2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

විටමින් වෙනුවට කලවම් පලා මැල්ලුමක්! - දේශීය වෛද්‍ය සුජීව විතානගේ

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 222
ස්වභාවධර්මයේ නියමයන් අනුසාරයෙන්ම මනුෂ්‍ය සංහතියේ මනෝමය හා චර්යාත්මක හැඩතල හැඩගස්වා ගැනීමට මඟ කියන අපූරු විද්‍යාවක් ලෙස ඉපැරණි ආයුර්වේදීය ශාස්ත්‍රය සඳහන් කරනු වටී. එහෙත් ගහක් ගලක් මුලක් ගානේ ආයුර්වේදීය යැයි කියන වෙද්දුන් සහ වෙදකම් බිහිව ඇති එමෙන්ම මෑතකදී ගෝලීය අර්බුදයක් බවට පරිවර්තනය වූ කොවිඩ් වසංගතය හමුවේ “ආයුර්වේද වට්ටෝරු” ඉවක් බවක් නැතුව ජනගත කෙරෙන පසුබිමක කොවිඩ් දුරලනු පිණිස නිවැරදි ආයුර්වේදීය භාවිතයන් සහ කොවිඩ් හා බැඳුණු මිත්‍යා ආකල්ප පිළිබඳව අපි සාකච්ඡා කළෙමු.
 
සෙත් සුව ආයුර්වේද රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ, අමාත්‍ය උපදේශක, හරිත ජනාධිපති කාර්ය සාධන බලකායේ සාමාජික ආයුර්වේද වෛද්‍ය සුජීව විතානගේ වෛද්‍යවරයා සමඟ කළ සාකච්ඡාව ඇසුරින් මෙම ලිපිය සම්පාදිතය.
එදත් - අද වගේමයි වසංගත හමුවේ
 
2020 වසරේ අප කොවිඩ් වංසගතයට මුහුණදෙන විට ශ්‍රී ලාංකික අපට හෝ වෛරසයේ තිඹිරිගෙය සටහන් කළ චීනයට හෝ වෙනත් ගෝලීය සංවර්ධිත රටකට මෙම වෛරසයේ ස්වභාවය හෝ එයින් අත්මිඳීම විෂයෙහි අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳ නිවැරදි දැක්මක් හෝ අවබෝධයක් නොතිබුණි. වර්තමානය වන විට කොවිඩ් වෛරසය, එය පැතිරීමේ ක්‍රම, එහි ස්වභාවය හා සංකූලතා, නව වෛරස් ප්‍රභේද වර්ධනය වීම දක්වා මාර්ග ඔස්සේ වෛරසය හඳුනාගෙන ඊට ප්‍රත්‍යක්ෂ විසඳුම් සෙවීම විෂයෙහි ලෝකයම උත්සුක වෙමින් තිබේ. වසර 4000ක් පමණ ඉපැරණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ අතීතයේ මනුෂ්‍යවාසී ජනපද වසංගතයන්ට ගොදුරු වූ අවස්ථාවන්හිදී එම වසංගත පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හා අනුගමනය කළ යුතු පිළිවෙත් හා ප්‍රතිකාර සම්බන්ධයෙන් ඉතා පුළුල්ව සාකච්ඡා කර තිබේ. වසංගත රෝගයක් හැදුණු විට සංඥාවක් මගින් අන් අයට දැන්වීම, විෂබීජහරණය, රෝගියා වෙන්කර තැබීම, නිරෝධායනය, රෝග ප්‍රතිශක්තිකරණයට ඉවහල් වන ආහාරපාන ලබාදීම මානසිකව සුවපත් කිරීම, මේ ආදී එදා වසංගත තත්ත්වයකදී සාම්ප්‍රදායික වෙදකම තුළ අනුගමනය කළ ක්‍රමවේද සියල්ල අද කොවිඩ් ගෝලීය වසංගතය හමුවේද ඒ අයුරින්ම ලෝකයේ ක්‍රියාත්මක වන ස්වරෑපයක් දකින්නට ලැබේ.
 
