2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

වැඩි ආර්ථික හානිය රට වැහිල්ලෙන්ද? රට ඇරිල්ලෙන්ද?

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 9

මුලදී සති දෙකකට කළ රට වසා දැමීම අනතුරුව තවත් සතියකට දීර්ඝ කර ඇත. බොහෝදෙනා පවසන්නේ මෙය එයින් නොනැවතී තවත් දීර්ඝ වන්නට ඉඩ ඇති බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරනුයේ ලබන 10දා දක්වා රට වසා තැබුවහොත් අමෙරිකානු ඩොලර් බිලියන 2.2ක අලාභයක් සිදුවන බවය. එසේම එදින දක්වා රට විවෘත කළහොත් මිනිස් ජීවිත 10,000ක් පමණ විනාශ වන බව ඔවුහු කියති. ඒ නිසා මෙම ජීවිත සංහාරය නැවැත්වීම සඳහා ආර්ථික හානිය ගැන නොසලකා රට වසා තැබිය යුතු බව අනාවරණය කෙරේ. එහෙත් මෙහිදී සලකා බැලිය යුත්තේ වඩා වැදගත් ජීවිත ආරක්ෂා කර ගන්නවාද නැතිනම් ආර්ථිකය රුක ගන්නවාද යන්නය.  තරාදියක මේ දෙක දමා කිරෑ විට වඩා පහළ යන්නේ කුමන පැත්තද? ජනතාව පැත්තද? ආර්ථිකයද?

වර්තමාන රජය රට වැසීම එකවරම කළා නොවේ. විවිධ සංචාරණ සීමා පනවා නීති දමා තත්ත්වය අවම කිරීමට උත්සාහ කළද එය බැරිම බැරිවූ තැන අකමැත්තෙන් වුවද මෙම තීරණයට එළඹීමට සිදුවිය. එසේ වුවද අද ඇඳිරි නීතිය පනවා සම්පූර්ණයෙන් රට වැසීමක් සිදුකර නොමැති බව මතක තබාගත යුතුය. අද වුවද රට වසා ඇත්තේ අර්ධ වශයෙන් මිස සම්පූර්ණයෙන් නොවේ. රාජ්‍ය හා පෞද්ගලික ආයතන රුසක් සාමාන්‍ය පරිදි විවෘතව පවතී. ජනතාවට අත්‍යවශ්‍ය ආයතන ගණනාවක් පුරුදු පරිදි වැඩය. ඇඟලුම් ආදී නිෂ්පාදන ආයතනද විවෘතව තබාගෙන ඇත. ආර්ථික මධ්‍යස්ථානද ඇරලාය. ධීවරයෝද මුහුදු යති. සංචාරකයෝද් පැමිණෙති. රට තුළ බස් සහ දුම්රිය ගමන් නවතා තැබූවද ගුවන් ගමන්වලට තහනමක් නැත. මේ තත්ත්වය නිසා රට වසා ඇත්තේ නාමිකව පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අපට ආධාර දෙන ජාත්‍යන්තර සංවිධානවලට ඔන්න අප රට වැසුවා යැයි කියා වැරුද්දෙන් නිදහස් වීමට පමණක් බව පෙනෙන්නට තිබේ. ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මෙය අප අපම රවටා ගැනීමක් බවය. 

රට සම්පූර්ණයෙන්ම වසා නොමැති නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය කියන තරමේ හානියක්ද අපට සිදු නොවනවා ඇත.

මෙම වසා දැමීමේ නීතිය විශාල ව්‍යාපාරිකයන්ට බල නොපාන නමුත් රටේ පුංචි වෙළෙන්දන්ට අකුරටම ක්‍රියාත්මක වේ. ගමේ පාර අයිනේ බුලත්විටි කටයක් විවෘතව තිබුණු විට බලධරයන් පැමිණ මහත් ඝෝෂාවක් කර එය වසා දමයි. ඒ අවස්ථා ජනමාධ්‍යවලින්ද ආඩම්බරයෙන් පෙන්වයි. එහෙත් ලොකු එකා දිගටම වැඩය. කොවිඩ් වයිරසය පැතිරෙන්නේ පුංචි මිනිහාගෙන්ද යන්න ප්‍රශ්නාර්ථයක් වී ඇත. එසේම සමහර වෛද්‍ය විශේෂඥයන් පවා පවසන්නේ රට වසා දැමීම රෝග නිවාරණයට ඇති එකම විසඳුම නොවන බවය. රට වැසීමට වඩා නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මෙයට එකම විසඳුම බව ඔවුන්ගේ මතය වේ.

