2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

ජනතාව තැබූ ජල - විදුලි බිල්පත් පොලු

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 57

අඛණ්ඩ ජල සැපයුම සහ විදුලි සැපයුම අපගේ දෛනික ජීවිතය පවත්වාගෙන යාමට කොතරම් වැදගත්ද යන්න අමුතුවෙන් පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ. එම නිසාම නළ ජල සැපයුම මෙන්ම විදුලි  සැපයුම ද  ලොව ඇති ලාභදායීම ව්‍යාපාරයකි. එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට වෙනස්ය. මෙරට ජනතාවට ජලය සහ විදුලිය සපයන ප්‍රමුඛතම රාජ්‍ය ආයතන ද්විත්වය ලාභ ලබන ආයතන නොවේ. ඊට හේතු රැසක් වන අතර ඒවා පැහැදිලි කිරීම බෙහෙවින් සංකීර්ණය. අද අප සංවාදයට බඳුන් කරන්නේ මෑතකාලීන ජල, විදුලි  සැපයුම්වලට අදාළව රජයට සිදුව ඇති එක්තරා පාඩුවක් පිළිබඳවය. කොවිඩ් වසංගත සමය තුළ ජල විදුලි බිල්පත් ජනතාව විසින් නිසි පරිදි නොගෙවීම හේතු කොටගෙන විදුලිබල මණ්ඩලයට සහ ජල සම්පාදන මණ්ඩලයට විශාල පාඩුවක් සිදුව ඇතැයි පසුගියදා වාර්තා විය. මේ විමසුම ඒ පිළිබඳවයි.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා ජල සම්පාදන මණ්ඩලය ජල බිල්පත් ගෙවීම සම්බන්ධව ජනතාවට විශේෂ දැනුම් දීමක් සිදු කළේය. ඒ අනුව ජල බිල්පත් නොපමාව ගෙවීමට කටයුතු කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියේය. අඛණ්ඩ ජල සැපයුමක් සඳහා ජල බිල්පත් නිසි වේලාවට ගෙවීම අත්‍යවශ්‍ය කාරණයක් බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිළිණ එස්. විජේතුංග මහතා සඳහන් කළේය. පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මේ වන විට ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බවද එහිදී අනාවරණය විය. මෙම ප්‍රකාශයට අනුව පවතින තත්ත්වය හමුවේ ජල පාරිභෝගිකයෝ ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරමින් සිටිති. කෙසේ වෙතත් ජල බිල්පත් ගෙවීම පහසු කිරීම සඳහා මේ වන විටත් නව ක්‍රමවේද රැසක් හඳුන්වා දී තිබේ.

වෙනදාට ජල සම්පාදන මණ්ඩලය මෙවන් ප්‍රකාශ කරමින් සිටින්නේ නැත. යමකු බිල්පත් නොගෙවා සිටින්නේ නම් පූර්ව දැනුම්දීම් කිහිපයකට පසු ඔවුහු සැපයුම අත්හිටුවති. එසේ නම් මෙම ප්‍රකාශය තුළින් විශේෂිත වූ යමක් කියැවේ. අප සංවාදයට නිමිත්ත සපයන්නේ එයයි. බිල්පත් ගෙවන ලෙස ජනතාවට ඇවිටිලි කරන තත්ත්වයට ජල සම්පාදන මණ්ඩලය ඇදවැටුණේ කෙලෙසද? මේ මොහොතේ ජල සම්පාදන මණ්ඩලය මුහුණ දී සිටින ගැටලුව කුමක්ද? අපි සොයා බැලුවෙමු.

ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම මහතා වර්තමාන අර්බුදය ගැන පසුගිය සතියේදී දේශයට පැහැදිලි කළේය. මෙම වසරේ ජනවාරි මස සිට ජූලි මස දක්වා මාස 06ක කාලයකට පමණක් ජල සම්පාදන මණ්ඩලයට පාරිභෝගිකයන්ගෙන් රුපියල් කෝටි 842ක මුදලක් අයවිය යුතුව ඇතැයි ලේකම්වරයා පවසා තිබිණි. ඔහුට අනුව මෙරට සමස්ත ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව විසි හය ලක්ෂ පනස් අටදහසකි. එයින් විසි හතර ලක්ෂ පනස් දහසක් පමණ ගෘහස්ත ජල පාරිභෝගිකයෝ වෙති. සෙසු පිරිස කර්මාන්ත සහ වෙනත් වාණිජ ව්‍යාපාරවල නියුතුවූවෝ වෙති. මෙම දෙපාර්ශ්වය අතරින් ගෘහස්ත පාරිභෝගිකයන්ගෙන් ජල සම්පාදන මණ්ඩලයට රුපියල් කෝටි 568ක පමණ මුදලක් අය විය යුතුය. වාණිජ ව්‍යාපාර සඳහා ලබා දී ඇති ජල සැපයුම් වෙනුවෙන් කෝටි 152ක හිඟයක් පවතියි. ඉතිරි කෝටි 120ක පමණ මුදලක් රාජ්‍ය සහ වෙනත් ආයතනවලින් අයවිය යුතුව තිබේ.

