2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

අම්මා කෙනෙක් වෙන්න අවුරුද්දක් බලා ඉඳිමු?

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 141

බොර දියෙහි දැමූ විට ඒ දියවර නිර්මලත්වයට පත් කරනු පිණිස උදකක් ප්‍රසාදක මාණික්‍යය ඉටු කරන සුගැඹුරු සොඳුරු කර්තව්‍යයක් වේද නිර්මල නිරෝගී සොඳුරු දරුවකු ලොවට තිළිණ කරනු උදෙසා නව මසක් මුළුල්ලේ දරු ගැබක් අප්‍රමාණ ස්නේහයෙන් දරාගෙන ඉනික්බිති ඒ දරුවා ලොවට බිහිකර දෙපයින් මහ පොළොවේ සිටගන්නා තාක් දරුවකු වෙනුවෙන් සැබෑ මාතෘත්වය ළය ලෙය දරාගත් අම්මා කෙනෙක් කරන මෙහෙවරද අපමණය. නිදුක් නිරෝගි දරුවකු දරුවා කුසට පැමිණි මොහොතේ පටන් දාරක ස්නේහය හඳුනන අම්මා කෙනකුගේ ප්‍රාර්ථනයයි. පූර්ව ප්‍රසව අවධියේ සිටම මව සහ දරුවා අතර බන්ධනයේ දිශානතීන් පුළුල් වපසරියක විහිද පැතිර පවතී. මවකගේ කායික නිරෝගී බව මෙන්ම මානසික බියෙන් ආතතියෙන් තොර සුවදායී මානසික පසුබිමද යහපත් කායික හා මානසික සංවර්ධනයකින් යුත් දරුවකු බිහි කිරීම විෂයෙහි අතිශය තීරණාත්මක කාරණයක් වන්නේ එබැවිනි.

ඉපැරණි ආයුර්වේදීය චරක සංහිතාවට අනුව දරුවකුට වැඩි වේලාවක් මව්කිරි දිය යුත්තේ වම් ළයට දරුවා තුරුල් කරගෙන වම් පියයුරෙනි. ඒ මවගේ හදගැස්ම දරුවාට දැනීම ඔස්සේ මව හා ගැඹුරු ආධ්‍යාත්මික බැඳීමක් දරුවා තුළ ඇතිවීමේ සිද්ධාන්තය පාදකවය. දරුවකු යනු එක් ලෙයක එක් කිරක අයිතියක් නොව විශ්වීය අයිතියක් වීමේ සිද්ධාන්තය තුළම දරුවකු යනු කෙතරම් අනගි සම්පතක්දැයි නිර්වචනය කෙරේ.

නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා පසුගිය දිනෙක මාධ්‍ය හමුවකදී අවධාරණය කළ කරුණක් වූයේ කොවිඩ් එන්නත ගැබිණි මව්වරුන්ට ලබාදීමේ අතුරු ප්‍රතිඵල ඇත්ද? ගැබිණි මවකට කොරෝනා ආසාදනය වුවහොත් දරුවාට එමගින් ඇතිවිය හැකි විකෘතිතා සහ සංකූලතා තිබේද? යන්න විද්‍යාත්මක අධ්‍යයනයක් මෙතෙක් සිදුව නැති පසුබිමක දරුවකු පිළිසිඳ ගැනීම වසරකින් පමණ ප්‍රමාද කරන්නට වගබලා ගැනීම වඩාත් යෝග්‍ය යැයි තමා විශ්වාස කරන බවය.

