2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

බද්දේගම හඬවා කොරියාවෙදී මරු තුරුලු කරගත් ශශේන්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 372

ගිං ගඟ තවමත් බලාගෙන සිටී. එදා ගමේ කොලු රංචුවක් එක්ක හිතේ හැටියට ගිං ගඟේ පිහිනා ගිය අහිංසක කොල්ලෙක් තමාගෙමයැයි කාත් කවුරුවත් නැති රටක ප්‍රදේශයක තම ජීවිතේ සුන්දරම කාලයේදීම අවසන් හුස්ම හෙළීය. වෙනදාට ගස්කොළවලින් සුවදායි සුළං හැමූ වටපිටාවෙන්, තේ දල්ලේ කහට සුවඳ හැමූ වටපිටාවෙන් අද මළගමක අමිහිරි සුවඳ හමයි. බද්දේගම නම් ඒ සොඳුරු ගම්පියස අද සුදු කොඩි එසවූ මූසල වටපිටාවක් බවට පත්ව ඇත.  ජයසිරි ජයසේකරට දාව සමන්ති ඉලේපෙරුමට 1989 වසරේ දෙසැම්බර් මාසයේදී සුදුම සුදු පුත් රුවනක් උපන්නේය. තාරකාවක් වන් ජීවිතය දිදුල වූ මේ පුංචි තරු කැටය ශශේන් ශානක ජයසේකර නම් විය. පුතු උපතින් තාත්තා රජෙක් විය. එතරම් ජයසිරි ශශේන් ගැන සතුටු වූවේය.

ශශේන් ක්‍රිස්තුදේව පිරිමි පාසැලෙන් සිප්සතර හැදැරීය. පාසැලේදී ඔහු හිතහොඳ මිතුරෙක් විය. ගුරුවරුන්ට ඔහු ආදරණීය ශිෂ්‍යයෙක් විය. ශශේන් වටා බොහෝ මිතුරු පිරිසක් ඒකරාශි වූයේ ඔහු තුළ තිබූ අපූරු මිත්‍රත්වය නිසාවෙනි. 

නමුත් ශශේන්ගේ අම්මා තාත්තා අතර ටිකින් ටික නොගැලපීම් ඇති විය. පවුලේ එකම දරුවා වුණු ශශේන් තම පුංචි පවුල අතර අනන්තවත් හුදෙකලා විය. ඒ නිසාවෙන් මීට අවුරුදු ගණනාවකට පෙර ශශේන් තම ජීවිතය නසාගන්නට පවා තැත් දැරූ බව ගම්මු අද කියති. නමුත් වාසනාවකට අම්මාගේ නෙත ගැටී ඒ මාරයාගෙන් ශශේන්ගේ දිවි ගලවා ගැනීමට එදා සමත්විය. නමුත් අම්මාගේත් තාත්තාගේත් විරසක වීම් තරුණ ශශේන්ගේ හිතේ තදින්ම පැලපදියම් වන්නට ඇත.

ශශේන් යාළුවන්ගේ හිත හොඳ මිතුරෙක් විය. ගමේ ඕනෑම වැඩකදී ශශේන් තම මිතුරන්ට ඔවුන්ගේ බාසාවෙන්ම කිවහොත් “බොක්කෙන්ම” උදව් කළේය.

“ශශේන් කියන්නේ මාරම කොල්ලෙක්. ඌ සුපිරිම කොල්ලෙක්. ඕනෑම වැඩකදී ශශේන් අපිත් එක්ක එනවා. අනේ මන්දා ශශේන්ට මොනවා වුණාද කියලා. මේක අපිට තාම හීනයක්. හරියටම ශශේන්ගේ මූණ දකිනකන් අපිට මේක විශ්වාස කරන්න බෑ”

ශශේන්ගේ ජීවිතේ ළඟින්ම ඇසුරු කළ මිතුරන්ට තවමත් තම සුපිරි මිතුරාගේ මරණය හීනයකි. වරක් ශශේන් යහළුවෙකුගේ විවාහ උත්සවයේදී දෙවැනි මනමාලයාව සිටි බව ඔහුගේ මිතුරෝ අදත් සිහිකරති.

අම්මාගේත් තාත්තාගේත් විරසකකම්වලට ශශේන් හවුල්කරුවෙක් නොවීය. ශශේන්ගේ අම්මා වෙනම පදිංචි වෙද්දී ශශේන් ආච්චිත්, නැන්දාත්, තාත්තාත් සමඟ එක ගෙදරක වාසය කළේය. නමුත් ඔහු නිතර නිතර අම්මා සමඟ කතාබහ කළේය. අම්මා බලන්නට ගියේය.

