2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

කොවිඩ් රකුසා ගෙන ගිය වැදි රැහේ රැජින

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 10:00 69

වන්නිල ඇත්තන් සමඟ ඔහුගේ බිරිය හීන් මැණිකේ වාර්ෂික මී පැණි පූජාව සඳහා අගෝස්තු 18 වැනිදා දළදා මාලිගයට පැමිණ දළදා වහන්සේ වැඳ පුදා ගත්තාය. මී පැණි පූජාවෙන් පසුව පිරිස මහියංගනය බලා පිටත්වූහ. ඉන් සති දෙකකට පසුව වැදිරුහේ කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදිත බව පීසීආර් පරීක්ෂණවලින් හෙළි විය.

එම ආසාදිත පිරිස අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගතවී ප්‍රතිකාර ලබමින් සිටි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිය ඌරුවරිගේ හීන් මැණිකේ පසුගිය 4දා රාත්‍රියේ මිය ගියාය. ඒ බව මාධ්‍ය ඔස්සේ පළවූ විටය බොහෝ දෙනෙක් ඇයගේ නම පවා දැනගත්තේ. වැදිනායක බිරිය වීමේ මහන්තත්ත්වයක් කිසිවිට හිසට නොගෙන සිටි හීන් මැණිකේ මාතාව වැදි රුහේ සියලුදෙනාටම ආදරණීය මවක් සහ මිත්තණියක්ව සිටි කාන්තාවකි.

බොහෝ ප්‍රකට පුද්ගලයන්, වෛද්‍යවරු පවා බිලිගන්නා කොවිඩ් මාරයා දඹාන වැදි ගම්මානයටද කඩා පාත්වූයේ නොසිතූ පරිදිය. වැදි රුහේ පිරිසකට කොවිඩ් රෝගය වැළඳුණු අතර ඒ අතරින් කොවිඩ් නිවුමෝනියා තත්ත්වය ඇතිවීම හේතුවෙන් &හීන් මැණිකේ* මහියංගන රෝහලට ඇතුළත් කෙරිණි. පසුව 2දා පේරාදෙණිය රෝහලට ඇය මාරුකර යැවූ අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය කොවිඩ් මාරයාට පරාජය වූවාය. හීන් මැණිකේ දරුවන් පස් දෙනෙකුගේ මවකි. ඇය වකුගඩු රෝගයකින් පෙළුණු කාන්තාවකි.

වැදිනායක වන්නිල ඇත්තන්ට දයාබර බිරියකව සිටිමින්, දූ දරුවන්ට හා මුනුපුරු මිනිපිරියන්ට ආදර්ශයක් වෙමින් ඔවුන්ට යහමඟ කියාදුන් හීන් මැණිකා, මහියංගණ ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී තම දිවියට සමු දුන්නාය. වැදි රුහේ පුද්ගලයකු මිය ගියවිට වැදි ප්‍රජාව විසින් සිදුකරන චාරිත්‍ර ගණනාවක් තිබේ. ඒ මළගිය ඇත්තාගේ ආත්මයට සැනසීමක් උදාකර දී නෑ යකුන් සතුටු කිරීමටයි. නමුත් සෞඛ්‍ය නිර්දේශ මත මළගමේ කටයුතු සිදුවුණේ සීමාකිරීම් රාශියකට යටත්වය. මළ සිරුර භූමදානය කිරීම වැදි ජනතාවගේ සිරිතයි. එහෙත්, කොවිඩ් නීතිරීතිවලට අනුව හීන් මැණිකාගේ දේහය ආදාහනය කිරීමට ඔවුන්ට සිදුවිය.

වැදි ජනයා ඥාතීත්වය අනුව තම මවට ආමන්ත්‍රණය කරන්නේ අම්මිලැත්‌තෝ ලෙසිනි. හීන් මැණිකා රැහේ කාටත් අම්මිලැත්තෝ කෙනෙක් ලෙස කටයුතු කළ බව පැවසේ. වර්ෂ 2005 දී පමණ ඇයට වකුගඩුවක් බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදු කෙරිණි. ඇයට අවශ්‍ය වකුගඩුව ලබා දී ඇත්තේ ඇයගේ දුවය. ඉන්පසුව ඇය වකුගඩු රෝගයට අවශ්‍ය ඖෂධ භාවිත කරමින් සිටියාය. දරුවන් පස් දෙනකුගෙන් යුත් එම පවුල බෙහෙවින්ම ආදරණීය පවුලක් විය. පවුලේ දූ දරුවන් සාර්ථක පවුල් ජීවිත සාමකාමීව ගතකරමින් සිටියහ. දඩයම මුල් කරගත් වැදි රුහේ සිටියත් ඇය දඩමස් අනුභව නොකළ නිර්මාංශ ආහාර ගත් තැනැත්තියකි. එමෙන්ම දූ දරුවන්ද නිර්මාංශ ආහාරවලට හුරුකිරීමට උනන්දු කළාය.

