2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

අංගම්පොර දොස්තර

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 920

වේයන්ගොඩ කොට්ටුන්න ප‍්‍රදේශයේ ගහකොළ පිරුණු ඉතාම මනස්කාන්ත පරිසරයක වැලි පිටියක් සකසලා තියෙනවා. මේ වැලි පිටියේ මැදට වෙන්න උඩුකය නිරුවත් කඩවසම් තරුණ හාදයෝ දෙන්නෙක් මුහුණට මුහුණ බලාගෙන ඉන්නවා. මේ වැලිපිටියේ කොනකට වෙන්න යක් බෙරයක් එහෙම නැත්නම් පහතරට බෙරයක් තව විදියකට කියනවනම් දෙවොල් බෙරයක් තවත් තරුණ කෙනෙක් වයනවා. ඒ බෙර වාදනයට පා තබමින් වැලි පිටිය මැද ඉන්න කඩවසම් තරුණයන් දෙදෙනා අමුතු අමුතු ගුස්ති අල්ලනවා. මුහුණ පුරා රැවුල වැවූ හින්දි සිනමාපටවල දකින්න ලැබෙන නළුවෙක් වගේ තරුණයෙක් මේ වැලිපිටියේ අංගම්පොර පුහුණුවේ යෙදෙමින් ඉන්නවා. කායවර්ධන ශිල්පියෙක්, සටන් ශිල්පියෙක්, නළුවෙක් වගේ පෙනුනත් ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. නමින් ඔහු වෛද්‍ය පණ්ඩුල බස්නායක.

වෛද්‍ය පණ්ඩුල බස්නායකට වරක් අත්‍යාවශ්‍ය කටයුත්තකට මුල්ලේරියාව රෝහලට එන්න ලැබෙනවා. මුල්ලේරියා සටන ගැන ඔහුට එදා දැනගන්න ලැබිලා කුණඩලිනී ශක්තිය කියන මානසික ශක්තිය නිවැරදිව අවදි කරගෙන ඒ ශක්තිය තව කෙනෙක්ට ආරෝපණය කරලා තියෙන විදිය හොඳින් දැකගන්න පුළුවන් වෙන්නේ මුල්ලේරියා වෙළේ සටනේදී බව සොයාගන්නවා. මුල්ලේරියා සටනේදී දොඩම්පේ ගණිතයා පෘතුගීසීන් එන විදිය කුණ්ඩලිනී ශක්තිය අවදිකර ගැනීමෙන් බලලා ඊට පස්සේ පෘතුගීසීන්ට පහර දෙන විදිය තීරණය කරලා තියෙනවා. කුණ්ඩලීනී ශක්තියේ බලයෙන් තමන් මැරෙන විදිය වුණත් දැකගන්න පුළුවන්... ඒත් එහෙම දැනගත්තත් ඒක වළක්වන එක කැප නැහැ. අංගම්පොර ශාස්ත‍්‍රය පුහුණුවන අයගේ ඒ වගේ විනයක් තියෙන්නේ. 

මුල්ලේරියා සටනේදී අංගම්පොරකරුවන් විසින් තුන් පැත්තකින් පෘතුගීසීන්ව වටකරලා පහර දීලා තියෙනවා. පාරා වළලු, සක්කාරම් වළලු, ගිනිවිදීම් වැනි උපක‍්‍රම භාවිත කරලා තියෙන  නිසා පෘතුගීසීන් 1600ක් මිය යද්දී හෙළයින් 300ක් විතරයි ජීවිතයෙන් සමුගෙන තියෙන්නේ. මුල්ලේරියා සටන සිද්ධවුණු වෙලාවේ රජතුමාගේ අශ්වයාගේ බඳ යටින් ගිහිල්ලා සතුරු සේනාවේ සෙබළුන් ඝාතනය කරන්න වගේම කකුලේ මහපට ඇඟිල්ලේ කඩුව සිරකරගෙන උඩු කරණමක් ගහලා සතුරාගේ ගෙල සිඳලන්න තරම් දක්ෂ අංගම්පොර ශිල්පීන් ඉඳලා තියෙනවා. ඒ හේතුව නිසා 1562 අගෝස්තු 23 වැනිදා සටන ජයග‍්‍රහණය කළාට පස්සේ රජතුමා අංගම්පොර පරම්පරාවන්ට ගම්වර සන්නස් මගින් පිරිනමලා තියෙනවා. 

