2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

සයිබරේට ගිය සාහිත්‍ය මාසේ

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 33

තවත් සාහිත්‍ය මාසයක් ගෙවී යාමට ආසන්නය. මෙවර සාහිත්‍ය මාසයේ වැඩි කාලයක් කොවිඩ් නිරෝධායන ඇඳිරියට යටවිය. මේ නිසා වෙනදා මෙන් කොළඹ පොත් ප්‍රදර්ශනයට ගොස් පොත් තෝරා ගැනීමට, පොත් සාප්පුවලින් වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට, සාහිත්‍ය සංවාදවලට සහභාගී වීමට 2021දී ඉඩක් නැත.

2020දීත් කොරෝනා වසංගතය පැවතුණද කොළඹ පොත් ප්‍රදර්ශනය සෞඛ්‍ය නීති යටතේ පැවැත්විණි. ස්වර්ණ පුස්තක, රජත පුස්තක මෙන්ම විද්‍යෝදය, ගොඩගේ සම්මාන උත්සවද පැවැත්විණි. ගිය වසරේ නොපැවැත්වුණේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය පමණි.

මේ වනවිට ප්‍රකාශකයන්ගේ සංගමය පවත්වන ස්වර්ණ පුස්තක සම්මානයේ මුල් වටයේ ග්‍රන්ථ ප්‍රකාශයට පත්ව තිබේ. රජත පුස්තක නිර්දේශිත ග්‍රන්ථද ප්‍රකාශ කර අවසන්ය. මෙවර විද්‍යෝදය සම්මාන උළෙල නොපැවැත්වෙන බව පැවසේ. මේ අතර වර්ෂයකට පසුව රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි හා නිර්දේශිත ග්‍රන්ථ නාමාවලිය මාධ්‍යවලට නිකුත් කෙරිණි. ඒ 2019 පළවූ ග්‍රන්ථවලට හිමි සම්මානයි. 2020 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ පොත්ද කියවා විනිශ්චය මණ්ඩලයේ තීරණය ලබාදී ඇති බව දැනගන්නට ලැබුණද ඒවා ප්‍රකාශයට පත් කරන්නේ කෙදිනකද යන්න ගැන නම් ආරංචියක් නැත.

සාහිත්‍ය මාසයේ රටේ ප්‍රධානතම සිද්ධිය බවට පත්ව තිබුණේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. එය සංවිධානය කරමින් ස්වර්ණ පුස්තක සහ රජ පුස්තක සම්මාන පිරිනමන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයයි. එහි භාණ්ඩාගාරික සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩිට අප ඇමතුවේ ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ ගැන විමසීමටයි. “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්හනය පවත්වන දිනයක් ගැන තවම ස්ථීර තීරණයක් නැහැ. මේ පවතින කොවිඩ් අවදානම හමුවේ ඉදිරියේ රටේ වටපිටාව මොනවගේ ආකාරයක් ගනීවිද කියලා හරියටම කියන්න අපහසුයි. රෝග අවදානම අඩු මට්ටමකට පත්වුණොත් සහ සෞඛ්‍ය නිර්දේශ ලැබුණොත් දෙසැම්බර්වල පැවැත්වීමට තමයි මුලින් තීරණය වී තිබුණේ. එසේ ප්‍රදර්ශනය පැවැත්වුණොත් සම්මාන උළෙලද පැවැත්වීමට ඉඩක් ලැබෙනවා.

දැන් පොත් සාප්පුවලට ඇවිත් පොත් තෝරාගැනීමට, පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලට ගැනීමට අවස්ථාවක් නැති නිසා පාඨකයෝ විශාල ප්‍රමාණයක් ඔන්ලයින් ක්‍රමයට පොත් ගෙන්වා ගන්නවා. බොහෝ ප්‍රකාශකයන් ඔන්ලයින් ක්‍රමයට පොත් ලබාදීමට කටයුතු කර තිබෙනවා. සූරිය ප්‍රකාශන ආයතනයන් ඔන්ලයින් පොත්හලක් මෑතකදී ආරම්භ කළා. නමුත් ඒ ක්‍රමයට බොහෝ සාමාන්‍ය පාඨකයන්ට පොත් මිලදී ගැනීමට පහසුකම් නෑ. පොත් ප්‍රදර්ශනයට ඇවිත් පොත් අතගාලා බලලා පොත් ගැනීමේ තෘප්තියක් ඉන් ලැබෙන්නේ නැහැ. මේක පාඨකයන්ට වගේම පොත් ප්‍රකාශකයන්ට ලොකු පාඩුවක්. වෙනදා සිදුවන අලෙවියෙන් 10%ක් වගේ තමා දැන් සිදුවන්නේ. සංචරණ සීමා නිසා සේවකයන්ට රුකියාවට එන්නත් බැහැනේ. රට නැවත විවෘත කළත් සෙනඟ ගැවසෙන එකත් භයානකයිනේ.”

