2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

කොළඹම හෙල්ලූ රාජගිරියේ කාර් එකේ කුඩු ජාවාරම

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 125

“වැල්ලම්පිටිය සේදවත්ත පාරට කිට්ටුව මතකද කලින් දවසක් රේඩ් එකක් කළා. ආයෙත් අන්න ඒ පැත්තෙ දැන් කොල්ලො කුරුට්ටො අයිස් ගහනවා. කලින් කෙනාගෙ ගෝලයෙක් ලස්සනට බඩු බෙදනවා.”

මත්කුඩු සම්බන්ධයෙන් වූ මෙම ඔත්තුව ලැබී තිබුණේ නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාටය. තොරතුර සම්බන්ධයෙන් අවධානය යොමුකළ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කහටදෙණිය මහතා සිය කණ්ඩායමේ නිලධාරීන් කිහිප දෙනකු කැඳවා තත්ත්වය විස්තර කළේය. තොරතුර අනුව ඒ මොහොතේම ක්‍රියාත්මක වියයුතු බවට තීරණය කරමින් ජීප් රථයක් සමග යතුරැපැදි දෙකක් වැටලීම සඳහා යාමට සූදානම් කෙරිණ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සේදවත්ත පාරට ආසන්න ස්ථානයක් නිසා නිලධාරීහු ඒ වෙත පහසු ගමන් මගක් තීරණය කළහ. ඒ අනුව කෙටි හා ඉක්මන් මාර්ගය වශයෙන් නුගේගොඩ, රාජගිරිය, ඔබේසේකරපුර හරහා කොලොන්නාවට ගොස් වැල්ලම්පිටිය දක්වා යාමට තීරණය විය. පොලිස් රියැදුරු දයාරත්න සමඟ පොලිස් පරීක්ෂක කහටදෙණිය මහතාත් සැරයන් වසන්ත පුෂ්පකුමාර මහතාත් පොලිස් ජීප් රථයට ගොඩවූහ. ගමන් ආරම්භයේ සිටම යතුරුපැදි දෙක වෙන වෙනම ජීප් රථය පසුපසින් ධාවනය කෙරිණ. හිතවත් ඔත්තුකරුවකුගේ තොරතුරක් වුවද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හෝ මිලට ගන්නා අයකු සිටින ඉසව්වක් පිළිබඳ නිශ්චිතව විස්තරයක් දන්වා නොතිබිණ. එබැවින් නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශ නිලධාරීන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ වැල්ලම්පිටිය දෙසට ගමන් ගැනීමය. නිශ්චිත තොරතුරක් අරභයා ගමන් නොගන්නා විටෙක මාර්ගයේ සැකසහිත වාහනයක් හෝ පුද්ගලයෙක් වේ නම් පරීක්ෂා කිරීම හෝ ප්‍රශ්න කිරීම සාමාන්‍ය ක්‍රමයයි. නිශ්චිත තොරතුරක් වෙනම ගමන් ගත්තේ නම් අවශ්‍ය අවි ආයුධ පවා සූදානමින් තබා ගැනීම නිලධාරීන්ගේ පිළිවෙතයි.

නිලධාරින් රැගත් ජීප් රථය නුගේගොඩ දෙසින් පැමිණ වැලිකඩ මංසන්ධියෙන් ගොස් ඔබේසේකරපුර මාර්ගයට හරවා ටික දුරක් ගමන් කරනවාත් සමඟම පසුපස අසුනේ සිටිමින් ඉදිරි මාර්ගය නිරීක්ෂණය කළ සැරයන් වසන්ත “සර්... සර්.... අර ත්‍රීවීල් පාර්ක් එක ළඟ මනුස්සයා පාර්සලයක් අතේ තියාන ඉන්නේ ටිකක් බලමුද?” කියනවාත් සමඟ රියැදුරු මහතා රථයේ වේගය අඩු කරමින් මාර්ගය පසෙකට කරන්නට විය. අර අර මිනිහා ඒක කාර් එකට දෙන්න හදන්නේ* යැයි කියමින් සැරයන් වසන්ත රථයෙන් බිමට බැසගත්තේය. ඒ සමඟම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාත් බිමට බැස කාර් රථය දෙසට ගමන් කළේය.

