2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

කුඩු කප්පිත්තන්ගේ රජ දහනක් වූ අරාබි මුහුද

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 57

සේත්‍රාවතී, නර්මදා, මහී, ෂාරවතී, තප්ති වැනි ගංඟා රැසක් සමඟ ඉන්දියාවේ කේරලය ඔස්සේ අරාබි මුහුදට ගලන සුවිසල්ම ගංඟාව සින්දු ගඟයි. වර්ග කිලෝමීටර් තිස්අට ලක්ෂ හැට දෙදහසක් පුරා පැතිරි අරාබි මුහුද ඉන්දියාව, සෝමාලියාව, ඉරානය, පකිස්තානය, ඕමානය, යේමනය, ජිබුටි හා මාලදිවයින වැනි රටවල වෙරළට මායිම් වෙයි. උපරිම ගැඹුර මීටර් හාරදහස් හයසිය පනස් දෙකක් පමණ බව කියන මුහුද පිහිටීම අනුව ඉන්දීය සාගරයේම විසිර පවතින ප්‍රදේශයකි.

මෙරට කාලගුණ වාර්තා ඉදිරිපත් කිරීමේදීද විටෙක අරාබි මුහුද සම්බන්ධයෙන් කියැවේ. එහෙත් මේ සටහන එවැනි වාර්තාවක් පිළිබඳව නොව අරාබි මුහුද හරහා ජාත්‍යන්තර වශයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ විමසීමකි. මෙහි අවදානම කාලයක පටන් ශ්‍රී ලංකාව වෙත යොමුව පවතී. ලංකාවට නිරිතදිග හා දකුණුදිගට වන ගැඹුරු ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ බහුල වශයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ඊට හේතුවයි.

ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ප්‍රධානම මාර්ගය මුහුදු මාර්ගයයි. ගුවන් මගින් ඊට කිසිදු ඉඩක් නොමැති බැවින් විදේශවල සිට ජාත්‍යන්තර මුහුද ඔස්සේ මෙරට මුහුදු සීමාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ලබාදීමට ජාවාරම්හු කටයුතු කරති. විදේශවල රැඳී සිටිමින් මෙරට ජාවාරම මෙහෙයවන මහා පරිමාණ ජාවාරම්හු විදෙස් යාත්‍රා හා පුද්ගලයන් හරහා මත්ද්‍රව්‍ය තොග ජාත්‍යන්තර මුහුදේ මෙරට සීමාවේදී ලංකාවේ අතරමැදි ජාවාරම්කරැවන් වෙත බාරදීම සිදු කරති. බොහෝවිට එම පිරිස මෙරට ධීවර රැකියාවේ නිරතවූවෝ වෙති. එම පිරිස් බාරයට ගන්නා මත්කුඩු තොග ලංකාවේ නමගිය පාතාල නායකයන් හෝ ජාවාරම්කාර පිරිස් විසින් රහසේ ලබාගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවල අලෙවි කිරීම සිදු කරති. මේ අතරතුර ක්‍රියාත්මක බුද්ධි අංශවලට වටිනා තොරතුරු ලැබීම සිදුවෙයි.

රාජ්‍ය බුද්ධි සේවය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, විශේෂ කාර්ය බලකාය, සුරාබදු දෙපාර්තමේන්තුව, යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වෙත විවිධ බුද්ධි තොරතුරු ලැබෙන්නේ එහි පවතින යාන්ත්‍රණය හරහාය. නීති විරෝධී ජාවාරම්, මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම සංවිධානාත්මක අපරාධ වැනි අකටයුතුකම් පිළිබඳවද විශේෂ බුද්ධි තොරතුරු මේ හරහා ලබාගැනීම සිදුවෙයි. මේ ආකාරයට විදේශයන්වල සිට ක්‍රියාත්මක මහා පරිමාණ මත්කුඩු ජාවාරම්වල ඔත්තු ආරක්ෂක අංශ වෙත වාර්තා වෙයි. එවැනි අවස්ථාවල සිදුකෙරෙන ආවේක්ෂණ රාජකාරි මැද රට අභ්‍යන්තරයේ සිදු කරන වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් පිළිබඳ නිරන්තරයෙන්ම වාර්තා වේ. ඊට අමතරව දිවයිනට එපිට ජාත්‍යන්තර මුහුදේ සිදු කරන සුවිශේෂී වැටලීම් හා හෙරොයින් තොග අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් වාර්තා වෙයි.

ගෙවී ගිය දින 25ක පමණ කාලය තුළ එවැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අසන්නට ලැබිණි. හෙරොයින්, හෂීස්, කොකේන්, අයිස් හා අබින් වැනි සෑම මත්ද්‍රව්‍යයක්ම මෙරටට විදේශවලින් පැමිණෙන ඒවාය. මුහුදේ සිදු කරන වැටලීම්වලදී වාර්තාගත ලෙස එවැනි මත්ද්‍රව්‍ය කොටුවෙයි. ඉකුත් දිනවලදී අවස්ථා තුනකදී අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 6996කට අධික බව නාවික හමුදාව පවසයි. එම හෙරොයින් තොග ශ්‍රී ලංකාවට දකුණු හා නිරිතදිග ඈත ජාත්‍යන්තර මුහුදේදී කොටුකර ගැනිණි. එක් අවස්ථාවක වැටලීම සිදුකර තිබුණේ මෙරට වෙරළේ සිට කිලෝමීටර් 1370ක දුරකදීය. තවත් වරෙක වැටලීම සිදුකර තිබුණේ කිලෝමීටර් 1574ක දුරින් වූ ජාත්‍යන්තර මුහුදේදීය. මේ ආකාරයෙන් මීට ඉහතදීත් අවස්ථා කිහිපයකදී මෙම මුහුදු ප්‍රදේශවලදී හෙරොයින් තොග සැකකරැවෝ හා බහුදින යාත්‍රා සමඟ අත්අඩංගුවට ගනු ලැබූහ.

