින් මුස්ලිම් ජන සමාජය පීඩාවට පත් කරමින් සිටින බවද කියැවිණි. තමා සතුව මෙම ප්‍රකාශයට අදාළ ලිඛිත සාක්ෂි 2007 වසර සිට පවතින බවද උන්වහන්සේ කීහ. එවකට අලවි මවුලානා මහතා වහබ්වාදී වැඩපිළිවෙළ දිනක රටේ ආරක්ෂාවට තර්ජනයක් වනු ඇතැයි කියා තිබිණි. එසේම දවටගහ පල්ලිය මගින්ද එය ප්‍රකාශ කර තිබිණි. මේ කතාව වෙනුවෙන් මුස්ලිම් නායකයන් පෙනී සිටි බවද වාර්තා විය. 2010 වසරේ සැප්තැම්බර් 10 වැනිදා දවටගහ පල්ලියේ රියාද් සාලි විසින් එවකට ජනාධිපති හා ආරක්ෂක ලේකම්වරයාට වහාබ්වාදය පිළිබඳ දන්වා ලිපියක් ලියා මාධ්‍යයට කරුණු දන්වා තිබුණේ වහාබ්වාදයට එරෙහිව වහාම පියවරක් ගන්නා ලෙසය. මේ අතර ලොව වටා බිහිවූ මුස්ලිම් ත්‍රස්ත කල්ලි පිළිබඳවද අවධානයෙන් සොයාගත් තොරතුරු රාශියක් ඥානසාර හිමියන් සතුව තිබිණි.

මෙවැනි බරපතළ කරුණු හෙළි කරමින් ඥානසාර හිමියන් සිදු කළ ප්‍රකාශයට පසුව අගරදගුරු නිවෙසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිරිල් ගාමිණී පියතුමා අදහස් දැක්වීය. 
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ රෑපවාහිනී වැඩසටහනකදී හෙළිදරව් කළේ අතිශය වැදගත් කරුණක් සම්බන්ධවයි. ඊට අපගේ අවධානය යොමුව තිබෙනවා. පාස්කු ප්‍රහාරය වැනි තවත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම තිබෙන බවත් එය ඕනෑම මොහොතක සිදුවිය හැකි බව හෝ පුපුරවා දැමිය හැකි බවත් ඒ සඳහා අවි ආයුධ සූදානම් බවත් උන්වහන්සේ පැවසුවා. ප්‍රහාරය පිළිබඳ තොරතුරු සාක්ෂි උන්වහන්සේ සතු බවත් ඔප්පු කළ හැකි බවත් කියනවා. ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම් හා සිටින ප්‍රදේශ පවා දන්නා බවද ප්‍රකාශ කළා. ඉදිරියේදී එල්ල විය හැකි යැයි කියන ප්‍රහාරය පිළිබඳ හෙළිදරව්ව පිළිබඳ අවධානය යොමුකර අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසත් එමගින් ප්‍රහාරය වළක්වන ලෙසත් ඊට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසත් පොලිස්පතිවරයාට බල කරන ලෙස දන්වනවා. 2017 වසරේදී කතෝලික ජනතාවට ප්‍රහාරයක් එල්ල වන බව කාදිනල් හිමියන් දැනුම්වත් කළ බව කියන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. 2017 වසරේදී හමුවූ මොහොතක මුස්ලිම් අන්තවාදය පිළිබඳව කරුණු කීවා. නමුත් පාස්කු ප්‍රහාරය අවසන් වන තෙක් කතෝලික ජනතාවට එරෙහිව ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බව ආරක්ෂක අංශ, පොලීසිය, ඥානසාර හිමි හෝ වෙනත් අයකු විසින් කාදිනල් හිමියන් දැනුම්වත් කළේ නැහැ.* 