ලේකම්වරයා පවසන පරිදි පසුගිය සමයේ කොවිඩ් තත්ත්වය හේතුවෙන් සිය පාරිභෝගිකයන් බිල්පත් නොගෙවා සිටියද ජලය සැපයුම විසන්ධි නොකිරීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු කර තිබිණි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ මෙම සුවිසල් බිල්පත් හිඟය නිර්මාණය වීමයි. ඒ අනුව මේ වන විට  ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය අර්බුදයක් වෙත ගමන් කර තිබේ. දැනගන්නට ලැබෙන පරිදි තත්ත්වය බරපතළය. පසුගිය සමයේ ජල සම්පාදන මණ්ඩලය සිය පාරිභෝගිකයන් හට හිඟ බිල්පත් ගෙවන ලෙස විවිධ ක්‍රමවේද භාවිත කරමින් දැනුම් දී තිබිණි. නමුත් ඔවුන් හට අපේක්ෂිත ප්‍රතිඵලය ළඟා කර ගැනීමට නොහැකි විය.

ලේකම්වරයා පවසා ඇති පරිදි මේ වන විටත් හිඟ මුදල් රුස්කර ගැනීමට විශේෂිත  වැඩපිළිවෙළක් සකස් කිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ. එම වැඩපිළිවෙළෙහි  ආරම්භය ලෙස මෙම මාසයේ බිල්පත් පාරිභෝගිකයන්ට නිකුත් කිරීමේදී හිඟ බිල්පත් සතු පාරිභෝගිකයන්ට රතු නිවේදන නිකුත් කිරීමට නියමිතය. වැඩිදුරටත් දැනගන්නට ලැබෙන පරිදි දිගින් දිගටම බිල්පත් ගෙවීම පැහැර හරින පාරිභෝගිකයන්ගේ ජල සැපයුම ඉදිරියේදී විසන්ධි කිරීමටද බලධාරීන් කටයුතු කරනු ඇතැයි කියැවේ. ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පසුගියදා සඳහන් කර තිබූ පරිදි නිවාස අසලට පැමිණ ජංගම මුදල් එකතු කිරීමේ ක්‍රමවේදයක්ද මේ වන විට ජල සම්පාදන මණ්ඩලය විසින් ආරම්භ කර තිබේ.

විදුලි බිල්පත් සම්බන්ධයෙන් ද විදුලි බල මණ්ඩලය මුහුණ දී සිටින තත්ත්වය මේ හා සමානය. කොරෝනා ව්‍යාප්තිය හමුවේ දෛනික විදුලි පරිභෝජනය ද ඉහළ ගොස් තිබේ. රට වසා දමා තිබුණු කාල වකවානුවල තත්ත්වය ඉතා බරපතළ වී ඇත. 2020 අප්‍රේල්, මැයි මාසවල දී මෙන්ම පසු අවස්ථා කිහිපයකදීද විදුලි බිල්පත් සම්බන්ධ අර්බුද කිහිපයක්ම නිර්මාණය විය. බිල්පත් සංශෝධනය, සහන කාල ලබාදීම ආදී විකල්ප ක්‍රියාමාර්ග රුසක් විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණි. එම උත්සාහය යම් පමණකට සාර්ථක විය. එහෙත් ඇතැම් ගෘහස්ත විදුලි සැපයුම්වල මෙන්ම වාණිජ සහ කර්මාන්ත අවශ්‍යතාවයට ලබා දී ඇති විදුලි සැපයුම්වලද බිල්පත් හිඟය තවදුරටත් පවතියි. මෙම හිඟය ගණන් බැලෙන්නේ රුපියල් මිලියන ගණනින් නොව බිලියන ගණනිනි.

