2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

ජනතාව පෝලිම් ගස්වන ගෑස් - කිරිපිටි හිඟය

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 127

ගෑස් නැති නිසා දර ලිපේ කේතලය රත් කොටගෙන කිරිපිටි නැති නිසා කහට කෝප්පයක් සාදාගෙන සීනි අඩු නිසා අල්ලට සීනි ස්වල්පයක් ගෙන කහට කෝප්පයක් බී ජීවත්වීම ලොක්ඩවුන් රාජ්‍යයේ දෛනික ආදායම් ලබන ජනතාවගේ උරුමය වී තිබේ. මේ සටහන දැනට ඇති වී ඇති සහ ඇතිවන්නට යන බව කියන හිඟයන් පිළිබඳවයි. හිඟය යනු මේ දිනවල රටේ සතර අතින්ම නිතර ඇසෙන වචනයකි. ගෑස් හිඟය, කිරිපිටි හිඟය, සීනි හිඟය මේ අතරින් ප්‍රමුඛය. හිඟයේ වින්දිතයෝ නම් පාරිභෝගිකයෝමය. චූදිතයෝ නම් පාලකයන්ද ව්‍යාපාරිකයන්ද යන්න අපට පැහැදිලි නැත. එහෙත් දැනෙන හැඟෙන සත්‍ය ඔබ හමුවේ තැබීම අපගේ වගකීමකි.

අප පළමුව කිරිපිටි හිඟය දෙසට අවධානය යොමුකරමු. මෙරට මහජනතාව වැඩි වශයෙන් පුරුදු වී සිටින්නේ ආනයනික කිරිපිටි භාවිතා කිරීමටයි. එම නිසාම කිරිපිටි යනු මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. විශේෂයෙන්ම දරුවන් සඳහා කිරිපිටි අත්‍යවශ්‍ය සාධකයක් බව මෙරට බොහෝදෙනා විශ්වාස කරති. තත්ත්වය එසේ නමුත් මේ මොහොතේදී ආනයන කළ කිරිපිටි හිඟයක් වෙළඳපොළේ පැහැදිලිවම නිරීක්ෂණය වෙයි. ඊට හේතුව නම් ආනයනික කිරිපිටි මිල ගණන් ඉහළ දැමීමට එම සමාගම් සිදුකළ ඉල්ලීමට රජය එකඟ නොවීමයි.

පසුගිය සමයේ දිගින් දිගටම ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි සමාගම් ඉල්ලීම් ඉදිරිපත් කළේය. එහෙත් රට තුළ පැවැති වාතාවරණය හේතුවෙන් කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදුවුවහොත් ජනතාව පීඩාවට පත්වෙන බව කියමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ඊට අවසර නොදුන්නේය. පසුව ඩොලරයේ අගය වෙනස්වීම හේතු කොටගෙන මෙරටට කිරිපිටි ආනයනය සීමා කිරීමට සමාගම් කටයුතු කළේය. මේ අතර කොවිඩ් වාතාවරණය තුළ ලෝක වෙළෙඳපොළේද යම් කිරිපිටි හිඟයක් පවතින බව රජයේ අමාත්‍යවරු කීහ. කෙසේ නමුත් පවතින හිඟය රජයට එරෙහිව තමන්ගේ වෙළෙඳ ආධිපත්‍යය ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන් මෙරට කිරිපිටි ආනයන සමාගම් විසින් මවාපාන ලද්දක් බවද කියැවුණි.

පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන පරිද්දෙන් මෙරට කිරිපිටි නිෂ්පාදනය සිදුවන්නේ දේශීය වෙළෙඳපොළේ කිරිපිටි ඉල්ලුමෙන් 20% පමණ ප්‍රමාණයක් සපුරාලීම වෙනුවෙනි. ඒ හේතුවෙන්ම දේශීය සමාගම් විසින් නිෂ්පාදනය කරන කිරිපිටි මේ දිනවල අලෙවි වන්නේ හොර රහසේය. ඇතැම් දේශීය කිරිපිටි වෙළෙඳ සල්වලින් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම්වල ජනතාව රැඳී සිටින අයුරුද ගෙවුණු සතියේ නිරීක්ෂණය විය. එහෙත් තවමත් මෙම ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලැබී නොමැත. වගකිවයුත්තෝ දිගින් දිගටම දියර කිරි භාවිතයට යොමුවන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් කරමින් සිටිති. එහෙත් දියර කිරි පවා මේ දිනවල සපයා ගැනීම පහසු නැත. එම නිසාම දරුවන් සිටින පවුල්වල දෙමව්පියෝ කිරිපිටි හිඟය නිසා දැඩි පීඩාවට පත්වී සිටිති.

