2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

නොමියෙන මතක ඉතිරිකර නික්ම ගිය මංගල

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, ප.ව. 05:16 226

ජූලි 29 වැනිදා හැන්දෑවේ 3.30ට විතර මම හිටියේ ඩාර්ලි පාරේ ෆුල් ස්මාර්ට් ඔෆිස් එකක. ඇතුළේ තරුණ තරුණියෝ වැඩ. ඒ අතර දන්න අයත් ඉන්නවා. තවත් කට්ටියක් ඇවිල්ලා පොඩි මීටින් එකක්. මම මේ ස්මාර්ට් ප්ලේස් එක රස විඳිමින් ඉන්නකොට මට පිටිපස්සෙන් ඇහෙනවා සුපුරුදු කටහඬක්. මම හැරිලා බැලුවා. බලනවත් එක්කම හිනාවෙලා කොහොමද කියලා ඇහුවා. ඒ වෙනින් කවුරුත් නෙමෙයි මංගල සමරවීර. මංගලව කාලයකින් දැක්ක නිසා මට හිතුණා මංගල දැන් වයසයි කියලා. මම මංගලව මගේ ඔළුවෙන් ස්කෑන් කරගෙන යනකොට, අර දේශය පත්තරේ එක්කෙනා ආවද? කියලා මංගල කාගෙන්දෝ ඇහුවා. ඒත් මම වාඩිවෙලා ඉන්නවා. ඊට පස්සේ මංගලව මට සම්බන්ධ කරපු කෙෂාල් මාව පෙන්නුවා. ආයේ හිනාවෙලා යමුද අපි ඇතුළට එහෙනම්? කියලා මංගලයි, මමයි, කෙෂාලුයි මංගලගේ කාමරයේ වාඩිවුණා. 

මම ඇත්තටම මංගල එක්ක කතා කරන්න රාමුගත ප්‍රශ්න ටිකක් හදාගෙන ගියේ. ඒත් අර ස්මාට් ඔෆිස් එක ඇතුළේ දැක්ක දැන්වීමකින් සම්පූර්ණයෙන් මම මගේ තීරණය වෙනස් කළා. ඒ බෝඩ් එකේ තිබුණේ මෙහෙම. මෙහි සර්ලා මැඩම්ලා අංකල්ලා ඇන්ටිලා නොමැත. නම කියා ආමන්ත්‍රණය කිරීමට තරම් නිදහස් වෙන්න කියලා. මම ඇත්තටම නිදහස් වුණා. ඒ නිසා පළවෙනි වචනෙම දැම්මේ මම මේ කතාව පටන් ගන්නම් මංගල කියන නමින්ම ආමන්ත්‍රණය කරලා? කියමින්. මංගල හිනාවෙලා කිව්වේ ඒක බොහොම හොඳයි කියලා. එතනින් පස්සේ මට මංගල සමරවීර මංගල විතරක්ම වුණා. ඒ නිසා මේ කතාවත් මම ඉදිරියට අරගෙන යන්නේ මංගල බලාපොරොත්තු වුණු තමන්ගේ නමින් ආමන්ත්‍රණය කරමින්.

1956 බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු මෙන්ම නියෝජ්‍ය ඇමැතිවරයකු වූ නීතිඥ මහානාම සමරවික්‍රම මහතාටත් ලේක්හවුස් ආයතනයේ සේවය කළ ඛේමා පද්මා සමරවික්‍රම මහත්මියටත් දාව 1956 අප්‍රේල් 21 වැනිදා කොල්ලෙක් උපන්නේය. පවුලේ තුන්වැනියා වූ මෙම කොලුවා නමින් මංගල පින්සිරි සමරවික්‍රම විය. අයියා ජයමිණීය. අක්කා ජයන්තිය. පරම්පරාවෙන්ම මාතරට නෑකම් කියූ මංගල අධ්‍යාපනය සඳහා ඇතුළු වන්නේ කොළඹ හතේ පිහිටි රාජකීය විද්‍යාලය වෙතය. රාජකීයෙන් අධ්‍යාපනය ලැබූ මංගල උසස් අධ්‍යාපනය සඳහා තෝරාගන්නේ ලන්ඩනයේ පිහිටි ශාන්ත මාර්ටිනස් කලා විද්‍යාලයයි. එවකට බොහොමයක් දේශපාලඥයන්ගේ දරුවන් ලන්ඩනයේ බැරිස්ටර්ලා, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් වීමට සිහින දැක්කද කුඩා කල සිටම කලාව කෙරෙහි තිබූ කැමැත්ත නිසා මංගල තෝරාගත්තේ ඇඳුම් නිර්මාණ ශිල්පයයි. ඒ හරහා ඉහත කී විද්‍යාලයෙන් බී.ඒ. ගෞරව උපාධියත්, ඇඳුම් නිර්මාණ සහ තාක්ෂණය සම්බන්ධයෙන් ගෞරව උපාධියත් ලබාගත් ඔහු තමන්ගේ නම එංගලන්තයේ සනිටුහන් කරන්නට අමතක කළේ නැත. ඒ රෙදිපිළි නිර්මාණ හා ප්‍රදර්ශන පවත්වමිනි.