කොරෝනා ආසාදනය වූ ගර්භණී මවක් හෝ නොඑසේනම් කොරෝනා ආසාදනය වේ යැයි බියෙන් දරු ගැබක් දරා සිටින මවක් තුළ ඇති මානසික බිය පීඩනය හා ආතතිය කිසිසේත්ම ගර්භණී සමයේදී මවකට සුදුසු මානසික පරිසරයක් නිර්මාණය නොකරන බවත්, තවද කොවිඩ් ආසාදිත මවක් දරු ප්‍රසූතියේදී මිය ගියහොත් මාතෘ මූලික ලාංකික සමාජයේ පවුල තුළ විශාල රික්තයක් නිර්මාණය වීම පවුලේ සෙසු දරුවන් සිටී නම් ඔවුන්ගේ පැවැත්ම විෂයෙහි බරපතළ ප්‍රායෝගික හා මානසික ගැටලු නිර්මාණය කරන බවත්, එමෙන්ම සංචරණ සීමා ආදිය ක්‍රියාත්මක වීමේදී අවශ්‍ය සායනවලට සහභාගි වීම ආදී ප්‍රායෝගික දුෂ්කරතාවන්ට මුහුණදීම පවා මවකට අතිරේක පීඩනයක් ගෙන දෙන්නක් විය හැකි බැවින් වඩාත් නිරෝගී දරු උපතක් වෙනුවෙන් වසරක් පමණ දරු උපත් පමා කරන ලෙස තමන් ඉල්ලීමක් කරන බව විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේය. වසරක් යනු වෛද්‍ය විද්‍යාත්මක දත්ත අධ්‍යයනයෙන් කොවිඩ් ආසාදිත මව්වරුන්ට නිවැරදි ක්‍රමවේද හා ප්‍රතිකාර හඳුනා ගැනීමට විශාල කාලයක් වන බැවින් තමන් එම ඉල්ලීම කරන බවටද විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා හේතු දැක්වීය.

විවාහය සහ දරු සම්පත විශේෂයෙන් ආසියාතික ජන සමාජයන්හි අතිශය සංවේදී සමාජමය කාරණාවකි. බහුතර ආසියාතික ස්ත්‍රීවාදී කුටුම්භ සංරක්ෂණ ආකල්ප හා විද්‍යාත්මක පදනමක් මත ගෙනහැර දක්වන වසරක දරු උපත් පමාව යන කාරණා ද්විත්වය ප්‍රබල සමාජ කථිකාවතක් නිර්මාණය කරන්නේද දරුවා යන්න විවාහය හා පවුල තුළ අත්‍යවශ්‍යම සහ ප්‍රබලම තුරුම්පුවක් බවට පත්වීමේ සමාජමය වටපිටාව හේතු කොටගෙනය.

එහෙත් ඒ සියලු මතවාද හා විනිශ්චයන් අවසානයේ හැම අම්මා කෙනකුගේම බලාපොරොත්තුව ඉල්ලීම සහ ප්‍රාර්ථනය නිරෝගී සුවපත් බිළිඳකු දැකීම බව අවිවාදිතය. ඒ සියලු කරුණු පාදක කර ගනිමින් මෙම අතිශය සංවේදී කාරණාව පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව, සමාජ විද්‍යාත්මකව සහ විද්‍යාත්මක සන්නිවේදනයේ ස්වරෑපය ශ්‍රී ලංකාව වැනි ජන සමාජයන්ගේ ස්වරෑපය අනුව කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳවත් අපි අදහස් විමසීමු.

නොහිතන ප්‍රශ්න රැසක ආරම්භයක්

කොරෝනා යනු වසංගතයක් පමණක් නොවේ. එය ආර්ථිකය සහ සමාජ ක‍්‍රියාවලිය බිඳ දමන ප‍්‍රධාන සාධකයක් පමණක් ද නොව භීතියෙන් මිනිසුන් තැතිගන්වන ප‍්‍රබල සජීවී උපකරණයක් බවට ද පත්ව තිබේ. භීතිය සහ මරණය යන්න වේගයෙන් මානසික ආතතීන් ගොඩනගනවා පමණක් නොව ඕනෑම සමාජයක් බිඳ දමන ප‍්‍රධාන හේතූන් බවට ද පත් වන්නකි. 