එසේම ආර්ථික විද්‍යානුකූලව බලන විටද රට වසා තැබීම අප වැනි රටකට ඔරොත්තු දෙනවාද යන්න ගැටලුවකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමට පෙර සිටම අපේ රට විශාල ආර්ථික අර්බුදයක ගිලී තිබුණි. රුපියල් බිලියන 2000කටත් වඩා විශාල ණය මුදල් වාරික සහ පොලී ඉදිරි වසරේ ගෙවිය යුතුව ඇත. රටේ මුළු ජාතික ආදායම පවා වර්ෂයකට ගෙවන්නට ඇති ණය වාරික ගෙවීමට වුවද ප්‍රමාණවත් නොවේ. එවැනි තත්ත්වයක් තිබියදී කොරෝනා වයිරසය පාලනය කිරීම වෙනුවෙන් විශාල අතිරේක වැයක් දැරීමට සිදුව ඇත. එන්නත් සහ බෙහෙත් ගෙන්වීම, පරීක්ෂණ කිරීම, රෝහල් නඩත්තු කිරීම, වැඩිපුර රෝහල් පහසුකම් ඇති කිරීම අතිරේක වැටුප් සහ දීමනා ගෙවීම ආදිය පමණක් නොව රට වසා තැබීම නිසා ජනතාවට ජීවනාධාර ගෙවීමටද සිදුව තිබේ. පසුගිය වර රුපියල් 5000 බැගින් ජීවනාධාර ගෙවීමට රුපියල් මිලියන 80ක් වැය වී ඇති බව රජය කියයි. අපේ බොහොමයක් ආදායම් මාර්ග අහිමිව තිබේ. විදේශ ආයෝජන නොලැබේ. සංචාරක ව්‍යාපාරය බින්දුවට බැස ඇත. විදේශ ශ්‍රමිකයන්ගේ ආදායම නොලැබේ. රටේ ආර්ථික තත්ත්වය අනුව රාජ්‍ය මට්ටමෙන් සහන ණය ලබාගැනීම අපහසු වී තිබෙන අතර වැඩි පොලියට ණය ලබාගැනිමට සිදුව ඇත. දේශීය ව්‍යාපාර බංකොලොත් වීම නිසා දේශීය ණය ලබාගැනිමට නොහැකිය. විදේශ සංචිත වාර්තාගත ලෙස ඩොලර් බිලියන 2 දක්වා අඩු වී තිබේ. මුදල් මුද්‍රණයෙන් මෙම ගැටලුවට පිළිතුරු නොලැබේ.

රුපියලේ ඩොලර් අගය පහළ යාම නිසා මේ වනවිට අමෙරිකානු ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 205කට වැඩියෙන් ගෙවීමට සිදුව තිබේ.

මෙවැනි ඉතාම දුර්වල ආර්ථික තත්ත්වයක් පවතින රටකට අනපේක්ෂිත ලෙස කඩාවැටුණ කොරෝනා වසංගතයට මුහුණ දීමටද වැය කිරීමට සිදුවීම විශාල ඛේදවාචකයකි. දේශීය විදේශීය වෛද්‍ය විශේෂඥයන් රට වසා තබන ලෙස බලපෑම් කරන විට රට නොවසා විකල්ප ක්‍රියා මාර්ගවලට යාමට රජය උත්සාහ කරනුයේ මේ නිසාය. එය සෑම රටවැසියෙකුම අවබෝධ කරගෙන වගකීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත් නමුත් අවාසනාවකට එවැනි අය අඩුය.

රට වැසීමෙන් සිදුවන ආර්ථික හානියට වඩා විශාල හානියක් රට විවෘත කර මරණ වැඩිවීම නිසා සිදුවේ. ප්‍රධාන නිෂ්පාදන ආර්ථික සාධක අතර ශ්‍රමයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. වැඩක් ගත හැකි මිනිස් ශ්‍රමය රටට අහිමිවීම විශාල ආර්ථික හානියක් වෙයි. මේ දෙආකාර මාවත්වල ගමන් කිරීමට අද වනවිට රජයට සිදුව ඇත. දැනට මුහුණ පාන්නට සිදුව ඇති අර්බුදය මඟ හිටියොත් තා නසී. ගෙදර ගියොත් අඹු නසී යනුනේ අග්ගලා මල්ල රුගෙන ගිය බමුණාට මුහුණපාන්නට සිදුවූ ගැටලුවට බොහෝදුරට සමාන වෙයි.

