2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

තමන්ට රැකවරණය දුන් නවසීලන්තයේ ලේ හෙල්ලූ ලාංකික ත්‍රස්තයා

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 133

නවසීලන්තයේ සුපිරි වෙළඳ සලකට ඇතුළු වී පුද්ගලයන් සය දෙනෙකු කපා කොටා තුවාල කිරීමේ චෝදනාව එල්ලවන්නේ ශ්‍රී ලාංකිකයකුටය. මොහොමඩ් සම්සුදීන් නැමැති මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදියා සිදුකළ අප්‍රසන්න ප්‍රහාරය නිසා කැළලක් ඇතිවූයේ මේ රටේ සමස්ත ශ්‍රී ලාංකේය පුරවැසියන්ටය. පටු සහ මිථ්‍යා ආගමික රාජ්‍යයක් වෙනුවෙන් සිදුකරන ත්‍රස්තවාදී අරමුණක ගොදුරක් වුණු සම්සුදීන් සරලවම කීවොත් එක රුයකින් ශ්‍රී ලංකා නාමය පුරාම දැලි ගෑ අයෙකි. ඒ නිසා සම්සුදීන් යනු ශ්‍රී ලාංකිකයකු නොව සිහින රාජ්‍යයක් වෙනුවෙන් ලේ හලන අයි.එස්. සාමාජිකයකු පමණක්ම බව ප්‍රථමයෙන්ම කිව යුතුය. ඒ බව සඳහන් කරමින්ම සම්සුදීන් ගැන කතාව පටන් ගන්නේ ඔහු කවුද? මොකද කළේ? යන්න පාඨක ඔබට හෙළිදරව් කිරීම සඳහාය.

මොහොමඩ් සම්සුදීන් නවසීලන්තය බලා පිටත්වන්නේ 2011 වසරේදීය. ශිෂ්‍ය වීසාවක් ලබාගනිමින් නවසීලන්තයට යන මොහු 2013 වසරේ පැවැති රාජපක්ෂ ආණ්ඩුවට ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ චෝදනාවලින් උපරිම ප්‍රයෝජන ලබාගන්නේය. ඒ ඔහු නවසීලන්තයේ සරණාගත භාවයට ඉල්ලුම් කරමිනි. ඔහු දමිළ ඉස්ලාම් අයකු නිසාත් ඔහුගේ පියාද එලෙසම වූ නිසාත් ඔහු සඳහන් කරන්නේ ලංකාවේ පවතින ජනවාර්ගික ගැටලුවේ කොටස්කරුවන් ලෙස තම පියාත් තමනුත් ගොදුරක් වුණු බව කියාය. එනම් තමන් සහ පියාව මෙරට ආරක්ෂක අංශ විසින් පැහැරගෙන ගිය බවත් එහිදී තුවාල කළ බවත් සඳහන් කරමින් ඔහුගේ කුඩාකළ තුවාල කැළැල් කිහිපයක් එරට බලධාරීන්ට පෙන්වා ඇත. කෙසේ වෙතත් මානව අයිතිය නිදහස ගරුකරන රටක් ලෙස නවසීලන්තය සම්සුදීන් වෙත සරණාගත භාවය ලබාදෙනු ලබයි. ඒ 2013 වසරේදීය. එතැන් පටන් සම්සුදීන් තනිවම ජීවත් වී ඇත.

කෙසේ වෙතත් සම්සුදීන් වෙනස් වෙන්නේ ඉන්පසුවය. තමන්ට ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඒ වනවිටත් ලෝකය පුරා ක්‍රියාත්මක වෙමින් තිබූ අයි.එස්. කණ්ඩායමේ ම්ලේච්ඡ ක්‍රියාකාරකම් සම්සුදීන් විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා අගය කරන්නට විය. ඒ අනුව සම්සුදීන්ව නවසීලන්ත පොලීසියේ අවධානයට ලක්වන්නේ 2016 මාර්තු මාසයේ සිටය. ඒ පැරිස් සහ බ්‍රසල්හි ප්‍රහාරවලට සහාය පළකරමින් ඔහු දැමූ පෝස්ටු හරහාය. මේ නිසා නවසීලන්ත පොලීසියත් නවසීලන්ත ජාතික ආරක්ෂක ආයතනයත් කිහිපවතාවක් සම්සුදීන්ට අවවාද කළේ වහාම මේ අන්තවාදී මතයන් ප්‍රචාරය කිරීම නවතන ලෙසටය. එහෙත් සම්සුදීන් එය මායිම් කළේ නැත. ඔහු විවිධ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා තම අන්තවාදී මතවාද ප්‍රචාරය කරන්නට විය. මේ නිසාම නවසීලන්ත ජාතික ආරක්ෂක ආයතනය ඔහුගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිටියේ දැඩි අවධානයකිනි.