මේ අතර තවත් රහස් කරුණක් පිළිබඳව ඥානසාර හිමියෝ හෙළිදරව් කළහ. එහිදී කියැවුණේ උලමා සභාව නියෝජනය කරන පිරිසක් විසින් ජූලි මස 7 වැනිදා පැවැත්වූ සාකච්ඡාවක් පිළිබඳවය. එය අන්තර්ජාල සූම් තාක්ෂණය ඔස්සේ පැවති එකක් බවද කීහ. පාස්කු ප්‍රහාරයට පසුව ආණ්ඩුව ගෙන ආ පනතකි. එය අන්තවාදීන් පුනරුත්ථාපනය කිරීම* නම් එකකි. මේ පනත ගෙන ඒමත් සමඟ මුස්ලිම් සංවිධාන කලබලයට පත්ව ඇත. මානව හිමිකම් සංවිධාන හා ජිනීවාවලට දන්වා මෙකී පනත වළක්වා ගැනීමට එම සංවිධාන උත්සාහ කර තිබිණි. මෙසේ පෙන්වා දෙමින් ඥානසාර හිමියන් කීවේ මෙවැනි සංවිධාන හා පුද්ගලයන්ට රටේ සාම්ප්‍රදායික මුස්ලිම් මව්පියවරු විසින් ගල් ගසා එළවීම සිදු කළ යුතු බවය.

පෙර කී සූම් තාක්ෂණය මගින් පැවති සාකච්ඡාවට 70ක තරම් පිරිසක් සහභාගි වී සිටි බව හෙළි කෙරිණි. එම සාකච්ඡාවල වැදගත් හඬපට සියල්ල තමා සතුව ඇතැයි කියමින් ඥානසාර හිමියෝ එම කරුණු අනාවරණය කළහ. එම සාකච්ඡාව පැය 2යි මිනිත්තු 45ක් පමණ පවත්වා ඇති බවද කියැවිණි. එහිදී ප්‍රධාන මාතෘකා හතරක් පිළිබඳව කරුණු සාකච්ඡා කර තිබිණි. අරාබියේ රචිත කුරාණය සිංහල හා දෙමළ භාෂාවට පරිවර්තනය කළ කෘති අතුරින් එක් පරිවර්තනයක් පමණක් ලංකාව තුළ භාවිත කිරීම, මත්තප් හා මද්‍රසා පාසල් නියාමනය කිරීම, පාස්කු ප්‍රහාරයට පසුව රජය ගෙනා පනත පිළිබඳ කරුණු, මුස්ලිම් විවාහ හා දික්කසාද පිළිබඳ කරුණු එසේ සාකච්ඡාවට ලක් කර ඇත. මෙම කරුණු හෙළි කරමින් ඥානසාර හිමියන් පවසන්නේ මෙවැනි සුදු පිරුවට ඇඟලා සිටින පිරිස් මහා අපරාධකරුවන් බවය. ඔවුන් සහරාන්ට වඩා බලවත් බවද උන්වහන්සේ කියති. එසේම ඉස්ලාම් ආගම නොඅදහන පිරිස් කාෆීර්වරු ලෙස අර්ථ දක්වා ඉස්ලාම් ආගම පමණක් සත්‍ය ආගම වශයෙන් පිළිපැදිය යුතු බවද කියා ඇත. මේ ආකාරයෙන් ඥානසාර හිමියෝ පාස්කු ප්‍රහාරය හා සමාන තවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇති බව පෙන්වා දෙති.

මේ අතර පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කළ යුතු බවකි. උන්වහන්සේ හා තවත් අයගේ වැඩපිළිවෙළ මත රටේ හලාල් ප්‍රශ්නයක් මතු වූ බවද සිංහල මුස්ලිම් ගැටලුවක් නිර්මාණය වූ බවද ඉදිරියේ කතෝලික හා බෞද්ධ ජනතාව අතර ගැටුමක් ඇතිකිරීමට පිරිසක් අරඅදින බවද කියා සිටියේය. විරුද්ධ දේශපාලන පක්ෂ නායකත්වයට බලපෑම් කරගෙන සිංහල බෞද්ධ හා ඉස්ලාම් ආගමික මුස්ලිම් ජනතාව අතර ගැටුමක් නිර්මාණයට අරඅදින බවද ඔහු පැවසීය.

මේ අයුරින් ඥානසාර හිමියන්ගේ හෙළිදරව්ව ඉතා බරපතළය. ගිනිපෙනෙල්ලෙන් බැට කෑ ජනතාව කණාමැදිරි එළියට බිය විය යුතුය. පාස්කු ප්‍රහාරයේ මෙන්ම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයේ මතක තවමත් ඉතිරිව පවතී. එබැවින් ජනාධිපති, ආරක්ෂක ලේකම් හා සියලු බුද්ධි හා ආරක්ෂක අංශවල අවධානය ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00