2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

ලොක්ඩවුන් එක හරියට වුණාද?

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 49

රට අගුළුලා සති තුනක් ගෙවී ගොස් අවසානය. වසංගතයේ ව්‍යාප්තිය යම් පමණකට සීමා වී ඇති බව පෙනෙන්නට තිබේ. ඒ නමුත් සති තුනක් රට වසා දැමීමෙන් සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබුණේද යන්න ගැටලුසහගතය. අප මේ සටහන තබන මොහොතේදී, එළඹෙන සඳුදා රට නැවත විවෘතවේද? නොවේද? යන්න පිළිබඳ වගකිවයුත්තෙක් විසින් ස්ථිරසාර ප්‍රකාශයක් සිදුකොට නොමැත. එසේ නමුත් එය මෙම සංවාදයට බාධාවක් නොවනු ඇත. ඒ මන්දයත් මේ විමසුම මෙතෙක් රට වසා දැමීමේ ප්‍රතිඵලය පිළිබඳවයි.

මෙවර රට වසා දැමීම ආණ්ඩුවේ තීරණයකටත් වඩා පක්ෂ විපක්ෂ ජනතා ඉල්ලීම් රැසක ප්‍රතිඵලයක් යැයි කීම සාධාරණය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු 20 වැනිදා රට වසා දැමීමේ තීරණය ප්‍රකාශයට පත් කළේය. ඒ සම්බන්ධ සිදුවීමෙන්ම මෙම සංවාදය ආරම්භ කරමු. මහා නාහිමිවරුන්, ආණ්ඩුවේ පක්ෂ දහයක නායකයන්, විපක්ෂයේ සියලු පක්ෂ මෙන්ම මෙරට විද්වත් සංවිධානද වසංගතයේ සීඝ්‍ර ව්‍යාපෘතිය හමුවේ රට වසා දැමීමේ ඉල්ලීම ඉදිරිපත් කළේය. මෙරට සෞඛ්‍ය අංශවල නිර්දේශයද එයම විය. එහෙත් රට තුළ වූ ආර්ථික බිඳවැටීම හේතු කොටගෙන ආණ්ඩුව මෙම තීරණයට මැලිවූ බව කාහටත් නොරහසකි. කෙසේ නමුත් අවසානයේ රට වසා දැමීමට එල්ල වූ දැඩි පීඩනය ආණ්ඩුවට දරාගත නොහැකි විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමැතුවේ එවන් අවස්ථාවකදීය.

සෞඛ්‍ය අංශ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක් කෝණයකින් බැලුවත් රජයක් ලෙස අපට විදෙස් ණය ගෙවීම, වැටුප් ලබාදීම ඇතුළු විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය. නැවත වරක් රට සම්පූර්ණයෙන් වසා දැමීමෙන් රටේ ආර්ථිකයට දැඩි හානියක් සිදුවන බවද ඔහු කීවේය. එහෙත් පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අගෝස්තු 20 වැනි දින රාත්‍රී 10 සිට අගෝස්තු 30 වැනිදා අලුයම 4.00 දක්වා රට වසා දැමීමට තීරණය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එසේම රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාටම කැපකිරීම් කිරීමට සූදානම් වන්නට යයිද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එහෙත් රට වසා දමා දින විස්සක් ගතවනතුරුත් ජනතාව වෙනදාට වඩා සුවිශේෂී කැප කිරීමකුත් ආණ්ඩුව වෙනදාට වඩා සීමා දැඩි කිරීමකුත් සිදු නොකළේය. තදින් ක්‍රියාත්මක වූයේ පළාත් සහ දිස්ත්‍රික් සංචරණ සීමා පමණි. ගමන් බිමන් යාමට අවැසි සියලුම දෙනා තම තමන්ගේ ගමන් බිමන් ගියෝය. කඩ සාප්පුවල ඉදිරිපිට දොර වසා පිටුපස දොරින් වෙළෙන්දෝ ගනුදෙනු කළහ. කොළඹ මාර්ග තදබද පවා ඇතිවුණි. රටපුරා බොහෝ නගරවල සැලකිය යුතු තරමේ සංචරණයන් සිදුවිය. වසංගතය ආරම්භයේදී සිදුවූ රට වසා දැමීම්වල පරිද්දෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජංගම රථද පුරා ක්‍රියාත්මක නොවුණි. බොහෝ සීමාවන් ගැසට්වල නීති පොත්වලට පමණක් සීමා වූ බව පැවසිය යුතුමය. සීමා කඩකරන්නන් හට ලබාදෙන දඬුවම් දකින්නට ලැබුණේ රූපවාහිනී මාධ්‍යයේ සන්දර්ශනාත්මක වාර්තා වාර්තාකරණයන් තුළ පමණි.

