2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

මම තනතුරු වරප්‍රසාද බදාගන්න කෙනෙක් නොවෙයි - අජිත් නිවාඩ් කබ්රාල්

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 40

කෝවිඩ් වසංගතය හමුවේ මෙරට ආර්ථිකය විශාල අභියෝගයකට මුහුණ දෙමින් සිටින බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ බව පසුගියදා මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවා පාර්ලිමේතුවේදී සිය මංගල කතාවෙන් පිළිගත්තේය. එවැනි පසුබිමක රජය නොයෙකුත් අත්හදා බැලීම් සිදුකරමින් ආර්ථිකය කඩා වැටීම නවතා ගැනීමට නොයෙකුත් උපක්‍රම භාවිතා කරමින් සිටියි. විශේෂයෙන් ආනයන සීමා කිරීම්, මුදල් විශුද්ධිකරණ පනත් සංශෝධනය කිරීම්, ඇතැම් භාණ්ඩ ගෙන්වීමේදී සියයට සීයක මුදල් තැන්පතු ලබා ගැනීම්, බදු ඉහළ දැමීම් ආදී සියල්ලම සිදුකරන්නේ එකී අත්හදා බැලීම් වෙනුවටය. කෙසේ වෙතත් ආණ්ඩුව තවත් අත්හදා බැලීකට සූදානම් වන බව අපට දැන ගන්නට ලැබුණේ පසුගිය සතියේය. එනම් රටේ ආර්ථිකයේ ශීර්ෂය වන මහබැංකුවේ මහ පුටුව අලුත් කෙනෙකුට බාරදීමේ තීරණය ගැනය. එය අලුත් කෙනෙකුටත් වඩා ඒ පුටුවේ මීට පෙර වාඩිවී සිටි අයකුටය. ඔහු වර්තමානයේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයාය. ඒ වෙනින් කවුරුත් නොව අජිත් නිවාඩ් කබ්රාල් මහතාය.

ඉතාම බරපතළ ලෙස ආර්ථිකය කඩා ඇති මොහොතක අමාත්‍ය ධුරයක් අතැර දමා මේ ආකාරයෙන් අධිපති ධුරයක් බාර ගැනීම පුදුම සහගත බව අමුතුවෙන් කිවයුතු නැත. සුවපහසුව සිටිය හැකි ජීවිතයක් අතැර දමා ප්‍රශ්න කන්දක් ඔලුවට දමා ගැනීමක් හා සමානය. ඒ නිසා අප ඒ මහතාගෙන්ම මේ අලුත් අභියෝගය සම්බන්ධයෙන් විමසුවෙමු.

ඇත්තටම මම මේක බාරගත්තේ අභියෝගයක් හැටියට. මම මේකේ බර ගැන දන්නවා. මම ඒක අවුරුදු අටමාරක කාලයක් විඳලා තියෙනවා. මට මේක ගැන අවබෝධයක් තියෙනවා. මම දන්නවා මේක ලේසි පහසු වැඩක් නෙමෙයි කියලා. ජනාධිපතිතුමා ඒ ඉල්ලීම කළාම මම හිතුවෙම මේක ලේසි නෑ කියලා. ඒත් මම හිතනවා මේ අවස්ථාවේ අපේ රට වෙනුවෙන් මේ අභියෝගය බාර ගන්න ඕන කියලා. ඒ නිසයි මේ වගකීම ගත්තේ. ඒ වගේම මම දන්නවා මේ වගකීම මට හරියට ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා.

කෙසේ වෙතත් බොහෝදෙනා මෙවැනි තනතුරකට කැමැත්ත පළකරන්නේ විවිධ අරමුණු නිසාය. ඇතැම් අය කැමැත්තෙන්ම මෙවැනි තනතුරු ඉල්ලා සිටින බව අපි දනිමු. එවැනි සිද්ධීන් අප අසා ඇත්තේය. සුපුරුදු පරිදි ඔහුද එම තනතුර ඉල්ලා සිටි බව ප්‍රචාරය විය. ඒ නිසාම අප අසා සිටියේ එවැනි තනතුරක් ඔබ ඉල්ලා සිටියේද යන්නය.

මට මේ තනතුර මීට කලින් ගන්න තිබ්බා. මට මුලින්ම දෙන්න ගියේ ඔය තනතුර මම එපා කිව්වා. මොකද මම මීට කලින් කරලා තියෙන නිසා. ඒත් මේ වෙලාවේ ජනාධිපතිතුමා මට ආරාධනා කළේ දැනට රට වැටිලා තියෙන තැනින් රට ගොඩ ගන්න මට පුළුවන් වෙයි කියලා තියෙන විශ්වාසය මත. මම දන්නවා මේක අරගෙන සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කමක් නෑ කියලා. ඒත් මම මේක බාර ගන්නේ රට ගැන හිතලා.