මෙම වසංගතය හේතුවෙන් ලෝකයෙහි ජනතාව මිලියන ගණනාවක් දැනටමත් අන්ත දුගී භාවයට පත්ව ඇති අතර මන්දපෝෂණයෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 690ක් පමණ ද වේ. එය මිලියන 132ක් පමණ දක්වා මෙම වසර තුළ වර්ධනය වනු ඇතැයි සිතිය හැකිය. මිලියන ගණනක් වූ ලෝකයෙහි ව්‍යාපාර ද අර්බුදයට ගමන් කරමින් තිබේ.  බිලියන 3.3කට වඩා ලෝකයෙහි ශ‍්‍රම බලකාය ජීවන අර්බුදය දක්වා ගමන් කොට තිබේ. අවිධිමත් ආර්ථික රටාවන්හි නියැලුණු සේවකයන්ගේ සමාජ සංරක්ෂණ ක‍්‍රමවේද බිඳවැටී ඇති බැව් ද පැහැදිලිය. ආර්ථිකයෙහි බිඳවැටීම යනු ආහාර සහ අනෙකුත් අවශ්‍යතාවන්ගේ ද බිඳ වැටීමයි. ධනවාදී ක‍්‍රමය තුළ සියල්ලෙහි පදනම වන්නේ ආර්ථිකයයි.  

මිනිසා සහ මිනිසා අතර ගොඩනැගිය යුතු මානව වටිනාකම් ද වර්තමානයෙහි ගිලිහෙමින් ඒ වෙනුවට ආර්ථික වටිනාකම් පමණක් නොව තාක්ෂණික වටිනාකම් ද ගොඩනගමින් තාක්ෂණික මිනිසෙකු ද නිර්මාණය කරමින් තිබේ. වර්තමාන ජාලගතකරණයන් මගින් පවතින සමාජ සංස්කෘතික තත්ත්වයන්ගේ සිට ප‍්‍රබල ලෙස වෙනස් වූ මානව හැසිරීම් දක්වා ද සමාජය ගමන් කරමින් තිබේ. ධනවාදී ක‍්‍රමවේදයට අනුගත වෙමින් තවමත් දියුණු වෙමින් පවතිනවා යැයි සිතන ශ‍්‍රී ලංකාව වැනි රටවලට තවද ප‍්‍රබල ගැටලුවක් වර්තමානයෙහි එකතු වෙමින් පවතී. එනම් දරුවන් ඉපදීම  වසරකින් පමා කිරීමට අවශ්‍ය ඉඩකඩ සහ උපදේශන සමාජයට ලැබීමයි.

මෙය සරල නොවන්නේ කොරෝනා වෛරසය මගින් මෙතෙක් වයස්ගත වූවන් සහ රෝගීන් සමාජයෙන් ඉවත් කිරීමේ ප‍්‍රමුඛ ක‍්‍රමවේදයට නූපන් දරුවන්ද ඇතුළත් වීමයි. නූපන් දරුවා යනු රෝගියකු ද නොවිය හැකිය. ඉපදීමෙන් පසු පවතින තත්ත්ව තුළ රෝගී වනවා නම් රෝගී බවට හේතුව ඔහු ද නොවේ. ඒ අනුව නොඉපදුණු දරුවා රෝගී බවට පත් නොවන සමාජ පරිසරය නිවැරදිව සකස් කිරීමේ වගකීම ඉතා ප‍්‍රබලය. හේතුව ඇති තාක් කල් හේතුවට ගැලපෙන ලෙස සිද්ධි කැඳවනු ලබන බැවින් සමාජයෙන් සිද්ධි ඉවත් කිරීමට වඩා හේතු ඉවත් කිරීමට ප‍්‍රමුඛතා දිය යුතුය. ඒ අනුව ඉවත් කළ යුත්තේ නොඉපදුණු දරුවන් නොව කොරෝනා වෛරසය සහ එයට අදාළ සමාජ කාරක හේතූන්ය. එසේ නොවන්නේ නම් මෙය අනාගත සමාජයෙහි බරපතළ ගැටලු නිර්මාණය කිරීමට ද හේතු වේ. මෙම කොරෝනා වෛරසය මගින් ප‍්‍රබල ලෙස වයස්ගත වූවන් ආක‍්‍රමණය කිරීමත් සමඟින් මෙතෙක් පැවති සමාජ සාම්ප‍්‍රදායික සහ සංස්කෘතික කාරණා ද අර්බුදයට පමණක් නොව අවලංගු භාවයටද පත්වෙමින් පවතී. ඒ අනුව සමාජ සංස්කෘතික ස්වරෑප පිළිබඳ ගැටලුව අනාගතය තුළ නිර්මාණය වෙමින් පවතී. ස්වභාවික සමාජ පරිණාමීය ස්වරෑප වෙනුවට වේගවත් සමාජ වෙනස්කම් ගොඩනැගෙන අතර එයට අනුගත වීම සරල නොවනු ඇත. 
ඒ අනුව සමාජයේ හැඩය සහ ගුණය වෙනස් වන අතර එක්තරා කාල පරිච්ඡේදයක දරුවන්ගේ නොඉපදවීම  මගින් විශාල රික්තකයක් සමාජය තුළ ගොඩනැගෙනු ද ඇත. මෙය සරල නොවන්නේ සමහර පවුල්වලට සදාකාලිකවම දරුවන් අහිමි වීම, එක්තරා කාල පරිච්ඡේදයකට අදාළ ශ‍්‍රම බලකායක් සමාජ සංවර්ධනයට අහිමි වීම, ජාතීන් අතර අසමබර බවක් ගොඩනැගීම, සංවර්ධනය වෙමින් පවතින රටවල ජනගහනය සහ ශ‍්‍රම බලකාය පිළිබඳ ගැටලු නිර්මාණය වීම යනාදී වශයෙන් ගොඩනැගෙන එම ගැටලු දැකිය හැකිය. ඒ අනුව අවශ්‍ය වන්නේ කොරෝනාවට අනුව සමාජ හැඩගැස්මට වඩා කොරෝනාව වැනි වසංගත සමාජයෙන් ඉවත් කිරීමට අදාළ නිර්මාණාත්මක සමාජ ගොඩනැංවීමයි.

