2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

දකුණේ භූ කම්පන මහා විනාශයක පෙරනිමිත්තක්ද?

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 30

සුනාමි ඛේදවාචකයේ බිහිසුණු මතක හා අත්දැකීම් තවමත් එසේමය. කාලගුණික හා පාරිසරික වශයෙන් සැලකෙන අනතුරු ඇඟවීම්වලින් ජනතාව තවමත් භීතියට පත්වෙති. වැසි, සුළං, මුහුදේ ස්වභාවය හා මුහුදු රැලි උස පිළිබඳ නිවේදන නිකුත් කිරීමත් ධීවර හා නාවික ප්‍රජාවට එහි අවදානම දැනුම් දීමටත් සිදුවන පසුබිමක ගොඩබිම හෝ මුහුදු පතුලේ භූ කම්පන සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කාර්යාංශය වාර්තා කිරීම තුළ ජනතාව වඩාත් බියට පත්වෙති.

එවැනි අනියත බියක් අවශ්‍ය නොවුණත් භූ විද්‍යා හා පතල් කාර්යාංශය එකී අවදානම් තත්ත්ව පිළිබඳව විමසිල්ලෙන් පසුවෙයි. පසුගිය දිනවලදී එසේ නිකුත් කළ භූ කම්පන සම්බන්ධයෙන් වූ නිවේදනය පිළිබඳව විමසීම වැදගත්ය. ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ ඉකුත් 3 වැනිදා සිදුව ඇති භූ කම්පන මාලාව නැවත මෙරටට සුනාමියක පෙරනිමිත්තක් ගෙන ආවේද? පසුගිය 12 වැනිදා හම්බන්තොටට කිලෝමීටර් 160ක් ඈතට වන්නට ගිනිකොණ දෙසින් මුහුදේ හටගත් භූ කම්පනය තවත් අනතුරක සේයාවක්ද? යන්න පිළිබඳ ජනතාවගේ බිය සාධාරණය.

භූ කම්පන මාලාව ආරම්භ වී තිබුණේ ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි ඉන්දු ඔස්ට්‍රේලියා හා යුරෝ ආසියා නම් භූ තැටි මායිමේය. එය ස්ථාන දෙකකදී සිදුව තිබෙන අතර ප්‍රබලම භූ කම්පනය අන්දමන් හා නිකබාර් දූපත් ආසන්නව සිදුව ඇත. එය රිච්ටර් මාපක 6.1ක් ලෙස සටහන්ව තිබිණි. මෙහි අපි කේන්ද්‍රය මුහුදු පතුල සිට කිලෝමීටර් 10ක් පමණ දුරකින් පිහිටි ප්‍රදේශයකි. එහි ප්‍රථම භූ කම්පනය සුමාත්‍රා දූපත් ආසන්නයේ සිදුව තිබිණි. අනතුරුව තවත් පසුකම්පන තුනක් සිදු විය.

ප්‍රථම භූ කම්පනය එදින අලුයම 2.05ට රිච්ටර් මාපක 4.5ක අගයකින්ද දෙවැනි කම්පනය රිච්ටර් මාපක 5.08ක අගයකින්ද ඒ ආසන්න ස්ථානයක සිදුව තිබිණි. එහි වෙලාව අලුයම 4.18 ලෙස වාර්තා විය. තුන්වැනි කම්පනය අලුයම 4.30ට හා හතරවැනි භූ කම්පනය අලුයම 4.31 වශයෙන් සිදුව තිබිණි. මේවායේ රිච්ටර් මාපක අගය පිළිවෙළින් 4.06 හා 5.08 ලෙස සඳහන් විය.

එම කම්පන මාලාව ආරම්භ වීමෙන් පසුව අන්දමන් හා නිකබාර් දූපත් ආසන්නව භූ කම්පන 5ක් සිදුව ඇති බවද සටහන්ව තිබිණි. ඒවා පෙරවරු 6.27ට රිච්ටර් මාපක 4.06ක අගයකින්ද පෙරවරු 7.21ට රිච්ටර් මාපක 5.03ක අගයකින්ද උදේ 9.12ට රිච්ටර් මාපක 6.01ක හා 5.03ක අගයන්වලින් කම්පන දෙකක් සිදුව ඇතැයි වාර්තා විය. ඉන් විනාඩියකට පසුව උදේ 9.13ට රිච්ටර් මාපක 5.08ක තවත් භූ කම්පනයක් සිදුව ඇති බවද වාර්තා විය.
එක් ප්‍රදේශයක මෙසේ භූ කම්පන මාලාවක් සිදුවීම සම්බන්ධයෙන් භූ විද්‍යාඥයන් අදහස් පළ කර තිබුණේ තත්ත්වය පිළිබඳ අවදානමක් පෙන්වමිනි.

