2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

කළු කඩයට යන ඩොරලය

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 18

අද වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදයක් උද්ගතව ඇත. මෙය වඩාත් තීව්‍ර කිරීමට රුපියලේ විදේශ අගය දිගින් දිගටම දුර්වල වීම හේතු වී තිබේ. එම තත්ත්වය රට තුළ සහ රටෙන් බාහිරව සිදුවන සෑම ආර්ථික කටයුත්තකටම අහිතකර ලෙස බලපායි. දිගින් දිගටම පැමිණ අද වන විට උච්ඡතම අවස්ථාව පත්ව ඇති මෙම අර්බුදය අද හෙටම නිවැරදි වනු ඇතැයි සිතීමට ඉඩක් නැත. සියල්ලම කොවිඩ්-19ට ලඝු කරන මෙකල පැන නැග ඇති විනිමය අර්බුදය වසංගතයට බාරදිය නොහැක්කේ එයට දුර අතීතයක් ඇති නිසාය.

මේ වනවිට ශ්‍රී ලංකා රුපියලේ විදේශ අගය අංශ තුනකින් නිර්ණය කරන බවක් දැකගත හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුව මේ දිනවල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 204ක මට්ටමේ තබා ඇත. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නියෝගයකින් පාලනයට නතුවනතුරු මෙරට රාජ්‍ය වාණිජ බැංකු අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 228 – 230ක් නියම කර තිබිණි. පෞද්ගලික වාණිජ බැංකුද මෙයට ආසන්න මිලක් දක්වයි. මේ අතර කළු කඩයේ අමෙරිකානු ඩොලරය අලෙවි වන්නේ රුපියල් 270 – 280 අතර මිලකටය. 

අද ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් හිඟයකට මුහුණ පා ඇති නිසා එය ඩොලරය සඳහා නියම කරන මිල නාමික මිලක් පමණි. එයට හේතුව එම මිලට ඩොලර් ලබාගත නොහැකි වීමය. රාජ්‍ය වාණිජ බැංකුවලටද ඩොලර් හිඟයකට මුහුණ පෑමට සිදුව ඇත්තේ ඒවාට ඩොලර් ලැබෙන සියලුම මාර්ග ඇහිරී ඇති නිසාය. ඒ නිසා වාණිජ බැංකුවල ඩොලරය අලෙවි වූයේ මහ බැංකුව ප්‍රකාශ කරන මිලට වඩා රුපියල් 25ක පමණ වැඩි මිලටය. එහෙත් මෙහි ඇති කනගාටුදායක තත්ත්වය වනුයේ මෙම මිල නියාමනය කිරීමට මහ බැංකුව පමා වී ඉදිරිපත් වීමය. 

අද ඩොලර් ඇත්තේ ඩොලර් වෙළෙඳුන් වන කොටුව චැතැම් වීථියේ විදේශික වෙළෙඳුන් ළඟ පමණය. එහිදී ඩොලර් අලෙවි කරන්නේ කළුකඩ මිලටය. එහෙත් අමෙරිකානු ඩොලර් අවශ්‍යතාවයෙන් පෙළෙන රටේ ජනතාවට ඇත්තේ ඔවුන්ගේ පිහිට පමණය. මෙම ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභීන් ලෙස ක්‍රියා කරන නමුත් ඔවුන් අධික මිලට ඩොලරයෙන් ගසාකෑම නැවැත්වීමට මහ බැංකුව ක්‍රියා කරන්නේ නැත. එය හරියට අත්‍යවශ්‍ය භාණ්ඩ පාලන මිල නොසලකා වැඩි මිලට අලෙවි කරනවා වගේය.