ඔහු මීට පෙර මහ බැංකු අධිපති ධූරය දරණ ලද්දේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු සමයේදීය. ඔහු දේශපාලන නායකයකු වුවත් වර්තමාන ජනාධිපතිවරයා දේශපාලනික නායකයකු වන්නේ නැත. ඒ නිසා බොහෝදෙනා සඳහන් කරන්නේ වත්මන් ජනාධිපතිවරයා ගන්න තීන්දු තීරණ ඉතා දැඩි බව කියාය. එවන් පරිසරයක මහ බැංකු අධිපති ධූරය මෙහෙයවිය හැකිදැයි බොහෝදෙනාට ප්‍රශ්නයක් ඇත.

වර්තමාන ජනාධිපතිතුමයි, මමයි තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණ ගමන් ලේකම්වරු ලෙස පත් කළේ. මොකද පිටින් කියලා පත්කළේ අපි දෙන්නවයි. ඒ නිසා එතුමා දන්නවා මම කවුද කියන එක.මට කරන්න පුළුවන් මොනවද කියන එක එතුමා දන්නවා. මොකද එතුමා එක්ක මම සහයෝගයෙන් වැඩ කළේ. ඒ නිසාම වෙන්න ඇති මට මේ විශේෂ ආරාධනය කරන්න ඇත්තේ. මම හිතන්නේ නෑ කවුරුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ඇමතිකමක් දාලා මෙහෙම යයි කියලා. ලෝකේ එකම කෙනත් මම වෙන්න ඇති. එහෙම කැපවීම් කරන අය අඩුයි. මම නම් මගේ ජීවිතේ ගොඩක් කැපවීම් කළ කෙනෙක්. මම පෞද්ගලික අංශයේ රුකියා කරද්දී විශාල වැටුපක් ගත්ත කෙනෙක්. ඒත් ඒ සියල්ල අතැරලා ආවේ රට වෙනුවෙන් වැඩ අරන්න.

ආර්ථික අවපාතය හමුවේ බොහෝ දෙනා අසරණ වී සිටිති. ජනතාව බලා සිටින්නේ කොයි මොහොතක රජයෙන් සහනයක්, වාසියක් ලැබෙන තෙක්ය. ඒ බලාපොරොත්තුව මෙම නව පත්වීම සම්බන්ධයෙන්ද ජනතාවට බලාපොරොත්තු ඇතිවන බවට සැකයක් නැත. ඒ නිසාම ඒ පිළිබඳවද අපි ඔහුගෙන් විමසා සිටියෙමු.

බලාගන්නකෝ මොකද කරන්නේ කියලා. හැබැයි අපිට ඉස්සර වගේ සහන දෙන්න අමාරුයි. මොකද රටේ ජනතාව දන්නවා අද රටේ තියෙන තත්ත්වය. ජනතාව දන්නවා රටේ ආර්ථිකය කළමනාකරණය කරගෙන තියෙන්නේ ආණ්ඩුවේ දක්ෂතාවය නිසා කියලා. ඒ නිසා ජනතාව ආණ්ඩුවෙන් සහන බලාපොරොත්තු වෙන්නේ නෑ. පඩි වැඩිකිරීම් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් ආණ්ඩුව ජනතාවට දෙන්න පුළුවන් හැම සහනයක්ම ලබාදෙනවා. දීලා තියෙනවා. විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගත් එහෙමයි.

මහ බැංකු අධිපති වූ පසුව රටේ ආර්ථික තීන්දු තීරණ ගන්නේ ඔබ, ඊටපස්සේ ඔබ වැඩ කරන්න ඕන නිලධාරියෙක් මට්ටමින්. වර්තමාන දේශපාලන කණ්ඩායම එක්ක ඔබේ තීන්දු තීරණවලට තැනක් තිබෙයිද?

මට ඔය හැමෝම එක්ක වැඩකරලා පුරුදුයි. ඒ අය මම කවුද කියලත් දන්නවා. ඒ වගේම ඒ අය මගේ වැඩවලට උදව් කරලත් තියෙනව. මම හිතන්නේ මම තමයි හොඳම කෙනා එයාලා එක්ක වැඩ කරන්න.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට ව්‍යාපෘති බාර අමාත්‍ය ධූරය පරිත්‍යාග කළ පසුව බොහෝ දෙනා සඳහන් කළේ අජිත් නිවාඩ් කබ්රාල්ගේ බලය හීන කළ බව කියාය. ඒ නිසා ඔබ කලකිරීමෙන් ඉන්නේ කියලත් කතා වුණා. මේ තීරණය ගත්තේ ඒ නිසාද?
මට නම් කිසිම කලකිරීමක් නෑ. මේ සියල්ල තාවකාලිකයි. අපිට මේ තනතුරු විතරක් නෙමෙයි ජීවිතෙන් පවා යන්න වෙනවා. බදාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි මම. අපිට අතඅරින්න පුළුවන් වෙන්න ඕන. මම මහබැංකු අධිපති පුටුව දාලා ආවේ 2015 ජනවාරි 9 වනදා. පැය කීපයකින්. ඒ නිසා මේ දේවල් අත්අරින එක මට ලොකු දෙයක් නෙමෙයි.

