2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

බෙල්බොටම් එක්ක ඉන්දිරා ගාන්ධි යළි උපදියි

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 45

ඉන්දියාවේ දිල්ලි නගරයේ මීට අවුරුදු කිහිපයකට කලින් වුණු සිදුවීමක් ගැනයි අද මේ කියන්න හදන්නේ. මේ කියන කාලයේ ඉන්දියාවේ අගමැතිනිය විදියට ක‍්‍රියා කළේ ඉන්දියාවේ නිදහසෙන් පසු පත්වුණු තුන්වැනි අගමැතිවරිය වන ඉන්දිරා ගාන්ධි ඇය ඉන්දියාවේ ප‍්‍රථම අගමැතිනිය සහ ඉන්දියාවේ තුන්වැනි අගමැතිය.

ඉන්දියාව කියන්නේ රටක් නෙවෙයි සිතුවිල්ලක්. මේන්න මේ සිතුවිල්ල පරාජය කරන්න ඉන්දියාවට එරෙහි සතුරන් ලොව පුරා එකමුතුව ඉන්නවා. අවුරුද්ද හරියටම කියනවනම් 1984. ඉන්දියාවට එරෙහි ඉන්දියාවේම ජීවත්වන සහ වෙනත් රටවල ජීවත්වන ජාතීවාදී කල්ලියක් විසින් ඉන්දියානු රජයට අයත් විශාල ගුවන් යානයක් පැහැර ගන්නවා. ඒ ගැන අගමැතිනිය ඉන්දිරා ගාන්ධිව ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් දැනුවත් කරමින් ඉන්නවා.
අගමැතිනිය - කවුද ඒ ගොල්ලෝ.?

මේක අවුරුදු හතක් ඇතුළත සිදුවුණු හත්වැනි ගුවන්යානා පැහැර ගැනීම. එයාලව නතර කරන්න කොහොමද පුළුවන්?
නිලධාරියෙක් - මේ ගැන හැම තොරතුරක්ම දෙන්න පුළුවන් එක මනුස්සයෙක් ඉන්නවා.
අගමැතිනිය - මොකක්ද එයාගේ නම.? හොඳයි මට තේරුම් ගන්න පුළුවන් ඔයගොල්ලෝ නම නොකියන හේතුව. මොකක්ද එයාගේ කෝඩ් නේම් එක.?
නිලධාරියා - බෙල්බොටම්.

ඔහු විවාහක, හොඳ මතකයක් තියෙන, චෙස්වලින් ඉහළින්ම සිටින ක‍්‍රීඩකයෙක්....ගීත උගන්වනවා. ඉංග‍්‍රීසී, හින්දී. ජර්මන්, ප‍්‍රංශ ලියන්න කියවන්න කතා කරන්න පුළුවන්.
ඒ නිලධාරියා බෙල්බොටම් ගැන කියන පැහැදිලි කිරීම් අහලා අගමැතිනිය ඔහුව ඒ මෙහෙයුම සඳහා තෝරාගන්නවා. බෙල්බොටම් අගමැතිනිය ඇතුළු ආරක්ෂක නිලධාරීන් සහ රජයේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකු සමඟින් කතාබහක නිරතවෙමින් ඉන්නවා.

බෙල්බොටම් - මෑම් ඒ ගුවන් යානය පාකිස්තාන නිලධාරීන්ගේ උදව් ඇතිවයි  පැහැරගෙන තියෙන්නේ.
අගමැතිනිය - ගුවන් යානව බේරාගැනීමේ  මෙහෙයුමට සූදානම් වෙන්න.

බෙල්බොටම් - මැඩම් ඒ ගොල්ලන්ට දැන් ඩුබායි අබුඩාබී මස්කට් කියන නගර තුනට විතරයි ගුවන් යානව අරගෙන යන්න පුළුවන්. අද වෙනකම් කරලා නොපෙන්නුව දෙයක් කරලා පෙන්වන්න අපිට අවස්ථාව තියෙනවා.
මෙහෙයුම ආරම්භ වෙනවා. යුරෝපීය ඇඳුමකින් සැරසුණු බෙල්බොටම් සාරියකින් සැරසුණු හැඩකාරියක් එක්ක කතා බහ කරමින් ඉන්නවා.
බෙල්බොටම් - මම වැඩකට නගරයෙන් පිටතට යනවා.

බිරිඳ - කොහේද.?
බෙල්බොටම් - කෝචී වලට.
බිරිඳ - බොරු නොකියා ඇත්ත කියන්න.
බෙල්බොටම් - මම ඔයාට බොරු කියන්න දක්ෂයෙක් වෙලා.
බිරිඳ - අයි ලව් යූ.

බෙල්බොටම් තම සැලසුම හදලා තමන්ගේ කණ්ඩායමත් එක්ක ගුවන් යානය පැහරගත් හතර දෙනාව ඩුබායිවලදි අත් අඩංගුවට ගන්න හදනවා. ඉන්දියාවේ අගමැතිනිය එක්ක එකට වැඩ කරන දේශපාලකයන් කිහිප දෙනෙක් මේ ගුවන් යානය පැහරගන්න පාකිස්තානයට සහාය දක්වලා තියෙන බව බෙල්බොටම් හොයා ගන්නවා විතරක් නෙවෙයි ඔහු තම කණ්ඩායම සමඟින් ඒ මෙහෙයුමට සහභාගී වෙනවා. රටවල් දෙකක් අතර ගැටුමක් බවට දේශපාලනයේ තම ස්ථානය වෙනුවෙන් එසේත් නොමැතිනම් පුටු වෙනුවෙන් බලය ලබා ගැනීමට සිදු කරන ක‍්‍රියාවලියකට එරෙහිව සිදු කෙරෙන මේ මෙහෙයුම සහ මේ කතාව හරියටම දැන ගන්න තව වැඩි කාලයක් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. 

2021 අගෝස්තු 19 වැනිදා තිරගතවෙන බෙල්බොටම් සිනමාපටය රන්ජිත් එම් තිවාරි විසින් අධ්‍යක්ෂණය කර තියෙන අතර මේ සිනමාපටයේ කතාව ලියන්නේ අසීම් අරෝරා සහ ප‍්‍රවේශ් ශෙයික් විසිනුයි. වාශු භග්නානී, ජැකී භග්නානී, දීපශිකා දේශ්මුඛ්, මොනීශා අද්වානී, මධූ බෝයිවානී, සහ නික්ඛිල් අද්වානී විසින් මේ සිනමාපටය නිෂ්පාදනය කොට තියෙනවා. බෙල්බොටම් කියන සිනමාපටය 1980 දශකයේ ඉන්දියානු ගුවන් සේවයට අයත් 423, 405 සහ 421 කියන ගුවන් යානා ඛාලිස්තාන් බෙදුම්වාදීන් විසින් සිදු කළ පැහැර ගැනීම අනුසාරයෙන් සකසා තියෙන සිනමාපටයක්.2020 අගෝස්තු 20 වැනි දින මෙම සිනමාපටයට අදාළ ඡායාරූපකරණය සිදුකොට ඇති අතර සැප්තම්බර් 30 වැනි දින ලන්ඩන්වලදී මෙම සිනමාපටයේ රෑගත කිරීම් අවසන් කොට තියෙනවා.2021 අගෝස්තු 19 වැනිදින ත‍්‍රිමාණ සිනමාපටයක් ආකාරයෙන් සිනමාහල්වල තිරගත කෙරෙනවා. බෙල් බොටම් හින්දී සිනමාපටයේ තියෙන සුන්දර ගී පදයන්ට පණ දෙන්න ඒවා ඩැනියෙල් බී ජෝර්ජ් විසින් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙනවා.ඒ ගී පද වලට පණ දෙන්න තමන්ගේ මන බඳින හඬ මුසු කරලා තියෙන්නේ අමාල් මලික්, තනිෂ් බාග්චි, ශතනු දත්තා, කුල්වන්ත් සිං භර්මා, ගුර්නසාර් සිං, සහ මනින්දර් බත්තර් විසිනුයි. මෙම ගීත ගී පද රචනා කරලා තියෙන්නේ රෂ්මි විරාජ්, ශෙයික් බාග්චි, බබ්බුමාන්, සීමා සයිනි සහ ගුර්නසාර් සිං විසිනුයි.

බෙල්බොටම් සිනමාටයෙහි රහස් ඔත්තු සේවා නිලධාරියෙක් විදියට සේවය කරන බෙල්බොටම් කවුද කියලා කියන්නයි මේ සූදානම. ඔබ බොලිවුඩ් සිනමාව ප‍්‍රිය කරන අයෙක් නම් 
අනිවාර් යෙන්ම ඔහු ගැන දැන නොසිටින්න විදියක් නැහැ. අවුරුද්දක් ඇතුළත සිනමාපට පහක් හයක් පමණ ඔහු විසින් නිම කිරීම ඔහුගේ විශේෂත්වයක්. ඒ වගේම ආරම්භයේදී සිනමාපට හය හතක්ම එක දිගටම අසාර්ථක වෙනවා. ඒ වගේම  ඔහුමයි ඔහු සිනමාපටයක් නිමා කිරීමට දවස් හතළිහක් වගේ කාලයක් තමයි වෙන් කරන්නේ.