හිඟයන් අතින් මේ දිනවල ඇති තවත් බැරෑරුම්ම හිඟයක් වන්නේ කහ පැහැති ගෑස් හිඟයයි. ලාෆ්ස් සමාගම සිය අලෙවි කටයුතු තාවකාලිකව අත්හිටුවීමත් සමග මෙම අර්බුදය හටගෙන තිබේ. දිවයින පුරා කහ පැහැති ගෑස් සිලින්ඩර ලක්ෂ 29ක් පමණ ඇතැයි සැලකෙයි. මාසයකට අධික කාලයක් පුරා පවතින මෙම හිඟය හේතුවෙන් එම කිසිදු සිලින්ඩරයක ගෑස් නොමැති බව පැහැදිලිය. මේ හේතුවෙන් මේ දිනවල දිවයිනේ බොහෝ පවුල් නැවත දර ලිප් භාවිතයට යොමුවී ඇති බව පෙනෙන්නට තිබේ. නිල් පැහැති ගෑස් සිලින්ඩරයක වෙළෙඳපොළ වටිනාකම මේ වන විට රුපියල් අටදහසක් පමණ වේ. ඒ හේතුවෙන් පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට සාමාන්‍ය පවුලකට වෙනත් ගෑස් වර්ගයකට මාරුවීම සිදුකළ නොහැක්කකි. නිල් පැහැති ගෑස් අලෙවි කරන ලිට්ට්‍රෝ සමාගම කහ පැහැති ගෑස් සිලින්ඩරවලට ගෑස් පිරවීමට එකඟ වී ඇති නමුත් ලාෆ් සමාගමෙන් සහ බලධාරීන්ගෙන් ඊට අවසර ලැබී නොමැත.

ගෑස් හිඟයට හේතුව ලෙස ලාෆ් ගෑස් සමාගම පවසන්නේ ඩොලර් හිඟයයි. ඒ හේතුවෙන් ගෑස් ආනයනය කිරීමට නොහැකි බව ඔවුන් කියා සිටියි. ගෑස් මිල ගණන් වැඩි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම සමාගම් දෙකම පසුගිය සමයේදී දිගින් දිගටම ඉල්ලීම් කළේය. මුලදී ඊට යහපත් ප්‍රතිචාරයක් නොවූ නමුත් අවසානයේදී ගෑස් ආනයනය නතර වී ප්‍රතිඵලය ලෙස අදාළ මිල ගණන් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කළේය. ඒ අනුව ලාෆ් ගෑස් සමාගමේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් සහ කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 143 ක් කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය අගෝස්තු මස 12 වැනිදා අවසර දුන්නේය.

එවිට ලාෆ් සමාගම ගෑස් අලෙවිය නැවත ආරම්භ කළ නමුත් අධික පිරිවැය හේතුවෙන් එම කටයුත්ත තවදුරටත් සිදුකළ නොහැකි බව පවසමින් ඔවුන් මේ වනවිට අදාළ මෙහෙයුම් කටයුතු නතර කර දමා තිබේ. තවදුරටත් මිල ගණන් ඉහළ දැමිය යුතු බව ඔවුහු පවසමින් සිටිති. ණයවර ලිපි විවෘත කිරීමට ගැටලු ඇති බව ලාෆ් සමාගමේ සභාපතිවරයා පවසා තිබුණි. කෙසේ නමුත් ගෑස් යම් ප්‍රමාණයක් වෙළඳපොළේ පවතින නිසාවෙන් මෙම හිඟය සම්බන්ධ මහජන පීඩාවන් පිළිබඳ බලධාරීන් කටයුතු කරන්නේ අලසවය. එහෙත් මෙරට පවුල් ලක්ෂ 25 කට වැඩි ප්‍රමාණයක් මෙම ගෑස් හිඟය හේතුවෙන් මේ වනවිටත් දැඩි ලෙස පීඩාවට පත්වී සිටිති. සංචරණ සීමා ඉවත්කළ පසුවද මෙම හිඟය පැවතුණහොත් විශාල අර්බුදයක් නිර්මාණය වනු ඇත.
පසුගිය සති කිහිපය පුරා පැවැති සීනි හිඟය මේ වනවිට යම්තාක් දුරකට පාලනය කිරීමට බලධාරීහු සමත් වී සිටිති. මෙය මුළුමනින්ම කෘත්‍රිම ලෙස ව්‍යාපාරිකයන් විසින් නිර්මාණය කරන ලද හිඟයක් බව මේ වනවිට පැහැදිලි වී තිබේ. ව්‍යාපාරිකයන් කූට ලෙස ගබඩා කරගෙන තැබූ සීනි තොග අත්අඩංගුවට ගැනීමත්, මිල පාලනයක් ප්‍රකාශයට පත්කිරීමත් හේතුවෙන් සීනි අර්බුදය පාලනය කළ හැකි විය. එහෙත් සතොස වැනි ආයතනවලින් තවමත් සීනි නිකුත් කරන්නේ පාලනයක් සහිතවය. එම නිසාම සීනි සම්බන්ධ අර්බුදය සියයට සියයක් විසඳී ඇතැයි කීම සාධාරණ නොවේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජනය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 500කි. මෙම අවශ්‍යතාව වෙනුවෙන් රට තුළ නිෂ්පාදනය කෙරෙන්නේ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 100ක් පමණක් වන අතර ඉතිරිය ආනයනය කරන්නේ, පිටරටිනි. ආනයන ඒකාධිකාරය බෙදී තිබෙන්නේ සමාගම් 12ක් අතර බව කියැවේ. ආණ්ඩුවේ සීනි බදු ඉවත් කිරීමේ වාසිය මෙම සමාගම් 12 අතර බෙදී ගොස් ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඊට හේතුව නම් එහි වාසිය මේ දක්වා පාරිභෝගික ජනතාව සතු නොවීමයි. එවන් අයථා වාසියක්ද ලබා මෙම සමාගම් පසුගිය දිනවලදී සිදුකරනු ලැබුවේ බරපතළ ගණයේ අපරාධයකි.