1818 කැරුල්ලෙන් පස්සේ අංගම්පොර සටන්කරුවන්ට ගොඩාක් දුක් ගැහට විඳින්න සිදුවෙලා තියෙනවා. 1818 කැරුල්ලෙන් පස්සේ අංගම්පොර සටන් කරුවන් මුරුසි දිවයිනට පිටුවහල් කරලා එහේදී වසදීලා ඔවුන් ඝාතනය කරලා තියෙනවා. අපේ රටේ ඉතුරුවුණු අංගම්පොර සටන්කරුවන්ට දණ හිසෙන් පහළට වෙඩි තියලා ඝාතනය කරන්න නියෝග කරලා තියෙනවා. ඒ විතරක් නොවෙයි ඊටපස්සේ සුදු ජාතිකයන්ට අංගම්පොර සටන් කරුවන්ගේ පරම්පාරාවන්හි කවුරුන් හෝ ජීවත්වෙලා ඉන්නවද කියලා දැනගන්න අවශ්‍ය නිසා වයස අවුරුදු 16ට වැඩි තරුණයන් හැමෝම උඩුකය නිරුවත්ව සිටිය යුතුයි කියල නීතියක් පැනෙව්වා. එහෙම කරලා අංගම්පොර සටන් කරුවන් අඳුනගෙන ඔවුන්ගේ අංග ඡේදනය කරලා පුරුෂභාවය නැති කිරීමට කටයුතු කරලා තියෙනවා. සුදු ජාතිකයන් එහෙම කළේ අංගම්පොර සටන් කරුවන්ගේ පරම්පරාවන් විනාශ කරලා දාන්න. ජෝන් ඩොයිලිගේ මාර්ගයෙන් අංගම්පොර පරම්පරාවන් ගැන හැම විස්තරයක්ම හොයාගත්ත බි‍්‍රතාන්‍ය ජාතිකයන් වෙල්ලස්ස කැරුල්ල ජයග‍්‍රහණය කරවීමට විශාල සහායක් දුන් සුදලිය පරම්පරාව, මරුවල්ලිය පරම්පරාවල් ගැන හැම විස්තරයක්ම හොයාගෙන ඒ පරම්පරාවල අයව කුරුඳු තලන්න යන්න  ඕන කියලා නීතියක් ගෙනල්ලා තියෙනවා. එහෙම කරලා අංගම්පොර සටන්කරුවන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අංගම්පොර සටන් කලාව ආරක්ෂා කරගන්න සටන් කලාවෙ මූලික ලක්ෂණ නර්ථනයන්ට එකතු කරන්නේ ඒ නිසා.

අංගම්පොර සටන්කලාව ආත්මාරක්ෂාව වෙනුවෙන් හදාරණ සටන් නොවන නිසා අංගම්පොර ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කිරීමට පෙරාතුව තම රට ජාතිය බේරා ගන්නවා කියලා ප‍්‍රතිඥාවක් දුන් ඔහු තම ගුරුතුමා සෙනෙවිරත්න රණවීර ගුරුතුමා ළඟට අවුරුදු හතරක විතර ඉඳලා අංගම්පොර සටන් ශිල්පය හදාරන්න හැම ඉරිදාවකම වේයන්ගොඩ එනවා.

වෛද්‍ය පණ්ඩුල, අම්මා තාත්තා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරිය සහ බාල සහෝදරිය නුවර පදිංචිකරුවන් වුණාට ඔවුන්ගේ ගම රඹුක්කන පදවිගම්පොළ. ඔහුගේ සීයා ඒ ගමේ හිටිය පාරම්පරික වෙද මහත්තයෙක්. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරලා තියෙන වෛද්‍ය පණ්ඩුලගේ මව බැංකුවක සේවය කරලා තියෙන අතර පියා විදුලිබල මණ්ඩලයේ වැඩකළ නිසාම පාසල් කාලය තුළ ඔහුට වැඩිපුර අවධානය යොමු කරන්න වෙලා තියෙන්නේ අධ්‍යාපන කටයුතුවලට. තම මවගේ සිහිනයක් නිසාම වෛද්‍යවරයෙක් වුණු වෛද්‍ය පණ්ඩුල බස්නායකයන් පාසල් යන කාලයේ ක‍්‍රීඩාවල නිරත නොවුණත් පේරාදෙණිය වෛද්‍ය පීඨයේදී එක තරුණියකට තම සිතෙහි ඇති ආදරය ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒත් තමන් එකල බෙහෙවින් කෙට්ටු අයෙක් වූ නිසාද කොහේද ඒ යුවතිය තම අදහස ප‍්‍රතික්ෂේප කළ නිසාම ඔහු 2001 වසරේදී කායවර්ධන ශිල්පය හදාරන්න පටන් ගෙන තියෙනවා. කායවර්ධන ශිල්පය හදාරන ගමන් ඔහු ටයිකොන්ඩෝ පුහුණුවෙන්න පටන් ගත්තා. ටයිකොන්ඩෝ බ්ලැක් බෙල්ට් වෙනකම් හදාරා තියෙන වෛද්‍ය පණ්ඩුල නියෝජනය කළ කණ්ඩායම ජාතික මට්ටම නියෝජනය කරලා ගෝල්ඩ් මෙඩ්ල් එක හිමිකරගෙන තියෙනවා. සීමාවාසික පුහුණුවට කෑගල්ල ප‍්‍රදේශයට යොමුකරන ඔහු යුද්ධ කාලයේ වුවනියාවේ අවතැන් වූ අයව බලාගන්න වවුනියා රෝහලට මාරුකොට තියෙනවා. 

