ලෝකයේ දැනට හමුවී තිබෙන විශාලතම මැණික් සමූහය විදිහට (Star Sappier Cluster) මේක සලකන්න පුළුවන්. කිලෝග්‍රෑම් 510ක බරකින් යුක්ත ගලක්. එය කැරට් 25,50,000ක් පමණ වෙනවා. මෙහි මිල තවම නිශ්චිතව ඇස්තමේන්තු කිරීම දුෂ්කරයි. ඉදිරියේදී මෙය අලෙවි කිරීමේ කටයුතු ගැන අපි සැලසුම් කරමින් සිටිනවා. එලෙස අප සමඟ පැවසුවේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහය.
මෙම සුවිශේෂී මැණික් පාෂාණය හමුවී තිබෙන්නේ රත්නපුර කහවත්ත පැල්මඩුල්ල ප්‍රදේශයෙනි. වටිනාම මැණික් අයත් කොරණ්ඩම් පවුලට එය අයත්වේ. කොරණ්ඩම් පවුලට අයත් සෙසු මැණික් වන්නේ නිල්කැට, රතු කැට, නිල් ආරනූල්, රතු ආරනූල්, පුෂ්පරාග, පද්මරාග, සුදු නිල් ආදියයි. මෙම මැණිකද සියයට 99.9ක්ම ආරනූල් වර්ගයට අයත් බව එය පරීක්ෂා කර බැලූ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා කීවේය. &ආරනූල්* යනුවෙන් හැඳින්වෙන්නේ ඔප දැමූ පසුව ආලෝකයේදී නූල් හයක් ආකාරයට දිස්වන නිසයි.
මේ මැණික් පාෂාණය ඕවලාකාර හැඩයේ මැණික් පොකුරක් ආකාරයට පිහිටා තිබෙන්නේ. ගල කෑලිවලට කපා ඔප දමනවා වෙනුවට තනි මැණිකක් ලෙස තබා ගැනීම වඩාත් සුදුසු බව පේනවා. මෙය කෞතුක වස්තුවක් වැනි දෙයක්.
විශාල මිදි පොකුරක් ආකාරයට තමයි මේකේ මැණික් එකිනෙකට ඇලී තිබෙන්නේ. මෙවැනි මැණිකක් ලෝකයෙන් මෙතෙක් හමුවී නැහැ. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර වාර්තාවක් ලබාදී තිබෙනවා.* සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.
පුරාණයේ පටන්ම ලංකාව මැණික්වලට ප්‍රසිද්ධියක් ඉසිලූ රටකි. රත්නදීප යයි ලංකාවට කීවේත් වැඩිපුර මැණික් ලැබෙන නිසා. රත්නපුර නම් නගරයක් මතුවූයේත් ඒ නිසයි. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් (රු. කෝටි 2000ක්) ලෙස දැනට මිල නියම කර තිබුණද එහි නිශ්චිත වටිනාකම එයට වඩා වැඩිවීමට ඉඩ තිබේ. තරගකාරී ඉල්ලුමක් ඇති වුවහොත් එහි අගය තවත් ඉහළ යා හැකි බව සභාපතිවරයා පවසයි.
මැණික් ගල මතුපිටින් පෙනෙන්නේ දියමන්ති හැඩැති කැටයම් සමූහයකින් යුක්ත ලෙසයි. එය සුදු පැහැයට හුරු වුවත් එය කොරණ්ඩම් විශේෂයට අයත් ආරනූල් මැණිකක් වේ. මැණික පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලික පතලකින් මීට මාස අටකට පෙර හමුවූවකි. ආරක්ෂක හේතූන් මත එහි අයිතිකරුගේ නම හෙළිකර නැත. එය නම්කර ඇත්තේ සෙරන්ඩිබ් නිල් මැණික ලෙසයි. එය දිගින් සෙ.මී. 100ක්ද, පළලින් සෙ.මී.50ක් හා උසින් සෙ.මී. 72ක්ද වේ.
&මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙය දැනට දැඩි ආරක්ෂාව මත තැන්පත් කර තිබෙනවා. ඉදිරියේදී ලංකා බැංකු මූලස්ථානයේ තැන්පත් කිරීමට පියවර ගන්නවා* සභාපති තිලක් වීරසිංහ වැඩිදුරටත් පැවසුවේය.
පසුගිය වර්ෂයේ මේ මැණික හමුවුණද එය ප්‍රසිද්ධියට පත් නොකළේ කොවිඩ් වසංගතය නිසා මැණික් වෙළෙඳපොළ පසුබැස්මක් පැවති නිසා බවත් මේ වනවිට ලෝක වෙළෙඳපොළ විවෘතව තිබෙන නිසා මැණික් ගල පිළිබඳව ප්‍රසිද්ධියට පත්කළ බවත් සභාපතිවරයා කීවේය.
සෙරන්ඩිබ් නිල් මැණික සම්බන්ධයෙන් ප්‍රංශය, ඉතාලිය වැනි රටවලින් මේ වනවිට විමසමින් පවතින බව පැවසේ. මේ පිළිබඳව බී.බී.සී. නාලිකාව ඔස්සේ සහ වෙබ් අඩවි මගින් ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කර තිබේ.
