2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

අතේ පත්තු වූ සීනි මිලේ ගේම

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 289

ශ්‍රී ලංකාවේ සීනි පරිභෝජනය ආසන්න වශ‍යෙන් වර්ෂයකට මෙට්‍රික් ටොන් ලක්ෂ 6කට අධිකය. ඉන් තුනෙන් දෙකක්ම මෙරටට ආනයනය කරන අතර තුනෙන් එකක් නිෂ්පාදනය කරන්නේ මෙරට තුළය. ඒ නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේ උච්ඡාවචනය මත මෙරට සීනි මිල දර්ශකය ඉහළ පහළ යන බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ වෙතත් එකී ආනයනයේදී රජය විසින් සීනි කිලෝවකට පනවන බද්ද මතද එකී මිල ගණන් එහේ මෙහේ වෙයි.

එයට හොඳම උදාහරණය වන්නේ 2020 ඔක්තෝබර් මාසයේ රජය විසින් රුපියල් 50ක සීනි බද්ද රුපියල් ශත 25ක් දක්වා අඩු කිරීමය. ඒ නිසා රජයට විශාල පාඩුවක් වුණ බව විරුද්ධ පක්ෂයේ අදහස විය. එය මහ බැංකු බැඳුම්කර සිද්ධියට වඩා පාඩුවක් බවට පිරිසක් චෝදනා නැගූහ. එහෙත් ආණ්ඩුව කීවේ එයින් කිසිදු පාඩුවක් රජයට සිදු නොවුණු බවය. කෙසේ වෙතත් එවර සීනි බදු මුදල් අඩුකිරීම හමුවේ රුපියල් 100-150 ත් අතර එහේ මෙහේ වෙමින් තිබූ සීනිවල මිල ගණන් රුපියල් 100-105ත් අතරට ආවේය. ඒ නිසා යම් මිල අඩුවක්, සහනයක් ජනතාවට හිමිවිය. කෙසේ වෙතත් විරුද්ධ පක්ෂය චෝදනා කළේ මේ බදු සහනය ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයකු සඳහා ලබාදුන් බව කියාය.

එහෙත් ඒ සහනය වැඩිකල් ගියේ නැත. සීනි මිල ක්‍රමයෙන් කාටත් හොරා සතියෙන් සතිය ඉහළ ගියේය. අවසානයේ එකවරම පසුගිය සතියේ සීනි මිල අහස උසට ගියේ කිසිවක් හිතාගත නොහැකි ලෙසටය. ඒ සීනි මිල 200-250 අතර මුදලටය. මෙලෙස සිදුවූයේ කෙසේද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් විය. ඊටත් වඩා ප්‍රශ්නයක් ඇතිවුණේ රජයටය. බදු සහන ලබාදී තිබියදිත් මෙලෙස සීනි වැඩිවූයේ කෙසේද යන්න ආණ්ඩුවට ප්‍රශ්නයක් විය. විරුද්ධ පක්ෂයේ බොහෝදෙනා කීවේ ආණ්ඩුවේ මිත්‍ර සිනී සමාගම් විසින් මෙය කෘත්‍රිමව නිර්මාණය කළ දෙයක් බවය. ආණ්ඩුව විසින් ඒ අයට හිතූ මනාපයට වැඩකටයුතු කිරීමට ඉඩ ලබාදීම නිසා මේ ආකාරයෙන් ජනතාව සමඟ සෙල්ලම් කරන බව ඔවුන්ගේ චෝදනාව විය. කෙසේ වෙතත් ආපන ශාලා හිමියන්ගේ සංගමය විසින් සඳහන් කර සිටියේ සීනි වලින් නිෂ්පාදනය කරන ඕනෑම ආහාරයක මිල රුපියල් පහකින් ඉහළ දමන බවය. ඒ අනුව තේ කෝප්පයක මිල රුපියල් පහකින් ඉහළ දැමිණි. මෙය සති දෙකක් තුළ සිදුවූ බරපතළ සිද්ධියක් විය.