ඔහුට පළවෙනි පත්වීම පොළොන්නරුවට ලැබී ඇති අතර එයින් අනතුරුව නැවත කාලයක් පුරා නවතා දමා තිබූ කායවර්ධන ශිල්පය ප‍්‍රගුණ කරන්න පටන්ගෙන තියෙනවා. 2011 වර්ෂයේදී ආධුනික කායවර්ධන ශිල්පියා ලෙසින් කිරුළු පළදින ඔහු 2013දී මිස්ටර් කැන්ඩි ලෙසිනුත්, 2017 වසරේදී ජාතික ශූරතාවේ කායවර්ධන ශිල්පියා ලෙසිනුත් අභිෂේක ලබා තියෙනවා. ඒ වගෙම ඔහු එක දිගට අවුරුදු පහක්ම කිලෝග‍්‍රෑම 85 බර පන්තියේ ගෝල්ඩ් මෙඩ්ල් එක තමන්ගේ නමට වෙන් කර තියා ගන්න සමත්කම් දක්වලා තියෙනවා. අදටත් ඔහු සෑම දිනකම පැය හතරක් පහක් අනිවාර්ෙයන්ම පුහුණුවීම් වල නිරත වෙන අතර ඔහු දැනට ගම්පොළ ලේ බැංකුවට අනුයුක්තව වෛද්‍යවරයෙක් විදියට සේවය කරනවා. මහනුවර අක්ෂී රෝහලට අනුයුක්තව සේවය කරද්දී හරි අපූරු සිදුවීම්වලට ඔහුට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මහනුවර අක්ෂි ඒකකයේ සේවය කරද්දී එදා ප‍්‍රතික්ෂේප වුණු ඔහුව හොයාගෙන දෑස් පෙනෙන් යුවතියන් පවා සමහර වෙලාවට පැමිණ තියෙන බව ඔහුගේ කතාබහෙන් අපිට දැනගන්න ලැබුණා.

වෛද්‍ය පණ්ඩුල බස්නායකගේ හැඩිදැඩි සිරුර නිසා ඔහුට තමන් වෛද්‍යවරයෙක් කියලා ආරක්ෂක අංශයට කොච්චර පැහැදිලි කළත් ඔහුව දකින සමහර අය ඔහු වෛද්‍යවරයෙක් කියලා හිතන්නෙ නැහැ... ඔහුට ඒ වෙලාවට රෝහලට ඇතුළුවෙන්න ඔහුගේ රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කරන්න පවා සිදුවෙලා තියෙනවා.. ඒ වගේම තමයි සමහර ආච්චි අම්මලා ඔහු වෛද්‍යවරයෙක් නෙවෙයි කියලා හිතලා ඔහුගෙ ළඟට පරීක්ෂා කරන්න යොමුකළත් බයවෙලා වගේ ඉන්නේ. ඔහු අනිත් වෛද්‍යවරු වගේ නොවන නිසා එහෙම වෙනවා ඇති කියලා තමන් හිතනවා කියලා ඔහු කියනවා

බත් කෑවම බඩ එනවා කියලා අපේ රටේ මිනිස්සු මිථ්‍යා මතයක ඉන්න බව කියන වෛද්‍ය පණ්ඩුල තමන් දවසට පස්වතාවක් බත් ආහාරයට ගන්න බව පවසනවා. කාය වර්ධය ගැන බොහෝ අය ශරීරයට අහිතකර විවිධාකාර ප්‍රෝටීන් වර්ග ගත්තට තමන් ඒවා කිසිදු විටෙක නොගන්නා බව පවසන වෛද්‍ය පණ්ඩුල බත් නොකන එක අපේ ජාතියේ පරිහාණියට හේතුවක් කියන මතය දරණවා.

වෛද්‍යවරයෙක් නිසා තහනම් උත්තේජන ගෙන සිරුර පවත්වාගෙන යන බව සමහර අය හිතන බව කියන වෛද්‍ය පණ්ඩුල තමා වෛද්‍යවරයෙක් නිසා ඒ විදියට සිරුරක් පවත්වාගෙන යා හැකිනම් කායවර්ධන තරගවලට වෛද්‍යවරු පමණක් ඉදිරිපත්විය යුතුයි නේද අදහස දරන කෙනෙක්. අපේ රටේ පැරන්නන් භාවිත කළ ආහාර වට්ටෝරු අපේ මතු පරම්පරාව සඳහා යොමු කරන්නේ නම් අපේ රටේ හැමදෙනාගේම නීරෝගීකම රුකගන්න හැකියාව ලැබෙනවා කියන අදහස දරන වෛද්‍ය පණ්ඩුල වෙළෙඳපොළෙහි ඇති වස විස සහිත කෑම වර්ග දරුවන්ට නොදිය යුතුයි පවසනවා. ඒ විතරක් නොව ඔහු දේශීය ආහාර පාන වර්ග විතරක් ආහාරය ගන්නා ගමන් වැඩි කාලයක් ව්‍යායාමවල නිරත වෙමින් තමන්ගේ සිරිර මනා ආකාරයට පවත්වාගෙන යන අයෙක්ද වෙනවා.

 චන්දන වරාවිට

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, ප.ව. 05:16
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00