2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

අපොස ප්‍රතිඵල අද නෙමෙයි හෙට

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 90

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දිනෙන් දින ප්‍රමාදවීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ එම විභාගයට පෙනී සිටි දරුවන් සහ ඔවුන්ගේ මව්පියෝ දැඩි අපහසුතාවට හා අසහනයට පත්ව සිටිති. ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන්  දරුවන්ට අපොස උසස් පෙළ විෂයන් තෝරා ගැනීමද විශාල ගැටලුවක් වී තිබේ.

2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සා/පෙළ විභාගය කොවිඩ් ව්‍යසනය හමුවේ දිනෙන් දින කල් ගියේය. අවසානයේ එය ආරම්භ වූයේ 2021 මාර්තු  පළමුවැනිදාය. මධ්‍යස්ථාන 4513ක පැවැත්වුණු එම විභාගයට මුහුණ දුන් සිසුන් සංඛ්‍යාව 622,000කි. පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි එවක සිටි අධ්‍යාපන අමාත්‍යවරයා වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කියා තිබිණි. අපොස සා/පෙළ විභාගයට පෙනී සිටි 6,22,000 ක් පමණ සිසුන් අතරින් 1,69,000 දෙනෙක්ම  සෞන්දර්ය  විෂයන් සඳහා පෙනී සිටි අයයි. එහෙත් යළි ඇතිවූ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීම හේතුවෙන් සෞන්දර්ය විෂයන්ට පෙනී සිටි දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වුණේ නැත. ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වීම හේතුවෙන් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමද ප්‍රමාද විය. 

පාසල් වසා තිබෙන කාලයේ අධ්‍යාපන කටයුතු සිදුවූයේ මාර්ගගත ක්‍රමයටය. එහෙත් පසුගිය ජූනි මාසයේදී සුබෝධිනී කමිටු නිර්දේශ අනුව තමන්ට හිමි වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් වර්ජනයක් ආරම්භ කළ අතර මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබා දීමද ඉන් ඇණහිටියේය. ගුරු සංගම් කියා සිටියේ තමන් සියලු විභාග කටයුතුවලින්ද ඉවත්වන බවටය. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලද ඇණහිටියේ ඒ අනුවය. 

ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළේ විකල්ප ක්‍රමයක් මගින් මෙම ගැටලුව විසඳා ගැනීමටය. ඒ අනුව යෝජනා කිහිපයක් ඉදිරිපත් විය. ඉන් එක් යෝජනාවක් වූයේ දැනට පවතින ලකුණු සහිතව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සහ පාසල් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වී ගුරුවරුන් පැමිණි පසු ප්‍රායෝගික විභාග අවසන් කිරීමය. තවත් යෝජනාවක් වූයේ කලින් සිදුකර ඇති ශිෂ්‍ය ඇගයීම් පාදක කර ගනිමින් ඒ අනුව ලකුණු ලබා දී ප්‍රතිඵල නිකුත් කිරීමයි. තෙවැන්න ප්‍රායෝගික විභාග නොසලකා ප්‍රතිඵල නිකුත් කිරීමය. එහෙත් මෙම විකල්ප යෝජනාවලට ගුරු සංගම්වලින් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එම අදහස අත්හැරීමට අධ්‍යාපන අමාත්‍යංශයට සිදු විය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මේ සම්බන්ධයෙන් කියා සිටියේ එය තරගකාරී විභාගයක් හෙයින් ගුරුවරුන්ගේ අභිමතය අනුව ලකුණු ලබා දෙන්නේ නම් එය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කරන අසාධාරණයක් බැවින් තමන් එම ක්‍රමය පිළි නොගන්නා බවටය.

සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා එම විෂය හැර අනෙකුත් විෂයන් සඳහා සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීමේ සූදානමක් ඇතැයි ලංකා ගුරු සංගමය කියා සිටියේය. එවැනි තීරණයක් ගතහොත් ඊට තරයේ විරෝධය ප්‍රකාශ කරන බවත් ගුරුවරුන් හා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සහ මව්පියන් හා එක්ව එයට එරෙහි වන බවත් ඔහු මාධ්‍යයට කියා තිබිණි. සෞන්දර්ය විෂය නොමැතිව සෙසු විෂයන්හි ප්‍රතිඵල පමණක් නිකුත් කිරීම දරුවන්ට කරන අසාධාරණයක් බවද, සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ තවමත් පැවැත්වීමට නොහැකිව ඇත්තේ ගුරු අරගලය නිසා නොවන බවද ඔහු ප්‍රකාශ කළේය. 

