2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

මේ මොහොතේ වැදගත්ම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 26

සැප්තැම්බර් මාසය උදාවෙන්නේ හදිසි නීති රෙගුලාසි යන වචනයත් සමඟය. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ඇති බලතල ප‍්‍රකාරව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයකු පත්කර තිබේ. නැවත වතාවක් ලොක්වඩුන් තත්ත්වයක පවතින රට තුළ සාමාන්‍ය ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා වෙනුවෙන් තද පියවර ගැනීමට මෙම කොමසාරිස්වරයාට විශේෂ බලයක් පැවරේ. 

හදිසි අවස්ථා, හදිසි නීතීය හෝ ඇඳිරි නීතිය වැනි වචන ශ‍්‍රී ලාංකිකයන්ට සුපුරැදුය. පසුගිය දශක කිහිපය තුළ ජාතික අර්බුද ගණනාවකට මුහුණ පා තිබේ. ශක්තිමත්ව මුහුණදීම සඳහා රජය බලතල ක‍්‍රියාවට නංවා ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් නමුත් අසාධාරණයක් සිදුවන විට පොදු මහජනතාව ගැන වැඩිපුර අවධානය යොමුකළ යුතුය. අයුක්ති සහගත අවස්ථා වල දී ජනතාවගේ පැත්ත ගැනීම වැදගත්ය. 

• කොවිඩ් තර්ජනය ඉදිරියේ හදිසි නීති රෙගුලාසි

කොවිඩ් තුන්වැනි රැල්ල උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. එන්නත්කරණය කරගෙන යන අතර සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව ඉදිරියේදී වසංගත තත්ත්වය පාලනය වනු ඇත. එය සුබ පණිවුඩයකි. ජීවිතය ගැන භීතියට පත්ව සිටින ජනතාවගේ ආහාර අවශ්‍යතා දුරස් කිරීම ඉතාම නරකය. මෑත කාලය තුළ ආහාර පාන මිල ගණන් විස්මිත ලෙස ඉහළ නැග තිබේ. ධනවත් අතලොස්සකට එය ප‍්‍රශ්නයක් නැත. මහජනතාවගේ දුක නොදන්නා මැති ඇමැතිවරුන්ට එහි අමුත්තක් නැත. අති සුඛෝපභෝගී වාහනවලින් ගමන් යන එන මහජන මුදලින් නඩත්තු වන ඔවුන් වෙළඳපොළ හැසිරීම ගැන අවධානය යොමුකළ යුතුය. විෂය භාර ඇමැතිවරැන්ට කර කියාගන්නට දෙයක් නැත. නිලධාරීන් කොවිඩ් ප‍්‍රශ්න කියමින් පැත්තකට වී සිටින බව පෙනේ. ජනාධිපතිවරයාගේ තීරණය එහි ප‍්‍රථිඵලයකි. ඉකුත් අගෝස්තු 31 වැනිදා සිට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයකු පත්කර ඇත.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාට පුළුල් බලතල ඇත. වී, සහල්, සීනි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය දේ සම්බන්ධව සිදුවන අකටයුතුකම් ඉදිරියේ තීරණ ගැනීමට විශේෂ බලයක් තිබේ. නිදහස ලැබීමෙන් පසු 1960 ගණන් දක්වා මෙම තනතුර සම්බන්ධ ඉතිහාසයක් ඇත. එකල ක‍්‍රමය අනුව පාර්ලිමේන්තුවට වැඩි බලයක් තිබුණි. අගමැතිවරයාට අත්‍යවශ්‍ය කොමසාරිස් නම් කරන්නට සිදුවිය. රට තුළ පැවැති වර්ජන හමුවේ හදිසි නීතිය බලපවත්වන ලද අතර සාමාන්‍ය ජනතාව හිරිහැරයට පත්වීම වළක්වන පියවර ගැණින. නිදහස ලබන්නට කලින් සිටි අධිරාජ්‍යවාදී පාලකයෝ වෙනස් පිළිවෙළකට හදිසි අවස්ථාවලදී ක‍්‍රියා කළහ. දෙවැනි ලෝක යුද්ධය කාලයේදී ආහාර හිඟවන විට විශේෂ පාලන නිලධාරීන් පත්කර අණ පනත් බලගන්වන ලද බව දැක්වේ. 

