2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

මේ තරම් කුඩු තොග ලංකාවට ගෙන්වන්නේ කවුද?

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 31

වසර එකහමාරකට අධික කාලයක පටන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා එක්ව මෙරට ආරක්ෂක අංශ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා වෙහෙසෙයි. ආරක්ෂක අංශ මේ වෙනුවෙන් අවධානය යොමුකර කටයුතු කිරීම තුළ ලංකාව හා ජාත්‍යන්තරය අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට මෙය නම් කදිම මොහොතකැයි හැඟෙන්නට ඇත. එතෙරක සිට මුහුද හරහා කරන ජාවාරමට හොඳම කාලය මේ බව කල්පනා කරන්නට ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව පිළිබඳවද සිතා විය යුතුය. ඒ තරමට නාවික හමුදාව කොවිඩ් මර්දන ක්‍රියාවලියට දායකත්වය සපයන බව පෙනෙන්නට තිබිණ. 

එබැවින් මුහුද මැද ජාවාරම ජයටම සිදුකළ හැකි බවද සිතන්නට ඇත. ජාවාරමුන්ගේ අනුමානය එසේ වුවද ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් ක්‍රියාවලිය ඉතා ගවේෂණාත්මකය.

ලංකා ඉතිහාසයේ ලොකුම කුඩු තොගය ලෙසත් දකුණු ආසියාවේ විශාලතම හොරොයින් තොගය වශයෙනුත් වාර්තා තබමින් මෙරටදී අත්අඩංගුවට ගැනුණු කුඩු තොග ගණනාවකි. ඒ හැර දිවයින පුරා දෛනිකව හෙරොයින් සමඟ කොටුවන ජාවාරම්කරුවන් රාශියකි. මෙහිදී කොටුවූ ලොකුම හොරොයින් තොග සමඟ සැකකරුවන් ගණනාවක්ද අත්අඩංගුවට පත්ව සිටිති. අත්අඩංගුවට පත් හෙරොයින් තොගවලට මෙන්ම එහි සැකකරුවන්ට වූ දෙයක් පිළිබඳවද නිසි වාර්තාවක් නැත. විටෙක අසන්නට ලැබෙන්නේ මාලදිවයින හරහා මෙම කුඩු තොග නැවත අලෙවි කිරීම සිදුවන බවට ආරංචි මාර්ගය. ඔත්තු සේවා හා ආරක්ෂක අංශවල කාලය හා ශ්‍රමය වැයකොට කොතෙකුත් වැටලිම් සිදුකළද ඒවායේ මර්දනයක් පෙනෙන්නට නැත. සියල්ල පසුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක බවත් කිසිදිනෙක ජාවාරමේ මහමොළකරුවන් හෙළිදරව් නොවන බවත් මෙතෙක් වූ ක්‍රියාදාමය තුළ පැහැදිලිය.

අන්තර්ජාතික හෙරොයින් ජාවාරමේදී මෙරටට හෙරොයින් ගෙනෙන ප්‍රධානම මාර්ගය මුහුද හරහා සිදුවේ නම් එහි ප්‍රබලයන් බව කියන ජාවාරම් සගයන් ආරක්ෂක අංශ වෙත කොටුව ඇත්නම් ප්‍රශ්න කිරීම්වලදී හෝ ජාවාරමේ මහමොළකරුවන් හෙළි නොවීම බරපතළ ගැටලුවකි. බන්ධනාගාරගතව හෝ කට්ටි පනිමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ නමට පමණක් ඒවා ලඝු කිරීම ප්‍රමාණවත් නැත.

මෙම ගැටලු රාශියක් පවතින අතරතුර ඉකුත් දිනකදී රුපියල් මිලියන 3100කට අධික වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබුණි. එසේ අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 336ක් බවට වාර්තා විය. එහිදී විදේශීය ධීවර යාත්‍රාවක් සමඟ විදේශික සැකකරුවන් 7 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබිණ. පිරිස හෙරොයින් තොගය හා යාත්‍රාව සමග කොළඹ වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබුණේ පසුගිය 4 වැනිදාය.

මෙම වැටලීම සිදුකිරීමට පෙර රාජ්‍ය බුද්ධි සේවාව වෙත ලැබුණු තොරතුරකි. ඉන් කියැවී තිබුණේ මුහුදු මාර්ගයක් හරහා ලංකාවට හෙරොයින් තොගයක් ප්‍රවාහනය කෙරෙමින් පවතින බවකි. අදාළ තොරතුර සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශය වෙතද කරුණු දන්වා තිබිණ. අනතුරුව දෙපිරිස එක්ව ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමක් ආරම්භ කොට ඇත. ඉන් ලද තොරතුරු අනුව නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණි. එහිදී මෙරටට මුහුදු මගින් ගෙන ඒමට උත්සාහ කරමින් සිටි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290යි ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගැණින. එම යාත්‍රාවේ සැකකරුවන් 5 දෙනකු රැඳී සිටි බවද නාවික හමුදාව ප්‍රකාශ කළේය.