රස හයක් - නියම ප්‍රතිශක්තිකරණයක්
 
උත්පත්තියේදීම හිමිව ඇති ප්‍රතිශක්තිය යම් යම් ලෙඩරෝග ඇතිවීම, පෝෂණ ඌණතා, පීඩාකාරී මානසික තත්ත්ව හා මානසික බිඳවැටීම් වැනි කාරණා නිසා අඩුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ආයුර්වේදයට අනුව ෂඩ් රසයෙන් යුත් ආහාර නොගැනීම ප්‍රතිශක්තිය හීන වීමට බලපාන භෞතිකමය හේතුවකි. සුවදායී හිතකර පරිසරයක ජීවත් නොවීමද, අධික නාගරීකරණය වූ පරිසර තුළ දැඩි අවිවේකී කාර්යබහුල හා අපිරිසිදු පරිසර පද්ධතියක් තුළ ජීවත්වීමද ප්‍රතිශක්තිය බිඳවැටීමට හේතු වෙයි.
 
ෂඩ් රසයෙන් යුක්ත ආහාරවේලක් යනු නිතැතින්ම පෝෂණ ගුණයෙන් අනූන සමබල ආහාරවේලකි. එවැනි ආහාරවේලක් පාරිභෝජනය කරන විට අතිරික්ත විටමින්, ප්‍රෝටීන් හෝ ඛනිජ ලවණ පෙති හෝ මාත්‍රා වශයෙන් ලබාගැනීම අවශ්‍ය නැත. කටු තිත්ත කසාය මධු රම්‍ය ලවණ යන ෂඩ් රසයන්ගෙන් කටු රස යන්න කුමක්ද යන්න බොහෝ දෙනා නිවැරදිව නොදනී. ගම්මිරිස්, තිප්පිලි වැනි දෙයක් හපන විට එන රසය කටු රසයයි. ෂඩ් රස සහිත ආහාර ගත් විට ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඒ ඔස්සේ සමබල ලෙස ලැබෙන අතර එයින් ඕනෑම රෝගයකට මුහුණ දිය හැකි ප්‍රබල හැකියාව ශරීරය තුළ ගොඩනැගේ.
 
කිසිදු හේතුවක් මත ප්‍රතිශක්තිය ගොඩනංවා ගැනීමේ අභිලාෂයෙන් පිළිගත් වෛද්‍ය නිර්දේශයකින් තොරව විටමින් වර්ග හෝ ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකළ යුතුය. අද සමාජ මාධ්‍ය මගින් විවිධ කැඳ වර්ග, සුප් වර්ග, දෙහි කොළ වැනි පැඟිරි කුලයේ ශාක ඉස්ම භාවිතය, විවිධ කොළ වර්ග තම්බා දුම් ඇල්ලීම වැනි ප්‍රතිකර්ම කොවිඩ් රෝග නිවාරණය සඳහා නිර්දේශ කර තිබුණත් ඒ කිසිවකින් වෛරසය සමනය කරන බවට විද්‍යාත්මක ඔප්පු කිරීමක් මෙතෙක් කර නැත. 
 
පුද්ගලයකුට දිය යුතු ප්‍රතිකාර හා පිළිවෙත් වෛද්‍යවරයකු තීරණය කළ යුත්තේ ඒ අවස්ථාව වන විට රෝගයේ ප්‍රබලත්වය හා සංකූලතා අනුවය. අද ආයුර්වේද රෝහල්වල වෛද්‍යවරුන් එම සිද්ධාන්තයේ පිහිටා රෝගියාගෙන් රෝගියාට ප්‍රතිකාර කළ යුතු ආකාරය අවබෝධ කරගෙන ඉතා සාර්ථක ලෙස කොවිඩ් රෝගීන් සුවපත් කරමින් සිටියි. රජය කොවිඩ් වසංගතය ආරම්භයේදීම ආයුර්වේද රෝහල් සම්බන්ධ කර ගැනීම කළ යුතුව තිබුණු අතර මේ දක්වා ආයුර්වේද රෝහල්ගතව ප්‍රතිකාර ලබන එකම කොවිඩ් රෝගියකුවත් ජීවිතක්ෂයට පත් නොවීමද විශේෂිත කරුණකි.
 