මේ ආකාරයට සුමාත්‍රා දූපත් ආශ්‍රිතව භූ කම්පන 4ක් හා අන්දමන් දූපත් අසල භූ කම්පන 5ක් සිදුව ඇත. ඒවා මුහුදු පත්ල සිට කිලෝමීටර් 10ක තරම් ගැඹුරක සිදුව ඇතැයි හඳුනාගෙන තිබේ. එම දුර ප්‍රමාණය භූ විද්‍යාවේදී අඩු ගැඹුරක් වශයෙන් සලකනු ලබයි. එවැනි ගැඹුරක සිරස් අතට ප්‍රබල භූ කම්පනයක් ඇතිවන්නේ නම් එය සුනාමි අවදානමක් පවතින බවට කියැවේ. කෙසේ වෙතත් පසුගියදා හටගත් භූ කම්පනවලින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය නිවේදනය කළේය.

මීට මාස කිහිපයකට ඉහතදී දිවයින මධ්‍යයේ මහනුවර හා බදුල්ල ආශ්‍රිතව භූ කම්පන මාලාවක් සිදුව තිබිණි. ඉන් රාශියක් වාර්තා වී තිබුණේ වික්ටෝරියා ජලාශයට නුදුරු දිගන හා තෙල්දෙණිය ආශ්‍රිතවය. මෙම භූ කම්පනවලට ප්‍රධාන හේතුව ලෙස භූ විද්‍යාඥයන් පෙන්වා දුන්නේ එම ප්‍රදේශවල හුණුගල් කැඩීමය. එහෙත් ඇතැමුන් පෙන්වා දෙන්නේ හුණුගල් කැඩීම සඳහා බෝර දැමීම සිදු කළද ඒවා භූ කම්පන සිදුවීමට හේතුවක් නොවන බවය. මෙවැනි දේ පිළිබඳව මෙරට පවතින්නේ බොහෝ මිත්‍යා මත බව කිව යුතුය. එවැනි මතවල නොරුඳී පැහැදිලිව විද්‍යාත්මකව සලකා බලා තර්කානුකූලව අදහස් ඉදිරිපත් කිරීම බලධාරීන්ගේ යුතුකමය.

සුනාමි ඛේදවාචකය ලංකාවට බලපෑවේ 2004 වසරේදීය. ඒ වන විට ලංකාවේ භූ කම්පන මාන ස්ථාපිත කොට තිබුණේ නැත. එම භූ කම්පන මාන පිහිටුවීමට නිර්දේශ ලබා දී තිබුණේ මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල මහතා විසිනි. ඒ අනුව දැන් දිවයින ආවරණය කරමින් එකී භූ කම්පන මාන පිහිටුවා තිබේ. ඇතැම් තැන්වල විශාල භූ කම්පන පමණක් සටහන් වන අතර සමහර ඒවායේ සුළු කම්පන පවා සටහන් වෙයි. පසුගිය කාලයේ මෙරට වාර්තා වූ භූ කම්පනවලින් රටට බලපෑමක් නොවිණි. රිච්ටර් මාපක පරිමාණ 5.0කට වැඩි භූ කම්පනයක් සිදුවුවහොත් එය රටටම දැනෙන එකක් විය හැකිය. එවැන්නකදී රටේ ගොඩනැගිලි වැනි දේපළ සඳහා විශාල ලෙස හානි සිදුවීමට හැකිය. මේ අතර රිච්ටර් පරිමාණ 7.0කට වැඩි කම්පනයක් සිදුවවහොත් එය සුනාමි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය. රිච්ටර් පරිමාණ 5.05කට වැඩි භූ කම්පනයක් සිදුවුවහොත් එය වික්ටෝරියා ජලාශය ඇතුළු කඳුකරයේ පිහිටි ජලාශවලට බලපෑමකි.

එබැවින් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුය. භූ කම්පන වළක්වාලිය නොහැකි නමුත් නිසි විමර්ශනවලින් සිදුවීමට හැකි හානිය අවම කළ හැකිය. එබැවින් මේ පිළිබඳ අනිසි බියක් ඇතිකර ගැනීම සුදුසු නොවේ. නමුත් තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් ලැබීම වැදගත්ය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00