අදාළ මුහුදු කලාපයේදී මෙතරම් හෙරොයින් තොග අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමසීම වටී. මෙහිදී අත්අඩංගුවට පත්වන මෙරට සැකකාර ධීවර වෙසින් පෙනී සිටින ජාවාරමුන්ට වඩා විදේශික ජාවාරමුන් ගණන වැඩිය. ඔවුන් බහුතරය පකිස්තාන හෝ ඉරාන ජාතිකයෝ වෙති. පෙර කී මත්ද්‍රව්‍ය විශාල වශයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ ඉරානය හෝ පකිස්තානය තුළය. එබැවින් ඒවා විදේශවලට අපනයනය කෙරෙන්නේද එම රටවල සිටය. ඉරානයේ පිහිටි වරාය පරිශ්‍රවල සිට හෙරොයින් තොග පටවාගත් නැව් හෝ බහුදින යාත්‍රා පිටත් වන බවට තොරතුරු පවතී. ඉරානය අරාබි මුහුදට ආසන්නව පිහිටි නිසා අරාබි මුහුද හරහා ජාවාරමේ නිරත වීම සිදුවෙයි. පකිස්තානයේ පිහිටීමද මීට සමීප නිසා ජාවාරමුන්ට වාසිදායකය.

ඉන්දියාවේ කේරළ ප්‍රදේශයත් පකිස්තානය, ඉරානය, යේමනය, සෝමාලියාව, ඕමානය ආදී රටවල් අරාබි මුහුද ආශ්‍රිතව පැවතීම නිසා කේරල ගංජා හා හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය මුහුදු මගින් ප්‍රවාහනය පහසුය. ඉන්දියාවේ කේරලය ඉන්දියන් සාගරයට වඩාත් කිට්ටුය. එබැවින් ලංකාවේ වයඹදිග මුහුදු තීරයේ මන්නාරම් බොක්ක හා එම කලාපයේදී ලංකාවට කේරළ ගංජා ජාවාරම බහුලව කෙරෙයි. එවැනි ජාවාරම්කරැවෝ හා කේරළ ගංජා තොගද කොතෙකුත් නාවික හමුදාව බාරයට පත්වෙති. මේ අතර වසරකට වැඩි කාලයක පටන් ඉන්දියාව හා ලංකාව අතර වියළි කහ ජාවාරම සිදුවෙමින් පවතී.

අරාබි මුහුද හරහා සිදු කරන මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ මුහුදු ගමන් මග ලංකාවේ වයඹ, බස්නාහිර හා දකුණු වෙරළ තීරයන්ට කිලෝමීටර් 1500ක හෝ මුහුදු සැතපුම් 900කට පමණ ඈතින් වැටී පවතී. මෙය වයඹ හා බස්නාහිර වෙරළ තීරයේදී සඳහන් දුරට වඩාත් වැඩි දුරකින් පවතින්නකි. ඉරාන වරාය හෝ වෙරළ තීරයෙන් ගමන් අරඹන ඉරානයේ ට්‍රෝලර් යාත්‍රා හරහා බහුලවම ජාවාරම සිදු කරයි. එම යාත්‍රා අරාබි මුහුද පසුකරමින් මාලදිවයින දූපත්වලට සමීප නොවන ජාත්‍යන්තර මුහුද ඔස්සේ ගමන් කර ලංකාවට නිරිත දිගින් ඈත මුහුදු කලාපය දෙසට ගමන් කරයි. එතැන් සිට දකුණුදිග මුහුදු කලාපයේ ගමන් ගන්නා අතරතුර මෙරට ජාවාරම්කරුවන්ගේ අතරමැදියන් හරහා හෙරොයින් හුවමාරුව සිදුවෙයි. මෙම ප්‍රදේශය පසුකර ඉදිරියට දකුණු මුහුදු තීරයේ ගමන් කිරීමෙන් ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගය වෙත අවතීර්ණ විය හැකිය. ඉරානයේ සිට ගමන් අරඹන නෞකා හා බහුදින යාත්‍රා ඇතැම් විට එම මාර්ගය ඔස්සේ තවත් රටවලට හෙරොයින් ප්‍රවාහනයේ යෙදෙනවා විය හැකිය.
ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව අවස්ථා කිහිපයකදීම මත්කුඩු තොග පිටින් වැටලීම සිදු කෙරිණි. මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන ප්‍රකාශ කළේ මෙම මත් ජාවාරම විදේශගතව සිටින ශ්‍රී ලාංකික ජාවාරමුන් විසින් මෙහෙයවන බවය. ඒ සඳහා විදෙස් යාත්‍රා හා පුද්ගලයන් යොදාගන්නා බවත් අරාබි මුහුද හරහා ප්‍රවාහනය කරන බවත් කියා තිබිණි. ඔවුන්ට සහාය දක්වන හා සන්තෝෂම් ලබන මෙරට ඇතැම් ධීවර යාත්‍රා හිමිකරුවන් හා ධීවරයන් ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය බාරයට ගන්නා බවත් ඔවුන් ලංකාවට රුගෙන ඒමට කටයුතු කරන බවත් ප්‍රකාශ විය. මේ ආකාරයට අරාබි මුහුද හරහා ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බව පැහැදිලිය.

බුද්ධි මෙහෙයුම් හා නාවික ක්‍රියාන්විත ඇගයිය යුතුය. ඔවුන්ගේ මෙහෙරවර සාර්ථකය. තවදුරටත් අරාබි මුහුදේ ජාවාරම්වල බලපෑම අපේ රටෙන් තුරන් වී නොමැත. එහි අවදානම පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00