2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

අලකලංචියකට මැදි වූ පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 21

කාලෙන් කාලෙට වෙනස්වන මාතෘකා අතරට මේ දිනවල පිවිස ඇත්තේ පරාක්‍රම සමුද්‍රයයි. එහෙම වැවක් තිබෙන බවක්වත් අමතකව සිටි වැඩිදෙනෙක් දැන් පරාක්‍රම සමුද්‍රය ගැන මතවාද ඉදිරිපත් කරති. මේ හා හෝවට හේතුවූයේ එම වැව් බැම්මේ රළපනාවේ ගල් ඉවත්කරමින් ඉදිකිරීමට සැලසුම් කර තිබූ ඇවිදින මංතීරුවයි. මුහුණු පොතේ සංසරණය වූ එක් පින්තූරයක තිබුණේ පැරකුම්බා රජ ප්‍රතිමාව මංතීරුවේ ඇවිදින ආකාරයයි.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්ෂාවට යොදා තිබෙන රළපනාවේ ගල් බැකෝ යන්ත්‍ර මගින් වැව තුළට පෙරළා දමමින් වැව් බැම්ම මතින් ඇවිදින මංතීරුවක් ඉදිකිරීම පසුගිය සතියේ ආරම්භ කෙරිණි. ඉවත් කරන ගල් මත යෙදූ සලකුණුද දකින්නට ලැබුණි.  

මෙම මංතීරුව අඩි 08ක් පළල සහ කිලෝමීටර් එකයි මීටර් 700ක් දිගට දිසාපති නිල නිවස අසල සිට පරාක්‍රම සමුද්‍රයේ අංක එකේ සොරොව්ව අසල ඇති ඩී.එස්. සේනානායක පිළිරුව දක්වා ඉදිකිරීමට යෝජිත බව පැවසේ. ඒ සඳහා සැලසුම් කර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය වන අතර ඔවුන්ගේ සැලසුමට අනුව රුපියල් මිලියන 34ක් ඊට වැයවන බවට ඇස්තමේන්තු කර තිබේ. පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් වී වගා කරන ගොවි ජනතාව පවසන්නේ මෙම ඉදිකිරීම, පරාක්‍රම සමුද්‍ර වැව විශාල අනතුරකට හෙළීමක් විය හැකි බවයි. කෙසේ වුවත් වාරි ඉංජිනේරුවන්ට අනුව එවැනි අනතුරක් සිදුවීමට ඉඩක් නැති අතර සිදුවන්නේ වැව් බැම්ම තවත් සවිමත් වීමකි.

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම දරා සිටින අක්කර අඩි 116,000 ක මහා ජල කඳ මෙම වැව් බැම්මේ රළපනාව නිසා ආරක්ෂා වී තිබෙන බවත් සමහර කාලවලදී ඇතිවන දැඩි සුළං සහිත තත්ත්වය නිසා මහ මුහුදේ රළගෙඩි තරම් විශාල රළ පහරවල් වැව් බැම්මේ වැදෙන බව ගම්වාසීහු පවසති. මේ ජලාශයෙන් ගොවි පවුල් 12137ක් දෙනෙකුට දියවර සපයන අතර බෙදුම් ඇළ මාර්ග 83ක් ඔස්සේ ජලය බෙදා හැරේ. 

මේ පිළිබඳව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්. අරුණ කීර්ති සඳහන් කරන්නේ ගොවි ජනතාවගේ විරෝධය මැද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඇරඹූ බවය.
මේ පිළිබඳව පොළොන්නරුව කලාපය භාර වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එම්.ඩබ්ලිව්. රත්නසිරි සඳහන් කළේ ඇවිදින මංතීරුව සකස් කිරීම පිළිබඳව යෝජනාව සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමැතිය ලබාදී ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්ද අවසර ලබා දී ඇති බවත්ය.

පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සඳහන් කර සිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ යෝජනාවක් අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් සිදු කරන මෙම ඉදිකිරීමෙන් වැව් බැම්මට හානියක් සිදු නොවන බවය. ගොවිජන සේවා හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සඳහා අනුමැතිය ලබා දී ඇති බවද ඔහු පවසා සිටී.

වැව් බැම්මේ රළපනාව ගලවා ජලාශයට පෙරළමින් සිටින අතර ඒ ස්ථානයට  දිස්ත‍්‍රික්කයේ භික්ෂූන් වහන්සේ පසුගිය 27දා පැමිණ වැව් බැම්ම මතදී විරෝධතාවක නිරත වූහ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් සිදුකරමින් තිබෙන බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන රළපනාවේ කළුගල් ඉවත් කිරීම වහාම නවතා දමන ලෙසට උන්වහන්සේලා ඉල්ලා සිටියහ. 
අනතුරුව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසේනද එම ස්ථානයට පැමිණි අතර භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි මෙම ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව නතර කරන බවත්, අදාළ ඉදිකිරීම් සඳහා භාවිත කරන බැකෝ යන්ත්‍රය එම ස්ථානයෙන් ඉවත් කරගන්නා බවටත් පොරොන්දු වීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.