දිනක් සම්සුදීන් ෆේස්බුක් හරහා සඳහන් කරන්නේ &මම දවසක මගේ රටට ගිය දවසට දහජරා කිවියන් ගැන බලාගන්නම්. උන් එහෙට වෙලා කරන දේවල්වලට මම එහෙදී උන්ට උත්තර දෙන්නම්* කියාය. ඒ නවසීලන්ත පොලීසිය සම්සුදීන්ට දිගින් දිගටම අවවාද කිරීම නිසා ඇති වූ වෛරයෙනි. කෙසේ වෙතත් සම්සුදීන් 2017 වසරේදී පොලීසියට කොටුවන්නේ ඕක්ලන්ඩ් ගුවන්තොටුපළ හරහා රටින් පැන යාමට උත්සාහ කළ අවස්ථාවේදීය. ඔහු සිංගප්පුරුව බලා පිටත්ව යාමට පැමිණ සිට ඇත. එහෙත් පසුව ඔහුව අත්අඩංගුවට ගන්නා අතර එලෙස අත්අඩංගුවට ගන්නේ ඔහු ඊට පෙර ඉස්ලාම් දේවස්ථානයකදී හිතවතකුට පවසා තිබූ රහසක් නිසාය. එනම් ඔහු සිරියාවට ගොස් අයි.එස්. කණ්ඩායමට එක්වන බවය. ඒ අනුව අත්අඩංගුවට ගෙන සම්සුදීන්ගේ නිවස පරීක්ෂා කරන ආරක්ෂක නිලධාරීන්ට වායු රයිෆලයක්, දඩයම් පිහියක් සහ අන්තවාදී මතවාද ප්‍රචාරණය කිරීමට එරෙහි සඟරා කීපයක් සොයාගෙන ඇත. පසුව ඔහුට විරුද්ධව අධිකරණය හමුවේ ත්‍රස්තවාදයට එරෙහිව නඩු ගොනු කළත් ඔහුගේ නඩුවේ චෝදනා විනිසුරුවරයා විසින් අඩු කරන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරයකට සූදානම් යැයි සඳහන් කරමින් නඩු ඇසීමට සාක්ෂි නොමැති බව දන්වමිනි.

ඒ අනුව සුළු දඬුවම් පමුණුවමින් සම්සුදීන් සිරගත කරන අතර නඩුව තවදුරටත් පවත්වාගෙන යනු ලබයි. කෙසේ වෙතත් මේ වසරේ නැවත නඩුව කැඳවූ අවස්ථාවේ සම්සුදීන් විසින් සමාජ මාධ්‍ය හරහා සිදුකළ ප්‍රචාරණයන් සම්බන්ධයෙන් තොරතුරු රුසක් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලබයි. අපි පැමිණියේ භීතිය වැපිරීමට බවත්, අපව අවිශ්වාස කරන්නන්ගේ ලේ බොන බවත්* සම්සුදීන් විසින් ප්‍රචාරය කර තිබුණි. එසේම නගරයක ගිනිගන්නා ඡායාරෑපයක්ද පොලීසිය විසින් ඉදිරිපත් කර ඇත. මේ අවස්ථාවේ ආවේගශීලීව අධිකරණය අමතමින් සම්සුදීන් පවසා ඇත්තේ &උඹලා මට අකමැති මම මුස්ලිම් නිසා. උඹලට අල්ලා දඬුවම් කරනවා* යනුවෙන් සඳහන් කර ඇත. පසුව අධිකරණය විසින් දඬුවම් දෙමින් පවසා ඇත්තේ ඕක්ලන්ඩ් ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක ඔහු සේවයේ යොදවන ලෙසත් පොලීසියේ අධීක්ෂණයේ තබාගන්නා ලෙසත් කියාය. ඒ අනුව සම්සුදීන් සිට ඇත්තේ පොලිස් අධීක්ෂණය යටතේය.