මේ තත්ත්වයට මූලික හේතුව වෙළෙඳපොළ තුළ සීනි හිඟයක් ඇතිවීම බව බොහෝ දෙනාගේ අදහස විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනවිරත්න මහතා පවසා සිටියේ ඉදිරියේ සීනි හිඟයක් ඇතිවිය හැකි බව කියාය. ඒ සඳහා ඔහු හේතු සාධකද කීවේය. එනම් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ වැටීමත්, මැයි මාසයේ සිට ආනයනය සීමා කිරීමත් නිසා මෙම තත්ත්වය ඇතිවුණු බව ඔහුගේ අදහස විය. කෙසේ වෙතත් මේ තත්ත්වය මත තව මාසයකටවත් සීනි නැති බව ඔහු සඳහන් කර සිටියේය.

එහෙත් ආණ්ඩුව රාජ්‍ය බුද්ධි අංශයත් පාරිභෝගික කටයුතු අධිකාරියත් සමඟ එක්ව සීනි තොග සඟවා ඇති තැන් සොයන්නට විය. ඒ අනුව සඟවා තිබු මෙට්‍රික් ටොන් 4800 ක සීනි තොගයක් වත්තල ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී සොයාගන්නා ලදී. එයින් තහවුරු වුණේ මේ සීනිවල මිල ඉහළයාම කෘත්‍රිමව සිදුකළ දෙයක් බවය. වහාම ක්‍රියාත්මක වුණු ජනාධිපතිවරයා සිය බලතල ප්‍රකාරව ජූලි 30 වැනිදා හදිසි ගැසට් පත්‍රයක් නිකුත් කළේය. ඒ මහජන ආරක්ෂණ පනතේ 2 වැනි වගන්තියේ පැවරී ඇති බලතල අනුව එම අඥා පනතේ ii වැනි කොටසේ විධිවිධාන බලාත්මක කරමින් 5 වැනි වගන්තියේ විධි විධාන ප්‍රකාරව සකස් කරන ලද අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළව හදිසි රෙගුලාසි පනවමින් එම ගැසට් පත්‍රය නිකුත් කර තිබුණි. ඒ අනුව අත්‍යාවශ්‍ය ආහාර සඟවන ස්ථාන, වංචා කරන ස්ථාන සියල්ල වටලා ඒ ද්‍රව්‍ය රාජසන්තක කිරීමට නියෝග පැනවිණි. එසේම අත්‍යවශ්‍ය කොමසාරිස් ලෙස මේජර් ජනරාල් එම්.ඩී.එස්.පී. නිවුන්හැල්ල පත් කරනු ලැබීය. කෙසේ වෙතත් මේ සීනි ගැටලුව නිසා සීනි තොග ගබඩා කරන ස්ථානයන් සම්බන්ධයෙන් තොරතුරු රජයට ලබාදී ලියාපදිංචි වන ලෙසත් එම ගැසට් පත්‍රයෙන් පසුව නියෝගය කෙරිණි. ඒ අනුව සියලු ස්ථාන වැටලීම ආරම්භ විය.

මේ අතර තවත් ගැටලුවක් ඇතිව තිබුණේය. ඒ සීනි කන්ටේනර් තොගයක් වරායේ ප්‍රමාද ගාස්තු ගෙවීමට නොහැකිව සිරවී ඇති බව වාර්තා වීමය. එහි කන්ටේනර් 600ක් පමණ තිබෙන බවත් මෙට්‍රික් ටොන් 12,000ක් පමණ එහි සීනි ඇති බවත් ආනයනකරුවන් දන්වා තිබූ නිසා වරාය බාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ නියෝගයකට අනුව එම කන්ටේනර් තොගය ප්‍රමාද ගාස්තුවකින් තොරව මුදාහැරීමට තීන්දු කරන බව ප්‍රකාශ විය. ඒ රට තුළ හදිසියේ ඇති වෙමින් තිබූ සීනි හිඟයට පිළියමක් ලෙසය.