ඩොලරයේ ඉහළ යාම පදනම් කරගනිමින් තමන්ගේ වංචාව සාධාරණීකරණය කරගත් මෙම ව්‍යාපාරිකයෝ තවදුරටත් නිරුපද්‍රිතව සිටිති. ඒ නිසාම නුදුරු අනාගතයේදී සීනි ඒකාධිකාරය මෙරට පාරිභෝගිකයන්ට නැවත පහරදීමට ඉඩ තිබේ. හදිසි නීති ප්‍රතිපාදන සෑමදාම ක්‍රියාත්මක කළ නොහැකිය. එමනිසාම මෙම කූට ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පසුබට නොවිය යුතුමය. එසේම සීනි බද්දේ අලගිය මුලගිය තැන්ද සොයා බැලීම රජයේ වගකීමකි. මෙය වසංගත සමයක් වුවත් මෙවන් අර්බුදවලට පැලැස්තර ඇලවීම සුදුසු නොවේ.

මේ දිනවල සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳවද විවිධ කතා පැතිර යයි. කෙසේ වෙතත් බලධාරීන් විසින් වී මෝල් හිමියන්ගෙන් පවරාගනු ලැබූ සහල් තොග මේ වනවිට වෙළෙඳ පොළට නිකුත් වෙමින් තිබේ. තවද හදිසි නීති ප්‍රතිපාදන ප්‍රකාරව නිකුත් කරනු ලැබූ මිල පාලනයද දැඩිව ක්‍රියාත්මක වෙයි. මෙම තත්වය තුළ පාලන මිලට සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවකාශය සැලසී ඇත. වර්තමානයේ සහල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය පසුගිය කාලයේ පැවැති තත්ත්වයට සාපේක්ෂව යහපත්ය. සහල් ආනයන සැලසුමක්ද ක්‍රියාත්මක වන බැවින් සහල් මෝල් ඒකාධිකාරිය මේ වනවිට පියවරක් පසුපසට ගෙන සිටිති. ඒත් ඔවුන්ගේ මෙම නිහඬ ප්‍රතිපදාව ඉදිරියේදී පළිගැනීමක් විය හැකිය. ඔවුන් ඉදිරියේදී සහල් හිඟයක් මවාපාන්නට ඉඩ ඇති බව තතු දත්තෝ පවසති. දැනටමත් සිදුවෙමින් පවතින ඇතැම් දෑ ඊට උදාහරණ කොට දැක්විය හැකිය.

වී සහල් අතර පවතින මිල විකෘතිය හේතුවෙන් ඉදිරියේදී සහල් හිඟයක් ඇති විය හැකි බව ගොවි සංවිධාන නායකයෝ මාධ්‍යය වෙත ප්‍රකාශ කර සිටියහ. මේ අතර ගොවීහුද තමන්ගේ අස්වනු රජය විසින් නියම කරන ලද මිල ගණන් යටතේ විකිණීම ප්‍රතික්ෂේප කරමින් සිටිති. මෙම කන්නේ සැලකිය යුතු පිරිසක් කුඹුරු ගොවිතැනේ නොයෙදුණු බවද ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයෝ කියති. මෙම ප්‍රකාශ තවත් සහල් හිඟයක පෙර මග ලකුණු විය හැකිය. එම නිසාම බලධාරීන් නිසි කළමනාකරණ ප්‍රතිපදාවන් අනුගමනය කරමින් ඒ සඳහා සූදානම් විය යුතුය.

චූදිතයන් නොමැති වින්දිතයන් පමණක් සිටින මෙම කොවිඩ් ආර්ථික අහේනියේ සියලු පීඩාවන් මහජනතාවගේ කර මතය. වසංගතය හේතුවෙන් ඇතැම් දේ පාලනයෙන් තොරව සිදුවන බව කිව හැකිමුත් එය පූර්ණ සත්‍යයක් නොවේ. අසත්‍යයක්ද නොවේ. ආණ්ඩුව මේ මොහොතේදී ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට උත්සාහයක් දරන බව සැබෑය. එහෙත් එම උත්සාහයේ තාක්ෂණික පැතිකඩ පිළිබඳව  ඇත්තේ විවාදාත්මක බවකි. එවන් විවාදයට මෙය අවස්ථාව නොවන මුත් අවසානයේ කිව යුත්තේ සීත කුටිවල කැරකෙන පුටුවල සිට මහපොළොවේ යථාර්ථය හඳුනා ගැනීමට කිසිවකුට හෝ නොහැකි බවයි.

 චමිඳු නිසල් ද සිල්වා