භාණ්ඩ ආනයනයේදී නිකුත් කරන ණයවර ලිපි (LC) සඳහාද ගෙවීමට බැංකුවලට ඩොලර් නැත. මේ නිසා ආනයනය කළ භාණ්ඩ කන්ටේනර් විශාල සංඛ්‍යාවක් මාස ගණන් වරායේ පල්වෙමින් පවතී. සමහරක ඇති භාණ්ඩද විනාශ වෙමින් ඇත. ප්‍රමාද ගාස්තුද ගෙවීමට සිදුව ඇත. වාණිජ බැංකු ආනයනකරුවන්ට පවසනුයේ ඩොලර් සපයා දුනහොත් ණයවර ලිපි මුදාහළ හැකි බවය. මෙම තත්ත්වය නිසා ආනයනකරුවන් කළු කඩයේ ඩොලර් ලබාගන්නට පෙළඹී ඇත්තේ වැඩි මුදලක් හෝ ගෙවා ඩොලර් ලබාගැනීම ස්වකීය භාණ්ඩ වරායේ තදකර තබාගන්නවාට වඩා ලාභ සහගත නිසාය. ආනයනකරුවන්ට භාණ්ඩ සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවීමෙන් පාරිභෝගික ජනතාවද අසීරුතාවයකට පත්වන්නේ ඒ සියලු වියදම් පාරිභෝගිකයාගේ කරපිට තැබීමට ව්‍යාපාරිකයන් පෙළඹී ඇති බැවිනි.

ශ්‍රී ලංකා රුපියල මෙතරම් අභාග්‍ය සම්පන්න තත්ත්වයකට මුහුණ දී ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. වර්ගවාදී යුද්ධය පැවැති දිනවල පවා අපේ රුපියල මෙතරම් කඩා වැටුණේ නැත. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පමණක් නොව ලොව බොහෝ දියුණු රටවල මුදල් ඒකක හමුවේද ශ්‍රී ලංකා රුපියල බාල්දු වී ඇත. බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව 11.4෴කින්ද ඉන්දියානු රුපියල හමුවේ සියයට 10.9කින්ද යුරෝපීය යුරෝවට සමගාමීව 10.8෴කින් හා ජපාන යෙන් හමුවේ 10.5෴ක් ආදී වශයෙන්ද බාල්දු වී තිබේ. මෙම තත්ත්වය අමෙරිකාව සමඟ මෙන්ම ලොව සෙසු රටවල් සමඟ කරන ගනුදෙනුවලදී අපට පාඩු සහගතය.
තවදුරටත් රුපියල අවප්‍රමාණ වුවහොත් අපට කුමක් සිදුවෙයිද යන්න පිළිබඳව සහ රුපියලේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂ අගය රට තුළ ගණන් තුනකට ප්‍රකාශ වීම පිළිබඳ ප්‍රකට ආර්ථික විශ්ලේෂකයන් පළ කරන අදහස් මෙම ලිපියේ සංක්ෂිප්ත කර දැක්වේ.

රුපියලේ නියම තැන හඳුනාගත යුතුයි

ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකු එකමුතු වී සාකච්ඡා කර රුපියලේ විනිමය අනුපාතිකය එක මට්ටමකට ගෙන ඒම අවශ්‍ය බවය. එසේ නැතිව ශ්‍රී ලංකා මහ බැංකුව එක් අගයක් සහ රාජ්‍ය වාණිජ බැංකු තවත් අගයක් නියම කිරීම නිසා මේ වන විට අවුලක් මතුව ඇති බව ඔහු කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව රුපියලේ විදේශ අගය 203 හෝ 204 ආදී වශයෙන් ප්‍රකාශයට පත් කළද රටේ ක්‍රියාත්මක වන්නේ එම අගය නොවේ නම් එහි කිසිදු වටිනාකමක් නැති බව ඔහු පෙන්වා දෙයි.

