2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

ලොව වැඩිම වැටුප් ලබන රාජ්‍ය නායකයෝ

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 557

බොහෝ ලෝක නායකයින්ගේ වාර්ෂික වැටුප සාමාන්‍ය පුරවැසියෙකුගේ වැටුප මෙන් සිය ගුණයකින් පමණ වැඩිය. සමස්තයක් වශයෙන් බොහෝ රටවල රාජ්‍ය නායකයන්ගේ නිලකාලය වසර 4ක් හෝ 8කි. නැතිනම් 10කි. ඇතැම් රටවල ජීවිත කාලය පුරාම නායකත්වය දරන පිරිසක්ද සිටිති. දේශපාලනය වැදගත් වෘත්තියක් හා සේවාවක් වුවද බොහෝ රටවල දේශපාලකයෝ එහි වෘත්තීය ගරුත්වයට නිගා දෙන අයුරින් රටේ ධනය කොල්ල කති. විශේෂයෙන් තුන්වන ලෝකයේ ඇතැම් රාජ්‍ය නායකයින්ගේ වැටුප එරට ඒක පුද්ගල ආදායම මෙන් දසගුණයකටත් වඩා වැඩිය. ඇතැම් රටවල රාජ්‍ය නායකයෝ තම රටේ පුරවැසියන්ගේ අභිවෘධිය සලසමින් තම සේවය සඳහා සාධාරණ වැටුපක් ලබා ගනිති.

24/7 වෝල් ස්ට්‍රීට් වෙබ් අඩවියේ පළවූ වාර්තාවකට අනුව ලොව රාජ්‍ය නායකයන් අතර වැඩිම වාර්ෂික වැටුප ලබන ලෝක නායකයින්ගෙන් වැඩි පිරිසක් අරාබි රටවල රජුන්, සුල්තාන්වරුන් සහ කුමාරවරුන්ය.. ඇතැම්  රාජ්‍ය නායකයන් තම සේවය ගරු සේවයක් ලෙස සලකන අතර කිසිදු වැටුපක් ලබා නොගනී.

ලොව වැඩිම වාර්ෂික වැටුප ලබන්නේ සවුදි අරාබි රජතුමාවන සල්මාන් බින් අබ්දුලාසිස් අල් සෞද්ය. ඔහුගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් බිලියන 9.60කි. සල්මාන් අබ්දුලාසීස් රජුගේ 25 වන පුත්‍රයා වන ඔහු 1963 සිට 2011 දක්වා වසර 48 ක් රියාද්හි නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා විය. රියාද්හි ආණ්ඩුකාරවරයා ලෙසද පසුව ආරක්ෂක ඇමතිවරයා ලෙසද ඔහු කටයුතු කළේය.. 2012 දී සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ලෙස නම් කරන ලදී. 2015 දී ඔහුගේ අර්ධ සහෝදරයා වූ අබ්දුල්ලා රජුගේ අභාවයෙන් පසු සල්මාන් රජ විය. 