• අත්‍යවශ්‍ය ආහාර මිල නැගීමෙන් අවාසි

රැපියල් සියයකට අඩුවෙන් තිබුණ සීනි කිලෝවක් රැපියල් වැඩි වනවිට ජනතාව දොස් කියන්නේ ආණ්ඩුවටය. මුළුතැන්ගෙයට අවශ්‍ය කහ හිඟවෙන අවස්ථාවේදී ඉවසා සිටි ජනතාව දරැවන්ගේ ආහාරයක් වශයෙන් කිරි පිටි හිඟ වෙන විට ඉවසන්නේ නැත. ගෑස්, ඉන්ධන, සහල්, පරිප්පු ඇතුළු දේ සම්බන්ධව ප‍්‍රශ්න තිබේ. හිඟ බව වෙළෙන්දෝ දක්වති. සිල්ලර වෙළෙඳුන්ට අනුව තොග මුදලාලිලාගෙන් ලැබෙන මිලට හැර විකුණන්නට හැකියාවක් නැත. පසුගිය කාලයේ වී සහ කහ තොග රුස්කරගෙන සිටි ආකාරයට තොග වෙළෙඳුන් මෙකී ආහාර සඟවාගෙන සිටින බව හෙළි වී තිබේ. රේගු වාර්තා අනුව මාස ගණනාවක් සඳහා රටට අවශ්‍ය තරමට සීනි හා පරිප්පු තොග ආනයනය කර තිබේ. මෙපමණ පරිභෝජනයක් නොවන බව අදාළ අංශ සහතික කර ඇත. ජනතාව කොවිඩ්වලින් පීඩා විඳින අතරවාරයේ කූඨ වෙළඳුන් පිරිසක් භාණ්ඩ හිඟයක් ඇති කර අයථා ලාභ උපයන බව නිරීක්ෂණය කළ හැකිය. වැටලීම්වල දී ටොන් ගණන් තොග සඟවා තිබියදී හමු වී තිබේ. එය ඉතාම අශෝභන තත්ත්වයකි. ධනවත් පිරිස් අසරණ වූ පිරිස් වෙත සහන සලසන අන්දම ගැන ලෝකයේ නොයෙක් තැන්වලින් වාර්තා වෙයි. මුදල් බෙදන, භාණ්ඩ සපයන අවස්ථා එමටය. මෑතකදී කිරිබත්ගොඩ සහ කැලණිය ප‍්‍රදේශවල එවැනි මුදල් බෙදන අවස්ථා වාර්තා විය. 
ජනතාවට සහාය වියයුතු අවස්ථාවක ඔවුන් අත ඇති අන්තිම රැපියලත් කොල්ලකෑම අනුමත කළ නොහැක. ස්වල්ප පිරිසක් කරන නොකටයුතුකම් සමස්ත සමාජයටම ප‍්‍රශ්නයක් වී තිබේ. සහල්, සීනි, කිරිපිටි හිඟ වනවිට අනෙක් ද්‍රව්‍ය ගැනත් සැකකරන පාරිභෝගිකයෝ ඒවාද වහා මිලදී ගනිති. රාක්ක හිස් වෙමින් තිබේ. ජනතාවගේ අතට ලැබෙන මුදල සීමිතය. එහෙත් අධ්‍යාපනයට, උත්සව හා විනෝද කටයුතු වෙනුවෙන් කරන වියදම අඩු වී තිබේ. අනෙක ප‍්‍රවාහන වියදමද තරමක් පහත වැටී ඇති බව පෙනේ. එවැනි වාතාවරණයක් තුළ භාණ්ඩ මිල වැඩිවීම දරාගත හැකි කොටසක් සිටිති. එහෙත් එදිනෙදා ආදායමෙන් ජීවත්වන සෑහෙන පිරිසකට ප‍්‍රශ්න මතු වී තිබේ. 