අද රුපියලේ විදේශ අගය පිළිබඳ ව්‍යාකූලතාවක් ඇතිවෙලා. මහ බැංකුව සහ වාණිජ බැංකු අගයන් දෙකක් ප්‍රකාශයට පත් කිරීම නිසා අවුල් සහගත තත්ත්වයක් පැන නැගී තිබෙනවා. මෙය ආනයන අපනයනයට මෙන්ම වාණිජ ව්‍යාපාරවලට ඉතාම අහිතකර ලෙස බලපානවා. ශ්‍රී ලංකා මහ බැංකුව හා වාණිජ බැංකු එකට සාකච්ඡා කර ප්‍රායෝගික අගයක් ප්‍රකාශයට පත් කළ යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකු අතර අගයේ යම් කුඩා වෙනසක් තිබුණට වරදක් නැහැ. එහෙත් අද පවතිනවා වගේ රුපියල් 20 පමණ වෙනසක් තිබෙන්න බැහැ.

ආනයනකරුවාට කළ හැකි අනුපාතයක් තිබෙනවා. අපනයනකරුවාටත් එවැනි ප්‍රායෝගික අනුපාතයක් තියෙනවා. මේ දෙකම සමානුපාතික විය යුතුයි. අපනයන ව්‍යාපාරවලදී වුවද අපනයන භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කළ යුතු වෙනවා. ඒ නිසා රුපියලේ අගය දුර්වල වීම අපනයනයට වාසි සහගත යැයි පැවසුවද අපනයනයට ආනයන මිලද බලපාන නිසා එය එසේ වන්නේ නැහැ. ආනයනය කරන භාණ්ඩවලටද රුපියලේ අගය බලපානවා. ආනයන භාණ්ඩ විදේශීය වෙළෙඳපොළින් මිලට ගන්නා විට තිබෙන අගයට වඩා වැඩි අගයක් ඒවා අපේ රටට එන විට නිර්මාණය වී තිබෙනවා. මේ වන විටද එවැනි ගැටලු ඇතිවී ආනයන භාණ්ඩ මුදාහරින්න බැරිව වරායේ සිර වී තිබෙනවා. එවැනි බහාලුම්වලට නිකරුණේ ප්‍රමාද ගාස්තු ගෙවන්න සිදුවීමෙන් ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා යන දෙකොටසම අමාරුවේ වැටිලා.

බැංකු විවෘත කළ ණයවර ලිපිවලට ගෙවන්න බැරිවෙලා තියෙනවා. එයට හේතුව වාණිජ බැංකුවල ඩොලර් නැතිවීමයි. බැංකුවලට ඉල්ලන ඩොලර් ප්‍රමාණය දෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා. දැන් ණයවර ලිපි දෙන්නේ නැහැ.
අද පවතින අවිනිශ්චිතතාව රටේ ආයෝජනයටද අහිතකර ලෙස බලපානවා. විදේශීය මෙන්ම දේශීය ආයෝජකයන්ටද ව්‍යාපාර ආරම්භ කිරීමට බය සැක ඇතිව තිබෙනවා. කොතරම් ආයෝජකයන් පොළඹවා ගන්නට රජය කටයුතු කළත් ඔවුන් තුළ විශ්වාසවන්තභාවයක් නැහැ. ඩොලරයේ අද මිල නොවෙයි හෙට. දේශීය කර්මාන්ත සඳහා බොහෝ දේවල් ආනයනය කළ යුතු වෙනවා. එහිදී ඒ සඳහා බලාපොරොත්තු වූවාට වඩා වියදම් කිරීමට සිදුවූ විට නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ කටයුතු කිරීමේදී එක තීරණයක සිටිය යුතු වෙනවා. මෙම අවිනිශ්චිතභාවය නිසා විදේශ ආයෝජකයන් වෙන රටවලට ඇදිලා යනවා. වහාම මෙම තත්ත්වය නිවැරදි කර ආයෝජකයන් තුළ විශ්වාසයක් ගොඩනැගිය යුතුයි. එසේ කිරීමට නම් දැනට රුපියලට ඇති විනිමය වටිනාකම යම් ස්ථාවර තත්ත්වයකට ගෙන ආ යුතුයි. එහෙම නැතිව නිල අනුපාතය නමට පමණක් තබාගෙන ඉඳලා වැඩක් නැහැ. එය අපේ ආර්ථිකයට බලපෑ යුතුයි. ආර්ථික තීරණවලදී පාදක කරගත යුතු සත්‍ය වටිනාකමක් ශ්‍රී ලංකා රුපියලට දිය යුතු වෙනවා. ඩොලර්වලට තිබෙන ඉල්ලුම මොකක්ද කියලා වාණිජ බැංකු දන්නවා. මොකද ඒ අයයි ඩොලර් ගනුදෙනු කරන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය අනුපාතිකය ප්‍රකාශයට පත් කළ යුත්තේ මුදල් වෙළෙඳපොළ ගැන බලලයි. ඩොලර් ගනුදෙනුවල නිරත වන්නේ වාණිජ බැංකු නිසා ඒ අය සමඟ සාකච්ඡා කළ යුතුයි. තනි තීරණ ගන්න නරකයි.