ඉන්පසුව 1988 දී ලංකාවට පැමිණි මංගල ශ්‍රී ලංකා ජාතික සැලසුම් මධ්‍යස්ථානයේ මෙරට පළමු රුකියාව ආරම්භ කළේය. එසේ රුකියාව කරන අතරතුර ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්වරයෙක් ලෙස කටයුතු කළේය. මංගලගේ සිහින හා අධ්‍යාපනය එකම මාවතක වුවත් ඔහුට පරම්පරාවෙන් උරුම වූ දේශපාලනය මගහරින්නට හැකිවූයේ නැත. තම පියා වූ මහානාම සමරවික්‍රම මහතා 1966 දී අභාවයට  පත්වීමත් සමඟ මංගලට ඒ හිඩැස පිරවීමට සිදුවිය. ඒ වෙනුවෙන් මාතර ජනතාව ඛේමාගෙන් මංගලව ඉල්ලා සිටියහ. එහෙත් එම ඉල්ලීම ඉටුවුණේ ප්‍රමාදවය.

ඒ නිසාම මැතිනියගේ සහ අනුර බණ්ඩාරනායකගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක බවට මංගල පත්විය. එකී මංගල 1989 වසරේ පැවති මහ මැතිවරණයේදී ඛේමාගේ කොලුවා යන විරුදාවලියෙන් සිය මංගල පාර්ලිමේන්තු ආගමනය සිදුකෙළේ මාතර ජනතාවගේ ආශිර්වාදය මැදය. එය ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂය විය. ඒ වනවිටත් රට තුළ මහා තරුණ සංහාරයක් සිදුවෙමින් පැවතිණි. ජවිපෙ අනුගාමී තරුණයෝ පාරක් පාරක් පුරා බෙලි කපා, අත් පා බැඳ සමූල ලෙස ඝාතනය වෙමින් සිටියහ. විශේෂයෙන් මංගල නියෝජනය කළ මාතර එකී භීෂණය උපරිම විය. මෙකී අසාධාරණයට එරෙහිව මංගල සටන් කළේය. ඒ සටනේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතාද එවකට මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය. මව් පෙරමුණ ඔවුන්ගේ වේදිකාව විය.

මංගලගේ ජීවිතේ තීරණාත්මක මොහොත වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක දේශපාලනයට ගෙන ඒමය. එජාපයේ නායකයන් එකදිගට ඝාතනය වීමත් සමඟ එජාපයේ දැවැන්ත කඩා වැටීම හමුවේ ශ්‍රීලනිප ප්‍රමුඛ වාමවාදී කඳවුරේ එකම විකල්පය වූයේ තම ස්වාමියා අහිමිව දේශපාලනයට අත්පොත් තැබූ චන්ද්‍රිකාය. ඒ වෙනුවෙන් චන්ද්‍රිකාට සමීපව දෙපැත්තේ සිටි දෙදෙනාගෙන් එක් අයෙක් වූයේ එස්.බී. දිසානායකය. අනෙකා ඛේමාගේ කොලුවා වූ මංගලය. මේ නිසා දකුණේ මව්වරුන්ගේ සහ තම සමීපතමයන් අහිමිව සිටි දකුණේ පවුල්වල ඡන්දය දිනාගැනීම සඳහා මංගල විශාල මැතිවරණ ව්‍යාපාරයක් රැගෙන ගියේය. එය එක් පැත්තකින් රැඩිකල් විය. අවසානයේ චන්ද්‍රිකා දිනුවාය. තමන්ගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ මංගලත්, එස්.බී.වත් වාඩිකරන්නට චන්ද්‍රිකා මුලසිටම තීරණය කර තිබුණාය. එහෙත් ඊට එම ආණ්ඩුවේ අගමැතිනිය වූ සිරිමාවෝ මැතිනිය කැමැති වූයේ නැත. ඔය අලුතෙන් ආපු කොල්ලන්ට ඇමැතිකම් කරන්න බෑ මැතිනියගේ මතය එය විය. එහෙත් චන්ද්‍රිකා තම මවට පිටුපා මංගලවත් එස්.බී.වත් කැබිනට් මණ්ඩලයේ වාඩිකර ගත්තාය.

1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මංගල තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා විය. ඔහු එම අමාත්‍ය ධුරයේ විශාල පෙරළි රුසක් සිදුකළ අතර වඩාත්ම වැදගත් දේ වූයේ දුරකථන ලබාගැනීම සඳහා එවකට ක්‍රියාත්මක වූ පොරොත්තු ලේඛනය ඉවත් කිරීමය. විශේෂයෙන් පාඩු ලබමින් තිබූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙහිදී පෞද්ගලික අංශයට පැවරුවේ මංගලය. එපමණක් නොව ඔහු නව තාක්ෂණයද විදුලි සංදේශ ක්ෂේත්‍රය සඳහා හඳුන්වා දුන්නේය. මේ අතර චන්ද්‍රිකා බලයට පැමිණීමේදී ප්‍රධාන ප්‍රතිපත්තිය වූයේ උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වෙමින් තිබූ වර්ගවාදී යුද්ධය වෙනුවෙන් තුවක්කුවෙන් තොරව සාමයෙන් පිළිතුරු ලබාදෙන බවය. එය චන්ද්‍රිකාටත් වඩා මංගල ඇතුළු කණ්ඩායමේ ප්‍රධාන අරමුණක් විය. ඒ හේතුවෙන් 1995 දී ආරම්භ කළ සුදු නෙළුම් ව්‍යාපාරය, බලය බෙදීමේ පැකේජය යන මේ සියල්ලේ පියා වූයේ මංගලය.

චන්ද්‍රිකාගේ ආණ්ඩුව දුවන ගල් හතරක් තිබුණා යැයි එවකට සුප්‍රකට කතාවක් විය. ඒ ගෝනගල, ගනේගල, තාඹුගල සහ මංගල යන නම් හතරය.

1994 සිට 2001 දක්වා පැවති ආණ්ඩුවල මංගල විදුලි සංදේශ අමාත්‍යවරයා පමණක් නොව, වරාය සංවර්ධන අමාත්‍ය ධුරය, නාගරික සංවර්ධන අමාත්‍ය ධුරය සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරය ඇතුළු අමාත්‍ය ධුර කිහිපයක් හෙබවීය. නැවතත් 2004-2005 ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමැති ඔහු විය. ඔහු කෙතරම් චන්ද්‍රිකාගේ සමීපයේ සිටියේද යන්නට මේ අමාත්‍ය ධුර හොඳම සහතිකය. කෙසේ වෙතත් එවකට කතාවක් වූයේ මංගල ගිය තැන මාතර මිනිස්සු ඉන්නා බවය. ඒ තරමට මංගල මාතර මිනිස්සුන්ට රුකියා දුන්නේය. විශේෂයෙන් වරාය එහි උඩින්ම විය.

චන්ද්‍රිකා සහ මහින්ද අතර වූ ගැටුමේදී ලොකුම පැනය වූයේ 2005 ජනාධිපතිවරණය සඳහා කවුරුන් පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේද යන්නය. බහුතරයක් මහින්දට එරෙහි වනවිට මංගල සුළුතරය සමඟ සිට ජනාධිපති අපේක්ෂකයා මහින්ද විය යුතු බව චන්ද්‍රිකාට යෝජනා කළේය. අවසානයේ මහින්දට අපේක්ෂකත්වය හිමිවිය. පසුව මංගල ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව බුලත් කොළය ලකුණින් මහින්දව මෙරට 5 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත් කිරීමට කටයුතු කළේය.

එලෙස මහින්ද ජනපති වීමත් සමඟ මංගල එම රජයේ වරාය හා නාවික අමාත්‍යවරයා බවට පත් විය. එහෙත් එය වැඩි කල් දැරුවේ නැත. මංගල සහ අනුර සමඟ මහින්ද ඇතිකරගත් ප්‍රතිපත්තිමය ආරවුලක් නිසා මංගල, අනුර බණ්ඩාරනායක, ශ්‍රීපති මහින්දගෙන් වෙන්ව විපක්ෂයේ අසුන් ගත්හ. ඒ 2007 වසරේය. අවසානයේ මහින්දට එරෙහි ලොකුම ප්‍රහාරකයා වූයේ මංගලය. එසේ විපක්ෂයට ගිය මංගල එකවර එජාපයට එක්වීම වෙනුවට අලුත් කණ්ඩායමක් හදාගත්තේය. ඒ %ම^ පාර්ශ්වයයි. පසුව මංගල එම කණ්ඩායම සමඟ එජාපයේ සාමාජිකත්වය ගනු ලැබුවේ එතෙක් ශ්‍රීලනිපයේ සංවිධායකකම්, භාණ්ඩාගාරික තනතුරු, නියෝජ්‍ය ලේකම් තනතුරු සියල්ලට ආයුබෝවන් කියමිනි.

ඒ සම්බන්ධයෙන් අප පුවත්පත සමඟ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය අතීතය ආවර්ජනය කළේ මෙසේය.

මංගල කියන්නේ මම දැක්ක හොඳම කැම්පේන් මැනේජර්. මගේ මැතිවරණයේ පවා ප්‍රචාර කටයුතු කළේ මංගල. ඔහු ඒ වැඩේට උපරිමයෙන් දක්ෂ කෙනෙක්. මම එහෙම කැම්පේන් මැනේජර් කෙනෙක් දැකලා නෑ. මංගලගෙයි මගෙයි යාළුකම 1984 ඉඳලා තියෙන්නේ. ඒ කාලේ ඉඳලා අපේ පවුල් එකමුතුයි. පසු කලෙක මංගල අපේ දේශපාලන මතවාදයෙන් විරුද්ධ මතවාදයට ගියත් ඔහු පෞද්ගලික මිත්‍රකමට පළුද්දක් කළේ නෑ. ශ්‍රීපතිත් මංගලත් අපෙන් ඉවත්වෙලා ගියාම මම නැවත මංගලට කතාකරලා අමාත්‍ය ධුරය දෙන්න එන්න කිව්වා. ඒත් මංගල ඒක ප්‍රතික්ෂේප කළා. මංගල හැම වෙලාවෙම හරි හෝ වැරදි තමන්ගේ ස්ථාවරයේ හිටිය කෙනෙක්.

එසේ ගිය මංගල මානව හිමිකම් අයිතීන් වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කරන්නට විය. විශේෂයෙන් ඔහු ආණ්ඩුවෙන් වෙන්ව යාමත් ඒ අවස්ථාවේ විපක්ෂයේ පිරිස් ආණ්ඩුවට එක්වීමත් හරහා මංගල ජාත්‍යන්තරයට ගතු කියවන්නකු ලෙස හංවඩු ගැසෙන්නට විය. විශේෂයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට තොරතුරු දෙන්නකු ලෙස ආණ්ඩුවේ දැවැන්ත ප්‍රහාරයට ලක්විය. මංගල බෞද්ධ විරෝධියකු, සංස්කෘතික ශෝධකයකු වශයෙන් ප්‍රහාරවලට ලක්වන්නේ මේ සමයේදීය. කෙසේ වෙතත් මංගල නැවතත් කරළියට එන්නේ 2010 ජනාධිපතිවරණය මොහොතේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙසය. මෙය තව තවත් මංගලව දැඩි විවේචනයට ලක් කෙරුණු අවස්ථාවකි.

තමා බෞද්ධ විරෝධියකු, සමරිසියකු වශයෙන් දේශපාලනිකව විවේචනය වනවිට මංගල ඒවාට නොබියව පිළිතුරු දුන්නේය. ඔහු සමරිසියකු බව ප්‍රසිද්ධියේ පිළිගත්තා පමණක් නොව සමරිසි ප්‍රජාව වෙනුවෙන් නිතර පෙනී සිටියේය. එපමණක් නොව තමන් බෞද්ධ විරෝධියකු නොව තමන් බඩගෝස්තර දේශපාලනය කරන භික්ෂූන් වහන්සේලාට, බෞද්ධකම විකුණන භික්ෂූන්ට විරුද්ධ බව ප්‍රසිද්ධියේ පිළිගත්තේය. ඒ බව මංගල මා හට කීවේ මෙලෙසය.

ඇත්තටම මම සමරිසි කියලා කියන්න බය නෑ. මොකද මගේ අම්මා තාත්තට ප්‍රශ්නයක් නැත්තම්, සහෝදර සහෝදරියන්ට ප්‍රශ්නයක් නැත්තම් මගේ මාතර ජනතාවට ප්‍රශ්නයක් නැත්තම් අනික් අය මොනවා කිව්වත් කමක් නෑ. අනික මම සැබෑ බෞද්ධයෙක්. අපි පොඩි කාලේ ඉඳලා හැදී වැඩුණේ පන්සල්වල. අපේ ගෙවල් බෞද්ධ ගෙවල්. ඔය කියන අයට වඩා මම හොඳ බෞද්ධයෙක්.

මංගල එජාපය සමඟ එකට සිට රාජපක්ෂ ආණ්ඩුව පෙරළීමට නොයෙකුත් කටයුතු කළේය. එහි උපරිමය වන්නේ 2015 ජනවාරි 08 වැනිදාය. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයකු ලෙස යොදාගෙන රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීම පිටුපස මංගල උඩින්ම සිටියේය. එම ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා වූයේ මංගලය. එහෙත් මංගලයේ දෛවය බොහෝ වෙනස් විය. නැවතත් මංගලට කැරකී ජනමාධ්‍ය අමාත්‍යංශය ආවේය. එපමණක් නොව මුදල් අමාත්‍යංශයද ලැබිණි. මංගල මුදල් අමාත්‍යවරයා වී අමතක නොවන වැඩ කිහිපයක් කළේය. එකක් තෙල් මිල සූත්‍රය ගෙන ඒමය. අනෙක ඍජු බදු වැඩිකර වක්‍ර බදු අඩු කිරීමය. මෙය මුදල් අමාත්‍යවරයකු ගත් හොඳම තීරණ කිහිපයක් බව කිව යුතුමය.

ඔහු හැම මොහොතකම උත්සාහ කළේ මානව හිතවාදී චරිතයක් වීමට පමණක් නොව එය ක්‍රියාවෙන් ඔප්පු කිරීමටය. එය මංගලගේ ප්‍රතිපත්තිය විය. විශේෂයෙන් මංගල ඉදිරියේ කළු පැල්ලමක් ඇත්නම් ඒ පක්ෂ දේශපාලනය නිසා මිස තම පෞද්ගලික අරමුණු සඳහා නොවීය. ඉන් හොඳම උදාහරණය වන්නේ මාතර කුරුඳු පොලු ප්‍රහාරයයි. මංගලගේ නම ඉදිරියේ කිසි දවසක බහුතර දේශපාලඥයන්ගේ නම් ඉදිරියේ මෙන් හොර නාමය ගෑවුණේ නැත. මංගල හැමදාම බැටකෑවේ කෙළින් වචන කියන්නට ගොසිනි.