ජීප් රථය නතර කළ හේතුවක් හෝ නොදත් යතුරුපැදි දෙකේ පැමිණි නිලධාරීන්ද කාටත් නොදැනෙන්නට යතුරු පැදි නතර කර තිබිණ. ඒ වනවිටත් එම ස්ථානයේ ත්‍රිරෝද රථ හතරක් නවත්වා තිබී ඇති අතර මාර්ගයේ දෙපසට වාහන කිහිපයක් ධාවනය වෙමින් තිබී ඇත. සැරයන් වසන්ත මහතා මෝටර් රථයේ රියැදුරු අසුන අසලට ගොස් යමක් කියන්නට සැරසුණා පමණය. රියැදුරු ඔහුට අවනත නොවී පලායන්නට සැරසෙනු බව පොලිස් පරීක්ෂක කහටදෙණිය මහතාටද නිරීක්ෂණය විය. සැනෙකින් මෝටර් රථය පණගන්වා ගත් රියැදුරු එතැනින් පලායන්නට උත්සාහ ගන්නවාත් සමඟ සැරයන් වසන්ත මෝටර් රියේ ඉදිරිපස වීදුරුව සමග ඇති බොනට්ටුව මතට පැන එහි එල්ලී සිට රථයේ ගමන නවත්වන්නට වෙහෙසුණේය.

මෙම අවස්ථාව වනවිට ඒ ආසන්නයේ ත්‍රිරෝද රථ කිහිපයක් හා මෝටර් රථ කිහිපයක්ද මිනිසුන් කිහිප පොළක් හා මාර්ගයේ ධාවනය වූ රථවාහනද කිහිපයකි. සැරයන් වසන්ත මහතා එල්ලී ගත් නවීන මෝටර් රථය ඉදිරියට ධාවනය වෙයි. ඔහු බිම දමනු රිසියෙන් වෙට්ටු කිහිපයක් දමන අතරතුර වේගයෙන් ධාවනය කර නැවතත් හිටිහැටියේ තිරිංග දමා රථය ගැස්සීමට සැලසීමේදී සැරයන් වසන්ත මෝටර් රථයෙන් දකුණු පසට විසිවී ඇද වැටී රවුම් තුනක් පමණ කැරකී ගි‍යේය.

තත්ත්පර කිහිපයක් පුරාවට වූ සිදුවීම් පෙළ ක්‍රියාදාම චිත්‍රපටයක ජවනිකා පෙළක් වැනිය. මාර්ගයේ ගමන් ගත් පදික ජනතාව සිදුවීම දෙස භීතියෙන් බලද්දී ධාවනය කෙරෙමින් තිබූ රථවාහන මහමග නවත්වනු ලැබ තිබුණේ භීතියට පත්වීමෙනි. මේ ආකාරයට සැරයන් වසන්ත බොනට්ටුවේ එල්ලීගත් මෝටර් රථය මීටර් 70ක් 80ක් තරම් දුර ගොස් ඔහු බිම දමා පලාගොස් තිබුණි. මෙතෙක් වූ සිදුවීම් සියල්ල මාර්ගය ආසන්නයේ වූ සී.සී.ටී.වී. කැමරා කිහිපයකම සටහන්ව තිබුණේය.

