2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

පහන්තුඩාවෙන් මතු කළ අඳුර

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 14

මිනිසුන්ගේ ලිංගික ආශාවන් සහ කැමැත්ත පෞද්ගලිකය. ඒ සම්බන්ධයෙන් සමාජයට ප්‍රශ්න කිරීමේ හෝ ඒ ගැන විමතියෙන් බැලීමේ අයිතියක් නැත. ක්‍රියාව ශිෂ්ට වුවත් අශිෂ්ට වුවත් එහි තීරණය ගත හැක්කේ අදාළ පුද්ගලයාට හෝ සහකරුට හා සහකාරියට පමණි. එහෙත් යම් අයකුගේ ලිංගික චර්යාවන් හරහා තවත් කෙනෙකුට හානියක් සිදුවනවා නම්, ඔවුන්ගේ ලිංගික හැසිරීම සෙසු පුද්ගලයන්ට හිරිහැරයක් වනවා නම් එය අනිවාර්යයෙන් නීතියෙන් දඬුවම් විඳිය යුතු වරදක් වනු ඇත.

අපේ රටේ ලිංගික ශ්‍රමිකත්වය නීතියෙන් තහනම්ය. එහෙත් මේ රටේ සියලුදෙනාම දැනුවත්ව ලිංගික ශ්‍රමිකත්වයේ යෙදෙන අය සිටිති. අපේ රටේ අසභ්‍ය වීඩියෝ පට රූපගත කිරීම පමණක් නොව ඒවා ළඟ තබාගැනීම පවා තහනම්ය. ඒත් මේ රටේ විශාල සංඛ්‍යාවක් අසභ්‍ය විඩියෝ නරඹති. මේ සියල්ල නීතියෙන් තහනම් වී ඇති මොහොතකත් එලෙස සිදුවන්නේ ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත මත පමණි. ඒ වෙනුවෙන් සුදුසු පාරිභෝගිකයන් සිටීම මත ඒ ඉල්ලුමට සැපයුම ලබාදීම නීතියෙන් පිට වුවත් සිදුවන්නේ ඒ නිසාය. මේවා සමාජය තුළ පුදුම සහගත දේවල් නොවන්නේය.

මේ විස්තරය මෙලෙස කීමට සිදුවූයේ පසුගිය දින කිහිපය තුළ පහන්තුඩාවේ යුවළකගේ ලිංගික හැසිරීම සම්බන්ධයෙන් සමාජයේ ඇතිවූ කතාබහ නිසාය. පිරිසක් එම සිද්ධිය සාධාරණය කළ අතර ඇතැම් අය ඒ සම්බන්ධයෙන් එම යුවළට චෝදනා නගන්නට වූහ. මේ දෙපිරිසටම සම අයිතියක් ඇත. එනම් ඉහත කී ආකාරයෙන් ඒ ලිංගිකත්වය ගැන සරලව නිදහස්ව සිතන අයකුට මෙය සාමාන්‍ය දෙයකි. ඔවුන් නීතියට පිටින් සිතුම් පැතුම් ගැන පමණක් මුලිකව සිතන පතන අයය. මෙයට විරුද්ධ වන අයටද අයිතියක් ඇත. ඒ මෙරට නීතියට අනුව එය වරදක් වන නිසාය. ඒ නිසා මේ දෙපිරිසටම තමන්ගේ අයිතිය නිදහස වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමේ අයිතිය හිමිව තිබේ.

මේ අතර තවත් චෝදනාවක් එල්ලවුණේ රහස් පොලීසියට කප්පරක් වැඩ ඇති මොහොතක මේ පහන්තුඩාවේ වීඩියෝවක් පසුපස යන්නේ අහවල් කෙංගෙඩියක් කරන්නදැයි කියාය. සී.අයි.ඩී.යට වෙන වැඩ නැද්ද යන්නත් සමහර අය ප්‍රශ්න කළහ. එහෙත් ලියුම්කරුගේ මතය වන්නේ එය වැරදි අදහසක් බවයි. එනම් සී.අයි.ඩී.ය පැමිණිල්ලකට අනුව ක්‍රියා කළා මිස මේ රටේ නිල් චිත්‍රපට නළු නිළියන් අල්ලන්න පසුපස පැන්නුවේ නැත. අදාළ සිද්ධිය වෙනුවෙන් ලැබුණු පැමිණිල්ලට ක්‍රියාකිරීම ඔවුන්ගේ රාජකාරිමය අයිතියකි. ඒ සඳහා ඔවුහු නීතියෙන් පවා බැඳී සිටිති. 

