
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගත් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය මේ වනවිට ලංකාව පුරාම පැතිර යාමේ අවදානම ඉහළ ගොසිනි. මෙම කොවිඩ් ප්‍රභේදය නොබෝ දිනකින්ම ලෝකයම ගොදුරු කරගන්නා ගෝලීය වශයෙන් ප්‍රමුඛ මාදිලිය බවට පත්වෙමින් ඇති බවට විද්වතුන් අනතුරු අඟවා හමාරය. කලින් හඳුනාගත් ඇල්ෆා ප්‍රභේදය මේ වනවිට රටවල් 193ක පැතිරී ඇත. නමුත් ඊට පසුව පැමිණි ඩෙල්ටා ප්‍රභේදය දැනටමත් රටවල් 170ක් බිලිගෙන පැතිර ගොසිනි. ඒ අතරේම එම ඩෙල්ටා ප්‍රභේදයට අමතරව එහි නව විපරීතයක් වන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයද මේ වනවිට ලොව පුරා පැතිර යමින් පවතී. එයට සමගාමීව දැන් ලංකාව තුළ පැතිර යමින් ඇත්තේ “සුපිරි ඩෙල්ටා” ප්‍රභේදයක් හැටියටද නොබෝදා අනතුරු ඇඟවිණි. මේ අතර ඩෙල්ටාවට වඩා භයානක දකුණු අප්‍රිකානු ප්‍රභේදයක් ගැනද දැන් අවධානය යොමුව තිබේ.
වූහාන් දර්ශයෙන් ඇරුඹී එය විපරීතකරණයට ලක්වීමෙන් තැනී ඇති මේ ඩෙල්ටා ප්‍රභේදයන් නිසා මේ වනවිට ලෝකයේ කොවිඩ් මරණ සහ ආසාදිතයන් ඉහළ යාම අලුත් වටයකින් වඩාත් සීඝ්‍රව ඇරුඹී තිබේ. පසුගිය මස අවසන් සති කිහිපය තුළ ආසාදිතයන් 60,000 කින් පමණ ඉහළ යාමක් ලංකාව තුළින්ද වාර්තා විය. මේ වනවිට දිනකට අලුතෙන් 4000කට වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ කියා තිබුණේ ලැව්ගින්නක් සේ කොළඹ නගරය පුරා මේ වනවිට ඩෙල්ටා පැතිර යන අතර අනෙකුත් පළාත් කරා එය කඩිනමින් පැතිර යාමේ අවදානමද අතිශය ඉහළ බවය. මහාචාර්ය නීලිකා මලවිගේ සහ ආචාර්ය චන්දිම ජීවන්දර දෙදෙනාම කියා තිබුණේ අප රටේ බහුලව හමු වූ ඇල්ෆා වයිරස මාදිලිය අභිබවා යමින් සියයට 60කටත් වැඩි වේගයකින් ඉතා සීඝ්‍රයෙන් පැතිර යන මෙම වෛරස මාදිලිය “සුපිරි ඩෙල්ටා” %Super Delta^ ප්‍රභේදයක් ලෙස හැඳින්විය හැකි බවය.
මහාචාර්ය නීලිකා මලවිගේ ලංකාව තුළ හමුවන ඩෙල්ටා ප්‍රභේදයේ මේ වනවිට විපරීතයන් 4ක් ද හඳුනාගත හැකිව ඇති බව කීය. ඒවා බොහෝ රටවල දක්නට ඇති (A-222V), ලංකාවේ සහ මැලේසියාවේ වාර්තා වන (A-1078S), මෙන්ම ලංකාව තුළම පමණක් දක්නට ලැබෙන විපරීත දෙකක් වන A-701S සහ R-24C යන ඒවාය. මේවා වෛරසයේ සිදුව ඇති විපරීත ලක්ෂණ හේතුකොට වෙන්කර දැක්වීමක් මිස මේවා කිසිසේත්ම වෙනස් වෛරස ප්‍රභේද නොවන බවද ඇය සිය පර්යේෂණ මගින් තහවුරු වූ බව කීවේය.
කලකට පෙර පැතිර ගිය ඇල්ෆා ප්‍රබේදය තුළින්ද මෙබඳු විපරීත කිහිපයක් වාර්තා වූ බවත් රට තුළ 2 වැනි රුල්ලකට මූලික වූ ලාංකීය මූලයක් සහිත අපේම ප්‍රභේදය තුළද (- our variant of the Sri Lankan lineage) මෙ බඳු විපරීතයන් හඳුනාගත් අතර මේ නිසා ඩෙල්ටා ප්‍රභේදයේ මෙම විපරීතයන් වාර්තා වීම ඒ තරම්ම තැතිගත යුතු කාරණාවක් නොවන බවද ඇය කියා තිබේ.