අද බහුතරයක් මිනිසුන් පෝෂණයට වඩා රසයට මූලිකත්වය දෙයි. ජීවත්වීම පිණිස ආහාර ගන්නවාද මරණය පිණිස ආහාර ගන්නවාද යන්න ප්‍රශ්නයට අද මිනිසුන් උත්තර දිය යුතුය. රසායනික ද්‍රව්‍ය සහිත, ක්ෂණික, රසයට පමණක් මුල්තැන දෙන ආහාර අනුභවයට අද කුඩා දරුවන්ගේ පටන් මිනිසා දැඩි නැඹුරුතාවක් දක්වයි. ගමේ ගොඩේ ඇති කිරිල්ල, ඇඹිල්ල, නෙල්ලි ගෙඩියක් ගත්තත් විටමින් සී ආකරයකි. අද මැල්ලුම් වර්ග ලෙස බොහෝ අය භාවිත කරන්නේ සුපිරි වෙළෙඳසල්වල ඇති පලා වර්ග කිහිපය පමණි. එහෙත් පලා වර්ග කොපමණ වර්ග ලංකාවේ තිබේද බලන්න. කලවම් පලා මැල්ලුමක් යනු අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ නිතැතින්ම ලබා දෙන්නකි. බටහිර වෛද්‍යවරුන් පවා අද ප්‍රකාශ කරන්නේ ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර වැඩිපුර පරිභෝජනයට ගන්නා ලෙසය. එය ආයුර්වේදය තුළ ප්‍රබලව අවධාරණය කරන සිද්ධාන්තයකි.
 
ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර පරිභෝජනය තාරුණ්‍ය පවත්වා ගැනීමට මෙන්ම ප්‍රතිශක්තිකරණයටත් එක සේ වැදගත්ය. ඩ්‍රුගන් ෆෘට්, නමිනං, වැල් දොඩම්, කටු අනෝදා වැනි පළතුරුවල ප්‍රතිඔක්සිකාරක ගුණය බහුල අතර ආයුර්වේද ඖෂධ සඳහා භාවිත කරන ඖෂධවලින් 90%ක් පමණ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූනය. තවද කරාබුනැටි, එනසාල්, ඉඟුරු, කුරුඳු වැනි කුළුබඩු ලෙස යොදාගන්නා ද්‍රව්‍යද ප්‍රතිඔක්සිකාරක ගුණ ප්‍රබල ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත බොහෝ රෝග වළක්වා ගත හැකි කුළුබඩු කාරකය. කුරුඳු යනු විශ්ව කර්ම ඖෂධයකි. කුරුඳු යනු ශ්‍රී ලාංකික අපට ආවේණික දියවැඩියා, අධිරුධිර පීඩනය, කොලොස්ටරෝල්, පිළිකා රෝග තත්ත්වවලින් වැළකීමට කදිම ඖෂධයකි. එවැනි පොහොසත් ආහාර සංස්කෘතියක් උරුම අප අද වස කන නිවට නිසාලු (පොෂ්) සංස්කෘතියකට අවතීර්ණ වී ඇත. ආකල්පමය ගැතිභාවය හා දුප්පත්කමද මිනිසුන් රෝග කෙරේ තල්ලු කරන ප්‍රබල හේතුවක් වී ඇති ආකාරය ඉන් පැහැදිලිය.
 
කංසා - කොවිඩ්වලට නියම බෙහෙතක්
 
කංසා යන අතිශය ප්‍රබල හා දිව්‍යමය ගුණ ඇති අනර්ඝ ඖෂධය කොවිඩ් වසංගත රෝග තත්ත්වය හමුවේ භාවිත කළ හැකි හොඳම ඖෂධයකි. කංසා යනු අති ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි. සුද්දන් අප රට ආක්‍රමණය කරන විට අංගම්පොර සහ කංසා තහනම් කිරීමෙන්ම කංසා යනු කොතරම් අනර්ඝ ඖෂධයක්දැයි අවබෝධ කරගත හැකිය. පුද්ගලයන්ගේ නිර්මාණාත්මක ප්‍රභවය මානසික සංතෘප්තිය දියුණු කිරීමට මෙන්ම ශරීර ප්‍රතිශක්තිකරණය ඉහළම තලයකට ගෙන ඒමටත් පිළිකා රෝගය සම්පූර්ණයෙන් මර්දනයටත් කංසා ප්‍රබලම ඖෂධයකි. කංසා යනු අද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද ප්‍රබල ඖෂධයක් ලෙස පිළිගත්තත් පදනම් විරහිත ආකල්පවල සිට කංසා තවදුරටත් ලංකාවේ තහනම් වීම අපරාධයක් බව මතක් කරනු වටී. කංසා අප රටේ තහනමට ලක් කළද එංගලන්තයේ එම වටිනා ඖෂධයට දොරටු හැරෙද්දී එහි ප්‍රබල ඖෂධීය ගුණය ලෝකයම පිළිගනිද්දී එහි ආයුර්වේදීය වටිනාකම දැඩිව අවධාරණය වන වත්මන් පසුබිමක එය %තහනමක්^ නොකිරීම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට මෙන්ම මානව සංහතියේ නිරෝගි පැවැත්මට ප්‍රබල උපකාරයක් බව අවධාරණය කළ යුතුය.
 