වැටුප් විෂමතා හා වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ගුරුවිදුහල්පතිවරුන්  ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගයට මේ වන විට මාස දෙකකට අධික කාලයක් ගතවී තිබේ. එහෙත් ගුරු සංගම් තවමත් තම ස්ථාවරය වෙනස් කර නොමැත. ඔවුන් තම ඉල්ලීම් ඉටු කරන තෙක්  වර්ජනය අත්නොහරින බව ප්‍රකාශ කර තිබේ. පසුගියදා පත් කළ පාර්ලිමේන්තු අනුකමිටුව මගින් කරන ලද නිර්දේශ පිළිගැනීමටද ඔවුන් සූදානම් නැත. පාසල් යළි ආරම්භ කිරීමට පෙර තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් අවශ්‍ය යැයි ඔවුහු කියා සිටිති. එවිට දරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බව ඔවුහු පවසති. උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ මව්පියන් තුළ ඇත්තේ දැඩි නොසතුටකි. තමන්ගේ ඉල්ලීම් දිනාගැනීම සඳහා තම දරුවන් බිල්ලට නොගන්නා ලෙසට ඔවුහු ගුරු සංගම්වලින් ඉල්ලා සිටිති. 

අධ්‍යාපන අමාත්‍යංශයටද විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් තවමත් පැහැදිලි තීරණයක් නොමැත. උසස් පෙළ හැදෑරීමට අපේක්ෂාවෙන් සිටින දරුවන් විශාල පිරිසක් දැඩි අපහසුවට පත්ව ඇත්තේ  තමන් උසස් පෙළට සුදුසුකම් ලබයිද, තෝරාගත යුතු විෂයන් මොනවාදැයි නිශ්චය කර ගැනීමට නොහැකි වී ඇති හෙයිනි. විදේශ අධ්‍යාපන ආයතනවලට ඇතුළත්වීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන්ටද මෙය බලපා තිබේ. එමෙන්ම ප්‍රතිඵල තවත් ප්‍රමාද කිරීම ඉදිරි විභාග පැවැත්වීමට සහ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමටද ගැටලුවක් විය හැකිය. දෙමව්පියන් කියා සිටින්නේ තම දරුවන් එක් විෂයක් සඳහා පන්තිවලට සහභාගී වුවත් ප්‍රතිඵල පැමිණීමෙන් පසු වෙනත් විෂයක් තෝරා ගැනීමට සිදුවේදැයි යන බියෙන් පසුවන බවයි. කොරෝනා හමුවේ ඇතැම් මව්පියන් දරුවන් උපකාරක පන්තිවලට යවන්නේ දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේය. ඔවුන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් ප්‍රතිඵල ලබා දී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි කරගෙන යාමට හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙසටය.

රටේ ජනතාවගේ මතය වී ඇත්තේ දෙපාර්ශ්වයම මේ සම්බන්ධයෙන් නම්‍යශීලීව කටයුතු කළ යුතු බවටය. ගුරු සංගම් මුදල් අමාත්‍යවරයා සමඟ ඉල්ලා ඇති සාකච්ඡාව ලබා දී මේ සම්බන්ධයෙන් කිසියම් විසඳුමකට එළඹීම අනිවාර්යෙන් සිදුවිය යුතු බව ඔවුන්ගේ අදහසයි. මේ අවස්ථාවේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය පිළිබඳව ගුරුසංගම් විසින්ද වටහාගත යුතු බවද, මස් රාත්තලම නොඉල්ලා අනුකමිටුවේ නිර්දේශ පිළිගන්නා ලෙසටද, එසේ නොවන්නේ නම් එයට වන්දි ගෙවන්නට සිදුවන්නේ මෙරට දරු පරපුරට බවද ඔවුහු පවසති. 

මේ අතර උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ අයැදුම්පත් සම්පූර්ණ කිරීමේ අවසන් දිනය ලෙස දක්වා තිබුණේ පසුගිය සැප්තැම්බර් 15දාය. එහෙත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති කියා සිටියේ තම ඉල්ලීම් ඉටුවන තුරු එම කටයුතුද ඉටු නොකරන බවටය. මෙම ගැටලුව විසඳීමට අවශ්‍ය නම් එක්කෝ තම ඉල්ලීම් ලබා දීම හෝ නැතිනම් අයැදුම්පත් සම්පූර්ණ කිරීමේ දිනය දිගු කිරීමට අමාත්‍යංශය පියවර ගත යුතුයැයි ඔවුහු කියා සිටිති.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාග ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගන්නා බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ. ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වූ හේතු මේ වනවිට හඳුනාගෙන ඇති අතර අධ්‍යාපන කාර්යාලවලට අනුයුක්ත කර සිටින උපාධිධාරින් ගුරු සේවයට අනුයුක්ත කිරීම සහ රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන් ඔවුන්ගේ කැමැත්ත මත ගුරු සේවයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට රජය සූදානමින් සිටින බවද වාර්තා වේ.

විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් ලෙස නොවුණද විවිධ අදහස් යෝජනා වී ඇති බවයි. කඩිනමින් ප්‍රතිඵල ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව විශ්ලේෂණය කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාවරයාට වගකීම පවරා ඇති බවත් ඒ අනුව අමාත්‍යවරයා කඩිනමින්  කිසියම් පියවරක් ගැනීමට නියමිත බවත් ඔහු කියා සිටියේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා