2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

ඇමරිකානු ඩොලරයකට ආණ්ඩුවෙන් නියම කළ මිලක්

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 31

ඇමරිකානු ඩොලරයක අගය ගැන නොසිතන පැතිවලින් උනන්දුවක් ඇති වෙමින් තිබේ. ආර්ථිකයක උස් පහත්වීම් අපේක්ෂා කළ යුතුය. තැති ගැනීම් සිදුවෙයි. පසුව නිශ්චල වන අතර එය එදිනෙදා කටයුතුවලට දැනේ. ශ‍්‍රී ලංකාව ආනයන මත රුඳී සිටින රටකි. අපනයන ආදායම අඩුය. සාමාන්‍යයෙන් ඩොලර් හිඟයක් තිබේ. කොවිඩ් ව්‍යසනය සමඟ ඇති වූ බලපෑමෙන් රටට ලැබෙන්නට තිබුණ විනිමය ඇහිරී ගිය අතර එය මෙම තත්ත්වය උද්ගත කර ඇත. අනවශ්‍ය කලබලයකින් ඩොලර් මිල දී ගන්නා අංශවලට මතක් කළ යුතු කරුණක් තිබේ. නැවතත් විනිමය අනුපාතිකය එක්තරා තැනක තහවුරු වනු ඇත. අනවශ්‍ය කලබලයකින් ක‍්‍රියාකළ කොටසකට එහි දී අවාසි සිදුවෙනු නිසැකය.

වේගයෙන් විනිමය අනුපාතකය කඩා වැටුණ රටවල් ලෝකයේ තිබේ. නැගෙනහිර ආසියානු අර්බුදය එයින් ප‍්‍රධාන එකකි. අනෙක ග‍්‍රීසිය, වියට්නාමය හා පිලිපීනය වැනි රටවල උද්ගත වූ තත්ත්වයයි. ආර්ථිකය වැනසී එකී රටවල් අභාග්‍ය සම්පන්න තැනකට පත්වනු ඇති බව පෙනුණ නමුත් දැන් එකී රටවල් යළි ඉදිරියට පැමිණෙමින් සිටී. ඒවායේ විනිමය අනුපාත නැවත ශක්තිමත් වී ඇති බව නොරහසකි.

• මහ බැංකුවෙන් ඩොලරයට තනි වටිනාකමක්

ශ‍්‍රී ලංකා මහ බැංකුව විදේශ වත්කම් ගැන අවධානයකය. විදේශ ණය ගෙවීමට ඇමරිකානු ඩොලර් බිලියනයක් වෙන්කරන්නට සිදුවිය. අනෙක සංචාරක කර්මාන්තයෙන් හා අපනයනවලින් එන විදේශ ආදායම පහත වැටී තිබේ. ආයෝජන සීමා සහිතය. කොටස් වෙළඳ පොළට පවා විදේශ ආකර්ෂණය සීමිතය. ජීවිතය ගැන අනපේක්ෂිත කාලවකවානුවක ආදායම ගැන විශ්වාසය තබන්නට නොහැකි බව දන්නා පිරිස් අවදානමකට සූදානම් නැත. ශ‍්‍රී ලංකාව වැනි මැදි ආර්ථිකයක සිටි රටවල් බරපතළ පීඩාවකය. ජගත් ආර්ථික විශේෂඥයෝ මෙම පසුබිම අධ්‍යයනය කර ඇත. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හදිසි ආධාර වැඩපිළිවෙළ සකස් කර තිබේ. ඇමරිකානු ඩොලර් බිලියන 160 ක අලුත් ධනයක් තෝරාගත් රටවල්වලට බෙදා දෙන්නට සූදානම් කර ඇති බව මූල්‍ය අරමුදල කියයි. මෙම ධනය ලැබෙන විට අලුත් විශ්වාසයක් ඇති විය හැකි අතර එයට සමාන්තරව ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් අනුගමනය කළහොත් ස්වභාවය වෙනස් වෙන්නට පුළුල් අවස්ථාවක් ඇත. පවතින රාමුවෙන් ගැලවී පියවර ඉදිරියට තබන්නට ප‍්‍රතිපත්ති සම්පාදකයෝ නිර්භීත විය යුතු අතර එය රටට අවශ්‍ය ආර්ථික ස්ථාවරය තහවුරු කරනු ඇත. 