මේ හේතුවෙන් පසුගිය සැප්තැම්බර් 10  වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී එම්.ආර්. රණතුංග මහතා ද විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. අඛණ්ඩ විදුලිබල සැපයුමක් සඳහා විදුලි බිල්පත නිසි කලට ගෙවීම අත්‍යවශ්‍ය බව ඔහු කියා සිටියේය. අද වන විට ලංකා විදුබල මණ්ඩලයට අත්‍යවශ්‍ය වියදම් පියවාගැනීම සහ ජනතා අවශ්‍යතා සඳහා ඉන්ධන ලබාගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇතැයිද මෙහිදී සාමාන්‍යාධිකාරිවරයා පැවසීය. බිල්පත් ගෙවීම මගින් ලැබෙන ආදායම ඊට මහත් පිටුවහලක් බවද ඔහු සඳහන් කළේය. නිවෙසේ සිට ආරක්ෂාකාරී ලෙස විදුලි බිල ගෙවිය හැකි බවත් ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය හෝ ජංගම දුරකථන යෙදවුම භාවිත කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වෙතත් රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ හිඟ බිල්පත් එකවර මුළුමනින්ම ගෙවා දැමීම අපහසු බව බොහෝ පාර්ශ්ව විසින් දිගින් දිගටම බලධාරීන් දැනුවත් කොට තිබිණි. එම ඉල්ලීම් හේතු කොටගෙන විදුලි බිල්පත් හිඟය සම්බන්ධ අර්බුදය දිගින් දිගටම බරපතළ විය. කෙසේ වෙතත් පසුගිය සති කිහිපය පුරා පැවති සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මේ වන විටද විදුලි බිල්පත් අර්බුදය විසඳීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසන පරිදි කොරෝනා වසංගතය නිසා රට තුළ ඇති වී තිබෙන ආර්ථික පසුබෑම හේතුවෙන් විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගික ජනතාවට හිඟ විදුලි බිල්පත් කොටස් වශයෙන් ගෙවීමට මාස 24ක සහන කාලයක් දීමට රජය සූදානමින් සිටී.
කෙසේ වෙතත් විදුලිබල අමාත්‍යවරයා සඳහන් සදහන් කළ පරිදි කොවිඩ් තත්ත්වයත් සමඟ විදුලිබල මණ්ඩලයට ගත වූ මාස දෙකක කාලය තුළ දී පමණක් රුපියල් බිලියන හතළිස් හතරක මුදලක් අය විය යුතුව තිබේ. ඔහුට අනුව  විදුලි බිල්පත ගෙවීමට හැකි ජනතාව පවා විදුලි බිල නොගෙවීම හේතුවෙන් තත්ත්වය බරපතළ වී තිබේ. එම නිසාම හිඟ විදුලි බිල්පත් මාසික වාරික වශයෙන් ගෙවීමේදී ඒ සඳහා සුළු පොලියක් අයකර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි. ඉදිරි දිනවලදී ඒ සඳහා අය කර ගන්නා පොලී මුදල පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද පසුගිය සැප්තැම්බර් 21 වැනිදා ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජල සහ විදුලි බිල්පත් සම්බන්ධ අර්බුදය පොදුවේ සලකා බැලූ විට ඊට ප්‍රමුඛ හේතුව රට තුළ පවතින වර්තමාන ආර්ථික තත්ත්වය බව පැහැදිලිය. කෙසේ වෙතත් මෙය අවස්ථාවක් කොට ගනිමින් සිතා මතා බිල්පත් ගෙවීම පැහැර හරිමින් සිටින පිරිසක් ද මෙරට  වන බව කිව යුතුමය. තවද මෙම ආයතන ද්විත්වය පාඩු ලැබීමට එකම හේතුව බිල්පත් හිඟය නොවන බවද අවසානයේ සිහිපත් කළ යුතුය. එසේ නමුත් මෙම ආයතනය හුදු ලාභ ලැබීමේ පරමාර්ථයම මූලික කොටගත් ආයතන ද නොවේ. මෙම ආයතන සුබසාධන රාජ්‍ය සංකල්පයේ පාර්ශවකරුවන්ය. එම නිසාවෙන් ජනතාවට සහන ලබාදීමට ඔවුහු බැඳී සිටිති.

මෙම ආයතනවල දිශානතිය පිළිබඳ සංවාදයකට මෙය අවස්ථාව නොවේ. අවසානයේ ජල විදුලි පාරිභෝගික ඔබ සැමගෙන් අපි ඉල්ලීමක් කරමු. දැනටමත් බිල්පත් ගෙවීම පහසු කිරීම සඳහා නව ක්‍රමවේද රුසක් හඳුන්වා තිබේ. මූල්‍ය ආයතන විසින් හඳුන්වා දී ඇති ජංගම යෙදවුම්, වෙබ් අඩවි හා අන්තර්ජාල බැංකු සේවා හරහා ද පාරිභෝගිකයන් හට මෙම බිල්පත් ගෙවීමට හැකියාව පවතී. ඔබ ඔබගේ ආර්ථික ශක්‍යතාව මත නොපමාව ඔබගේ යුතුකම ඉටු කරන්න. එය අප සියලු දෙනාගේ යහපැවැත්මට හේතු වන බව සහතිකය.

 චමිඳු නිසල් ද සිල්වා