ලොව අවම වැටුප ලබන රාජ්‍ය නායකයා  කියුබානු ජනාධිපතිවරයා වන මිගුවෙල් ඩියාස් කැනල්ය. ඔහුගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් 360කි. 2019 ඔක්තෝබරයේ සිට කියුබානු ජනරජයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර  නායක අලි කාමනෙයි, ලීච්ටෙන්ස්ටයින් රාජ්‍යයේ කුමරයා වන දෙවැනි හන්ස් ඇඩම් හා වතිකානයේ  ෆ්‍රුන්සිස් පාප්වහන්සේ කිසිදු වැටුපක් ලබාගන්නේ නැත. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් 7,380කි.  සවුදි රජතුමාට පසු වැඩිම වාර්ෂික වැටුප ලබන්නා බෘෘනායි රාජ්‍යයේ සුල්තාන්වරයාය. ඔහුගේ වාර්ෂික වැටුප ඩොලර් බිලියන  1.99කි. එංගලන්තයේ එළිසබෙත් මහ රුජනගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර්  මිලියන 122.4කි. රජවරු, කුමාරවරු, සුල්තාන්වරු හැරුණු විට ජනතා පරමාධිපත්‍යයෙන් බලයට පත් රාජ්‍ය නායකයන් අතර වැඩිම වාර්ෂික වැටුප ලබන ජනාධිපතිවරයා වන්නේ සිංගප්පූරු ජනාධිපති ලී හියන් ලූංය.  වාර්තාවලට අනුව ඔහුගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 1.7කි.. එය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ වැටුප මෙන් දස ගුණයකටත් වඩා වැඩිය. පුටින්ගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් 136000කි.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වසරකට ඩොලර් 578,000 ක වැටුපක් ලැබීය. කෙසේ වෙතත්, ට්‍රම්ප් තම මුළු වැටුපම පුණ්‍යාතනවලට පරිත්‍යාග කරන බවට පොරොන්දු වී සිටි හෙයින් වැටුප් ලෙස ලබාගත් සියලු මුදල් පරිත්‍යාග කළ බව පැවසේ.

හොංකොං දේශයේ ප්‍රධාන විධායකයා වන කැරී ලෑම්ගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් 568,400කි. ඇය 2017 සිට හොංකොං දේශයේ නායකත්වය දරන්නීය.. ඇය එම තනතුරට පත් පළමු කාන්තාවය ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් 549,229 කි. මෙය ඕස්ට්‍රේලියානු  පුරවැසියකුගේ  වැටුප මෙන් හත් ගුණයකටත් වඩා වැඩිය. ඔහුට ඩොලර් 11,000 බැගින් වාර්ෂික වැටුප් වැඩිවීමක් හිමිය. ඔහුද තම වැටුපෙන් කොටසක් අධ්‍යාපනයට හා අනෙකුත් රාජ්‍ය දෙපාර්තමේන්තුවලට පරිත්‍යාග කරයි.

ස්විට්සර්ලන්ත ජනාධිපති උලී මොරියර්ගේ. වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් 482,958කි.

ජර්මානු චාන්සලර්වරිය වන ඇන්ජෙලා ඩොරතියා මර්කල්ගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් 534,000කි.. 2005 සිට ජර්මනියේ චාන්සලර්වරිය ලෙස කටයුතු කරන ඇය වංචා දූෂණයෙන් තොර රාජ්‍ය නායිකාවක ලෙස ප්‍රකටය.
නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ද ලොව වැඩිම වාර්ෂික වැටුපක් ලබන රාජ්‍ය නායිකාවකි. ඇයගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් 425,000 ක් වන අතර  පසුගිය වසර සඳහා ඇයට හිමිවිය යුතු ඩොලර් 12,600 වාර්ෂික වැටුප් වර්ධකය ඇය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම පසුගිය වසරේ ඇයගේ වැටුප ලබා ගැනීමද ප්‍රතික්ෂේප කර තිබේ.

මොරිටානියාවේ මොහොමඩ් අවුල්ඩ් අබ්දෙල් අසීස් ජනාධිපතිවරයාගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් 330,000 කි.  මේ වන විට වසර 10කට අධික කාලයක් බලයේ සිටින අබ්දෙල් අසීස් චීන ජනාධිපති ෂී ජින් පිං මසකට උපයන ආදායමට සමාන වැටුපක් ලබන බවට වාර්තා වේ. 

සෙබස්තියන් කුර්ස් ඔස්ට්‍රියාවේ චාන්සලර් වරයා වන අතර වසරකට ඩොලර් 328,584 ක වැටුපක් ලබයි. 32 හැවිරිදි ඔහු ලොව ලාබාලතම රාජ්‍ය නායකයා ය. ඔහුගේ දේශපාලන ජීවිතය ආරම්භ වූයේ ඔහු වයස අවුරුදු 22 දී වියානාහි දේශපාලන පක්ෂයක සභාපතිවරයා ලෙස නායකත්වයට පිවිසීමෙනි.