නිහතමානී ගතිලක්ෂණ පෙන්වූ හීන්මැණිකේ කතා කිරීමට ඉදිරිපත් නොවෙන ලජ්ජාශීලි කාන්තාවක් වූවාය. වැදිනායක වන්නිල ඇත්තන්ගේ ආදර කතාවේ ප්‍රධාන චරිතය හිමිවූයේ ඇයටයි. වැදි දරුවෝ කල් ‌නොයවා ස්වකීය නෑන-හූරා විවාහයන්ට ඇතුළු ‌වෙති. විවාහ චාරිත්‍රයන් ‌බො‌හෝ ‌සරලය.

මේ විවාහය ගැන වන්නිල ඇත්තෝ වරක් මෙසේ පවසා තිබුණි.
“මම විවාහ වුණේ අවුරුදු තිහක් වගේ කාලෙකදී. මම කැකුළියෝ එක්ක කතාකරන්න ලැජ්ජාවෙන් හිටි කෙනෙක්. යාළුවෝ විහිළු කරයි කියලා මට ලැජ්ජාවක් තිබුණා. මම තරුණ කාලෙ දුම්කොළ වේලන තැනක වැඩකළා. හීන් මැණිකත් එතැන අත්උදව්වට ඇවිත් හිටියා. හීන් මැණිකගේ අයියා ඒ කාලෙ කැකුළියක් එක්ක යාළුවෙලා හිටියා. මම අයියගෙ උදව්වට ගියා. හීන් මැණිකා ගැන කියලා මට යාළුවෝ විහිළු කරනවා. ඒ වෙන කොටත් මම හීන් මැණිකා එක්ක යාළුවෙලා හිටියේ නැහැ.*
වර්ෂයකට පමණ පසු වන්නිල ඇත්තන් තම සිතේ පවතින ආදර සෙනෙහස ගැන හීන් මැණිකේට කතා දැම්මේය. ඇය ඉඟිකළේ මේ කඩවසම් තරුණයාට කැමති බවටය. ඉන් මාස කිහිපයකට පසු ඔවුන් හමුවී කතාබහ කරන්න පටන් ගෙන ඇත. මේ ආදර අන්දරය එවකට වැදිනායක තිසාහාමිට ආරංචි වී ඔහුට බැණ වැදී තිබේ.

කසාද බඳින්න හදන්නේ රස්සාවක් තියෙනවද ගෙයක් තියෙනවද කියලා ඇහුවා. මම ගෙදරින් යන්න ගියා. ඒ කාලේ ගොවි හමුදාව කියලා එකක් තිබුණා. මම ඒ ගෙවල් හදන තැනක වැසිකිළි වළවල් කපන්න ගියා. එක වළකට රුපියල් විසි පහක් ගෙවනවා. මම නතර වෙලා හිටියේ මගේ බෑනා කෙනෙක්ගේ සහෝදරියකගේ ගෙදර.* වැදි නායකයා තම අතීත මතකය අවදි කරමින් සඳහන් කර සිටී.

දවසක් උදේ අප්පිලැත්තෝ මට කතා කළා. කැකුළි කැමති නම් එදා දවස ඇතුළත එක්ක එන්න කියලා අභියෝගයක් බාරදුන්නා. ඒ වෙනකොට අපි විවාහවීමේ දිනයක් ගැන කතා කරගෙන තිබුණේ නැහැනේ. එදාම එක්කරගෙන ආවොත් කන්න අඳින්න ගෙවල් දොරවල් හැමදේම දෙන්නම් කියලා අප්පිලඇත්තෝ කිව්වා. මම මේ ගැන හිත හිතා පාරේ යනකොට හීන් මැණිකේ එයාගේ නැන්දා කෙනෙක් එක්ක පාරේ එනවා. මම හීන් මැණිකෙට මේ සිද්ධිය ගැන කිව්වා. හීන් මැණිකේ ඒ වෙලාවෙම මා එක්ක එන්න කැමති වුණා. මම ඇයත් එක්කගෙන ගෙදර ආවා. අප්පිලැත්තෝ හිතුවේ නැහැ, මම ඔහුගේ අභියෝගය බාර ගනීවි කියලා. පහුවදාම ගෙයක් හදන්න ගත්තා. හේන් කරන්න පටන් ගත්තා. හැමදේටම හීන්මැණිකේ මට උදව් කළා.