දෙහි කොළ හැපිල්ල, දුම් ඇල්ලීම හිතුමතේ කරන්න එපා සැනිටයිසර් (නාන්න) එපා
 
නිසි ප්‍රමිතිය ජීවිතයේ හැම තැනකදීම වැදගත් සිද්ධාන්තයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති නිර්ණායක අනුව කොවිඩ් වෛරසය විනාශ කළ හැකි අනුපාත හා ප්‍රමිතිගත සැනිටයිසර් අනාරක්ෂිත අවස්ථාවකදී භාවිත කරනවා හැර (සැනිටයිසර්) (නෑම) අත්හල යුතුය. ඇතැම් පුද්ගලයන් සැනිටයිසර් මුහුණේ හිසකෙස්වල අත්පා සියල්ලෙහි තෙතමනය රැඳෙන්නටම අතුල්ලා ගනිති. එය ඒ අයුරින් නිතර සහ අඛණ්ඩ භාවිතය සමට මෙන්ම ශරීර අභ්‍යන්තරයට අහිතකරය. සියල්ල මුදල් උපයන පරමාර්ථ බවට පත් කරගත් සමාජයක විෂ සහිත රසායන අන්තර්ගත සැනිටයිසර් වර්ග වෙළෙඳපොළ තුළ තිබේ. 
 
විවිධ කොළ වර්ග තම්බා දුම් ඇල්ලීම, දෙහි කොළ ඇතුළු අමු කොළ වර්ග යුෂ පානය කිරීම වෛද්‍ය උපදෙසකින් තොරව නොකළ යුතුමය. ශ්‍රී ලංකාව තරම් කොවිඩ් සමඟ මිත්‍යාවෙන් වෙලුණු ජනතාවක් සිටින තවත් රටක් ලෝකයේ නැති තරම්ය. කලක් පැණියක් පසුපස වැටුණු ජනතාව සමාජ මාධ්‍යයකින් යමක් ජනගත කළ විට ඕනෑම කොළයක් මුලක් දුමක් කැඳක් පස්සේ ඉවක් බවක් නොමැතිව දුව යති. විද්‍යාත්මක පදනමකින් තොරව මෙවැනි ජනගත කිරීම් සාපරාධී අපරාධයක් වන්නේ ඉන් මතුවිය හැකි සංකූලතා හා වෙනත් අතුරු ප්‍රතිවිපාක ඔබ නොසිතන දිශානතියකට ගමන් කළ හැකි බැවිනි. සාක්ෂරතාවයෙන් වැඩි ජනතාවක් සිටින රටක් ලෙස හැඳින්වුවද බුද්ධිමත්භාවය සහ අවබෝධය යන්න සාක්ෂරතාවය හා සමපාත නොවීමේ කරුමය අත්දකින රටක ජනතාවකට නිවැරදි පූර්වාදර්ශ ලබාදීමේ වගකීම මාධ්‍ය මෙන්ම රටේ පාලකයන්ද දෙවුර දැරිය යුතුය.
 
බය වෙන්න එපා.. හැබැයි පරිස්සම් වෙන්න
 
කොවිඩ් වෛරසයට බිය වී මුළුගැන්වී ජීවිතයේ කළ යුතු කාර්යයන් මඟහැර ගත්තත් ඒ අත්හැරෙන කාලය යළි ජීවිතය වෙනුවෙන් නොපැමිණෙන්නේය යන යථාර්ථය අප අවබෝධ කරගත යුතුය. කොවිඩ් වංසගතය හමුවේ කිසිවකු නිවසට හෝ කාමරයට සීමාවන පුද්ගලයකු විය යුතු නැත. වෛරසය සමඟ ජීවත්වීමේ ක්‍රමවේදයට හා අනුවර්තනයට දැන් සමාජය හැඩගැසිය යුතුය. ලෝක ඉතිහාසය පුරා ඇතිවූ සංහාරවලින් මානවයා වඳ වී නොගිය අතර ඊට අනුවර්තනය වීම තුළ සත්ත්වයාගේ පැවැත්ම තීරණය විය.
 