ප්‍රායෝගිකව පාවිච්චි කළ නොහැකි නම් ශ්‍රී ලංකා රුපියලේ අගය කොතරම් පහළය කියලා ප්‍රකාශයට පත් කළත් ප්‍රතිඵලයක් නැහැ. මේ තත්ත්වය මත අපේ ව්‍යාපාරික ප්‍රජාව අමාරුවේ වැටිලා ඉන්නවා. ආනයන අපනයන ගැන හෝ ආයෝජන ගැන හෝ තීරණ ගැනීමේදී රුපියල කොහේද තියෙන්නේ කියලා අවබෝධ කරගත යුතුයි. ඒ නිසා ව්‍යාපාරිකයාත් රටේ ආර්ථිකයත් යන දෙපැත්තම බේරාගැනීම සඳහා රුපියලේ නියම විදේශ අගය පිළිබඳ ස්ථිර නිගමනයකට එළඹිය යුතු වෙනවා.*
මහ බැංකුව කියන ගාණට ඩොලර් ගන්න බැහැ

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

විනිමය අනුපාත තීරණය කිරීමේ බලය මුදල් පනත අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතුවයි පවතින්නේ. එය තීරණය කිරීමට දේශීය සහ විදේශීය සාධක ගණනාවක් පදනම් වෙනවා. එසේම විනිමය අනුපාතිකය දේශීය හා විදේශීය වශයෙන් මිල තීරණය වීමේදී විශේෂයෙන් බලපානවා. ඒ නිසා විනිමය අනුපාත තීරණය කිරීම වගකීමෙන් යුතු කළ යුතු වෙනවා.

අද අපේ රටේ පවතින්නේ පාවෙන විනිමය අනුපාතිකයක්. එලෙස පාවෙන විනිමය අනුපාතිකයක් ඇති විට එය තීරණය වන්නේ ඉල්ලුම සැපයුම මතයි. මෙය හරියට විවෘත ආර්ථික රටාවක් තිබියදී ඉල්ලුම හා සැපයුම මත භාණ්ඩ මිල තීරණය වීමට සමාන ක්‍රියාවක්. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනුපාතිකය තීරණය වෙනවා නම් එතැනදී විවෘත මිල න්‍යාය අනුගමනය කෙරෙන්නේ නැහැ. මෙහිදී විනිමය අනුපාතිකය මහ බැංකුව තීරණය කිරීමට වැරදි අතර එය මුදල් වෙළෙඳපොළ අනුව තීරණය විය යුතු වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව රුපියලේ විදේශ අගය තීරණය කළාට වෙළෙඳපොළේ ඩොලර් නැතිනම් එම ගණන් ප්‍රායෝග වන්නේ නැහැ. එහිදී සිදුවන්නේ මහ බැංකුව ප්‍රකාශ කරන අගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීමයි. වාණිජ බැංකුවලට මහ බැංකුව කියන විදියට තීරණය කරන්න බැහැ. අද ශ්‍රී ලංකා මහ බැංකුව අපේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 204යි පැවසුවත් වාණිජ බැංකු ක්‍රියා කරන්නේ ඩොලරයේ අගය ශ්‍රී ලංකා රුපියල් 226 – 228 මට්ටමේයි. අද කළුකඩේ ඩොලරය අලෙවි වන්නේ 280 ආසන්නයේයි.