මේ දිනවල බොහෝ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුණේ අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් 19 ලක්ෂයක විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බවය. අපි මෙහි සත්‍ය අසත්‍යතාවය ඔහුගෙන් විමසුවෙමු.

මට සතයක් පෙන්ෂන් ලැබිලා නෑ. මම එදා මහ බැංකු අධිපති ලෙස පත්වීම් ලබද්දී එවකට ජනාධිපති ලේකම්වරයා මට ලියුමකින්ම දුන්නා විශ්‍රාම වැටුපක් මට හිමි කියලා. ඒත් මම ගෙදර ගියත් ඒ පෙන්ෂන් එක ඉල්ලුවේ නෑ. 2019 පෙබරවාරි මාසයේ මම මහ බැංකු අධිපතිට කිව්වා මට විශ්‍රාම වැටුපක් තියෙනවා ඒක ලබාදෙන්න කියලා. ඒ අවුරුදු හතරකට පස්සේ. මට තවම ගෙවලා නෑ. මම කවදාවත් පෙන්ෂන් බලාගෙන නෙමෙයි වැඩ කළේ. ඒත් පෙන්ෂන් එකක් මට හිමි නම් ඒක මට ලැබෙන්න ඕන. හැබැයි මම පැන්ෂන් එක කීයද කියලවත් දන්නේ නෑ. ඔබ විශ්වාස කරන එකක් නෑ මම අවුරුදු අටහමාරක් වැඩකළා රුපියල් 70000 ක පඩියට. අනික මම කවදාවත් ඒ ධුරය දරපු කාලේ තීරු බදු රහිත වාහන පර්මිට් එකවත් ගත්තේ නෑ. හොයලා බලන්න පුළුවන් ඔබට.

ඔබ පත්වෙලා ඉතාම කෙටි කාලෙකින් එනවා රජයේ අයවැය. මොනවා හරි යම් වෙනසක් සිදුවේද?

ඇත්තටම කිව්වා වගේ කවුරුත් සහන බලාපොරොත්තු වෙන්නේ නෑ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ තමන්ගේ ජීවිතේ ගැටගහන එක. විශේෂයෙන් අපේ ප්‍රධාන අරමුණ විය යුත්තේ රුකියාවක් රුකගන්න එක. ස්ථිර රුකියා කරන අය තව තව දේවල් ඉල්ලන්නේ නැතුව කැපවීම් කරන්න ඕන. මෙතන ප්‍රශ්නය තියෙන්නේ එහෙම රුකියා කරන අයට නෙමෙයි, ලක්ෂ 45ක දෛනික රුකියා කරන අය. ඒ අයට මේ දවස්වල ඉතාම රුකියා අවස්ථා අඩුයි. ඒ නිසා අපි වැඩිම අවධානය යොමු කරන්න ඕන ඒ අය ගැන.

ඔබ කිව්වා එකවතාවක් මේ රට වසා තැබීමෙන් කෝටි 15000ක පාඩුවක් ඇති වෙනවා කියලා. මේක අනාගතයේ වැඩිවෙයිද?

ඇත්තටම මම කිව්වේ සමස්තයක් හැටියට රටට මේ බිලියන 15 අහිමිවෙලා කියලා. මොකද මේ තත්ත්වය ඇතුළේ රටේ ආදායම් අහිමිවෙලා ඒ නිසා මේ ලොක්ඩවුන් කිරීමෙන් වෙන්නේ පොඩි මනුස්සයාගේ ආදායම අහිමි වෙන එක. ඒ නිසා දැන් කරන්න ඕන රට විවෘතව තබා ගනිමින් නිරෝධායන නීතියට අනුව කටයුතු කරන එක. අපි හිතන්න ඕන කට්ටියක් මේ වෙලාවේ ගෙදර ඉන්නකොට තව කට්ටියක් වැඩ කරනවා. ඒ අය මේ රටේ ආර්ථිකය අරන් දුවන්නේ විශාල කැපවීමක් එක්ක. ඒ නිසා අපි මේ වෙලාවේ සියලුදෙනාම එකතුවෙලා වැඩ කරන්න ඕන. කැපවීම් කරන්න ඕන. මම හිතනවා ජනතාව සූදානම් කියලා.

අවසාන වශයෙන් ඔබෙන් අහන්නේ ඔබව තෝරාගත්තා වගේ තමයි ආණ්ඩුව විකල්පයක් හැටියට කළේ මුදල් අච්චු ගහන එක. ඔබත් මහ බැංකුවට ගියහම ඒක කරනවද?

දැන්ම ඒ ගැන අදහසක් කියන්න බෑ. තවම මම වැඩ බාරගත්තේ නෑනේ. ඒ නිසා මම ගිහින් ඒ තුළ තත්ත්වය බලලා කරන්න පුළුවන් සාර්ථකම දේවල් කරනවා. ඒ හැමදේම රටේ ජනතාව වෙනුවෙන්.

  ගයාන් ගාල්ලගේ