ඔබත් බොලිවුඩ් සිනමාපටයන්ට ප‍්‍රිය කරන කෙනෙක් මොහු කව්ද කියන එක ඔබට මතක් නොවී තියෙන්න විදියක් නැහැ.1967 සැප්තම්බර් 09 වැනිදා ඉන්දියාවේ පංජාබයේ  අම්රිත්සර්වල රාජීව් හරි භාටියා නමින් ඉපැදුණු ඔහු මේ වෙනකොට නළුවෙක්, සිනමාපට නිෂ්පාදකයෙක්, වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්ද වෙනවා. 1991 සිට හින්දි සිනමා කර්මාන්තයේ වෘත්තියේ නියැළෙන ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක් ද වෙනවා. නැෂනල් ෆිල්ම් අවෝර්ඩ්හි හොඳම නළුවාට හිමි සම්මානය කිහිප වරක් හිමිකරගෙන සිටින ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල දෙකකදි සම්මානයට පාත‍්‍රව තියෙනවා.

හරි  ඕම් භාටියා ඔහුගේ පියා වන අතර අරුනා භාටියා ඔහුගේ මවයි. ඔහුගේ මාමණ්ඩිය ජනප‍්‍රිය නළුවෙක් වුණු රාජේශ් ඛන්නා වන අතර ඔහුගේ නැන්දනිය ජනප‍්‍රිය නිළි ඩිම්පල් කපාඩියා. ඔහුගේ බිරිඳ ජනප‍්‍රිය නිළියක් වුණු ට්වින්කල් ඛන්නා වන අතර මේ සිනමාපටයේ බෙල්බොටම්ගේ චරිතයට පණ පොවන්නේ ආක්ෂය කුමාර් විසිනුයි.

දැන් ඔබට කියන්න හදන්නේ බෙල්බොටම් කියන රහස් ඔත්තු සේවා නියෝජිතයා එක්ක ජීවිතය බෙදාහදා ගන්න ඔහුගේ බිරිඳගේ චරිතයට පණ පොවන සුරෑපි ඇය ගැනයි. ප‍්‍රථම වරට යාශ් රාජ් සිනමාපට නිෂ්පාදන ආයතනය විසින් නිෂ්පාදන කරනු නොලබන සිනමාපටයක ඇය රංගනයෙන් දායක වෙන්නේ මෙම සිනමා පටයටයි.

ඩිම්පි කපූර් ඇයගේ මව වන අතර ශිව් කපූර් කියන්නේ ඇයගේ පියාගේ නමයි. ඇය හින්දී සිනමාපටයන්ට අමතරව දමිළ සිනමාපට වලිනුත් ඔබ දැක තියෙනවා. ඇය නමින් වාණී කපූර්.
දැන් ඔබට කියන්න හදන්නේ බෙල්බොටම් හට මෙහෙයුම්වලදී විශේෂ සහායක් ලැබෙන හැඩකාරියක් ගැනයි. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල ඇතුළු සිනමා උළෙලවලදී නැගි එන සිනමා නිළිය සඳහා සම්මානයටද පාත්‍රව තියෙන ඇය හියුමා ඛුරේශී. ඇයත් බෙල්බොටම් සිනමාපටයෙහි ප‍්‍රධාන චරිතයකට පණපොවනවා.

දැන් ඔබට කියන්න හදන්නේ ඉතාම සුවිශේෂී චරිතයකට පණ පොවන ඇය ගැනයි. ඉන්දිරා ගාන්ධිගේ චරිතයට පණ පවනුයේ මෙන්න මේ සිනමාපටයන්හි විවිධ චරිතයන්ට පණ පෙවූ ඔබ ආදරය කරන හැඩකාරියයි.
1978 අප්‍රේල් 16 වැනිදා ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්හි ඝාසියාබාද්වල උපත ලබා සිටින ඇය මුම්බායි විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා තියෙනවා. නිරෑපිකාවක්, නිළියක් සහ ව්‍යවාසායිකාවක් වශයෙන් වෘත්තියෙහි නියැලෙන ඇය 1995 වසරේ සිට හින්දී සිනමවේ වෘත්තියෙහි නියැලෙන හැඩකාරියක්. 2000 වසරෙහිදී මිස් යුනිවර්ස් ලෙසින් කිරුළ දිනාගත් ඇය එක්දරු මවක්ද වෙනවා. ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සම්මාන උළෙලවලදී තමන්ගේ නමට සම්මාන වෙන්කරගන්න සමත්කම් දැක්වූ මේ හැඩකාරිය ඔබ දැක නොතිබෙන්න විදියක් නැහැ.

ඉන්දියාවෙහි තුන්වැනි අගමැති තනතුර හෙබවූ ඉන්දිරා ගාන්ධිගේ චරිතයට පණ පොවන්නෙ ලාරා දත්තා විසිනුයි. මේ සිනමාපටයෙහි ලාරා මේකප්වලින් කොච්චර වෙනස් කරලා තියෙනවද කියනවා නම් ඔබට ඇයව අඳුනාගන්න පහසුවෙන එකක් නැහැ.ඊට අමතරව ඇය තමන්ට පණ පොවන්න ලැබුණු චරිතයට මනා සාධාරණයක් සිදුකොට තියෙනවා කියලා විචාරකයන් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වා තියෙනවා.

 චන්දන වරාවිට