ශශේන්ගේ හිතේ හීනයක් තිබුණේය. ඒ බොහෝම සාමාන්‍ය පවුලක් වු තමන්ගේ ජීවිතය අලුතෙන් ගොඩනගාගන්නටය. තේ දල්ලේ සුවඳ සමඟ වෙල් යායෙන් සුළඟ හමන තම පුංචි ඉඩම් කෑල්ලේ අපූරු ගේ පොඩිත්තක් හඳන්නට ඒ තරුණ හිතේ ආශාවක් තිබෙන්නට ඇත. ඒ හීනය වෙනුවෙන් කොරියානු රටට යන්නට ශශේන් තදින්ම සිතාගන්නට ඇත. ඔහු ඒ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි විය. කොරියානු භාෂා විභාගයට පෙනී සිටියේය. වාසනාවකි... ඔහු එදා සිතුවේ එසේය. ඔහු කොරියානු භාෂා විභාගයෙන් ඉහළින්ම සමත් වී සිටියේය. 2014දී ඔහු කරා ආ ඒ වාසනාව අද ඔහුටම අවාසනාව ගෙන ඇවිත් තිබේ.

ඔහු කොරියානු රටට පියාසර කළේය. ශශේන්ගේ අම්මා සයිප්‍රස් රටේ සේවයට ගියාය. ශශේන්ට තනිකමක් දැනුණේය. ඔහුට තම තාත්තාගේ අම්මාගේ දුරස් බව තදින්ම දැනුණේය. නමුත් ශශේන් නිතර නිතර තම තාත්තාටත් අම්මාටත් දුරකථනයෙන් කතා කළේය. තම මිතුරන්ට මුහුණුපොත හරහාත් ස්කයිප් ක්‍රමය හරහාත් කතා කළේය. ඔහු නිතරම තම මිතුරන් සමඟ දුක සැප බෙදාහදා ගත්තේය.

කාලය ඉගිලී ගියේය. ශශේන්ට කොරියානු රටේදීද මිතුරෝ සිටියහ. ඉඩ ලද විටක ඔහු තම මිතුරන් සමඟ කොරියානු රටේ සුන්දර තැන් බලන්නට ගියේය. ශශේන් සැබැවින්ම කඩවසම් ඉලන්දාරියෙක් විය. ඔහු කොලුකමට ප්‍රියමනාපව අඳින්නට ඇළුම් කළේය. කොරියානු රටේදීද ඔහු මිතුරන්ගේ හොඳ මිතුරෙක් විය. එමෙන්ම ඔහු තම ගමේ මිතුරන් අමතක නොකළ සොඳුරු මිතුරෙක්ද විය.

2017 අප්‍රේල් සිංහල අලුත් අවුරුදු වසන්ත කාලය උදාවිය. ලංකාවට මෙන්ම කොරි‍යාවේ සිංහලයාටද මෙය සුවිශේෂ කාලයක් විය. ශශේන්ගේ ජීවිතයට ඒ වසන්ත කාලය ගිම්හානයක්ම කළේය. ඔහු අම්මාට දුරකථන ඇමතුමක් දුන්නේය. දුක් සැප බෙදාහදා ගත්තේය. අවසානයේදී ඔහු අම්මාගෙන් අවසර පැතීය. ඒ අප්‍රේල් දාසය වැනිදා කොරියානු රටේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව කරනු ලබන අවුරුදු උත්සවය බලන්නට යන්නටය. නමුත් ශශේන්ගේ අම්මා එයට විරුද්ධ විය.

“මගේ නංගිගේ පුතා තමයි ශශේන් කියන්නේ. නංගි හිටියේ සයිප්‍රස් රටේ. නංගිත් එක්ක තමයි පුතා සම්බන්ධ වෙන්නේ. එයා කතා කරන්නේ නංගි එක්ක. හැමදාම පුතා නංගිට කතා කරනවා. අප්‍රේල් දාසය වැනිදා අවුරුදු උත්සවයක් තිබිලා ඒකට යන්න අහලා. නංගි ඒකට යන්න එපා කියලා. කොහොම හරි නංගිට හොරෙන් පුතා ඒකට ගිහින්”

ශශේන්ගේ මාමා වූ ශාන්ත ඉලේපෙරුම දේශයට පැවසීය.

ශශේන් තම අම්මාව විරුද්ධ විය. ඔහු යහළුවන් සමඟ අවුරුදු උත්සවය බලන්නට ගියේය. අවසානයේදී ශශේන් ගැන ආරංචියක් නොලැබුණේය. 

මේ සම්බන්ධව වැඩිදුරටත් ශාන්ත ඉලේපෙරුම මෙසේ අදහස් දැක්වීය.