ප්‍රකට පෙළේ ප්‍රකාශන ආයතන රාශියක් ඔන්ලයින් පොත් සාප්පු විවෘත කර ඇති බව අන්තර්ජාලයේ සැරිසරන විට පෙනේ. සූරිය ප්‍රකාශන, සුරස ප්‍රකාශන, විදර්ශන ප්‍රකාශන, එම්.ඩී. ගුණසේන. සරසවි ප්‍රකාශන, විජිත යාපා, සමුද්‍ර වැනි ආයතනවල අන්තර්ජාල පොත් බෙදාහැරීම් හරහා පාඨකයෝ පොත් ගෙන්වා ගැනීමට පුරුදුව සිටිති. එයට අමතරව ඔන්ලයින් ක්‍රමයට පොත් බෙදාහරින ආයතන රාශියක්ද ක්‍රියාත්මකය. Kbooks.lk, grantha.lk, books.lk, bookfair.lk ඒ අතරින් කිහිපයක් පමණි. ඇඳිරි නීති සමයේ නිවෙස්වලටම කොටු වී සිටින සාහිත්‍ය ලෝලීන්ට මේ පොත්හල් හරහා පොත් ගෙන්වා ගැනිමේ පිහිට පැතීමට සිදුව තිබේ. මේ නිසා ඔන්ලයින් ක්‍රමයට පොත් මිලදී නොගත් පාඨකයන් පවා පොත් ගෙන්වා ගැනීමට පුරුදුව සිටිති.
වෙනදා කොළඹ මහජන පුස්තකාලය, පුස්තකාල සේවා මණ්ඩලය, පදනම් ආයතනය වැනි ස්ථානවල පැවැත්වෙන සාහිත්‍ය සම්මන්ත්‍රණ, කතිකාද දැන් සයිබර් අවකාශයේ සූම් තාක්ෂණයේ පිහිටෙන් පැවැත්වීමට සිදුව තිබේ. බොහෝ සාහිත්‍ය රසිකයෝ තම ස්මාට් ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකය වැනි යෙදවුම් හරහා මේ කතිකාවලට සම්බන්ධ වෙති. එවැනි සම්මන්ත්‍රණ ගැන දැනුවත් කිරීමේ වේදිකාවක් වශයෙන් භාවිත කරන්නේ මුද්‍රිත මාධ්‍ය වෙනුවට මුහුණු පොත, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය මෙවලම්ය. කෙසේ වෙතත් සම්මන්ත්‍රණයකට ගොස් යහළු මිත්‍රයන් හා කතාබහ කර දේශනයකට සවන් දෙන තරම් සජීවී බවක් සූම් සම්මන්ත්‍රණවලින් ලැබෙන්නේ නැත.

මේ අතර පවත්නා ලොක්ඩවුන් වටපිටාවට අභියෝග කරමින් අන්තර්ජාල පොත් ප්‍රදර්ශනද පැවැත්වීමට සමහර සාහිත්‍යකාමීන් කටයුතු කර තිබේ. මෙරට පැවැත්වෙන පළමු අන්තර්ජාල පොත් ප්‍රදර්ශනය එලෙස පැවැත්වීමට කටයුතු කර ඇත්තේ රීඩ්ප්ලස් පදනමයි. එම ප්‍රදර්ශනය සැප්තැම්බර් 15දා සිට 30දා දක්වා පැවැත්වෙන අතර ප්‍රකාශකයන් රුසකගේ පොත් මිලදී ගැනිමට හැකියාව ලැබෙන බව එම පදනම පවසා සිටී. www.readplus.online හරහා මෙම ප්‍රදර්ශන අවකාශයට පැමිණීමට පුළුවන. පොත් ප්‍රදර්ශනයට අමතරව පොත් එළිදැක්වීම්, දේශන, සංවාද, සාහිත්‍ය තරග ආදියද එහිදී සයිබර් අවකාශයේ පැවැත්වීමට නියමිතය.

මේ කටයුතුවලින් පෙනෙන්නේ සංචරණ සීමා පවතින අවදියක ඒ සීමා බිඳ දැමීමට මිනිසා තාක්ෂණය හරහා උත්සාහ කරන අන්දමයි. යහළු මිතුරන්, ලේඛකයන්, ප්‍රකාශකයන් හමුවෙමින් ප්‍රීති කතා මැද ගෙවී ගිය සාහිත්‍ය මාසය මෙවර නම් සිහිනයක් පමණක් විය.

 කුසුම්සිරි විජයවර්ධන