හීන් මැණිකේ ගැන තම මතකය අවදි කළ කෘෂි විද්‍යාඥ උමයංගනා පූජනී ගුණසේකර අප සමඟ මෙසේ පැවසුවාය:
දඹාන වැදි ගම්මානය මට බොහොම සමීප තැනක්. මොකද දැන් වසර හතරක විතර ඉඳන් මගේ පර්යේෂණ ක්ෂේත්‍රය වුණේ දඹාන. මම දඹානේ ආදිවාසි ජනයාගේ ආහාර තාක්ෂණය පිළිබඳ පර් යේෂණයක නිරත වෙනවා. ඊටත් කලින් ඉඳන් අපි වන්නිල ඇත්තන්ව බොහොම හොඳින් දැන හඳුනාගෙන සිටියා. ඉතින් දඹානට යන එන හැමදාකම පළමුව වන්නිලැත්තන් බැහැ දැකීම අපේ සිරිතක්. හීන් මැණිකා ආච්චි ඒ කියන්නේ වන්නියලැත්තන්ගේ ආදරණීය බිරිඳ ඒ අවස්ථාවලදී මට මුණගැසී තියෙනවා. එතුමිය බොහොම තැන්පත් ‍ළෙන්ගතු කාන්තාවක්. එතුමියගේ අව්‍යාජ සිනහව මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. නායකතුමන්ගේ බිරිඳ විදිහට ඇය වැදි රුහේ හැමෝටම තමන්ගෙන් ඉටුවිය යුතුකම් ඉටුකරමින් හැමෝගෙම හොඳ හිත දිනාසිටි සැබෑ රුජිනක්. ඒ හින්දම තමයි මට මුණගැසුණු හැමෝම එතුමියගේ ගුණ සුවඳම වර්ණනා කළේ. ඇය වැදි සමාජයට විතරක් නෙමෙයි ලංකාවේ කාන්තා පරපුරටම ආදර්ශයක්. කිසිවිටෙක තම සැමියාගේ බලයෙන් හිස උදුම්මාගෙන නොසිටි එතුමිය වැදි සමාජයටම ආදරණීය මවක් වුණා.

ඌරුවරිගේ හිරුණි බණ්ඩාර මියගිය හීන් මැණිකේගේ මිණිපිරියකි. අලුත් පරම්පරාවට අයත් තරුණියක වන ඇය තම මිත්තණිය ගැන මාධ්‍යයට මෙසේ අදහස් පළකර තිබුණාය:
අපි හැමෝම ආච්චිට ගොඩක් කිට්ටුයි. පවුලේ හැමෝම සුමානෙකට සැරයක් මහ ගෙදරට එකතු වෙනවා. එදාට ආච්චි බත්, හැලප, මඤ්ඤොක්කා, බතල වගේ කෑම රසට උයලා අපට කන්න දෙනවා. ඉව්වට පස්සේ මුලින්ම බුද්ධ පූජාව අයින්කරලා දෙවියන්ගේ කොටස වෙන් කරනවා. ඊට ඉස්සෙල්ල කාටවත් කිසිම ව්‍යංජනයක් ඉඳුල් කරන්න ආච්චි ඉඩදුන්නේ නැහැ. ආච්චි සතුන්ට හරිම ආදරෙයි සර්පයෙක් වුණත් තුවාල වෙලා හිටියොත් ආච්චි සත්කාර කරනවා. ආච්චි මුනුපුරු මිනිපිරියන්ට  කතාන්දර කියලා දෙනවා. සතුන් මරණවටත්, මස් කනවටත් ආච්චි කැමති නැහැ. මමත් මස්, මාළු කන්නේ නැහැ. ආච්චි හින්දා හුඟක් දෙනා මස් මාළු කන එක අත්හැරියා.

බුදු දහම හා ප්‍රායෝගිකව බැඳුණු ජීවිතයක් ගතකළ හීන් මැණිකේ  ආදරයේ වටිනාකමත්, බැඳීම් නිසා හටගන්නා වෙන්වීම්වලින් ඇතිවන වේදනාව ගැන හොඳ අවබෝධයකින් සිටි මාතාවකි. 
කොවිඩ් වෛයිරසයට පාටක් වයසක් නැත. අප කැමති අකමැති කාටත් එකසේ සලකමින් අපෙන් උදුරා ගනී. හීන් මැණිකාගේ සමුගැනීමද එසේමය. ඇගේ සමුගැනීම  වන්නිල ඇත්තන්ට පමණක් නොව දඹාන වැදි ගම්මානයටම අන්ධකාරයක් ගෙනැවිත් තිබේ.

 කුසුම්සිරි විජයවර්ධන

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, ප.ව. 05:16
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00