2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

කඩා පැනීම් මැද බඩු මිල පාලනය වෙයිද?

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 28

බඩු මිල සැමදා ජනතාවට මෙන්ම මාධ්‍යයටද ප්‍රධාන මාතෘකාවකි. දේශපාලනඥයන්ට සටන් පාඨයකි. එහෙත් අන් කවදාටත් වඩා බඩු මිල සම්බන්ධව මේ දිනවල කවුරුත් කතාබහ කරති. පසුගිය දිනවලදී සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රුසක මිල ගණන් ඉහළ ගියේය. ඇතැම් භාණ්ඩ සහ ද්‍රව්‍යවල හිඟයක් ද වෙළෙඳපොළ තුළ නිර්මාණය විය. රට අගුළු දමා තිබූ පසුබිමක සිදු වූ මෙම සිදුවීම් පාරිභෝගික ජනතාවට සුවිසල් පීඩාවක් විය. කූඨ ව්‍යාපාරිකයන්ගේ ප්‍රයෝගයන් මෙන්ම ආර්ථික කළමනාකරණ දුර්වලතා ද මෙම අර්බුදයට මූල බීජය වී තිබිණි. ඒ අනුව මෙම අර්බුදය කළමනාකරණයට පසුගියදා ජනාධිපතිවරයා හදිසි නීති ප්‍රතිපාදන යටතේ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයකු ද පත් කළේය. මිල පාලනයක් ද ක්‍රියාත්මක කළේය. වැටලීම් රැසක්ද සිදුවිය.

ඒ අනුව පාලන මිල යටතේ සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වෙළෙඳාම නිසි පරිදි සිදුවේදැයි විමසා බැලීමට අපි තීරණය කළෙමු. එසේම පාලන මිල හේතුවෙන් සිල්ලර වෙළෙන්ඳන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව මෙන්ම තොග වෙළෙඳුන් පාලන මිලෙන් පාඩුවක් සිදු නොවන පරිදි ව්‍යාපාර කිරීමට දරණ උත්සාහය ද අපගේ අවධානයට යොමුවිය. පළමුව පාරිභෝගික ජනතාවට මිල පාලනය හේතුවෙන් සහනයක් ලැබී ඇතිද යන්න පිළිබඳව අපි විමසා සිටියෙමු. 

“සීනි නම් අඩුවෙලා තියෙනවා. සමහර තැන්වල එකසිය තිහයි. සමහරු පරණ ස්ටොක් කියලා ටිකක් වැඩියට විකුණනවා. හාල් එහෙම ගණන් අඩුවෙලා නෑ. එක එක තැන්වල එක එක ගණන්. ඔක්කොම අඩුවට ගන්න සතොසට යන්න ඕනෑ. ඒත් සතොසෙ ලොකු පෝලිමක් තියෙනවා. ඒ හිටියත් අපිට ඕන තරම් ප්‍රමාණයට බඩු ගන්න බෑ. මේ දවස්වල නිතර නිතර එළියට එන්න බැරි හින්දා බඩු එකපාර ගෙනියන්න තිබුණා නම් හොඳයි. ඉස්සරහට සතොස පෝලිම් පොකුරකුත් හැදෙයිද දන්නේ නෑ. අනික් අතට ලොක්ඩවුන් නිසා ෆුඩ්සිටිවලින් බඩු ගන්න එක කරදරයක්. සීනි අඩු කළාට ඒගොල්ලො තාම හාල් අඩු කරලා නෑ. කිරිපිටි ඇත්තේම නෑ. ලංකාවේ හදන ජාති හොයාගන්න අමාරුයි. බඩු ඉක්මනට ඉවර වෙනවා. මිල පාලනය කරපු එක හොඳයි. ටීවී එකේ වැඩිපුර විකුණන අයව අල්ලනවා පෙන්නන නිසා තමයි මෙයාලා පොඩ්ඩක් හරි අඩුවට විකුණන්නේ."