නොබෝදා ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙරට වාණිජ බැංකුවලට කරුණු පැහැදිලි කිරීමක් කළේය. ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රු. 200-203 අතර ස්ථාවරව පවත්වා ගන්නා සේ දක්වා තිබේ. රට ගැන අවධානය යොමු කළ යුතු අතර ජාතික වගකීමක් සහිතව ක‍්‍රියා කළ යුතු කාලපරිච්ඡේදයක් බව පෙන්වා දී ඇත. අනෙක හැඟීම්බර නොවෙන සේ දක්වා තිබේ. බැංකුවලට ඩොලර් හිඟයක් දැනෙන වහා අනවශ්‍ය තිගැස්මකින් යුතුව ක්‍රියා කිරීමෙන් ප‍්‍රයෝජනයක් නොලැබේ. ඩොලරයක මිල අසාමාන්‍ය ලෙස වැඩිවන ලකුණු පෙනෙන විට ඕනෑම පුද්ගලයෙකු තමන් සන්තකයේ ඇති මුදල පරදුවට තබන්නට සූදානම්ය. අදට වඩා හෙට වැඩි මිලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඩොලර් මාරු කිරීම ප‍්‍රමාද කිරීමෙන් නැවත නැවතත් හිඟය තරබාරු වෙති. විවෘත ආර්ථික ක‍්‍රමය තුළ ඇතිවන මෙම පීඩනකාරී වාතාවරණය පාලනය සඳහා මහ බැංකුව තමන් සතු සංචිත නිදහස් කළ යුතුව තිබේ. සංචිත හීන වී ඇති අවස්ථාවක තාවකාලික පියවරවලින් කළමනාකරණයක් නිර්මාණය කිරීම වැදගත්ය. එය විදේශ විනිමය පරිහරණය කරන්නන් ආරක්ෂා කරන පියවරකි.

• මෙම අවස්ථාවේ ඩොලර්  මිල දී ගතයුතු නැති ඇයි?

මහ බැංකුව නියම කරන මිලක් තිබිය දී එයට එපිටින් අළුත් කළු ඩොලර් වෙළඳ පොළක් බිහිවෙන්නට ඉඩ තිබේ. එය ඉතාම අනතුරුදායකය. සීනි හිඟවන බව කියන විට අනවශ්‍ය පරිදි තොග එකතු කරගන්නා ආකාරයට විදේශ විනිමය වහා රුස්කරගන්නා පිරිසක්ද වෙති. විශේෂයෙන් සිය දරුවන් වෙනත් රටවල අධ්‍යාපනයට යොමුකර ඇති දෙමාපියෝ පිටස්තර තැන්වලින් හෝ ඩොලර් ගැන විමසති. බැංකුවට එපිට ඇමරිකානු ඩොලරයක් රුපියල් 225-235 අතර දක්වා නැග තිබේ. එයට හේතුව එම මිලට හෝ ගන්නා පාරිභෝගිකයන්ය. නොගෙන සිටියහොත් එම මිල අවශ්‍ය අයවලුන්ට දරාගත හැකි තැනක් දක්වා පහත වැටේ. අනෙක පිටස්තරව වැඩි මිලකට විකිණිය හැකි බව පෙනෙන පසුබිමක උපයා ගත් විනිමය ඇති සමහරු ඒවා වානිජ බැංකුවලට නොගොස් නීති විරෝධීව තුන්වැනි පාර්ශ්වයකින් මාරු කරමින් සිටී. එය උද්ගතවී ඇති තත්ත්වය තවත් අසීරු කරන පියවරකි. සාමාන්‍ය පිළිවෙළ අනුව වාසි තකා තීරණ ගත යුතුය. ස්වභාවය එයයි. ඩොලර් ළඟ තබා ගැනීමේ දී අවදානම දැනගෙන සිටීම සුදුසුය. 