මැණික හමුවූ ආකාරය ගැන නම් විවිධ කතා පැතිර යයි. සමහර ප්‍රවෘත්තිවල කියැවෙන්නේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස පිටුපස ළිඳක් හාරන විට එය අහම්බෙන් හමුවූ බවයි. තවත් කතාවල පැවසෙන්නේ වැසිකිළි වළක් කපන විට හමුවූ බවයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා කියා ඇත්තේ බලපත්‍ර ලත් පෞද්ගලික පතලකින් මාස අටකට පෙර හමුවූ බවයි.
ළිඳ හාරමින් සිටි පුද්ගලයා දුර්ලභ ගල් කීපයක් තිබෙනවා කියලා අපට දැන්වූවා. පස්සේ පැමිණ බැලූවිට අපිට මෙම දැවැන්ත ගල හමුවුණා යැයි එහි හිමිකරු වන ගමගේ බී.බී.සී. පුවත් සේවයට පවසා තිබේ. එය විශ්ලේෂණය කර මඩ හා වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවූ බව ඔහු කියා ඇත.
මැණික් විද්‍යාඥ ආචාර්ය ගාමිණී සොයිසා බී.බී.සී. සේවයට පවසා ඇත්තේ තමන් මීට කලින් මේ තරම් විශාල පොකුරක් දැක නැති බවත්, එය වර්ෂ මිලියන 400කට පමණ කලින් නිර්මාණය වීමට ඇති බවත්ය.
මෙය හඳුන්වන්නේ පොකුරු මැණිකක් ලෙසිනි. එසේ හැඳින්වීමට හේතුව කුමක්දැයි අපි විමසුවේ මැණික් හා ස්වර්ණාභරණ පර් යේෂණ හා අභ්‍යාස ආයතනයේ පුහුණු අධ්‍යක්ෂ වසන්ත ගම්ලත්ගෙනි.
&ගෙඩි පතල් කියලා පතල් වර්ගයක් තිබෙනවා. ඒවා වැඩිපුර තිබෙන්නේ අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ. ඒ නම දීලා තිබෙන්නෙ කලගෙඩියක මැණික් දාලා වගේ එක ළඟින් මැණික් බහුලව හමුවන නිසයි. සාමාන්‍යයෙන් බොහෝවිට මැණික් හමුවන්නේ එකනෙකට දුරින්.
මේ මැණික් ගල නිර්මාණය වීමේදී සීනි ගුලියකට වතුර ටිකක් වැටුණාම ටික ටික එකතුවෙමින් විශාල වනවා වගේ සිදුවන්න ඇති. වර්ෂ මිලියන ගණනකට පෙර ලාවා පැමිණි අවස්ථාවේ අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය රසායන ද්‍රව්‍ය, ජලය සැපයී උෂ්ණත්වය හා සිසිල්වීමේ සාධක මත මෙසේ ස්පටික මැණික් ගුලියක් ලෙස නිර්මාණය වන්න ඇති. මේක ඉතාම කලාතුරකින් වන දෙයක්. නිවුන් දරුවො හැදෙනව වගේ තමයි මේකත්.*
මෙරට මැණික් කර්මාන්තය ක්‍රි.පූ. 3 වැනි සියවසේ පටන් පැවති බවට බ්‍රාහ්මී සෙල්ලිපිවල %මණිකර^ (මැණික් කපන්නා) වචනය හමුවීමෙන් පෙනේ. මහාවංශය වැනි ඓතිහාසික මූලාශ්‍රවලද %රුවන්^ මිණි ආදී වචන බහුලව හමුවේ. චූලෝදර-මහෝදර නා රජවරු දෙපළ කැලණියේදි අරගල කරගන්නේ මැණික් එබ්බවූ මිණි පලඟක් අරභයාය.
සින්බෑඩ් නැවියාගේ කතාවල ලංකාව හඳුන්වා තිබෙන්නේ මැණික් නිම්නය ලෙසිනි. මාර්කෝ පොලෝ, ඉබන් බතූතා, පාහියන් වැනි පුරාණ ගවේෂකයන්ගේ වාර්තාවල ලංකාවේ මැණික් ගැන තොරතුරු සඳහන්ය.
වර්ෂ 2016දී වාර්තා වූයේ ලොව විශාලතම නිල් මැණික රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමුවූ බවය. එහි බර කැරට් 1404.49ක් විය. එය ආදම්ගේ තාරකාව ලෙසින් නම් තබා තිබුණි. 1973 මාතලේ ඇලහැර හත්තොට අමුණ ප්‍රදේශයෙන් ලොව තුන්වැනි විශාලතම නිල් ආරනූල හමුවූ අතර එය රාජ්‍ය මැණික් සංස්ථාව මිලදී ගෙන තිබේ. එහි බර කැරට් 392.92කි. ස්ටාර් ඔෆ් ශ්‍රී ලංකා නාමයෙන් හඳුන්වන එය විදේශ මැණික් ප්‍රදර්ශනවලදී විශේෂ ආකර්ෂණයට ලක්වූ බව පැවසේ. තවත් දුර්ලභ වෛරෝඩි මැණිකක්ද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුය. එය නම්කර ඇත්තේ රේ ඔෆ් ට්‍රෙෂර් යනුවෙනි. එහි බර කැරට් 103.5කි.
කුසුම්සිරි විජයවර්ධන