සංවේදී කාරණා අධි සංවේදී කරන්න එපා

දියවැඩියාව හා කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, විද්‍යා සන්නිවේදක වරුණ ගුණතිලක

විද්‍යා සන්නිවේදකයෙක් විදිහට සංවේදී කාරණා පිළිබඳව කතා කිරීමේදී විද්වතුන් වගේම මාධ්‍යයත් ජන සමාජයේ සමාජ විද්‍යාත්මක ස්වරෑපය හඳුනාගෙන ඒ අනුව සන්නිවේදනයේ යෙදීම ඉතාම වැදගත්. විද්වතුන් හෝ මාධ්‍ය සන්නිවේදනය කරන දේවල් ග්‍රහණය කරන ග්‍රාහකයන් ඉන්නේ විවිධ ආකල්ප හා අධ්‍යාපන මට්ටම්වල. සංවේදී කාරණා සන්නිවේදනයේදී එය අධි සංවේදී ස්වරෑපයෙන් ඉදිරිපත් නොකළ යුතුයි.

විද්‍යාත්මක සත්‍යයක් ඇති කරුණක් වුවත් එය මේ මොහොතේ ප්‍රකාශයට පත් කිරීමේ යෝග්‍යතාව සහ එය සන්නිවේදනය කිරීම, බිය හා මානසික ආතතිය යම් පිරිසකට ඇතිවීමට බලපායි නම් මගේ අදහස නම් එය සන්නිවේදනය කිරීමෙන් වැළකී සිටිය යුතුයි. බිය, ආතතිය ගර්භණී මවකගේ මානසික සෞඛ්‍යයට කිසිසේත්ම සුදුසු වෙන්නේ නෑ. දැනට ගර්භණීව ඉන්න මව්වරුන්ට මම කියන්නේ කොරෝනා සම්බන්ධ පුවත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අධි සංවේදී වීඩියෝ, ඡායාරෑප, මරණ මේ සියල්ල නැරඹීමෙන් වළකින්න. සමාජ භීතිකාවන් නිර්මාණය නොවන පරිදි වගකීමෙන් අවශ්‍යම තොරතුරු පමණක් ලබාදීම වරෙක මාධ්‍යයේ සහ සන්නිවේදකයන්ගේ වගකීමයි.

සන්නිවේදනයේදී සන්නිවේදකයන් වගේම මාධ්‍ය ඒ ජන සමාජයේ ජන විඥානය, ඇදහිලි, විශ්වාස, ආකල්ප තේරුම් ගෙන ඒ අනුව ගැලපෙන සන්නිවේදන ආකෘතියක් තෝරාගැනීම ඉතා වැදගත්.

 සංජීවිකා සමරතුංග

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00