මේ පිළිබඳ ප්‍රකට ආර්ථික විශ්ලේෂකයන් වන දේශපාලනඥයන් දෙදෙනකු ඉදිරිපත් කරන පරස්පර අදහස් පිළිබඳ පාඨක අවධානයට ලක් කෙරේ.

වැසීමෙන් ජනතාවට සහ ආර්ථිකයට හානි වැඩියි

මුදල් සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කරනුයේ රජය විශාල ව්‍යාපාරිකයන් පිළිබඳ මෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගැන සැලකිලිමත් විය යුතු බවය. ඔවුන් පිළිබඳ අවධානය ගිලිහුණහොත් විශාල ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

&අද සංචරණ සීමා දාලා තිබුණට රටේ සෑම අංශයක්ම ක්‍රියාත්මක වනවා. කෘෂිකර්මාන්තය, ඉදිකිරීම්, මාර්ග සංවර්ධනය, විදුලිය, ජලය, රේගුව, වරාය ආදී සෑම අංශයක්ම ක්‍රියාත්මකයි. එහෙම නම් පොඩි මිනිහාට විතරක් තහංචි දමන්නේ ඇයිද? පාරවල් හදන්න පුළුවන් නම් ඉඳිආප්ප, ආප්ප හදන්න බැරි ඇයි? ත්‍රීවීල් දුවන්න බැහැ. ලොරි දිව්වත් බස් දුවන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් බුලත් විටි ටිකක් හදන මිනිහටත් ඒක විකුණගන්න බැහැ. ලොකු හෝටල් විවෘතයි. ඒත් ගමේ කෝපි කඩේට තහංචියි. කොවිඩ් බෝවෙනවා නම් බෝවෙන්නේ පුංචි තැන්වලින් විතරද? අද පවතින තත්ත්වය අනුව එදිනෙදා රුකියා කරලා ජීවත්වන අය හාන්සියි. කුලීකරුවාට, මේසන්ට, වඩුබාස්ට රස්සාවට යන්න විදියක් නැහැ. ලොකු අයට නැති තහංචියක් පොඩි මිනිහාට විතරක් ඇයිද? මෙය සමාජ අසාධාරණය පෙන්වීමක්.

මේ රට වහන තීරණ ගන්න උසස් නිලධාරීන්ට කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ ගොල්ලන්ට මාසෙ අන්තිමට වැටුප් සහ දීමනා නොඅඩුව ලැබෙනවා. මටත් රජයෙන් මාසෙ අන්තිමට වැටුපක් ලැබෙනවා. පොඩි මිනිහාට තහංචි දමන අයට කිසිම හිරිහැරයක් නැහැ. අපේ රටේ පවුල් ලක්ෂ 45ක් දෛනික වැඩකරලා ආදායම් උපයා ගන්න අයයි. ඒ අයගේ පවුල්වල සාමාජිකයන් මෙයට වඩා සිව් ගුණයකින් පමණ ඉන්නවා. ඒ අය යැපෙන්නේ කොහොමද? ඒ අයට කුසගිනි හැදෙන්නේ නැතිද? ආණ්ඩුවට රුපියල් 2000ක් දීලා විසඳන්න පුළුවන් වෙන ප්‍රශ්නයක් නොවෙයි මෙය. අනිත් අතට රුපියල් 2000කින් අද තියෙන බඩු මිල අනුව ජීවත් වෙන්නේ කොහොමද? අද රටේ ආර්ථික තත්ත්වයට අනුව රුපියල් 2000 සහනාධාරය වුණත් හැමදාම දෙන්න බැහැ. අවශ්‍ය හැමදෙනාටම දෙන්නත් බැහැ. තෝරාගෙනයි දෙන්නේ.