“නංගිගේ ෆෝන් එකට පුතා ඊට පස්සේ කතා කරලා නෑ. මේ නිසා නංගි දිගින් දිගටම මේ ගැන හොයලා තියෙනවා. දහඅට වැනිදා තමයි යාළුවෙක් නංගිට කියලා තියෙන්නේ පුතා බෝඩිමට ආවේ නෑ කියලා. ඒක නංගි අඬ අඬා අපිට දැන්වුවා. ඊට පස්සේ අපි පුතා ගැන දිගින් දිගටම හොයලා තමයි පුතාට වුණ දේ හොයා ගත්තේ”

අවසානයේදී සොයාගනු ලැබුවේ වා තලයට මුසුව තිබූ ශශේන්ගේ නිසල සිරුර පමණි. තේගු නගරය ආසන්නයේ කන්දක් පාමුල ජනශුන්‍ය ප්‍රදේශයක තිබී ශශේන්ගේ සිරුර සොයාගනිද්දී සිරුර තිබුණේ හඳුනාගැනීමටවත් බැරි තත්ත්වයකිනි. දින කීපයක්ම ගතව ඇති නිසල මළ සිරුර ශශේන් යැයි නිශ්චිතවම සොයාගනු ලැබුවේ ඒ අසල තිබූ ශශේන්ගේ ඇඳුම් සපත්තු හා රන් ආභරණ හේතුවෙනි.

ශශේන්ම සිය දිවි හානි කරගත්තේද...? නැත්නම් මෙය මිනී මැරුමක්ද? තවමත් බොහෝ දෙනකුට මෙය අබිරහස් මරණයකි.

“තවමත් අපිට මේ මරණය පිළිබඳව හිතාගන්නවත් බෑ. තාමත් මේක අපිට සැකයි. මේ දරුවට මොනවද වුණේ. මේ දරුවගේ කියලා මරණයක් දැන් තියෙනවා. ඇහුව ඇහුව හැම යාළුවෙක්ම කියන්නේ පුතා කාටවත් වැරැද්දක් ඇතිව එහෙවත් ජීවත් වුණේ නෑ කියලා. එයා හැමෝගෙම හිත් දිනාගෙන බොහෝම හොඳට හිටියා කියලයි ඒ යාළුවෝ හැමෝම කියන්නේ. එහෙම හිටිය ඒ දරුවට සිය දිවි හානිකරගන්න ආපු ආවේගය මොකක්ද? සපත්තු ගලවලා, මාලය ගලවලා පනින්න තරම් ආපු ආවේගය මොකක්ද? ඒ නිසා අපිට එහි ගිහිල්ලා මේ ගැන හොයලා බලලා ඇත්ත දැනගන්න අවසර ලබලා දෙන්න කියලා තලතා අතුකෝරලා ඇමැතිතුමියගෙන් ඉල්ලා සිටිනවා” ශාන්ත ඉලේපෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධව දේශය පුවත්පත කළ විමසුමකදී බද්දේගම නගර වසමේ ග්‍රාමසේවක නිලධාරි ජගත් ගොඩකන්ද මහතා මෙසේ අදහස් දැක්වීය.

ඔය ගෙදර ඉන්නේ තාත්තයි, ආච්චියි, නැන්දයි විතරයි. මේ පවුලේ එකම දරුවා. පෞද්ගලිකව මං මේ ළමයත් අඳුරනවා. එහෙම කිසිම වරදක් නැති දරුවෙක්. කාටවත් කරදරයක් කරපු ළමයෙන් නෙවේ

අද කවුරුත් කෙසේ කීවත් ශශේන් ජීවතුන් අතර නැත. තවමත් ගමේ පාපැදියෙන් එහේ මෙහේ ගියපු අහිංසක තාත්තාගේ ආදරණීය පුතා අහිමි විය. සයිප්‍රස් රටේ සිට ලංකාවට ආ ආදරණීය අම්මාට අම්මා කියන්නට පුතෙක් නැතිවිය. ගමේ යහළුවන්ට සුපිරි මිත්‍රයෙක් අහිමි විය. අහිංසක හීනයක්ව තිබූ ශශේන්ගේ මහන්සියෙන් ගොඩ නැඟූ ඒ පුංචි කැදැල්ලේ සොඳුරු ජීවිතයක් ගතකරන්නට ශශේන් වාසනාවන්තයෙක් නොවීය. අද කවුරුත් කෙසේ කීවත්, දෙපැත්තක සිට දෙපිරිසකට ඇඟිල්ල දිගු කළත් ශශේන්ගේ අවසන් හුස්ම වාතාලයට මුසු වී හමාරය.

ජීවිතේ ලස්සනම කාලේ

මහ පව්කාර විදිහට

ගෙවිලා. දැනෙන අසරණකම

වචනයෙන් කියාගන්න බෑ අම්මේ

තම මුහුණුපොතට ශශේන් එලෙස එක්කර තිබුණේ ඔහුගේ සැබෑ සිතුවිල්ලක්මද?

♦ දිශානි ජයමාලි කරුණාරත්න