සාමාන්‍යයෙන් වාණිජ බැංකු ඩොලර් ඉල්ලුම අනුව ඒ අයගේ වියදම් ඉවත් කර තමාට ලැබෙන ඉතිරි ඩොලර් ශ්‍රී ලංකා මහ බැංකුවට දෙනවා. වාණිජ බැංකුවලට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඩොලර් නිකුත් කරනවාට අමතරව ඒ අයගේ ආදායම් මාර්ගවලින්ද ඩොලර් ලැබෙනවා. විදේශවල ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් ඩොලර් ලැබෙනවා. සංචාරකයන්ගෙන්, එසේම අපනයනකරුවන්ගෙන් මුදල් ලැබෙනවා. එහෙත් අද වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වාණිජ බැංකුවලට සාමාන්‍ය විදියට මුදල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එම බැංකුවලට මහ බැංකුවෙන් දෙන මුදල්වලින් යැපෙන්න සිදුවෙලා තියෙනවා. අද එහෙම මුදල් දෙන්නටද මහ බැංකුවට ඩොලර් නැහැ. මෙම තත්ත්වය මත ඩොලර් අවශ්‍ය අයට සිද්ධ වෙන්නේ කළු කඩයෙන් ලබාගැනීමටයි. මෙය හරියට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වූ විට කළුකඩ මිලට ගන්නට සිදුවීම වගේ දෙයක්. අද කළුකඩවල ඩොලරයක් අලෙවි වන්නේ ශ්‍රී ලංකා රුපියල් 270 – 280 වගේ ඉහළ මිලකටයි. එහෙත් මෙම පෞද්ගලික මූල්‍ය ගනුදෙනු ආයතනවලට ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරය අලෙවි කළ යුතු මිල ගැන උපදෙස් දී තිබුණත් ඒ අය එයට වඩා ඉහළ මිලකට විකුණනවා. මෙය හරියට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කළ විට එම පාලන මිල නොසලකා අලෙවි කරනවා වැනි වැඩක්.

පිටරටවල දරුවන් අධ්‍යාපනයේ යෙදී සිටින අයට දෙමාපියන් ඩොලර් යවනවා. විශ්වවිද්‍යාල ආදියේ ගාස්තු ගෙවන්නේ ඩොලර්වලින්. මොකද ශ්‍රී ලංකා රුපියල ජාත්‍යන්තරව පිළිගත් මුදල් ඒකකයක් නොවන නිසා. එසේම අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට පිටරටට ඩොලර් ගෙවිය යුතු වෙනවා. ආනයනවලදී ඩොලර් අවශ්‍ය වෙනවා. භාණ්ඩ ආනයනයේදී පිටරට බැංකුවලට මෙරට බැංකු නිකුත් කරන ණයවර ලිපිවලටද ඩොලර් තිබිය යුතුයි. මේ වන විටද මෙලෙස ණයවර ලිපි (LC) නිකුත් කළ නොහැකිවීම නිසා ආනයනය කළ විශාල බඩු කන්ටේනර් තොගයක් වරායේ හිරවෙලා තියෙනවා. මෙලෙස ආනයනය කළ භාණ්ඩ මෙරටට නොලැබීම රටේ භාණ්ඩ හිඟයක් ඇතිවීමටද බලපා තියෙනවා. අවශ්‍ය ඩොලර් නැතිවුණාම කළු කඩයට යනවා.