ලොකු පුංචි කියලා වෙනසක් නැහැ. හැමදෙනාම මුදල් ඉපයිය යුතුයි. රටක ආර්ථිකයක් හැදෙන්නේ ලොකු ලොකු ව්‍යාපාරිකයන්ගෙන් පමණක් නොවෙයි. පුංචි අයද රටේ ආර්ථික සංවර්ධනයට විවිධ පැතිවලින් දායක වෙනවා. ඒ නිසා ඒ අය ගැනද සලකා බැලිය යුතුයි. පුද්ගලයන් රාශියකගෙන් සමාජය ඇතිවෙනවා. පුද්ගල සංවර්ධනය කියන්නේ සමාජ සංවර්ධනයක්. ඒ නිසා සෑම මට්ටමකම ජනතාව සංවර්ධනය වූ විට තමා රටක ආර්ථිකය සංවර්ධනය වන්නේ. මෙහිදී එක කණ්ඩායමක් පමණක් ගෙන සලකා බැලිය නොහැකියි.
අනිත් අතට රට අගුළු දැමීම ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා රටකට ඔරොත්තු දෙන්නේ නැහැ. ලොව ලොකු රටක් නම් වසා දමලා වැඩි කාලයක් යන්න පුළුවන්. එහෙත් අපට බැහැ. ඒ නිසා ඔය රට වහන්න කියල කෑගසන අය මෙය අපට දිගටම අල්ලා සිටිය හැකි ක්‍රමයක්ද යන්න සලකා බැලිය යුතුයි. සතියක් වසා තැබීමෙන් වෙන හානිය ආවරණය කිරිමට මාසයක් වැඩකළත් බැරිවෙන්න පුළුවන්.

මම කියන්නේ රට විවෘත කරලා වෙනදා වගේ හැසිරෙන්න, වැඩකරන්න කියන එක නොවෙයි. රට වසා දමන්නේ නැතුව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදවලට අනුව වගකීමෙන් වැඩකරන්න කියලයි කියන්නේ. වැඩකරන අය දුරස්ථභාවය තබා ගැනීම මුව ආවරණ පැළඳීම ආදී සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙහිදී අවශ්‍ය වන්නේ රුවුලයි කැඳයි දෙකම බේරාගන්නයි. ඒ නිසා ලැබුණු නිදහසින් සංගමයකින් යුතුව වැඩ කළ යුතුයි.

ලොව බොහෝ රටවල්ද සංචරණ සීමා පැනැවීමේ තත්ත්වය බොහෝම අයහපත් වූ විටයි. එය තමා අවසාන තුරුම්පුව. එහෙත් ඒ රටවලත් යළි සංචාරය ආරම්භ කළ විට වෛරසය පැතිරෙනවා. ඒ නිසා සංචරණ සීමා හෝ රට අගුළු දැමීම කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමේ එකම ක්‍රමය වන්නේ නැහැ. එහෙම වනවා නම් කොයිතරම් අමාරුවෙන් හරි පවත්වාගෙන යන්නට උත්සාහ ගත හැකියි. ඒ නිසා ඒ ගැන විශ්වාසය තබා කටයුතු කළ නොහැකියි.

රට වැසුවොත් හානිය අඩුයි

මේ පිළිබඳ අදහස් දක්වන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ කෙටිකාලයක් සාර්ථක ලෙස ස්ථීරව රට වසා තිබුණහොත් සිදුවන හානියට වඩා හානියක් රට විවෘත කර තැබුවහොත් සිදුවන බවය. එසේම කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරිමටදරජය දැන් අනුගමනය කරන අර්ධ වශයෙන් රට වසා තැබීම සමත් නොවන හෙයින් මෙම තත්ත්වය දිගටම ඇදීයාමත් සිදුවනු ඇති බව ඔහු කියයි. එයින් සිදුවන්නේ පවතින තත්ත්වය පාලනය වීම නොව තව තවත් දරුණු වීම බව ඔහුගේ අදහසයි.

&අද වුණේ රට වසා තබනවා යැයි පැවසුවද එවැන්නක් සිදු නොවන අතර බොහෝ අංශ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා. ජනතාව නිරතුරුවම එළියේ ගැවසෙනවා. පාරවල ගමන් කරනවා. බොහෝ ආයතන විවෘත කිරීමට රජය අවසර දීලා තිබෙනවා. ඉතින් එයිට වඩා නරකද කෙටිකාලයකට දැඩි සංචරණ සීමා දමා රටේ සෑම අංශයක්ම වසා තබලා වසංගතය පාලනය කරලා රට විවෘත කිරීම. කෙටි කාලයක් රට වැසුමත් එහිදී සිදුවන්නේ අදට වඩා අඩු ආර්ථික හානියක්.

කවුරුත් තේරුම්ගත යුතුයි අද පවතින තත්ත්වය අනුව පොඩි මිනිහාට ගැටලුවක් තිබෙන වග. ස්වයංරුකියා ලාභීන් මෙන්ම දිනපතා ආදායම් උපයන අය අමාරුවේ වැටී තිබීම ගැන තර්කයක් නැහැ. එහෙත් සමස්ත ජනගහණයේ ජීවිත බේරාගැනීම එයට වඩා වැදගත් නොවේද කියා කල්පනා කර බැලිය යුතුයි. රටේ ආර්ථිකයද වැදගත්? නැතිනම් ජනතාවගේ ජීවිතද? ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ රට විවෘත කළහොත් ජීවිත 10,000ක් නැතිවන බවයි. මෙම පුරෝකථනය කරන්නේ විශේෂඥයන් 20 පමණ සමන්විත මණ්ඩලයක් මගින්. ලොව බොහෝ රටවල් මේ අවස්ථාවේ නියාමනය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්. ඒ නිසා අපිද හිතුවක්කාර නොවී මෙයට ඇහුම්කන් දීමක් කළ යුතුයි.