• හිඟයට හේතුව විනිමය බව දැක්විය යුතුය

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය විශාල ප‍්‍රශ්න ගණනාවකය. අපනයන ආදායම අඩු වී තිබේ. සංචාරක කර්මාන්තයෙන් මෙතෙක් ලැබුණ විනිමය ප‍්‍රමාණය පසුගිය වසරේ සිට නැත. විදේශ රුකියාවල නිරත පිරිස පවා එවන මුදල් සීමාසහිතය. අනෙක් පැත්තෙන් කොවිඩ් එන්නත්, ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ කට්ටලවලට වැයකරන මුදල් ප‍්‍රමාණය පාලනය කළ නොහැකිය. පසුගිය වසරේ ආර්ථිකය ඍණ අගයක් ගත්තේය. දළ දේශීය නිෂ්පාදිතය සියයට 3.6ක ඍණ අගය කිසිදා මෙරට ඉතිහාසයේ වාර්තා නොවූ එකකි. දරැණු යුද්ධයක් පැවැති කාලයේ පවා එවැනි පීඩනයක් ඇතිවූයේ නැත. ආණ්ඩුව 2020 මාර්තු මාසයේ වාහන ආනයනය නතර කළේය. එයින් පසු රට තුළ නිපදවිය හැකි දේ ආනයනය සීමාකරන තීරණ ගෙන ඇත. රටට අවශ්‍ය තවත් දේ ගෙන්විය යුතු නමුත් විනිමය හිඟය ප‍්‍රශ්නයක් වී තිබේ. මෙම කරැණු ජනතාව වටහාගත යුතුය. ආණ්ඩුව පන්නා වෙනත් ආණ්ඩුවක් පත්කර ගැනීමට බැරිකමක් නැත. ජනතාව එකතු වී එවැනි තීරණයක් ගත් පමණින් ඩොලර් වැසි වහින්නේ නැත. ලෝකයේ සෑම රටක්ම බරපතළ ආර්ථික අවපාතයකය. එයින් ගැලවෙන්නට අනන්‍ය ක‍්‍රමවේද භාවිතා කරන්නට සිදුවෙයි. ආනයන අඩුකරන අවස්ථාවක වෙළෙඳුන් බඩු සඟවා කෘත්‍රිම හිඟයක් ඇති කරනවිට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයකු පත්කර පාලනයට පියවර ගැනීම හැර අනෙක් පියවරක් නැත.

වාර්තා වන පරිදි ශ‍්‍රී ලංකාවේ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 2.8 තෙක් පහත වැටී ඇත. පසුගිය ජූලි මාසයේ සිට මෙවැනි අඩු විනිමය ප‍්‍රමාණයකින් රට කළමණාකරණය කරගනිමින් සිටී. රජයේ හා පෞද්ගලික අංශයේ බැංකුවල පවා ඉල්ලන තරමට විනිමය නැත. කොතැනකින් හෝ ලැබුණහොත් හැර විදේශ සංචිත තර නොවේ. හොඳ කළමණාකරණයකට ගමන් කළහොත් පමණක් මෙම විනිමය අරපරෙස්සම් කරගෙන ගමන යා හැකිය. 2019 වසරේ නොවැම්බර් මාසයේදී මෙරට විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.5 කි. එකල කා බී ජීවත් වූ අන්දමට ක‍්‍රියා කරන්නට අද හැකියාවක් නැති බව වටහා ගැනීම වැදගත්ය. වෙළඳපොළට එන ආනයනික භාණ්ඩ සැපයුම සීමා වන හෙයින් මිල නැග ඇති අතර මාසයට කලින් වාර්තා වූ උද්ධමනයට ඉක්මවමින් මාසික උද්ධමනය ඉහළ නැගීමේ වේගය සියයට හයක් දක්වා වාර්තා වෙන්නේ මෙම පසුබිම තුළය. 

• ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පහරක් නමුත් ජනතාවට වාසි

සාමාන්‍ය නීති අභිබවමින් කටයුතු සිදුවන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට ප‍්‍රශ්නයක් විය හැකිය. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමානය. හදිසි අවස්ථාවකදී එක පුද්ගලයකුට බලය පවරන්නේ ජනතා හිතසුව පිණිසය. අධික වැසි වැටී නැගෙනහිර පළාත් වැනසුණ අවස්ථාවේදී, 1971 කැරුල්ල සමයේ ඇති වූ කලබල මැද ජනතා අවශ්‍යතා සපුරාගත නොහැකි වනවිට හදිසි නීති රෙගුලාසි යටතේ අත්‍යවශ්‍ය කොමසාරිස්වරයකුගේ සේවය ලබාගෙන ඇත. ජූලි කලබල වකවානුවේ සියලුම දේ අහිමිව කඳවුරැවලට ගාල් වූ ජනයා වෙනුවෙන් මූලික ආහාර පාන වෙනුවෙන් පවා අත්‍යවශ්‍ය සේවා තත්ත්වයක් පැනවීය. අද පවතින දරුණු සෞඛ්‍ය ව්‍යසනය පහසුවට ගත යුතු නැත. ත‍්‍රස්තවාදී කාලයේ බෝම්බ හෝ මරාගෙන මැරෙන කල්ලි ගැන තොරතුරැ සොයන්නට හා ජනජීවිතය ආරක්ෂා කරන්නට ති‍්‍රිවිධ හමුදාවට හැකිවිය. පොලිසිය හා සිවිල් ආරක්ෂක අංශ එයට සහාය විය. දැන් පවතින තත්ත්වය අනුව මරාගෙන මැරෙන බෝම්බ හඳුනාගැනීම පහසු නැත. විවිධ තැන්වලින් වාර්තා වන පරිදි ඥාතීන් පැමිණ සංග‍්‍රහ විඳ ආපසු යන අතරවාරයේ කොවිඩ් වෛරසය පතුරැවා ඇත. එකම පවුලේ සාමාජිකයෝ ආසාදනය වෙති. ජීවිතය හැර යති. ඉතාම අවාසනාවන්ත කාල වකවානුවකි.

ධනය කොපමණ රැස්කරන නමුත් අවසාන මොහොතේදී ඒවායෙන් පලක් නැත. ස්වභාව ධර්මය බලගතු පාඩමක් කියා දෙමින් සිටී. මහත් ගෞරවාන්විතව අවසන් ගමන් ගිය දහසක් දෙනකුට ඥාතී මිත‍්‍රාදීන්ගෙන් පවා සමුගන්නට අවස්ථාවක් නැත. ඉතාම කණගාටුදායකය. ලෝකයේ සමහර රටවල මෙවැනි විපත් ඉදිරියේ මුදල් ගෝනි ගණන් කිසිම පලකට නැති තත්ත්වයකට පත් වූ බව වාර්තා වී තිබේ. ධනය සොයන සමාජය අවසාන ඉරණම ගැන කල්පනා කළ යුතුය. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයකු පත් කිරීම සහ ආහාර වෙනුවෙන් හදිසි අවස්ථා ප‍්‍රකාශයට පත්කිරීම අහම්බයක් නොවේ. සමාජයේ සිදුවන සිදුවීම් මාලාවකට සපයන ලද එක උත්තරයකි. එයින් ගැලවෙන්නට වෙනත් මගක් නැත. සියලුදෙනාටම හෘද සාක්ෂිය අනුව ක‍්‍රියාකරන්නට සිදුවෙයි. අවසානයේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නිසි මගට යොමුවනු ඇති අතර එය මෙවැනි කළු පැල්ලම් මකා අලුත් අපේක්ෂා ඇති කරනු ඇති බව සඳහන් කළ යුතුය.

 සාරා කන්දෙගොඩ