ලොක්ඩවුන් සමයේ වුවද නගරයට නිතර යන එන පාරිභෝගිකයකුගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය. මෙහිදී ඔහු කියා සිටියේ ගමේ සිල්ලර වෙළෙඳසල්වල භාණ්ඩවල මිල ගණන් තොග මිල වැඩිවන විට හිටිහැටියේ ඉහළ යනමුත් පාලන මිල සමඟ අඩු නොවන බවයි. ඔහු ඊට අපූරු උදාහරණයක් ලබා දුන්නේය. ගමේ කඩයේ මුදලාලි කල් ඇතිව ගෙනවිත් තිබුණු සීනි රටේ මිල වැඩි වී ඇති බවට මාධ්‍යයෙන් කියූ සැණින් ඉහළ දමයි. එහෙත් මිල පාලනය යටතේ සීනි අඩු කළ යුතු බව කියූ විට මේවා පරණ තොග යැයි කියමින් වැඩි මිලට විකිණීමට උත්සාහ කරයි. මෙවන් තත්ත්වයක් තුළ තමා නගරයට ගොස් භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

“එක එක වෙලාවට බඩු අඩු කරන්න කියන එක අසාධාරණයි. මධ්‍යම රාත්‍රියේ 12 ඉඳලා මෙච්චරක් අඩු වුණා කිව්වම අසරණ වෙන්නේ තොග වෙළෙන්ඳෝ නෙවෙයි අපි. අපිට සීනිවලින් හාල්වලින් ලොකු ලාභයක් නෑ. සීනි කොට්ටයක් හා හාල් ගෝනියක් කැඩුවට පස්සේ ආයේ රිටන් කරන්නත් බෑ. එතකොට සම්පූර්ණ පාඩුව අපිට. අපේ වගේ කඩවලට බඩු ලොකු ලොකු ප්‍රමාණවලින් ගේන්නේ නෑ. එහෙම එකේ අපිට අවස්ථාවක් දෙන්න ඕන මේ තියෙන ප්‍රමාණය විකුණගන්න. හැමදේකම තොග කට්ටිය තමයි ලොකු ලාභයක් ලබන්නේ. එයාලට පුළුවන් ඒවායේ පාඩු දරාගන්න. මොකද ඒගොල්ලන්ගෙ ගනුදෙනු යන්නේ ලක්ෂ කෝටි ගණන්වලින්. හැම පැත්තෙන්ම තැලෙන්නේ පොඩි මිනිහා."
සංචරණ සීමා හමුවේ වසා දැමිය යුතු වුවත් එසේ නොකොට තමන්ගේ අලෙවිසල බාගෙට විවෘත කොට වෙළඳාමේ නිරත වන මෙම සිල්ලර වෙළෙන්ඳාට මිල පාලනය දැනී ඇත්තේ එලෙසය. 

අප පෙර පාරිභෝගිකයාගේ තර්කය ඔහු හමුවේ තැබූ විට ඔහු ඊට අපූරු පිළිතුරක් ලබා දුන්නේය. ඉන්ධන මිල ගණන් වැඩි කළ විට එදිනම රාත්‍රියේ පිරවුම්හල්වල මිල ගණන් ඉහළ යන බව ඔහු කියා සිටියේය. එසේම ඊළඟ තොගය මිලදී ගැනීමට නම් දැන් පවතින තොගය එය ලබාගත් මිලට සාපේක්ෂව සුළු හෝ ලාභයක් සහිතව විකිණිය යුතු බව ඔහු අපට පෙන්වා දෙයි.