රජයට ලැබෙන ඩොලර් වෙළෙඳපොළට එන්නේ නැහැ. එම මුදල් විදේශ ණය සහ පොලී ගෙවීමට පාවිච්චි කරන අතර, විදේශ මුදල් සංචිත පවත්වා ගැනීමටද යොදා ගන්නවා. ඒ නිසා මහ බැංකුවට ඩොලර් ලැබුණත් එයින් රටේ භාණ්ඩ මිලට බලපෑමක් ඇතිකරන්න බැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ අගය ප්‍රකාශයට පත් කළාට එම මුදලට ඩොලර් ගන්න වාණිජ බැංකුවට බැහැ. රජය අඩු කළාට එයට සමපාතිකව වෙළෙඳපොළ සකස් වෙන්නේ නැහැ. එවිට සිදුවන්නේ ව්‍යාපාරිකයාට වැඩිපුර ගෙවලා පිටතින් ඩොලර් ලබාගෙන එම වැය දේශීය ගැනුම්කරුවාගෙන් අයකර ගැනීමටයි. මෙම තත්ත්වය නිසා අද වන විට රටේ ජනතාව හිරිහැරයට පත්වෙලා.

ඩොලරයේ පාලනය මහ බැංකුවෙන් ගිලිහිලා

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ හිටපු සභාපති හා හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ දැනට උද්ගතව ඇති රුපියලේ විදේශ අගය පිළිබඳ ප්‍රශ්නය ඔඩු දිවීමට අද රටේ සිදුවන අවිචාරවත් මුදල් මුද්‍රණයද ප්‍රබල හේතුවක් වී ඇති බවකි. රුපියල් මුද්‍රණය නිසා ජනතාව අතට යහමින් මුදල් ලැබීමෙන් ඔවුන් වැඩිපුර භාණ්ඩ මිලට ගැනීමට පෙළඹෙන අතර ඒවා ආනයනික භාණ්ඩ වුවහොත් රජයට ගෙවීමට සිදුවන්නේ අමෙරිකානු ඩොලර්වලින් බව ඔහු කියයි. එලෙස ඩොලර් නැතිවූ විට ණයට ගත් භාණ්ඩ නම් ඒවාට මුදල් ගෙවීමට ගැටලු ඇතිවනවා ඇත. අමාරුවෙන් මෙන් මුදල් ගෙවා ගෙන්වූ භාණ්ඩ නම් ඒවාට ඊළඟ වතාවේ ගෙවීමට ඩොලර් නැත. එවිට භාණ්ඩ හිඟයක් ඇතිවීමෙන් මිල මට්ටම ඉහළ නැග පාරිභෝගිකයා හිරිහැරයට පාත්‍ර වන බව හිටපු සභාපතිවරයා කියයි. 

ශ්‍රී ලංකා රුපියලේ විදේශ අගය පහළ යන තරමට ආනයන - අපනයන ගැටලු පැන නගී. මේ වන විට එය සිදුවෙමින් පවතිනවා. ඩොලර් නොමැතිවීමෙන් වාණිජ බැංකුවලට ආනයන භාණ්ඩ සඳහා ණයවර ලිපි (LC) නිකුත් කළ නොහැකි වෙනවා. එලෙසම වරෙක නිකුත් කර ඇති ණයවර ලිපිවලට මුදල් ගෙවන්නට නොහැකි වූ විට අපේ බැංකු පද්ධතිය බිඳවැටෙන්නට වුවත් පුළුවන්. එයට හේතුව අපේ බැංකු කෙරෙහි ජාත්‍යන්තර  බැංකුවල විශ්වසනීයත්වය පළුදු වීමයි. එහිදී අපට ජාත්‍යන්තර ගනුදෙනු කිරීමට නුපුළුවන් වෙනවා. වාණිජ බැංකු නිකුත් කරන ණයවර ලිපි විදේශ බැංකු පිළිගන්නේ නැති තත්ත්වයක් ඇතිවෙනවා. දැනටමත් නිකුත් කර ඇති ණයවර ලිපිවලට මුදල් ගෙවිය නොහැකිව ඇතැම් බැංකු පිළිබඳ ගැටලු ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.