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වනු ඇති බව ජාත්‍යන්තර ප‍්‍රජාව විශ්වාස කරයි. එන්නත්කරණය හොඳ උත්තරයක් වී තිබේ. ව්‍යාප්තියක් සිදුවන නමුත් ජීවිතක්ෂයට පත්වන පිරිස අඩුම අගයකට පත්වෙයි. දැනට අඩු ආර්ථික ක‍්‍රියාකාරකම් පවතින නමුත් කොවිඩ් පාලනය වූ වහා ස්වභාවය වෙනස් වෙන්නට ඉඩ තිබේ. අවුරුදු දෙක තුනක් සංචාරයක නිරත නොවූ කණ්ඩායම් තත්ත්වය පාලන වූ වහා ඇවිදින්නට සූදානම් වණු නිසැකය. පර්යේෂකයන් දක්වන පරිදි සංචාරක කටයුතු ඉදිරියේදී වේගයෙන්ම වර්ධනය වෙන අංශයකි. ශ‍්‍රී ලංකාව හා මාලදිවයින වැනි රටවලට අවස්ථාව හිමිවෙයි. සේවා ආර්ථිකයක් පවතින රටවලට වාසිදායක බව පෙනේ. විනිමය උත්පාදන මාර්ග යුහුසුළු වනු ඇති අතර එම කාලය තෙක් ආයාසයකින් ක‍්‍රියා කිරීම විදේශ විනිමය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී හොඳ උපායක් වනු ඇත.

• අපනයන අංශයේ දැනටමත් වර්ධනයක්

රුපියලේ අගය අවප‍්‍රමාණයවීම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගැන දක්වන ඉඟියක් වශයෙන් දැක්විය හැකිය. විනිමය හිඟ අවස්ථාවේදී දුර්වල වන අතර රටට ඇති තරම් විනිමය උපයාගතහොත් රුපියලේ අගය ශක්තිමක් කරගත හැකිය. ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල මෙයට වසර දෙකකට පමණ කලින් තිබුණ ඩොලරයක විකිණුම් මිල රුපියල් එකසිය පනහ ඉක්මවන පසුබිමක් බව පෙනේ. කෙසේ නමුත් රුපියල අවප‍්‍රමාණය වනවිට ආනයනික දේ වෙනුවෙන් ගෙවන පිරිවැය ඉහළ නගී. වැඩි වශයෙන් ඛනිජ තෙල් ආනයනය කරයි. සීනි, පරිප්පු, කිරිපිටි, අල, ලූනුවල සිට සෑම දෙයක්ම පිටරටවලින් ගෙන්වයි. මේවා සමහරක් ආනයනය කිරීම පාලනය කර ඇත. ඇඟළුම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදිපිළි හා යන්ත‍්‍ර සූත‍්‍ර සහ රථවාහන ගෙන්වන දෑ අතර තිබේ. මේවා වෙනුවෙන් මෙරටින් ගෙවන ඩොලර් ප‍්‍රමාණය රුපියල අවප‍්‍රමාණය වන එක හේතුවකි. වෙනදා රුපියල් එකසිය අසූ පහකට මිල දී ගත් එකම දේ වෙනුවෙන් අද තවත් රුපියල් දහයක් පහළොවක් වැඩිපුර ගෙවන විට එය අමතර වියදමකි. අවසානයේදී මෙම පිරිවැය දරන පාරිභෝගිකයා බඩු මිල වැඩි බව කියයි. එහෙත් මෙහි අනෙක් පැත්තක්ද තිබේ.

විනිමය අනුපාතිකය අවප‍්‍රමාණය අපනයනකරුවන්ට වඩාත් වැදගත්ය. ගැනුම්කරුවන්ට අඩු ඩොලර් ප‍්‍රමාණයකින් භාණ්ඩ වැඩිපුර මිල දී ගත හැකිය. අනෙක එම විනිමයවලට රට තුළ වැඩි රුපියල් ප‍්‍රමාණයක්ද ලැබේ. එය සාමාන්‍ය ජනතාව දක්වා පහළට ගමන් කරන වාසියකි. සංචාරක ව්‍යාපාරය, ආයෝජන වෙනුවෙන් හිතකර වාතාවරණයක් ඇති වෙයි. විදේශ ආයෝජකයන් රටට පැමිණ කරන ව්‍යාපාර වෙනුවෙන් ගෙන එන ප‍්‍රාග්ධනයට වැඩි වටිනාකමක් ලැබේ. පසුගිය කාලයේ තිබුණ තත්ත්වයට වඩා සියයට 29 කින් අපනයනය ඉහළ ගොස් තිබේ. කොවිඩ් තර්ජන මැද මෙම වසරේ පළමු මාස හය තුළ වාර්තා වී ඇති එම ප‍්‍රගතිය ප‍්‍රබෝධජනකය. පසුගිය වසරේ හා මෙම අවුරුද්දේ දැනට කොටස් වෙළඳපොළ ශූද්ධ විකිණී නමුත් වෙළඳ පොළ වාර්තා අනුව බැංකු, කර්මාන්ත හා සේවා අංශවල වාර්තාගත ප‍්‍රගතියකි. මෙම ස්වභාවය මැදද අළුතින් කොටස් මිල දී ගැනීමට විදේශ ආයෝජකයන් ඉදිරිපත් විය හැකිය. එවැනි රැල්ලකින් ශ‍්‍රී ලංකාවට අපේක්ෂා කළ හැකි වාසිය සුළුපටු නොවේ. 

