2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

සීමා කිරීම් සමඟ ඇඳිරිය ලිහින් කරන්න පුළුවන් - පී.එච්.අයි. සභාපති

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 24

ඉතා ශීඝ්‍රයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත්, ඔවුන් සම්බන්ධයෙන් කරනු ලබන පරීක්ෂණවලට අනුව ඒ අතරින් ඩෙල්ටා ප්‍රභේදය සහිත කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමඟ රජය විසින් සතියකට නිරෝධායන ඇඳිරි නීතිය මුළු දිවයිනටම පනවනු ලැබීය. එසේ සතියකට පැනවූ ඇඳිරි නීතිය අඛණ්ඩව මාසයක කාලයක් පුරාවට දීර්ඝ කිරීමට රජයට සිදුවූයේ මෙම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේදීද වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව අපේක්ෂිත තරම් අඩුවීමක් නොවුණ විටය. කෙසේ වුවද කොවිඩ් ආසාදිතයන්ගේ අඩු වැඩිවීම් පිළිබඳව නිශ්චිත වාර්තාවක් මුලින්ම ලැබෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටය. බිම් මට්ටමින් අදාළ ප්‍රදේශයේ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් පිළිබඳ තොරතුරු ඔවුන් හරහා අදාළ අංශවලට වාර්තාවේ. ඒ අනුව වාර්තාවන ආසාදිතයන් අනුව පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් පැනවිය යුතුදැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

“නිරෝධායන ඇඳිරි නීතිය මාස දෙකක් වුණත් පැනවෙනවා නම් අපි කැමැතියි. නමුත් පවතින ආර්ථික ප්‍රශ්නත් සමඟ දිගින් දිගටම රට වසා තබන්න අමාරුයි. පන්දහසකට ආසන්න ආසාදිතයන් සෞඛ්‍ය පද්ධතියට දරාගන්න අමාරුයි. ඒ නිසා සෞඛ්‍ය පද්ධතියට දරාගන්න හැකි මට්ටමකට මෙලෙස නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හොඳ බවයි අපි තීරණය කළේ. අඩුම ගණනේ එක්දහස් පන්සීයකට ආසන්න සංඛ්‍යාවකට එම ආසාදිතයන් වාර්තා වීම් අඩු කළ යුතු වෙනවා. මේ වනවිට රෝගීන් වාර්තාවීමේ පැහැදිලි අඩුවීමක් තිබෙනවා. ඒ අතර කෘත්‍රිම අඩුකිරීමකුත් යම් මට්ටමකින් කරමින් පවතිනවා. නමුත් බිම් මට්ටමේ නිලධාරීන් හැටියට රෝගීන්ගේ වාර්තාවීමේ යම් අඩුවක් තිබෙන බව කිව හැකියි” යැයි උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.

මේ අනුව මෙම නිරෝධායන ඇඳිරි නීතිය මාසයක කාල සීමාවකින් පසුව යම් ලිහිල් කිරීමක් කළ හැකි බව ඔවුන්ගේ මතයයි. නමුත් ගැටලුව වන්නේ රට ලිහිල් කිරීමම නොවේ. මෙලෙස නැවතත් රට විවෘත කිරීමත් සමඟ රටේ ජනතාවගේ හැසිරීම පිළිබඳ සෑහීමකට පත්විය හැකිද යන්නයි. මෙලෙස රට තුළ සංචරණ සීමා පැනවූ පළමු වතාව මෙය නොවේ. කොවිඩ් වසංගතය මෙරට වාර්තා වීමත් සමඟ බොහෝ රටවල් සේ මෙරටද නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ නමුත් එය ඉවත් කළ සැණින් කූඩුවක සිර වී සිටි කුරුල්ලන් සේ බොහෝ ජනයා ගත් අසීමිත නිදහස හේතුවෙන් සිදුවූයේ නැවත ආසාදිතයන් වාර්තාවීමත්, මරණ සංඛ්‍යාව ඉහළ යාමත් පමණි. මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුවේද මෙරට තුළ කොවිඩ් ආසාදිතයන් නොසිටි ගානටය. එහි ප්‍රතිඵලය වූයේ නැවතත් කොවිඩ් පොකුරු තැන තැන වර්ධනය වී ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමය.