සියල්ල මේ ආකාරයෙන් සිදුවන විට සැප්තැම්බර් 1 වැනිදා වනවිට ගබඩා කිහිපයක් වටලා එහි වූ සීනි තොග රජයට පවරා ගැනීම ඇරඹිණි. ඒ අනුව මුතුරාජවෙල පිහිටි Pyramid wilmar company හී තිබී සීනි මෙට්‍රික් ටොන් 6200ක්, වත්තල මාබෝලේ Global trading company හී තිබී සීනි මෙට්‍රික් ටොන් 4800ක්, වත්තල උස්සැටකෙයියාවේ තිබී Global trading company සීනි මෙට්‍රික් ටොන් 4100ක්, ආරක්ෂක ගබඩාවක තිබූ Wilson trading company ට අයත් සීනි මෙට්‍රික් ටොන් 14,000ක් සහ කිරිබත්ගොඩ R.G Stores හී තිබී සීනි මෙට්‍රික් ටොන් 800ක් සොයාගන්නා ලදී. මේ සියල්ල හදිසි රෙගුලාසිවලට යටත්ව රජයට පවරාගත් අතර පසුව ඒවා ලංකා සතොස හරහා ජනතාව වෙත විකිණීමට තීරණය විය. කෙසේ වෙතත් ඒ වනවිටත් රජය සීනි සඳහා සහතික මිලක් ලබාදී තිබූ අතර එහි මිල 130 විය.

මේ ආකාරයෙන් කෘත්‍රිම සීනි මිල ගණන් ඉහළ දැමීමට මහා පරිමාණ සීනි ව්‍යාපාරිකයන් ගත් උත්සාහය වැරදිණි. ජනතාවගේ එදිනෙදා පරිභෝජනයේ උඩින්ම තියෙන සීනි හරහා ජනතාවට එලොව පොල් පෙන්නීමට ගොස් සිදුවුණේ අවසානයේ ඔවුන්ට තියෙන සීනි ටිකත් නැති කරගැනීමය. කෙසේ වෙතත් මේවා සංදර්ශන වියයුතු නැත. එසේම සීනිවලට පමණක් සීමා වියයුතුද නැත. සහල්වලට පවා සිදුවන්නේ මේ සෙතේමය. සුළු මෝල් හිමියන් වසා දමා එකී බලය මහා වීමෝල් හිමිකරුවන් අතට ගැනීමත් සමඟ සිදුවූයේ ජනතාවට දෙවියන්ගේ හාල් කෑමට සිදුවී තිබේ. ඒ වෙනුවෙන්ද යම් පාලනයක් ගෙන ඒමට රජය උත්සහ කළත් දැඟලුවත් අවසානයේ ජයගත්තේ එකී මහා වී මෝල් හිමියන්ය. අදටත් මේ රටේ සහල් මිල පාලනය කරන්නේ ඔවුන්ය. 

එහෙත් සීනිවලට මෙන් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. ඔවුන්ගේ සබඳතා නිසාද? ඔවුන්ගේ ව්‍යාපාර ඒ තරම් ප්‍රබල නිසාද යන්න අපි දන්නේ නැත. අප දන්නේ මිනිස්සුට ලේසියෙන් හාල් කිලෝවක් ගන්නට හැකියාවක් නැතිවීම පමණි. ඒ නිසා අවසාන වශයෙන් ජනතාවගේ ඉල්ලීම වන්නේ සීනි මාෆියාව මර්දනය කළ හා සමානව මේ හාල් මාෆියාවත් මර්දනය කළයුතු බවය. එපණක් නොව රටේ සියලුම භාණ්ඩ එසේ වියයුතුය. එලෙස නොවුවොත් හැමදාම ඡන්ද දෙන ඡන්ද දායකයාට යන එනමං නොමැති වනු ඇත.

 ගයාන් ගාල්ලගේ