මෙම වැටලීමට පසුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී විදේශීය ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය තොගය බහුදින යාත්‍රාවට ලබාදී ඇති බව හෙළිකර ගැනිණි. ඒවායේ මුළු වටිනාකම රුපියල් මිලියන 2321ක් පමණ වෙතැයිද විශ්වාස කෙරිණ. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවෝ හබරාදූව, අහුංගල්ල හා බලපිටිය ප්‍රදේශවල පදිංචි අය වූහ. ඔවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හා ඒ වනවිටත් පොලිසියට ලැබී තිබූ තවත් බුද්ධි තොරතුරු කිහිපයක් ඇසුරු කර ගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට නාවික හමුදාව කටයුතු කළේය. ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජබාහු හා සමුදුර නැමැති ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවන් එක්ව තිබිණ. එම මෙහෙයුමට දකුණු දිග වෙරළ තීරයට ඈත ජාත්‍යන්තර මුහුදු සීමාවේ ක්‍රියාත්මකව තිබී ඇත. එහිදී ගොඩබිමට මුහුදු සැතපුම් 740ක් හෙවත් කිලෝමීටර් 1370ක් පමණ දුරකින් යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු විදේශීය යාත්‍රාවක් “සමුදුර” නෞකාව විසින් නිරීක්ෂණය කර ඇත.

පසුව එය පරීක්ෂාවට ලක් කිරීමේදී යාත්‍රාවේ සූක්ෂමව සඟවා තිබූ හෙරොයින් පාර්සල් තොගයක් සොයාගැනීමට හැකිව ඇත. එහි අඩංගු වූ පාර්සල් ගණන 301කි. අනතුරැව එහි සිටි විදේශික සැකකරුවන් 7 දෙනෙකුද සමඟ යාත්‍රාව අත්අඩංගුවට ගැණින. පසුව එම යාත්‍රාව ආරක්ෂිතව කොළඹ වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත. බහුදින ධීවර යාත්‍රාවක ධීවර කටයුතු කරන මුවාවෙන් මෙම ජාවාරම්කරුවෝ ජාත්‍යන්තර මුහුදේදී වෙනත් බෝට්ටු හා යාත්‍රා වෙත හෙරොයින් පටවති. ඒ සඳහා මෙම විදෙස් යාත්‍රා ජාත්‍යන්තර මුහුදේ රැඳී සිටියි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම වැටලීම් සිදුකිරීමට නාවික හමුදාව කටයුතු කරයි. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස පකිස්තානු ජාතිකයන් බවත් ඉරානයේ සිට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් තොගයක් බවද හඳුනාගෙන ඇත. එහෙත් සැකකරුවන් පිළිබඳ නිශ්චිතවම කරුණු හෙළිකරගෙන නොමැත. මත්ද්‍රව්‍ය තොගය කොළඹ වරායට රැගෙන ඒමෙන් පසුව එය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සමග නාවික හමුදාපතිවරයා ඇතුළු පිරිසක්ද එක්වූහ. එහිදී වැටලීමට එක්වූ නැව් මුළුව වෙත ආරක්ෂක ලේකම්වරයාගේ ස්තූතිය පිරිනැමිණ.

මෙම වැටලීමට පෙර අත්අඩංගුවට ගත් මත්කුඩු කිලෝ 290ක තොගය වටලනු ලැබුවේ පසුගිය අගෝස්තු 30 වැනිදාය. ඒවා සූක්ෂම ලෙස බෑග් 10ක පාර්සල් 259ක් වශයෙන් අසුරා තිබිණ. එහිදී අත්අඩංගුවට ගත් යාත්‍රාව ගොඩබිම සිට දියඹට ගොස් තිබුණේද එදිනම බව කියැවිණ. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරයේ තබා වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ ආකාරයට දකුණු වෙරළ තීරය සිට මීගමුව, හලාවත, පුත්තලම හා මන්නාරම ආශ්‍රිත වෙරළ තීරයේ මෙන්ම ගැඹුරු මුහුද තුළද හෙරොයින් වැටලිම් රාශියක් සිදුකිරීමට නාවික හමුදාව සමත්ව සිටී. සෑම වැටලීමකට පසුවම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ දෙස් විදෙස් සබඳතා සමඟ මහමොළකරුවන් සෙවීමට පරීක්ෂණ ඇරැඹිණි. එහෙත් පසුකලෙක පාතාල නායකයන්ගේ ගනුදෙනුවක් පිළිබඳ කියනු විනා ජාවාරමේ ජාත්‍යන්තර සැපයුම්කරුවකු හෝ මහා පරිමාණ ජාවාරම්කරුවකු පිළිබඳ තොරතුරු හෙළි කෙරෙන්නේ නැත.

ඒ අනුව විමසිය යුත්තේ සෑම හෙරොයින් ජාවාරමකම සිටින්නේ අතරමැදියන් පමණද යන්නය. සිදුකෙරෙන විමර්ශනවලදී මහා පරිමාණ ජාවාරමුන් පිළිබඳ කරුණු හෙළිවන තැනක විමර්ශන අඩාල වන්නේ ඇයි? ගැටලුවකි. මේ නිසාම ලංකාවේදී කොටුවන හෙරොයින් තොග පවා මාලදිවයින වැනි රටවලට ප්‍රති අපනයනය කෙරෙන බවට නැගෙන ආරංචි මාර්ග බැහැර කළ නොහැකිය. සියල්ල පසුපස දේශපාලන බලය රැගත් රැකවරණය හිමි අදිසි හස්ත ක්‍රියාත්මක බව අනුමාන කළ හැකිය. මෙය නිශ්චිතව හෙළිදරව් වනතෙක් නුදුරේදීද ලංකාවේ ලොකුම හෙරොයින් තොග කොටුවනු ඇත.

 සමන්ත ප්‍රදීප් විල්තෙර