කෙසේ වෙතත් සම්සුදීන් පොලීසියේත් අධිකරණයේත් නියෝග නොතකා දිගින් දිගටම අන්තර්ජාලය ඔස්සේ විවිධ ගරිල්ලා ක්‍රම සම්බන්ධයෙන් තොරතුරු රුස්කර ඇත. හුදකලාව සටනේ යෙදෙන වුල්ෆ් මුජහිඩීන්ලා වෙනුවෙන් මාර්ගෝපදේශ, අයි.එස්. ඇඳුම්, නවසීලන්ත සිරගෙවල්වල ආහාර පාන සහ ඇඳුම්, දඩයම් පිහි, කැළෑ ඇඳුම් ආදිය දැඩි ලෙස අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර ඇත. එසේම ඔහු නිතර %කුෆාර්^ යන වචනය පරීක්ෂා කර ඇති අතර කුෆාර් යනු අරාබි භාෂාවෙන් අවිශ්වාස පුද්ගලයා යන අර්ථය දෙන අතර සම්සුදීන් වැඩි ලෙසම පරීක්ෂා කර ඇත්තේ කුෆාර්ට ප්‍රහාර එල්ල කරන ආකාරය ගැනය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය වෙන දිනයේත් සම්සුදීන් දුම්රියෙන් මෙම සුපිරි වෙළෙඳසලට එන බව පවා ආරක්ෂක අංශ නිලධාරීන් නිරීක්ෂණය කර තිබිණි. එපමණක් නොව ඔහු පසුපස පවා පැමිණ ඇත. එහෙත් ඔහු වෙළෙඳ සලට ඇතුළු වී එහි විකිණීමට තිබූ පිහියක් ගෙන තත්පර 60ක් ඇතුළත පුද්ගලයන් හත් දෙනෙකුට තුවාල කර තිබේ. ඒ අවස්ථාවේ ඒ අසල ඔහු පසුපස පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් සිටි නිසා ඔහුව මෙල්ල කර ගැනීමට හැකි වී ඇත. ඒ ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමෙනි. කෙසේ වෙතත් ඔහු තුවාල සිදුකළ පිරිසගෙන් තිදෙනකුට අසාධ්‍ය බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. එපමණක් නොව සුපිරි වෙළෙඳසල්වල සියුම් උල් සහ කැපෙන ආයුධ ඉවත් කිරීමට නියෝග කර තිබුණේ සම්සුදීන්ගේ ප්‍රහාරය නිසාය.
මෙම සිද්ධියෙන් පසුව සම්සුදීන්ගේ පවුලේ අය විසින් එ‍රට ආරක්ෂක අංශ වෙත මෙරට සිට ප්‍රකාශයක් ලබාදී ඇති අතර ඔහු අතින් සිදුවූ වරදට සමාව අයැද තිබේ. ඔහුගේ සොහොයුරා නීතීඥයකු මාර්ගයෙන් ලිපියක් ලියමින් දන්වා ඇත්තේ &ආතිල්ට වැරදුණු බවත්, ආතිල්ව බේරාගැනීමට නොහැකි වුණු බවත්, ඔහු දැරෑ මතවාද වැරදි බවට ප්‍රකාශ කළවිට හැමදා ඔහු දුරකථනය විසන්ධි කළ බවත්ය. ඒ නිසා සිදුවු දෙයට කනගාටු වන බවත්, ඔබගේ සුන්දර රටට ආදරය කරන බවත්* සඳහන් කරමින් දීර්ඝ ලිපියකින් ලියා දන්වා ඇත.

එපමණක් නොව මෙරට රහස් පොලීසිය විසින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සම්සුදීන් ඇසුරු කළ බොහොමයක් අය කැඳවා ප්‍රශ්න කර ඇති බව සඳහන් වේ. ඒ සම්සුදීන් හුදෙකලා අපරාධකරුවකු නොව අ‍යි.එස්. ත්‍රස්තයකු නිසාය. කෙසේ වෙතත් සම්සුදීන් සිදුකළ ප්‍රහාරයෙන් මෙරටට සිදුවූ කැළල සුළු නැත. ඒ සම්සුදීන් මෙරට පුරවැසියකු වූ බැවිනි. එහෙත් නවසීලන්ත අගමැතිනිය අපුරු කතාවක් සිදුකරමින් එරට සාමය රුකගැනීම සඳහා අවසාන වශයෙන් ඉල්ලීමක් සිදුකළේය. එය සැබවින්ම අපූරු ඉල්ලීමක් වන අතර ලෝකයේ සෑම රටකටම ආදර්ශයකි.

අපේ රට කාරුණික බව අපි දන්නවා. ඒ නිසා මේ වෙලාවේ වින්දිතයන් දෑතින් වැළඳගන්න.

 ගයාන් ගාල්ලගේ

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, ප.ව. 05:16
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00