ස්වයං විනය අතිශය වැදගත් වන්නේ එතැනදීය. බිය යන කාරණය තුළ මානසික ආතතිය නිතැතින්ම ගොඩනැගෙන අතර එය ශරීර ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය බිඳවැටීමට හේතුවක් වෙයි. එමෙන්ම බිය යන මනෝභාවය ජීවිතයේ ඉදිරි පියවර වළක්වන ප්‍රබල බලපෑම්කාරකයක් බවට පත්වෙයි. එහෙයින් බිය පසෙකින් තබන්න. එහෙත් පරිස්සම් වෙන්න, වෛරසය සමඟ ජීවිතය අත්නොහැර ජීවත් වෙන්න.
 
රට වැසීම මහා අපරාධයක්
 
රට වසා තබමින් ආණ්ඩුව විසින් රටේ ජනතාවගෙන් කොටසකට කෑම බීම සපයමින් සහනාධාර ලබා දෙමින් සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටක ආර්ථිකය පවත්වාගෙන යාම කළ හැකි දෙයක් නොවේ. ජන සමාජයේ සිටින සෑම පුරවැසියකුටම තමා වෙත පැවරුණු වගකීමක් ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුය. තමන් නිසා තවත් කෙනකුගේ ජීවිතය තර්ජනයට ලක් කරන්නේ නම් එය මිනීරුමක් හා සමාන සාපරාධයකි. එය සැබෑය. එහෙයින් ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ නොවැසූ රටක ආර්ථිකයට උරදෙමින් ජීවත්වීමට පුරවැසියන් උගත යුතුය. තවද ආර්ථික ශක්තියක් ඇති ජනතාව බෙදාහදා ගැනීම ප්‍රගුණ කරමින් බිම් මට්ටමින් සහෝදර අසල්වාසීන් සමඟ ලුණු ඇටය පවා බෙදාගන්නා චින්තනයකට පැමිණෙන්නේ නම් මේ අවස්ථාවේ දුෂ්කරතාවයන්ට බඩගින්නට පත්වන ජනතාවගේ බඩගින්න සහ ප්‍රශ්න වෙනුවෙන් ආණ්ඩුව පමණක් වග විය යුතු නැත. මේ රටේම පුරවැසියන් කොටසකට රට වෙනුවෙන් ඒ යුතුකම ඉටු කළ හැකිය. කොවිඩ් වසංගතය රටේ ආර්ථිකය බිඳවැට්ටවීමට, දේශපාලන වාසි ලබන්නට හෝ ආණ්ඩු පෙරළන්නට කවුරුන් හෝ තුරුම්පුවක් කර ගන්නේ නම් එය බලවත් අපරාධයකි.
 
මිත්‍යාවට එරෙහි වන්න.. එන්නත්කරණය පිළිගන්න
 
එන්නත්කරණය කොවිඩ් වසංගතයට එරෙහි හොඳම විසඳුම ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අදාළ පාර්ශ්ව පිළිගන්නේ නම් අප සියල්ලන් ඊට එකඟ විය යුතුය. එන්නත්කරණය ප්‍රතික්ෂේප කිරීම හෝ ඒ පිළිබඳව සාවද්‍ය මත දැරීම නිරර්ථකය. නොදැනුවත්කම්, මුරණ්ඩුකම්, නොතේරුම්කම් පසෙක තබා ජීවිතය ගැන වගකීමෙන්, සමාජය හා මිනිසුන් ගැන ආදරයෙන් ක්‍රියා කිරීම රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට තවත් හේතුවකි. කොවිඩ් රෝගය විසින් ලෝකයට බොහෝ පාඩම් කියා දී තිබේ. කොවිඩ් වසංගතය ජයග්‍රාහී ලෙස ජයගන්න මානවවාදී චින්තනයකින් ඒකරාශීව පෙළගැසෙන්නට අප වැනි දුප්පත් රටවල් රට නොවසමින් අරමුණු කරගත යුතුය.
 
 සංජීවිකා සමරතුංග
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, ප.ව. 05:16
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00