මෙවර සංචරණ සීමා ආරක්ෂා කිරීමේ ලා  බලධාරීන්ගේ අලස බව වෙනදාට වඩා වැඩි විය. සංචරණ සීමා දෙවතාවක්ම දීර්ඝ කරන්නට රජය කටයුතු කළේ ඒ අතරය. මෙම සංචරණ සීමා හේතුවෙන් වැඩි වශයෙන්ම අසරණ වූයේ සෞඛ්‍ය බලධාරීන්ය. ඔන්න කිව්ව නිසා දැම්මා. ඔය තියෙන්නෙ දාලා. දැන් ප්‍රශ්නයක් නෑනේ වැනි අදහසක ආණ්ඩුව සිටියා විය හැකියි. වසංගතය මර්දනය නොවීමේ වරද සෞඛ්‍ය බලධාරීන්ගේ කර මත පැටවෙන බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත් මෙරට විෂයානුබද්ධ විද්වතුන් ඉල්ලා සිටියේ මෙපරිද්දෙන් වූ අගුළු දැමීමක් නොවේ. පැහැදිලිවම මැයි මාසේ සිදුවූවා වැනි රට අගුළු දැමීමක් සති තුනක කාලයකට සිදුකළ යුතු බව ස්වාධීන කමිටුවක් මගින්ද ශ්‍රී ලංකාවට නිර්දේශ කොට තිබුණි. එහෙත් සිදුවූයේ සති තුනක් ලොක්ඩවුන් නාමය ආරක්ෂා කිරීම පමණි. මගහැරී ගියේ ඉතා සාර්ථක ලෙස වසංගතය මර්දනයට සෞඛ්‍ය අංශවලට තිබූ අවකාශයකි.

සැබැවින්ම ගෙවුණු සති තුන තුළ සංචරණ සීමා ආරක්ෂා කිරීමට ජනතාව මෙන්ම ආණ්ඩුවද උත්සුක වූයේ නම් එළඹෙන සඳුදා දිනයේදී ඉතා සතුටින් රට විවෘත කිරීමට තිබුණි. එහෙත් අද තත්ත්වය සැලකීමේදී හෙට රට විවෘත වුවද නොවුණද ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳී නොමැත. මෙම අගුලු ලෑමෙන් අවදානම සියයට පනහක් පමණ අඩු වූ බව සැබෑය. නමුත් මෙය විද්‍යාත්මක අගුලුලෑමක් නොවූයෙන් පෙර කී පරිද්දෙන්ම මෙහි ප්‍රතිඵලය අල්ප විය. එන්නත්කරණය අතින් මෙරට ඉතා සාර්ථක වුවද වෛරසයේ ව්‍යාප්තිය සැලකීමේදී තවදුරටත් ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටියි.

රට වසා තැබූ තෙසතිය තුළ ඉතා සාර්ථක ලෙස එන්නත්කරණය සිදුවූ බව නම් නොවලහා කිව යුතුව තිබේ. ලොව ඉතා දියුණු රටවල් අනුගමනය කරන නිවසටම ගොස් එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ මෙරට තුළද ඉතා සාර්ථකව ක්‍රියාත්මක විය. එසේම පසුගිය දින කිහිපය තුළ අවුරුදු තිහත් විස්සත් අතර තරුණ ප්‍රජාවට එන්නත් ලබාදීම සඳහා බලධාරීන් ගනු ලැබූ තීරණය ප්‍රශස්තය. එහිලා යොදා තිබුණු වැඩපිළිවෙළද ඉතා ඵලදායීය. එහි ගෞරවය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවටත්, විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ යුද හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ වෙතත් පිරිනැමීම අපගේ යුතුකමකි. කෙසේ නමුත් එන්නත්කරණයෙන් සම්පූර්ණයෙන්ම වසංගතය මර්දනය කළ හැකිය යන මිත්‍යාව තුළ එළඹ සිටීම මේ මොහොතේ සුදුසු නොවේ. එන්නත්කරණ වැඩපිළිවෙළෙහි නිසි ප්‍රතිඵලය ලබාගන්නට නම් වෛරසයේ ව්‍යාප්තියද මර්දනය කිරීම අතිශය වැදගත්ය. ඒ බව ලොවපුරා සිටින වසංගතවේදය පිළිබඳ විද්වත්හු පෙන්වා දෙති.