පසුගිය බදාදා දිනයේදී නගරබද තොග අලෙවිසල් කිහිපයකට දුරකථන ඇමතුම් ලබා දී පාලන මිල සම්බන්ධව අපි විමසා සිටියෙමු. ඒ අනුව පෙනී ගියේ බොහෝ දුරට ගැසට් කර ඇති මිල ගණන් යටතේ තොග අලෙවිසල්හි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අලෙවි වන බවයි. එහෙත් ඇතැම් සහල් වර්ග තමන් සතුව නැතැයි ඔවුන්ගෙන් සමහරෙක් කියා සිටියහ. එහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට අප කළ උත්සාහයකදී දැනගන්නට ලැබුණේ එම තොග ඔවුන් සතුව ඇති බවයි. මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාර දෙකක් විසින් එම තොග විකිණීම නොකරන ලෙස ඔවුන්ට දැනුම් දී තිබේ. එම තොග නැවත රුගෙන යාමට තමන් කටයුතු කරන බවත් ඉදිරියේ දී පාලන මිල යටතේ තොග ලබාදීමට කටයුතු කළ හැකි බවත් ඔවුන් මෙම නගරබද තොග වෙළෙඳුන්ට දන්වා තිබේ. වැඩි මිලට ගෙන ආ සහල් තොග පාලන මිලට අලෙවි කිරීමෙන් තමන් හට ද පාඩුවක් සිදුවන බැවින් මෙම තොග වෙළෙඳසල් හිමියෝ මෙම යෝජනාවට එකඟ වී සිටිති.

මෙම තත්ත්වය යටතේ සහල් මෝල් හිමියන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන යම් උපායක් පිළිබඳ සැක සංකා මතු වෙයි. එසේ නමුත් පසුගිය සතිය අවසානයේ දී අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ නියෝග මත සහල් මෝල් වෙත ගිය බලධාරීහු ඒවා සතු තොග තමන් වෙත පවරාගැනීමට කටයුතු කළහ. පාලන මිලට වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂා කර, හදිසි නීති රෙගුලාසි යටතේ ඒවා රජයේ භාරයට ගෙන, පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබිණි. 

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂා කිරීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් කටයුතු කළේය. එහිදී ගබඩාවල තිබූ මෙට්‍රික් ටොන් දහසකට ආසන්න සහල් තොගයක් රජයේ භාරයට පත්විය. මෙහිදී ඔවුන් සතොස සහ ආහාර දෙපාර්තමේන්තුවේ ලොරි රථ 70ක් පමණ පොළොන්නරුවට රැගෙන ගොස් තිබිණි. ඒ අනුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබී රජයේ භාරයට ගත් මෙම සහල් තොග සතොස හරහා අලෙවි කිරීමට එම ලොරි රථ භාවිතයෙන් කොළඹට රුගෙන ඒම සිදුවිය. මෙහිදී ඇතැම් සහල් මෝල් සතුව පැවති තොග පවරාගැනීමට කටයුතු කිරීමේදී එහි හිමිකාරීත්වය සැලසුම් සහගත විරෝධතා මතු කිරීමට කටයුතු කර තිබිණි. 

කෙසේ වෙතත් මේ දක්වා මිල පාලනයේ සැබෑ වාසිය පාරිභෝගිකයන්ට සම්පූර්ණයෙන් ලැබී නොමැත. නමුත් ඒ සම්බන්ධ සාධනීය ප්‍රවේශයක් ඇති බව අපගේ විශ්වාසයයි. බලධාරීන් විසින් ඉහළ මාලයේ ගනුදෙනු කරන අතරම ගමේ නගරයේ සැබෑ යථාර්ථය පිළිබඳවත් සොයා බැලීමට උත්සුක විය යුතුමය. ජාතික වශයෙන් ගනු ලබන තීන්දු තීරණවල සැබෑ වාසිය පාරිභෝගික ජනතාවට ගලා යාමේ යාන්ත්‍රණයක් සකස් කළ යුතුව තිබේ. මන්ද ආණ්ඩුව තීන්දු තීරණ ගත් පමණින්ම ඒවා ජනතාව සන්තක නොවේ. 

 චමිඳු නිසල් ද සිල්වා