නමුත් මේ වනවිට ඉන්දියාවෙන් හමුව ඇති ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයද සිය භයානක ලක්ෂණ දැඩිව වර්ධනය කරගත් විපරීතයකි. සෑම සති දෙකකටම වරක් දෙගුණ වෙමින් පැතිරෙන, ආශ්‍රිතයන් දැඩිව රෝගාතුර කරමින් දැනට ඇති එන්නත්වල පළමු මාත්‍රාවට පවා ප්‍රතිරෝධී බවක් දක්වන මෙහිදී සාමාන්‍ය කොවිඩ් 19 රෝග ලක්ෂණවලදී මෙන් නොව ආසාදිතයා දින දෙක තුනක් තුළදී දැඩි ලෙස රෝගාතුර වන අතර උදරයේ වේදනාව, වමනය සහ ඔක්කාරය, ආහාර අරුචිය, හන්දිපත් වේදනාව මෙන්ම බිහිරි බව ඇතිවීමේ නවතම ලක්ෂණයන්ද පෙන්වන බව නිරීක්ෂණය වී ඇත. ලෝකයේ විද්‍යාඥයන් කළ අපූරු එළිදරව්වක් වූයේ මෙම නව “+ප්ලස්” වෛරසය දැන් දැඩි හෙම්බිරිස්සාවක් ලෙස හැඟෙන සේ සිය රෝග ලක්ෂණ වෙස්වළාවකට ලක්කර ඇති බවයි.
මෙම ප්‍රභේදයටත් වඩා අතිශය මාරාන්තික බව කියන දකුණු අප්‍රිකානු ප්‍රභේදයක් ගැන දැන් දැඩි කතාබහක් මතුව තිබේ. මෙය C.1.2, ලෙස හඳුන්වාදී ඇති අතර මේ වනවිට දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු, ආසියානු සහ පැසිෆික් කලාපීය රටවල් 7ක පමණ වාර්තා වූ ප්‍රභේදයකි. එම ප්‍රභේදය විපරීත ලක්ෂණ තොගයක්ම පෙන්වන බව කියන විද්‍යාඥයින් ඒ නිසාම එය දැඩිව පැතිරීමේ හැකියාව මෙන්ම ප්‍රතිශක්තියට ඉහළ ප්‍රතිරෝධී බවක්ද දක්වන බවට සැක කරයි. නමුත් වෛරස විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ විපරීත වැඩි වූ පමණින්ම එය භයානක බවෙන් ඉහළ යැයි එක්වරම තීන්දු කළ නොහැකි බවය.
මෙම ප්‍රභේදය මුලින්ම වාර්තා වී ඇත්තේ දකුණු අප්‍රිකාවේ 3 වැනි කොවිඩ් රුල්ල ආරම්භයත් සමග 2021 මැයි මාසයේදී පමණය. තවමත් WHO පවා මෙය අවධානය යොමු විය යුතු හෝ උනන්දුවිය යුතු හෝ ප්‍රභේදයක්ද යන්න (variant of interest or a variant of concern) පිළිබදවද නිසි තීන්දුවකට එළැඹ නැත. මේ නිසා කලින් හඳුනාගත් ඇල්ෆා B.1.1.7 , බීටා B.1.351 . ගැමා P.1 සහ ඩෙල්ටා B.1.617.2. වැනි නව නාමකරණයකට පවා මෙය තවම ලක්කර නැත. මේ වනවිට සාම්පල සිය ගණනක් පමණක් වාර්තා වී ඇති නිසා තවමත් මේ නව ප්‍රභේදයේ සැබෑ අනතුරුදායක බව ගැන පුරොකතනයට කාලය එළැඹ නැති බව විද්වතුන්ගේ අදහසයි. ඔවුන්ට අනුව නම් දැනටමත් විවිධ රෝග ලක්ෂණ සමූහයක් දක්වමින් භයානක සීඝ්‍ර පැතිරීමක් දක්වන ඩෙල්ටාවල විපරීත මාදිලි වන ඊටා -Eta : B.1.525, ලෝටා Eta : B.1.525, කප්පා - Kappa: B.1.617.1 සහ ලැම්ඩා - Lambda : C.37 තරමටම මෙම නව ප්‍රභේදය සිය හානිදායක ප්‍රහාරය තවමත් අරඹා නැත.
මේ අතර ඉකුත් අඟහරුවාදා අවධානය යොමු වියයුතු නව ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය “මූ”- ‘Mu’, නමැති ප්‍රභේදය නම් කරන්නට යෙදුනි. ඔවුන් සැක පහළ කරන්නේ විපරීත ගණනාවක් සහිත මේ නව ප්‍රභේදය එන්නත් සඳහාද ප්‍රතිරෝධි බව වගා කරගෙන ඇති බවටය. මුලින් කොලොම්බියාවෙන් වාර්තා වූ මෙය දකුණු අමෙරිකානු රටවල සහ යුරෝපයෙන් වාර්තා වී තිබේ. මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය “මූ” ඇතුළු නව වෛරස ප්‍රභේද 5ක හැසිරීම ගැන දැඩි අවධානය යොමුකර ඇත.
සුගත් පී. කුලතුංගආරච්චි