මෙවන් තත්ත්වයක් තුළ රට නැවත විවෘත වීම සම්බන්ධ තීරණය ගත යුතු ආකාරය පිළිබඳවද බලධාරීන් ඉතා ප්‍රවේශම් සහගත විය යුතුය. රට නැවත විවෘත කිරීමේ තීරණය ලබාගත යුත්තේ කොවිඩ් සම්බන්ධ තාක්ෂණික කමිටුවක් විසිනි. ඒ විද්‍යාත්මක ප්‍රවේශයක් හරහාය. නොඑසේ නම් රට නැවත විවෘත කිරීමේ ප්‍රතිඵලය පෙරටත් වඩා භයානක වීමට ඉඩ තිබේ. විද්‍යාත්මක ප්‍රවේශයකින් රට විවෘත කරන්නට නම් මේ මොහොතේ වසංගත ව්‍යාප්තිය සම්බන්ධ දත්ත අතිශය වැදගත්වේ. රෝගීන් වාර්තා වන සංඛ්‍යාව, රෝගීන් මියයන සංඛ්‍යාව, රෝගය පැතිරෙන ආකාරය සහ මෙරට පවතින වෛරස ප්‍රභේදයන් යන සියලු කරුණු විශ්ලේෂණය කළ යුතුව තිබේ. ඒ අනුව මෙම දත්ත පිළිබඳ තාක්ෂණික ඇගයීමකින් පසුව, රට විවෘත කරනුයේ කවදා කෙසේද යන්න තීරණය කළ හැක.

මෙහිලා ප්‍රධාන වගකීම ඇත්තේ වසංගත රෝග විද්‍යා අංශයටයි. ඔවුන් විසින් රටට මෙන්ම පාලකයන්ටද රටේ සැබෑ තත්ත්වය සම්බන්ධ පැහැදිලි කිරීමක් සිදුකළ යුතුවේ. එහෙත් එවැන්නක් මේ මොහොත වනතුරුත් සිදුවී ඇත්ද යන්න පිළිබඳ අපට පැහැදිලි අවබෝධයක් නැත. ඒ තබා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත රැස් කිරීම සහ විශ්ලේෂණය සම්බන්ධවද රටේ බොහෝ විද්වතුන්ගේ ප්‍රසාදයක් නොමැත. එහි භයානක ප්‍රතිඵලය නම් වගකිවයුත්තන්ගේ නිසි මැදිහත් වීමක් නොමැති තැන දේශපාලන අධිකාරියට අත්තනෝමතික තීරණවලට හැකියාව ලැබීමයි. ඉතිහාසය පුරා සිදුවූ පරිද්දෙන්ම එය නැවතත් සිදු වුවහොත් වසංගතය සම්බන්ධ අර්බුදය තවත් දික් ඇදෙනු ඇත. එසේම ආර්ථිකය සම්බන්ධ අර්බුදයත් බරපතළ තත්ත්වයකට ගමන් කරනු ඇත. එම නිසාවෙන්ම නැවත රට විවෘත කිරීම යනු ඉතා සංකීර්ණ කටයුත්තක් බව සියලුදෙනාම අවබෝධ කොට ගැනීම අවැසිය.

නැවත රට විවෘත වුවද උත්සව, ප්‍රිය සම්භාෂණ පුද්ගල රැස්වීම් සැලකිය යුතු කාලයකට සීමාකළ යුතු යැයි දැනටමත් විද්වත්හු පෙන්වා දෙති. එසේම මෙරට ගමනාගමන ක්ෂේත්‍රයේ පවතින දැඩි තදබදය වසංගතය නැවත ප්‍රබල ලෙස හිස එසවීමට හේතුවක් විය හැකි බව වසංගත රෝග විද්‍යා අංශය පවා පිළිගෙන තිබේ. එම නිසා පොදු ප්‍රවාහන සේවයට සීමා ක්‍රියාත්මක කිරීමත්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවක කළමනාකරණයත් අත්‍යන්තයෙන්ම සිදුවිය යුත්තකි. බලධාරීන්, නිලධාරීන්, විද්වතුන් එකතුව කවර තීරණ ගනු ලැබූවද වසංගතයෙන් අත්මිදීමේ අවසාන වගකීමද හැකියාවද ඇත්තේ මෙරට මහජනතාව සතුවයි. නීතිරීති විද්වත් මත කොපමණ තිබුණද ජනතාව ඊට කන් නොදේ නම් දිනපතා අලුත් වන වසංගතය අප සියලුදෙනාම තළාපෙළා විනාශ කරනු නොඅනුමානය.

 චමිඳු නිසල් ද සිල්වා

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, ප.ව. 05:16
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00