• විදෙස් ණය වියදමද විනිමය අනුපාතිකය දුබල කරයි

වසරේ ණය ගෙවන්නට රටට අවශ්‍ය කරන විදේශ විනිමය ප‍්‍රමාණය ආවරණය කරගෙන ඇත. 2016 වසරේ සිට අද දක්වා දිගින් දිගටම ණය ගෙවීමට තරම් විදේශ වත්කම් සම්පූර්ණ කරගත නොහැකි වී බව අවධානයට ගත යුතුය. හදිසියේ ඇති වූ වාතාවරණයක් නොවේ. විනිමය ප‍්‍රමාණවත් නොවන පසුබිම තුළ තවත් සංවර්ධන බැඳුම්කර නිකුත් කර තවත් වටයකින් ණය ගන්නට ආණ්ඩුව සමත්ය. දනට වාර්තා වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අඩු පොලී ප‍්‍රතිශතයකට විනිමය සංචිතයක් ලබාගැනීමේ සූදානමක් තිබේ. මහ බැංකුවේ කෙරෙන වෙනස්කම් හයට අවශ්‍ය පසුබිම සූදානම් කරනු ඇතැයි සැකකළ හැකිය. වාණිජ ණය සීමාකර ආයතනික ණයවලට නැඹුරු වුවහොත් වාසියකි. 2016 මැද ආණ්ඩුව මූල්‍ය අරමුදල ණය සංවිතයක් උපයා ගත්ත්ය. එය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 කි. එයට කලින් 2009 වසරේ දී පවා සියයට 0.3ක වාර්ෂික පොලියකට මූල්‍ය අරමුදලෙන් තාවකාලික සංචිත ලබාගෙන ඇත. ඉතිහාසය තුළ දහසය වතාවක් මූල්‍ය අරමුදලේ අවස්ථාව ලබාගෙන තිබේ. එවැනි විනිමය සංචිතයක් ලබාගෙන දූරදර්ශී පිළිවෙතකට අනුව ක‍්‍රියාකළහොත් පවතින විනිමය අර්බුදය පාලනය කරගත හැකිය.

මෙම අවුරුද්දේ උද්ගත වූ අනපේක්ෂිත තත්ත්වය ඉදිරියේ ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 2.7 දක්වා ජූලි මාසයේදී අඩු වී තිබුණ බව වාර්තා වෙයි. එහෙත් මෙම වසරේ මුල් කාර්තුවේදී අපනයනය කරන ලද භාණ්ඩවලට කරන ගෙවීම් රටට ලැබෙන්නේ ඉදිරියේදීය. අනෙක විදේශ රුකියා කරන පිරිසද මෙරටට එවැනි විනිමය තාවකාලිකව පාලනය කරගෙන සිටින නමුත් එය එක්තරා සීමාවකදී අත් හරින්නට සිදුවෙයි. එය ස්වභාවිකව සිදුවන දෙයකි. ඉල්ලුම හා සැපයුම මත වෙළඳ පොළ නියාමනය වෙයි. මහ බැංකුව ඩොලරයේ අගය පාලනය කිරීමට ගෙන එන ලද අදහස තාවකාලික එකක් වණු ඇති අතර එය පවතින ඉල්ලුම සමබර කරන උපක‍්‍රමයකි. කෙසේ නමුත් රටට බැහැර වත්කම් ලැබෙන්නට අවශ්‍යය. රටට විනිමය ඉපැයිය හැකි ක‍්‍රම පමණක් නොව විනිමය වියදම් කරන මාර්ග පවා සමාලෝචනය විය යුතුව තිබේ.  එය සඳහා ආර්ථික සැලැස්මක් ප‍්‍රකාශයට පත් කළ යුතුය. විශ්වාසය ඇතිකරන ප‍්‍රතිපත්ති වැදගත්ය. 

 සාරා කන්දෙගොඩ