“මෙවර රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය ලිහිල් කළක් පෙර වතාවන්වලදී සේ එකවර විවාහ උත්සවලට, සාහිත්‍ය උත්සව, සම්භාෂණවලට, අවසරය ලබා දුන්නොත් නැවතත් මේ රෝගීන් වැඩිවීමට බොහෝ ඉඩ තිබෙනවා. ඒ නිසා යම් සංචරණ සීමා සහිතව ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධව අපේ විරෝධතාවක් නැහැ. නමුත් දිස්ත්‍රික්ක සංචරණ සීමා, පළාත් සංචරණ සීමා වගේම මිනිසුන් එක්රොක් වී පවත්වන සම්භාෂණයන්ට දැඩි නීති රීති දමන්න ඕනේ. පසුගිය කාලයේදී එතරම් ජනගතව විවාහ උත්සවවලට අවසරය ලබාදීමෙනුත් මේ ආසාදිතයන් වර්ධනයක් වාර්තා වුණා.” යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

මාසයක පමණ කාලයක් නිරෝධායන ඇඳිරි නීතිය රට තුළ පැනවුවද ඇතැමුන්ගේ හැසිරීම් එතරම් සුවදායී වූයේ නැත. අත්‍යවශ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය දේකට හැර අන් සියල්ලන්ටම නිවෙස් තුළ රුඳී සිටින්නැයි සෞඛ්‍ය අංශයේ කොතරම් උපදෙස් ලබා දුන්නද ඇතැමුන්ගේ අනවශ්‍ය ගමන් හේතුවෙන් සෞඛ්‍ය අංශයේ බලාපොරොත්තු වූ පරිදි ආසාදිතයන් වාර්තාවීම අඩුවූයේ නැත.

“නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ මේ මාසය පුරාවටම මුල් දින හතර තුළ පමණයි. නිරෝධායන ඇඳිරි නීතියත් විදිහට රට ක්‍රියාත්මක වෙනවා. අපි දැක්කේ එතැන් පටන් මෙරට තුළ නිසි පරිදි නිරෝධායන ඇඳිරි නීතියක් විදිහට රට ක්‍රියාකරනව අපි දැක්කේ නැහැ. එයට දෙපාර්ශ්වයටම වගකියන්න ඕනේ මිනිසුන් වගකීමකින් තොරව අත්‍යවශ්‍ය දේවල්වලට මුවා වී පාරේ ගමන් කළා. ඒ වගේම මිනිසුන්ට එලෙස ගමන් කළ හැකි පරිදි බලධාරීන් රට තුළ ඉඩ හදලා දුන්නා. අත්‍යවශ්‍ය සේවා මොනවාදැයි පිළිබඳව බලධාරීන්ට නිසි අවබෝධයක් නැහැ. දුම්වැටි බෙදාහරින්නන්ට පවා අවසරය ලැබිලා තියෙනවා. ඒ අනුව එය අත්‍යවශ්‍ය සේවාවක්දැයි සැකයක් පවතිනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවලට බලපත්‍ර ලබාදී බලධාරීන් මේ අනවශ්‍ය පසුබිමක් මිනිසුන්ට හදලා දුන්නා. ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවුණත් සියයට සියයක්ම මිනිසුන් සංචරණ නොවීම නිසා යම් පාලනයක් සිදුවුණා.” යැයි උපුල් රෝහණ මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

මේ අනුව සෞඛ්‍ය ආයතනවල හා ඇතැමුන්ගේ අදහස වන්නේ ආසාදිතයන්ගේ අඩුවීමට ප්‍රධානම හේතුව වන්නේ මෙතෙක් කරගෙන ආ පී.සී.ආර්. පරීක්ෂණ හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවල අඩුවීම හේතුවෙන් බවය.

“දිනයේ අසාදිතයන් අඩුවෙනවාද නැද්ද යන්න මුලින්ම තේරෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තමයි. ගම් මට්ටමින් රෝගීන් වාර්තාවීම අනුව එය තීරණය කරන්න පුළුවන්. කෙසේ හෝ මේ වනවිට රෝගීන්ගේ අඩුවීමක් පෙන්නුම් කරනවා. අහඹු පී.සී.ආර්. පරීක්ෂණ, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ, අපිට ලැබෙන දුරකථන පණිවිඩ ඔස්සේ රෝගීන්ගේ අඩුවක් තිබෙනවා. මේ වනවිට රෝගීන්ගේ අඩුවීම පටන් අරගෙනයි තිබෙන්නේ. මේ අනුව මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය සීමාසහිතව ලිහිල් කළ හැකි වටපිටාවක් රට තුළ පවතිනවා.” යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00