බැංකුවල ඩොලර් නැතිවන විට කළු කඩයෙන් ඉහළ මිලට ඩොලර් ගන්න සිද්ධ වෙනවා. එයින් සිද්ධ වෙන්නේ කළු කඩයේ ඩොලර් මිල තව තවත් ඉහළ යාමයි. දැනටමත් කළු කඩයේ ඩොලරයේ මිල රුපියල් 270 ඉක්මවා ගිහින් තියෙනවා.ඩොලරයේ ගනුදෙනු මිල එහෙම තියෙද්දි ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 203 – 204 වැනි ගණන්වලට තිබුණාට ඇතිවන ප්‍රතිඵලයක් නැහැ. ඒ මොකද ගනුදෙනු කරන මිල එයට වැඩිවීමයි. දැන් සිදුව ඇත්තේ ඩොලරයේ පාලනය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ගිලිහී ගොස් තිබීමයි. මහ බැංකුව කොතරම් පහළ අගයක් නිවේදනය කළත් වැඩක් නැහැ. හේතුව දැන් ඩොලරය පාලනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නොවීමයි. පිටත තිබෙන කළු කඩයයි. ගනුදෙනු සිදුවන්නේ බැංකු සමඟ නොවෙයි, කළු කඩය සමඟයි. එම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර ලෙස බලපානවා. මෙයට පෙර කවදාවත් ඇතිවූයේ නැහැ.

අපේ විදේශ ණය ගෙවීමේදීද මෙම අහිතකර තත්ත්වය බලපානවා. විදේශ ණයවලට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය තීරණය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව අනුව නොවෙයි. ජාත්‍යන්තරව අපේ රුපියල පිළිගන්නා මිල අනුවයි. එවිට අද ගෙවන්නට ඇති විදේශ ණය ප්‍රමාණය ඉදිරියේදී තවත් වැඩි වන්නට පුළුවන්. ඩොලරයක් ගැනීමට විශාල රුපියල් ප්‍රමාණයක් වැය වන නිසා රටේ මුදල් මුද්‍රණය කළා යැයි මෙම අර්බුදයෙන් බේරිය නොහැකියි. මෙලෙස අසීමාන්තිකව මුදල් අච්චු ගැසීමෙන් සිද්ධ වෙන්නේ රට තුළ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම මෙන්ම විදේශ ණයවලටද විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙවන්නට සිදුවීමයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත ප්‍රමාණය ඉහළ දැමීමටද පවතින තත්ත්වය බාධකයක් වෙනවා. ජාත්‍යන්තරව ලැබෙන ඩොලර් ණය සහ ආධාර සුළු වශයෙන් හෝ සංචිතවලට එකතු වුණත් විදේශ සංචිතවල ඇති ඩොලර් සියල්ලම ණය ගෙවීමට පාවිච්චි කළ නොහැකියි. යම් විදියකින් අපේ විදේශ සංචිත %0^ට බහිනවා කියන්නේ රට බංකොලොත් බව සනාථ වීමයි.

ඒ නිසා සිදුවිය යුතුව ඇත්තේ ඉල්ලුම හා සැපයුම මත පිහිටා රුපියලේ විදේශ අගය නිර්ණය කිරීමයි. එවැනි ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැතිව මහ බැංකුව රුපියලේ අගය නිවේදනය කිරීමෙන් රටට සිදුවන අයහපතක් මිස යහපතක් නොවන බව පිළිගත යුතු වෙනවා.

 යසවර්ධන රුද්රිගූ

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, ප.ව. 05:16
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00