මංගල යහපාලනය බිඳ වැටීමෙන් පසුව තරමක නිශ්ශබ්දව සිට සිය සුපුරුදු දාම් ඇදිල්ල පටන් ගත්තේය. ඒ ප්‍රසිද්ධ %රජුන් තනන්නා^ භූමිකාවට නැවත ඇඳුම් අඳිමිනි. ඒ වෙනුවට මංගල යොදාගත්තේ එජාපයේ බහුතර දෙනාගේ ඉල්ලීම වූ සජිත් ප්‍රේමදාසය. මංගල කාටත් කලින් සජිත් තම වේදිකාවට නංවා ගත්තේය. ඒ මාතරදීය. එය සජිත්ගේ පළමු වෙඩිල්ලය. එය පිටුපස සිටියේද මංගලය. අවසානයේ මංගලට අවශ්‍ය වූයේ කෙසේ හෝ එජාප නායකත්වය සජිත්ට ලබා දී එජාප ආණ්ඩුවක් හදන්නටය. ඒ බව මංගල මා සමඟ කීවේ මෙසේය. 

මම කිසි දවසක හිතුවේ නෑ සජිත් පක්ෂය කඩාගෙන යයි කියලා. අපි ඉල්ලන්නේ හංසයාගෙන්ද අලියාගෙන්ද කියලා ප්‍රශ්නය ආපු වෙලේ මම කළේ අපේ ගෙදර තිබුණු පිරිත වෙලාවේ සජිත්වයි රවීවයි කාමරේකට දාලා ලොක් කළා ඒක. දෙන්නට විසඳගන්න කියලා

එහෙත් එය මංගල සිතූ පරිදි සිදුවුණේ නැත. එජාපයෙන් වෙන්ව සජිත් වෙනම ගමනක් යන්නට එළියට ආවේය. ඒ ගමනට මංගලද එකතු විය. එහෙත් මංගල අවසානයේ තම තීරණය වෙනස් කළේ කිසිදු දිනක නැවත පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බවට පොරොන්දු වෙමිනි. සැමදා රජුන් තැනූ සැමදා බලය වෙනුවෙන් අරගල කළ මංගල එසේ කළේ ඇයිද යන්න මම ඔහු හමුවූ අවස්ථාවේ විමසීමි.

නොමිනේෂන් බාර දුන්නට කොවිඩ් නිසා මැතිවරණය කල් ගියාම ඒ කාලය තුළ මට හොඳට හිතන්න කාලයක් ලැබුණා. මම කල්පනා කළා අවුරුදු 72ක වැරදීමට මමත් එක කොටස්කාරයෙක් නේද කියලා. මගේ හිතට වද දුන්නා. මම මැරෙන්න කලින් මේක නිවැරදි කරන්න මොකක් හරි දෙයක් කරන්න ඕන කියලා හිතුවා. ඒ නිසා මම ඉල්ලා අස්වුණා.

අවසානයේ මංගල තම අරමුණ වෙනුවෙන් අලුත් ආරම්භයක් තරුණ ප්‍රජාව සමඟ එක්ව පටන් ගත්තේය. එය මංගල අර්ථ ගැන්වූයේ සිස්ටම් පුපුරවන වැඩක් යනුවෙනි. මංගල සමඟ කතාකරන්න ලැබුණේද එකී අලුත් ව්‍යාපාරය හේතුවෙනි. මංගල පක්ෂ දේශපාලනය නිසා මඩ ගහගත්තද, මඩ නෑවද සැබවින්ම ඔහු ලිබරල් ප්‍රතිපත්තියේ සිටි අයෙකි. මංගල එය වෙනස් කළේ නැත. මංගලගේ පැටර්න් එක ලිබරල්ය. මංගලගේ ලයිෆ් ස්ටයිල් එක ලිබරල්ය. මංගලගේ දැක්ම ලිබරල්ය. මංගල එය වෙනස් කළේ නැත. එය හොඳ හෝ නරක වුවත් මංගල ඒ වෙනුවෙන් නොබියව පෙනී සිටියේය. සටන් කළේය. අවසානයේ කොවිඩ් මාරයා විසින් මංගලව රැගෙන යන තෙක්ම ඔහු සිටියේ එකී සටනේය. එනිසා මංගල ප්‍රතිපත්තියේ සිටි අයෙකි.