ඒ පිළිබඳව පරාක්‍රම සමුද්‍රය භාර වාරි ඉංජිනේරු අසේල උදයංග මාධ්‍යයට මෙසේ සඳහන් කර තිබුණි:
ජලාශයක් කිව්වම අපි දකින්නේ කෘෂිකාර්මික කටයුතු, පානීය ජලය ලබාගැනීම වගේ සාම්ප්‍රදායිකව හිතන කරුණු ගැන විතරයි. හැබැයි ලෝකයත් එක්ක ඉදිරියට යනවිට මිනිස්සුන්ගේ හිත නිවාගන්න, විවේකයෙන් සිටීම,  සංචාරක කටයුතු  වගේ දේවල් මේ ජලාශයක් තුළින් අපිට ඉටුකරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපිට ඉදිරියට යන්න බැරි වෙනවා. මේක ඇත්තටම ව්‍යායාම සඳහාම නිපදවන එකක් නෙමෙයි.  පොළොන්නරුවෙ මිනිස්සුන්ගෙ කාලයක් තිස්සේ තියෙන, දේශීය හා විදේශීය හුගක් අය වෙනුවෙන් ඉටුකරන අවශ්‍යතාවක්”

මේ දිනවල පොළොන්නරුවේ ජනතාව සිටින්නේ ඇවිදින මංතීරු ගැන සිතමින් නොවේ. කොවිඩ් වසංගතයෙන් ගැලවෙන්නේ කෙසේදැයි සිතමිනි. රෝහල්වල ධාරිතාවට ඉක්මවා ගොසිනි. පොළොන්නරුවේ ජනතාවට පෞද්ගලික රෝහල්වල හෝ හෝටල්වල නැවතී නිරෝධායනය වීමට වත්කමක් නැත. ඒ අතරවාරයේ විශාල මුදල් වැයවන මෙවැනි ව්‍යාපෘති ඇරඹීම රටේ ප්‍රමුඛතාව පිළිබඳ ප්‍රශ්නයකි. අසංවේදී රජයක නිරුවත හෙළිකරන්නකි. 
පරිසර යුක්ති කේන්ද්‍රයේ උපදේශක හේමන්ත විතානගේ ඒ පිළිබඳව පවසන්නේ මෙලෙසයි:

කෙනෙක් කියනවා නම් මේ මංතීරුව හදන්නේ වැව් බැම්මේ ආරක්ෂාව වැඩි වෙන්න කියලා එය පිළිගන්න බැරි කාරණයක්. අනාගතයේදී එන දේශගුණික විපර්යාස සමඟ මෙවැනි වැව් බැමිවලට වෙන්න පුළුවන් හානිය ගැන සලකලා ලෝක බැංකුව මගින් ඇමරිකන් ඩොලර් මිලියන 148ක් මුදල් අමාත්‍යංශය යටතේ ලබාගෙන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ 2018 අවසන් කරපු dam safety ව්‍යාපෘතිය යටතේ පරාක්‍රම සමුද්‍රයට අවශ්‍ය සංරක්ෂණ කටයුතු සිදු කළා.
මේක පැහැදිලිවම නාගරික සංවර්ධන අධිකාරිය හරහා ප්‍රදේශයේ ඉන්න දේශපාලකයන් විසින් කරපු ව්‍යාපෘතියක් බවයි පේන්නේ. රටකට ඒ ඒ කාලවලට අවශ්‍ය සංවර්ධන ප්‍රමුඛතා තිබිය යුතුයි. මේ අවස්ථාවේ රටේ සංවර්ධන ප්‍රමුඛතාවය මංතීරුවක් යයි හිතනව නම් ඒක ගැටලුවක්. ලංකාවට හැමවිටම සිද්ධවෙලා තිබෙන්නේ අවශ්‍ය සංවර්ධන ප්‍රමුඛතාවය කුමක්ද යන්න කියන එක පිළිබඳව වැටහීමක් නොමැතිව ඒ ඒ ප්‍රදේශවල දේශපාලකයන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න සංවර්ධන කටයුතු සිදු කිරීමයි.
මේ පිළිබඳව පොළොන්නරුවේ මැදහත් ජනතාව දරන්නේ කුමන මතයක් ද යන්න අප විමසුවේ ප්‍රදේශයේ ගුරුවර‌ෙයක් වන බන්දුල කුමාරගෙනි: 

පොළොන්නරුව ගොවි ජනතාවක් ඉන්න පුරාණ නටබුන් නගරයක් විදිහට අදත් සිතීම වැරදියි. අද පොළොන්නරුව නාගරික ජනතාවක් වාසය කරන ප්‍රදේශයක්. බොහෝ දෙනෙක් රජයේ සහ පෞද්ගලික රැකියා කරනවා. ඔවුන්ට මානසික විවේකය සඳහා නාගරික උද්‍යාන දෙකක් තිබෙනවා. ඔය වැව් බැම්ම දිගේ අදත් උදේට සමහරු ව්‍යායාමයට ඇවිදිනවා. නමුත් ඒ පාරේ පදික වේදිකාවක් නැති නිසාත් ඒ පාර ඉඩ නැති නිසාත් ඒක තරමක අවදානම් කාර්යයක්. මේ නිසා ඇවිදින මං තීරුවක් තැනීම නාගරික ජනතාවගේ අවශ්‍යතාවක් ඉටු කිරීමක්. නමුත් ඉතින් මේ වගේ ගැටලු සහගත කාලෙක ඕවා පටන්ගන්න එක නම් අනුමත කරන්න බැහැ. 

පරාක්‍රම සමුද්‍රය යනු රටේ ජනතාවට ඉතා සංවේදී ඓතිහාසික වාරි උරුමයකි. එවැනි තැනක මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට රටේ සංවාදයට බඳුන් කළ යුතු බව පැවසිය යුතු නොවේ. ඒ අතරම මුදල් නැතිව ඉතා අසීරු අඩියක සිටින රජයක් මෙවැනි ව්‍යාපෘති කඩිනමින් ඉදිකිරීමද ගැටලුවකි.

කුසුම්සිරි විජයවර්ධන
 

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, ප.ව. 05:16
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00