2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

මහනුවර රජ වාසලට ඇමෙරිකන් ඇස

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 3462

මහනුවර ඓතිහාසික දළදා මාලිගා සංකීර්ණය තුළ පිහිටි ඉපැරණි රජමාලිගය සහ පුරාවිද්‍යා කෞතුකාගාරය සංරක්ෂණය සඳහා ඇමෙරිකානු රජය ඇමෙරිකානු ඩොලර් 265000ක (රුපියල් මිලියන 52ක) ප්‍රදානයක් සිදුකර තිබෙන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය. 

සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල හරහා මෙම ප්‍රදානය සිදුකර ඇත්තේ යුනෙස්කෝ ලෝක උරුමයක ඇති වැදගත් ගෘහ නිර්මාණ ශිල්පය, සංස්කෘතිය, අනාගත පරම්පරාවට අධ්‍යයනය කිරීමට හැකිවීමට ඉඩ සැලසීමට බව ප්‍රකාශ කර තිබේ.

වර්ෂ 2001 සිට මෙම අරමුදල රජගල ඉපැරණි ආරණ්‍ය සංරක්ෂණය, අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය, මඩකලපුව ලන්දේසි කොටුව සංරක්ෂණය සහ ජාතික උරුමයක් වන ආදිවාසී සංගීතය සහ නැටුම් සංරක්ෂණය ඇතුළු ව්‍යාපෘති 14ක් සඳහා අරමුදල් සපයා තිබේ.

මහනුවර නගරයේ සංකේතයක් වන් රජවාසල සංරක්ෂණය කිරීමෙන් සංචාරක කර්මාන්තය වර්ධනයටද පිටුවහලක් වනු ඇතැයි අමරිකානු තානාපති කාර්යාලය බලාපොරොත්තු වේ. සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල ලෝකය පුරා රටවල් 100ක පමණ මෙවැනි සංරක්ෂණ කාර්යයන් සඳහා ආධාර සපයා ඇත.

මහනුවර මුලින්ම රාජධානිය කරගත් සේනාසම්මත වික්‍රමබාහුගේ (1473-1511) පටන් රජ පැමිණි පාලකයන් 12 දෙනකු දැනට මාලිගය පිහිටි ස්ථානයේ තම මාලිගාව තනාගෙන වාසය කර තිබෙන බව ඉතිහාසයෙන් අනාවරණය වී ඇත. නමුත් මහනුවරට යන සංචාරකයන් අතරින් රජ වාසල නැරඹීමට යන්නේ සුළු පිරිසක් පමණි. දැනට පවතින රජ වාසල 1960 දශකයේදී ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කළ අතර ඉන්පසු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්ද එහි කැණීම් සහ සංරක්ෂණ කටයුතු සිදුවිය. දැනට මෙම ගොඩනැගිල්ලේ බොහෝ ස්ථාන අබලන්ව ඇති අතර නව සංරක්ෂණයෙන් එම ස්ථාන ප්‍රකෘතිමත් කිරීමටද අපේක්ෂා කෙරේ.

කන්ද උඩරට කිරුළු දැරෑ රජවරු විවිධ අවස්ථාවලදී රජ මාලිගය අලුත්වැඩියා කරවූහ. සෙනරත් රජ (1604 - 1635) කාලයේදී පෘතුගීසින් මහනුවර නගරය ආක්‍රමණය කර මාලිගය ඇතුළු ගොඩනැගිලි විනාශ කරන අතර ඉන්පසු ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසින්ද මාලිගයට හානි පමුණුවා ඇති බව සඳහන්ය. අද අපට දකින්න ලැබෙන්නේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ අලුත්වැඩියා කර වාසය කළ රජ වාසලයි. එහෙත් එයට අයත් ගොඩනැගිලි රුසක් ඉංග්‍රීසි කාලයේ විනාශ කර තිබුණි. සමහර කොටස් කඩා අලුතෙන් එක්කර තිබුණි.

1815 දී ඉංග්‍රීසින්ට උඩරට යටත් වනවිට රජු සහ බිසෝවරු වාසය කර තිබෙන්නේ මේ මාලිගයේයි. ලුතිතන් ලිට්ල්මන් 1815 දී පමණ අඳින ලද සිතියමේ මාලිගය දැක්වෙන්නේ අද පවතින ආකාරයටයි. 1815 දී ඉංග්‍රීසි උඩරට යටත් කරගත් පසුව මාලිගය උඩරට ඉංග්‍රීසි නියෝජිත ජෝන් ඩොයිලිගේ නිල නිවාසය ලෙස භාවිත කෙරුණි. එහිදී මාලිගය නිලධාරින්ගේ වාසයට අවශ්‍ය පරිදි වෙනස්කර කාර්යාල කාමර බවට පත්කර තිබේ. දැනට නොවෙනස්ව පැරණි ස්වරෑපයෙන් පවතින්නේ ඉදිරිපස දොරටුව සහ ඒ හා සම්බන්ධ ශාලාව පමණි. එහි බරාඳය කොටස දිගින් අඩි 74ක් ද පළලින් අඩි 12ක් ද වේ. දකින ශාලාව වශයෙන් යොදාගත් කොටසේ අවට දැකගත හැකි පරිදි සීමැදුරු කවුළු සකසා තිබේ.