ජාත්‍යන්තර නිල් චිත්‍රපට වෙබ් අඩවිවල අපේ රටේ තව තවත් යුවළවල් සිටිද්දී පහන්තුඩාවේ අය පසුපස පමණක් පොලීසිය හඹා ගියේ භික්ෂූන් වහන්සේ නමක් විසින් යොමුකළ පැමිණිල්ල නිසාය. ඒ නිසා පොලීසියට දොස් කියා පලක් නැත. කෙසේ වෙතත් එම යුවළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාලා විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුහු අධිකරණයේ ඇප ලබාදීම් මත නිවෙස් කරා ගියහ. එහෙත් ඔවුන් රටටම කාරණයක් හෙළිදරව් කර ගියේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වමිනි. එනම් මේ රට තුළ ''නිල් චිත්‍රපට'' කර්මාන්තයක් පවතින බවය. ඔවුන් තමන්ගේ ආදායම් මාර්ගය ලෙස රැකියාවට සිදුකර ඇත්තේ එයය. එපමණක් නොව ඔවුන්ගේ චිත්‍රපට නැරඹූ අයද ඇත. එසේ නම් මේ හරහා මුදල් ලැබෙනවා නම්, එය ආදායම් මාර්ගයක් ලෙස අනාගතයේ ඇතැමුන් තමන්ගේ අනන්‍යතාවය සඟවමින් හෝ අනන්‍යතාවය පෙන්වමින් වීඩියෝ පට නිෂ්පාදනය කරනු ඇත. එය නැවැත්වීමට මෙවැනි අත්අඩංගුවට ගැනීම් පමණක් ප්‍රමාණවත් යයි සිතිය නොහැක. එයට හේතුව පරිගණකය හරහා ඕනෑම දෙයක් බාගත හැකි බැවිනි. එක යුවළක් අත්අඩංගුවට ගත් සැණින් සියල්ල විසඳුණා යැයි සිතිය යුතු නැත.

මේ සිද්ධියේ තවත් පැත්තක් ඇත. එනම් සමාජ මාධ්‍යය තුළ ජීවත්වන වගකීම් විරහිත මිනිසුන්ගේ ක්‍රියාකලාපය මෙහිදී අනාවරණය වීමය. පහන්තුඩාවේ යුවළ යැයි කියා වෙනත් යුවළකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණේ එකී අවස්ථාවාදීන් විසිනි. වසර එකහමාරක පමණ විවාහ ජීවිතයක් ගෙවන ඔවුන් දෙදෙනා දිනක් පහන්තුඩාවේ සිදුකළ සංචාරයකදී ගත් ඡායාරූපයක් ෆේස්බුකියේ ප්‍රදර්ශනය කරමින් මේ එම යුවළ යැයි සමාජයට වැරදි පණිවිඩයක් ලබාදුන්නේද පහන්තුඩාවේ වීඩියෝවට එරෙහිව ක්‍රියාකරන සමාජය හා ඊට සහාය දක්වන සමාජය විසින්මය. එහෙත් අවසානයේ සිදුවුණේ වෙනත් අහිංසක යුවළකට මාධ්‍ය ආයතන හමුවට ගොස් තමන්ගේ නිරවද්‍ය බව ප්‍රකාශ කිරීමටය. එය සිදුකිරීම හරහා ඔවුන් තව තවත් සමාජයට නිරාවරණය වනවා සේම ඔවුන්ට එල්ලවන ජීවිත බලපෑමද සුළුපටු නැත. මේ සියල්ල සිදුකළේ අප ජීවත්වන සමාජය විසිනි.

මේ අතර එක්තරා බෞද්ධ සංවිධානයක් විසින් මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ හිමිනමට විරුද්ධව මල්වතු අස්ගිරි ස්වාමීන් වහන්සේලා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඔවුන් සඳහන් කර තිබුණේ ගිහියන්ගේ ලෞකික ප්‍රශ්නවලට ස්වාමීන් වහන්සේලා මැදිහත් නොවන ලෙසත් මෙවැනි අසභ්‍ය වීඩියෝ පටයක් වෙනුවෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් පොලීසි යාම හරහා භික්ෂූන් වහන්සේලා කෙරෙහි වැරදි චිත්‍රයක් මතුකරන බවත්ය. ඒ නිසා උන්වහන්සේට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ඉල්ලා තිබිණි.

කෙසේ වෙතත් මේ සිද්ධිය හරහා බැලූ බැල්මට පෙනෙන්නේ එක දෙයකි. මේ සමාජයේ විවිධ පුද්ගලයන් විසින් තම තමන්ගේ සිතුම් පැතුම් අනුව අන් අයගේ පෞද්ගලිකත්වය ගැන තීරණ ගන්නා බවය. ඒවා හරි වුවත් වැරදි වුවත් අනෙකාට හානියක් වුවත් ඒ ගැන තැකීමක් නොකරන බවය. විශේෂයෙන් පහන්තුඩාවේ යුවළට තමන් කැමැති දේ ඕනෑම තැනක කිරීමේ අයිතිය ඇත්තා සේම මේ රටේ නීතිය අනුව එළිමහනේ සංචාරක ආකර්ෂණය ඇති තැනක, විශේෂයෙන් නිරෝධායන ඇඳි‍රි නීතිය ක්‍රියාත්මක ඇති මොහොතක මේ ආකාරයෙන්  කටයුතු කිරීම වැරදි සහගත බව පෙන්වා දිය යුතුය. නීතිය රැකීම කාටත් පොදු දෙයක් වන අතර නීතියට පිටින් ගොස් සිදුකරන ඕනෑම කටයුත්තකදී ඒ වෙනුවෙන් දඬුවම් ලැබීමටද සුදානම් විය යුතුය. එහෙත් ඔවුන්ගේ අනාගතය විනාශ කිරීමේ අරමුණින් නීතියට පිටින් ගොස් ඔවුන්ට මඩ ගැසීම සඳහා ඔවුන් යැයි පෙන්වන යුවළකගේ ඡායාරූප ප්‍රදර්ශනය කළ අයද කර ඇත්තේ බරපතළ වැරැද්දකි. ඒ අයට විරුද්ධව පහන්තුඩාවේ යුවළට නීතිය ක්‍රියාත්මක කළ සේම නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොමැති වුවොත් මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම අපහසු වනු ඇත.

 ගයාන් ගාල්ලගේ

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, ප.ව. 05:16
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00