මම ඉන්ටවිව් එක ඉවරවෙලා යන්න නැගිට්ටා. මංගල කිව්වා මම පොතක් ලියනවා සැබෑ බෞද්ධයකුගේ විලාපය කියලා. මට හිනා ගියා. මම ගත්කටටම ඇහුවේ ඒ පාර හාමුදුරුවන්ට බණ කියන්නද? තවත් ලෙඩක් දාගන්න යන්නේ නේද? මංගල හිනාවෙලා කිව්වා තවම පොතේ අඩුපාඩු හදනවා. සැප්තැම්බර් එළියට දානවා. දෙන්නම් පොතක්. ඒකටත් ඉන්ටවිව් එකක් කරමු.

අගොස්තු 01 වැනිදා ඉන්ටවිව් එක දේශය පත්තරේ පළවුණාම අපේ කර්තෘතුමා කතා කරලා කිව්වා මංගල මට මැසේජ් එකක් එවලා කියලා. මම ඇහුවා බැනලද කියලා? ඔබතුමාගේ පුවත්පතේ මා වෙනුවෙන් ඉඩක් ලබාදීම ගැන ස්තූතියි එදා මංගල එහෙමයි කතාව ඉවර කළේ. ඒත් අද ඒ වචන ටික ඒ විදිහටම කියලා කතාව ඉවර කරන්න පුළුවන් තැනක මංගල නෑ... ඒ හින්දා මාත් කතාව ඉවර කරන්නම් මංගල ගැන.

එහෙනම් මංගල සුබ රාත්‍රියක්!

අගමැතිගෙන් උදව්

මංගල රෝහල් ගතකළ බව දැනගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මංගල සමඟ සම්බන්ධ වීමට උත්සහ කළේය. එහෙත් ඊට කලින් මංගලගේ වැඩිමල් සහෝදරිය අග්‍රාමාත්‍යවරයා ඇමතුවේය. 

ඒ පහසුකමක් සහිත රෝහලක් සොයාදෙන ලෙස දන්වාය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ලංකා පෞද්ගලික රෝහල සූදානම් කර දුන්නේය. එසේ සොයා දී අගමැතිවරයා මංගලට ඇමතුමක් දී සැපදුක විමසුවේය. 

එහෙත් නැවතත් දින කීපයකට පසුව මංගලගේ සහෝදරිය කතාකළේ කෝවිඩ් රෝගීන් වෙනුවෙන් අවසන් වරට ලබාදෙන ටොසිලිමැබ් ඖෂධය සොයාදෙන ලෙස ඉල්ලීමක් කිරීමටය. අග්‍රාමාත්‍යවරයා සියලු ස්ථාන වෙත ඇමතුම් ලබාදුන්නේය. රජයේ රෝහල් වෙත ලබාදුන් ඖෂධ සියල්ල අවසන් වී තිබුණේය. ඊටපසුව එම ඖෂධය ගෙන්වන ප්‍රධාන ආයතනය හරහාත් විමසුවේය. එහි තිබුණේද නැත. මලික් සමරවික්‍රම මහතාත් මංගලගේ නැගණියත් මේ ගැන මහින්ද සමඟ කතා කළේය. අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා ඇමතුම ලබාදුන්නේ නවලෝක රෝහලේ අධිපති ජයන්ත ධර්මදාසටය. එහෙත් තමන් වෙනුවෙන් තබාගත් එන්නත් කුප්පියද ඔහු හිතවතකුට දී තිබුණේය. පසුව නැවතත් සොයා බලනවිට අනාවරණය වුණේ එම ඖෂධය මීගමුව රෝහලේ පමණක් ඇති බවයි. පසුව ඉක්මනින් අග්‍රාමාත්‍යවරයා එය මංගල වෙත ගෙන්වා දුන්නේය. මංගල එය ලබාගෙන නැවත සුව අතට හැරෙමින් සිටියේය. අග්‍රාමාත්‍යවරයා දෙවැනි වතාවටද මංගල අමතා තොරතුරු විමසීය. ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතාද සජිත් ප්‍රේමදාස මහතාද නිතර ඇමතුම් ලබාදී මංගලගෙන් තොරතුරු විමසා සිටියේය. මංගල 24 වැනිදා තෙක් ඉතා හොඳින් සිටි බව ඔහුගේ සමීපතමයෝ පවසති.

 ගයාන් ගාල්ලගේ

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, ප.ව. 05:16
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00