ඉංග්‍රීසි හමුදාව 1803 දී උඩරට ආක්‍රමණය කර මහනුවර නගරයට පැමිණියහ. ඉංග්‍රීසීන් එන බව සැලවුණු විට රජු දළදා වහන්සේ රහසිගත ස්ථානයකට පිටත්කර ඥාති පිරිසත් සමඟ නගරයෙන් පිට වුණේ මාලිගාව රජ අණ පරිදි ගිනිබත් කර දැමූ පසුවයි. ඒ, ඉංග්‍රීසින්ට එය කොල්ලකෑමට ඇති අවස්ථාව අවහිර කිරීමටයි. ඉංග්‍රීසි ලුතිනන් කර්නල් බාබට් තම වාර්තාවේ ඒ අවස්ථාවේ මාලිගය පැවති අන්දම මෙසේ විස්තර කර ඇත:

දැවැන්ත මාලිගා ගොඩනැගිල්ල ගින්නෙන් විශාල ලෙස හානියට පත්ව තිබුණි. මෙහි තුන් පැත්තකින් ගොඩනැගිලි ඇත. මැද ආරක්ෂිත මිදුලකි. ඒ ආසන්නයේ ඉතා කුඩා ගොඩනැගිලි කිහිපයකි. මේවා මිනිසකුට හිටගෙන සිටීමට තරම් ප්‍රමාණවත් විය. ඒවායේ බිත්ති විවිධ රෑපවලින් පිරී තිබුණි. මාලිගයට ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවන විටම පෙනෙන්නේ මනා සේ කැටයම් කරන ලද ගල්කුලුණුවලින් යුක්ත මහා ශාලාවකි. ඒ කුලුනු අතර සම දුරින් ඇත්දළ දක්නට ලැබුණි. එම ශාලාව පසුකර යන විට බුද්ධ ප්‍රතිමා සහිත පිළිම ගෙයකි.

ඉංග්‍රීසි පාලකයන් දිගුකලක් රජයේ කාර්යාලයක් ලෙස රජ වාසල ගොඩනැගිල්ල භාවිත කළහ. එය මහනුවර දිසාපති කාර්යාලය ලෙසද භාවිත විය. 1948 නිදහසින් පසුත් එහි ආණ්ඩුවේ කාර්යාල පවත්වාගෙන යාම සිදුවිය. මේ නිසා පෞරාණික ස්වරෑපය බොහෝ දුරට වෙනස්ව තිබුණි. පුරාණයේ බිත්ති අලංකාර කර තිබූ සෙමෙර සලන ලියන්ගේද සිංහයන්ගේ සහ හංසයන්ගේ රෑපද මත හුණු ආලේප කිරීම නිසා ඒවා මැකීගොස් තිබුණේ සොයාගත නොහැකි ලෙසය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙහි අයිතිය හිමිවූ පසු එය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශ කළ අතර නොගැලපෙන අංග ඉවත්කර, පැරණි ආකාරය මතුවන ලෙස සංරක්ෂණය කෙරුණි. 1960 දශකයේ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සී.ඊ. ගොඩකුඹුර ඒ සඳහා මුල් විය. සංරක්ෂණය සදහා මුල් වූ එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මෙසේ සඳහන් කරයි.

සංරක්ෂණයෙන් පසු නැවතත් පැරණි ස්වරෑපය මාලිගයට ලැබුණි. එහි දැකගත හැක්කේ චාම් අලංකාරයකි. හුණු ආලේපය නිසා සුදු පැහැයෙන් දිලෙන ගොඩනැගිල්ලට ඇතුළුවීමට ඇත්තේ පලාපෙති මෝස්තර කැටයම් කළ දැව උළුවස්සකිනි. මෙහි දොර පියන් දෙකකින් යුක්ත වන අතර ජනේල 6කින් යුක්තයි.* මෙම උළුවස්ස 17 වැනි සියවසට අයත් බව ගොඩකුඹුර සඳහන් කර තිබේ.

ඉදිරිපස බිත්තිය රාජකීයත්වයේ සලකුණ වශයෙන් සැලකෙන ඉර හඳ රෑපවලින් අලංකාර කර ඇති අතර  බිත්තියේ ඇති චතුරස්‍රාකාර කොටු වටා යන සේ ගජසිංහ රෑප සහිත පිළිස්සූ මැටි පුවරු අල්ලා ඇත. මේ උළු එකල සායම් කර තිබුණු බවයි පෙනෙන්නේ. මාලිගය ඇතුළත බිත්ති චිත්‍රවලින් අලංකාර කර තිබූ බවටද සාධක හමුවී තිබේ. ගෙබිමට අල්ලා ඇත්තේ ටෙරාකොටා බිම් ගඩොල්ය. මහනුවර ලෝක උරුම නගරයක් බවට ප්‍රකාශ වුණු පසුව සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේද මෙහි සංරක්ෂණ කටයුතු තරමක් දුරට සිදුවිය.

දැනට මෙහි මහනුවර පුරාවිද්‍යා කෞතුකාගාරය පිහිටා ඇති අතර උඩරට යුගයට අයත් පුරාවස්තු රාශියක් එහි ප්‍රදර්ශනය කෙරේ. රජ වාසල සම්පූර්ණයෙන් සංරක්ෂණය සඳහා වැයවන විශාල මුදල වැය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකියාවක් නැත්තේ ඒ සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොමැති හෙයිනි. එවැනි තත්ත්වයක මෙවැනි ආධාරයකින් ලැබෙන මෙහෙය අපමණය. මේ ආධාර මුදල එම ගොඩනැගිල්ල සඳහාම විනිවිදභාවයෙන් භාවිත කරනු ඇතැයි මහජනයාගේ බලාපොරොත්තුව වේ. මක්නිසාද යත් අපේ රටේ ආධාර මුදල්වලට අත්වන ඉරණම ගැන ජනතාවට ඇත්තේ අවිශ්වාසනීය අත්දැකීම් සමුදායක් නිසාය.

 කුසුම්සිරි විජයවර්ධන