ලක්‍සම්බර්ග්හි අගමැතිවරයා  වන සේවියර් බෙටෙල්ගේ වාර්ෂික ආදායම ඩොලර් 278,035 කි. ඔහු ලොව ඉහළම වැටුප් ලබන රාජ්‍ය නායකයන්ගෙන් කෙනෙකි. 

ලෝකයේ වැඩිම වැටුප් ලබන කළු ජාතික නායකයා වන්නේ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසාය. ඩොලර් 273,470. ක වාර්ෂික වැටුපක් ලබා ගනී. ඔහුගේ ජනාධිපති වැටුපෙන් කොටසක් රෝහල් සංවර්ධනය සඳහා යොදවන ලෙසට  ආර්ථික නිදහස් සටන්කාමීන් (ඊඑෆ්එෆ්) නමැති සංවිධානය මෑතකදී ඔහුගෙන් ඉල්ලා තිබේ. ඔවුන් කියා ඇත්තේ රම්පෝසා බිලියනපතියකු වන හෙයින් ඔහුට ජනාධිපති වැටුපක් අවශ්‍ය නොවන බවයි.  ඒ අනුව තම වැටුපෙන් කොටසක් නෙල්සන් මැන්ඩෙලාගේ "තුමා මිනා" පදනමට පරිත්‍යාග කිරීමට රම්පෝසාකැමැත්ත පළ කර තිබේ.

කැනඩාවේ 23 වැනි  අගමැතිවරයා වන ජස්ටින් ටෘෘඩෝගේ වාර්ෂික වැටුප ඩොලර් 270,000 ක් බව වාර්තා වේ. 2015 වසරේ සිට ඔහු කැනේඩියානු අගමැතිවරයාය.

2014 සිට 2019 දක්වා බෙල්ජියමේ අගමැතිවරයා වූ චාල්ස් මයිකල්ගේ වාර්ෂික වැටුප බෙල්ජියානු පුරවැසියෙකුගේ සාමාන්‍ය වැටුප මෙන් පස් ගුණයකටත් වඩා වැඩිය. ඔහුගේ වාර්ෂික වැටුප ඩොලර් 262,964 ක් බව වාර්තා වේ. ඔහු වර්තමානයේ  යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාය.

ඩෙන්මාර්කයේ 25 වැනි හා 27 වැනි අගමැතිවරයා වූ ලාර්ස් ලූකේ රස්මුසන්ගේ වාර්ෂික වැටුප ඩොලර් 249,774 විය. 2019දී ඔහු අගමැතිධුරයෙන් ඉවත් විය. ස්වීඩන අගමැති ස්ටෙෆන් ලොෆ්වෙන්ගේ වාර්ෂික වැටුප ඩොලර් 244,615 ක් වේ. 2014 වසරේ සිට ඔහු ස්විඩනයේ අගමැතිවරයා ලෙස කටයුතු කරයි. කැත්‍රින් ජකොබ්ස්ඩොටියර් අයිස්ලන්තයේ අගමැතිවරිය වන අතර ඇයගේ  වාර්ෂික වැටුප ඩොලර් 242,619 කි. 2017 බලයට පත් ඇය එරට දෙවැනි අගමැතිවරියයි.

2016 සිට 2020 දක්වා ග්වාතමාලාවේ ජනාධිපතිවරයා වූ ජේම්ස් අර්නෙස්ටෝ මොරාලෙස් ගේ වාර්ෂික වැටුප ඩොලර් 227,099 කි. මධ්‍යම ඇමෙරිකාවේ ඉතා දිළිඳු රාජ්‍යයක් වන ග්වාතමාලාවේ ජනගහනය මිලියන 17ක් පමණ වේ. එහි ලක්ෂ හතරකට අධික පිරිසක් රැකියා විරහිතයන්ය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05