හැබැයි රට වසා තැබුවහොත් රජයට ජනතාවට සහන සැලසීම සඳහා යම් මුදලක් වැය කළ යුතු වෙනවා. ඒත් එය හැමදාටම නොවෙයි. සති දෙක තුනක් විය හැකියි. රට වසා තැබුවහොත් ඩොලර් බිලියන 2.3 පමණ අහිමි විය හැකි බවටයි පෙන්වා දී ඇත්තේ.

මෙහිදී ගණනය කිරීම් අනුව රුපියල් මිලියන 500ක් මිනිස් ජීවිත 10,000කට සමාන කරනවා. කෙනෙක් අවුරුදු 80ක් ජීවත් වෙනවා නම් ඔහු අවුරුදු 40කින් මිය ගියහොත් ඔහුගේ ජීවිතයේ එක් දිනක් රුපියල් 3000කට අගය කළ හැකි වෙනවා. එම වටිනාකමයි නැති වන්නේ. ඒත් කෙනෙකුගේ ජීවිතයක වටිනාකම එය නොවෙයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අපේ දරිද්‍රතා රේඛාව මසකට රුපියල් 5200 වෙනවා. හතර දෙනා සිටින පවුලකට මසකට නොමැරී ජීවත්වීම සඳහා මෙම මුදලයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ. රට වසන කාලයට සෑම අංශයකින්ම පවුල් මිලියන 5කට අවම සහනාධාරයක් දුන්නොත් මෙම මිලියන 5 සඳහා වැයවන්නේ රුපියල් මිලියන 1000ක් පමණයි. මේ අය අතරෙන් තෝරාගෙන අඩකට ගෙවනවා නම් යන්නේ මිලියන 500යි. ඇත්තවශයෙන්ම මෙවැනි ජීවනාධාරයක් හෝ ගෙවා සති දෙකක්වත් එකදිගටම සම්පූර්ණයෙන් රට වැසුවහොත් එහිදී වැයවන මුදලට වඩා ඉහළ ප්‍රතිලාභයක් ලබාගත හැකියි. ඔවුන්ගේ ජීවිත ගොඩනගා ඔවුන් අනාගතයේදී ආර්ථිකයේ කොටස්කරුවන් කරගත හැකියි.

ඇත්තවශයෙන්ම රජය මෙයට වඩා මුදල් නාස්තිකරමින් සිටිනවා. එහෙම සිටින ගමන් මේ සඳහා මුදල් නැති යැයි කියන්න බැහැ. මෙම රජයේ කාලය තුළ රුපියල් බිලියන 12,650ක මුදල් මුද්‍රණය කිරීමෙන් වාර්තාවක් තබා තිබෙනවා. මුදල් මුද්‍රණය නිසා බඩු මිල ඉහළ යාමෙන් වඩාත් අපහසුතාවට පත්ව ඇත්තේ එය කියන සුළු හා මධ්‍ය පරිමාණ අයට තමයි රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 210 දක්වා අවප්‍රමාණය වීම නිසා විදේශ ණයවලට පමණක් අතිරේකව බිලියන 2750 ගෙවන්න වෙලා තියෙනවා. රජයේ නිසි මූල්‍ය කළමනාකරණයක් නොමැතිවීම නිසයි මෙම තත්ත්වය උග්‍රව ඇත්තේ. ඒ නිසා දැන්වත් දැඩි සංචරණ සීමා දමා කොවිඩ් වෛරසය පැතිරීම පාලනය නොකළහොත් ඉදිරියට භයානක තත්ත්වයක් උද්ගත වී විශාල පිරිසක් මිය යා හැකියි. ආර්ථිකය රුකගන්නවාට වඩා ජනතා ජීවිත ආරක්ෂා කරගත යුතුයි. ආර්ථිකයක් තනන්න ජනතාවක් සිටිය යුතු බව අවධාරණය කරනවා.

 යසවර්ධන රුද්රිගු

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, ප.ව. 05:16
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00