හදිසියේ වූ අකරතැබ්බය කිසිවකුටත් සිතාගැනීමට අවස්ථාවක් නැත. වහා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමේ යතුරුපැදි දෙක මෝටර් රථය ලුහුබැඳ තිබූ අතර තුවාල ලබා සිටි සැරයන් වසන්ත මහතා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුල් කිරීමට පියවර ගැණින. පොලිස් කණ්ඩායම සතුව ගිනි අවියක් තිබී ඇතත් තත්ත්පර කිහිපයකදී වූ ක්‍රියාව මැද එය ක්‍රියාත්මක කර නැත. විශේෂයෙන් මහජනතාව හා රථවාහන ගැවසෙන ජනාකීර්ණ ස්ථානයක ගිනි අවිය ක්‍රියාත්මක වූයේ නම් වෙනත් අනතුරක් සිදුවීමේ අවස්ථාවද තිබිණ. එහෙත් ඒ මොහොතේ ක්‍රියාත්මක වූ පොලිස් නිලධා‍රීහු මාර්ගයේ වූ සී.සී.ටී.වී. කැමරා දර්ශන විමර්ශනය කොට පලාගිය මෝටර් රථයේ අංකය හඳුනා ගැනීමට සමත් වූහ.

මෙම අනතුරුදායක සිදුවීම පිළිබඳ අවබෝධයෙන් හෝ එම ස්ථානයේ හෙරොයින් ජාවාරමක් සිදුවන බවට දැන සැලසුම් සහගතව පොලිසිය පැමිණ සිදුවූ දෙයක් නොවන මෙම සිදුවීම ඇතැම් මාධ්‍ය වාර්තා කළේ හෙරොයින් ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරක් අනුව ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටියදී මෙය සිදුවූ බවකි. ඒ අතර එම මාධ්‍ය වාර්තා කළේ උසස් නිලධාරියකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක නොකළේ මන්ද යන්න ප්‍රශ්නයක් ලෙස පෙන්වා දෙමිනි.

සී.සී.ටී.වී. දර්ශන අනුව පලාගිය මෝටර් රථය CBK 3981 දරන අංකය යටතේ මිරිහාන ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කළ එකක් බව හඳුනා ගැණින. එම ලිපිනය සොයාගිය පොලිසියට රථය පැදවූ සැකකරැට අයත් නිවසක් ඉදිවෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇත. එහි රැඳී සිටි සැකකරුගේ ඥාතීන් පවසා තිබුණේ 20 වැනිදා රාත්‍රියේ සැකකරැ හා බිරිය එම නිවසින් පිටත්ව ගිය බවකි.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන සිදුකරන අතරතුර තලංගම පොලිසියට ලද තොරතුරක් මත මෝටර් රථය සොයාගැනුණේ දේවාල පාරේ නිවසක සඟවා තිබියදීය. ඒ වනවිටත් රථයේ අංක තහඩු වෙනස් කර තිබී ඇති අතර සැබෑ අංක තහඩු එම රථයේම සඟවා තිබී ඇත. ඇඟිලි සලකුණු කොට්ඨාසය විසින්ද ඒ පිළිබඳ විමර්ශන සිදුකරති.

සිද්ධියට අදාළ සැකකරු හඳුනාගෙන තිබෙන අතර ඔහුට නවාතැන් දුන් අයද හඳුනාගෙන ඇත. ඒ අනුව කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ. සී.සී.ටී.වී. දර්ශන අනුව සිදුවීම වූ අවස්ථාවේ මෝටර් රථයේ තවත් දෙදෙනකු සිට ඇති බව හඳුනාගෙන ඇත. පොලිස් කණ්ඩායම් 4ක් සමග බුද්ධි අංශ සිදුකළ විමර්ශනයේදී ප්‍රධාන සැකකරු පෙර අපරාධවලට සම්බන්ධ අයකු බව වාර්තා වේ. ඔහු 2013 වසරේ ටී.56 ගිනි අවියක් සන්තකයේ තබාගැනීම හා 2015 වසරේ ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරැවකු බව කියයි.

අදාළ මෙහෙයුමට පිටත්ව ගිය නිලධාරීන් අතර නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.පී.ටී. කහටදෙණිය, පොලිස් සැරයන් 41127 රුවන්, පොලිස් කොස්තාපල්වරැන් වන 82936 මධුශංක, 71854 ලියනගේ සමග පොලිස් රියැදුරු 93302 දයාරත්න යන නිලධාරීහු වූහ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙහෙයවනු ලබයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර