2021 ජුලි 24 වන සෙනසුරාදා

ගුවන්විදුලියෙන් බිහිවූ මාධ්‍ය ඉසිවරයා එච්.එම්. ගුණසේකර

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 216

- එච්.එම්. ගුණසේකර

ඔහුගේ කටහඬ ගැඹුරුය. සුපැහැදිලිය. ඒ ප්‍රෞඪ කටහඬ මෙරට ගුවන්විදුලි ශ්‍රාවකයන්ගේ උසස් රුචිකත්වය ඇති ප්‍රබුද්ධ රසිකයාගේ හදවත ඇදබැඳගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ කටහඬ තිබුණේ ඔහුටම පමණි. ඔහු වරෙක කොළඹ සිට කතා කළේය. තවත් විටෙක ලන්ඩනයේ සිට කතා කළේය. කතා කිරීමට මෙන්ම හාමෝනියම් වාදනයටද ඔහු දක්ෂයකු වූ බව දන්නේ ටික දෙනෙකි.

ඔහු හේරත් මුදියන්සේලාගේ ගුණසේකර නොහොත් එච්.එම්. ගුණසේකරය. 1927 පෙබරවාරි 18 වැනිදා ඌව වෙල්ලස්සේ මැදගම්පත්තු කෝරළයේ බදුල්ලේ ලුණුගල, ලුණුවත්තේ උපන් ඔහුගේ පියා පාසල් ප්‍රධානාචාර්යවරයෙක් විය. මීට වසර 40කට පමණ ඉහත එනම් 1980 වසරේ මැයි මාසයේ ඔහු හා සාකච්ඡා කොට නවයුගය පුවත්පතට විශේෂාංගයක් ලිවීමට අවකාශ ලැබිණි. එවකට ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස සහ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ලෙසද ඊට අතිරේකව ජාතික රූපවාහිනී සංස්ථාවේ සැලසුම් වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙසද කාර්යබහුල රාජකාරියක නිරත වෙමින් සිටියේය. දුම් පයිප්පය අලුත් දුම්කොළ ටිකක් පුරවා ගනිමින් එදා තම කතාව කළ අයුරු මට මතකය.
මගේ තාත්තා මට අධ්‍යාපනයක් දෙන්න හැමවිටම උත්සාහ ගත්තා. මැල්ලැහැව විද්‍යාලයේ හා ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගත් මගේ ඉදිරි අනාගතය ගැන අපේ ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේ වූ මැදගොඩ රතනපාල හිමියන්ගෙන් උපදෙස් ගත්තා.

මේ දරුවා හොඳ බෞද්ධ අධ්‍යාපනයක් ලබන්න ඕනෑ. ඒ නිසා මම අදිකාරම් මහත්තයට ලියුම දෙන්නම්. පිටකෝට්ටේ උන්නැහේගේ ගෙදරට ගිහින් දෙන්න. එතුමා අවශ්‍ය උපදෙස් දෙයි. 
මම තාත්තත් එක්ක පාගොඩ පාරේ අදිකාරම් මහත්තයගේ ගෙදර හොයාගෙන ගියා.*
ඉස්කෝලෙ මහත්තයා, අපි දරුවා මගේ ආනන්ද ශාස්ත්‍රාලයට ඇතුළත් කරන්නම්. අදිකාරම් මහත්තයා කිව්වා. අදිකාරම් මහත්තයා ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති.
පුංචි කාලේ ඉඳලම මම ගුවන්විදුලියට සවන් දෙන්න කැමැතියි. මම ගුවන්විදුලි නිවේදකයන් අනුගමනය කරමින් තනිවම කතා කරන්න පටන් ගත්තා. ගුවන්විදුලි නාට්‍ය අහල ඒ චරිත රඟපාන හැටි නිරීක්ෂණය කළා. මගේ නිවේදන හැකියාව දැන සිටි පන්ති සගයෝ මාව විදුහල්පතිතුමා ළඟට අරන් ගියා.

සර්, අපේ ඉස්කෝලේ සැණකෙළියේ නිවේදන කටයුතු කරන්න ගුණසේකරට බාර දෙමුද?
සර් ගුණසේකර හොඳයි, හොඳ කටහඬකුත් තියෙනවා.* විදුහල්පතිගේ කාර්යාලයේ සිටි සිංහල ගුරුවරයා කීය.
විදුහල්පතිවරයාගෙන් අවසර ලැබිණි. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ සතියක් පුරා පැවැත්වූ සැණකෙළියේ නිවේදකයා වූයේ එච්.එම්. ශිෂ්‍යයාය. එතැනින් ඇරුඹි සිය මාධ්‍ය ජීවිතය ගැන එදා (නවයුගය - 1980-05-12) අපට විස්තර කළේ මෙසේය.
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් ලන්ඩන් මැට්‍රික්‍යුලේෂන් විභාගය සමත් වී මම කොළඹ ආනන්ද විද්‍යාලයට බැඳී ගණිත විද්‍යාව ඉගෙන ගත්තා. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධිය ලබන්නට මා උගත්තේ ආනන්දයේ ඉන්ටර් ආට්ස් සමත් වී සිටියදී. මේ කාලයේ පාලි හා සංස්කෘත ගැන උනන්දුවක් දැක්වූයේ පියාගේත් රත්නපාල නාහිමියන්ගේත් බලකිරීමට. 1957 ජන රංග සභාවෙන් කොළඹ දී රංගගත වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ %මනමේ^ නාට්‍යයේ වාද්‍ය මණ්ඩලයේ සර්පිනාව (හාමෝනියම්) වාදනය කළේ මම. පොඩි කාලේ ඉඳලා මම සංගීතයට ආසයි. බටනලාවත්, හාමෝනියම් එකත් ඉගෙන ගත්තේ තනිවමයි. දැනුත් විවේක කාලවලදී පැරණි බෙංගාල සංගීතය හා රවීන්ද්‍ර සංගීතය ගුවන්විදුලියෙන් අසා තාගෝර් ගීත වාදනය කරලා විනෝදයක් ලබනවා.

අධ්‍යාපනය ලැබීමෙන් පසු ඔහුගේ මුල්ම රුකියාව වී ඇත්තේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරයකු වී වසර 4ක් ඉගැන්වීමය. ඔහු නිවාඩුවකට බණ්ඩාරවෙල ගිය දිනක එවකට රේඩියෝ සිලෝන් එකේ නිවේදක තනතුරක ඇබෑර්තුවක් ඇති බව 1950 වසරේ ඉංග්‍රීසි පත්‍රයක පළ වී ඇති බව දැන එයට ඉල්ලුම්පතක් යැවීය. 1951 ඔක්තෝබර් 15 වැනිදා එච්.එම්. ගුවන්විදුලියට එක්වූ අතර මුල් යුගයේදී සිංහලාංශයේ කතා, සාකච්ඡා, ළමාපිටිය, ආගමික වැඩසටහන් ආදී වැඩසටහන්වලට සහභාගි වී, ඒ වැඩසටහන්වල පිටපත් පරීක්ෂා කොට ප්‍රචාරයට මැනවැයි අනුමත කිරීමද පිට පළාත්වල සිට ප්‍රචාරය කරන විශේෂ වැඩසටහන් ද බාරව ක්‍රියා කළ බව ආචාර්ය නන්දන කරුණානායක විසින් ලියූ ගුවන්විදුලිය වැදගත් සිදුවීම් කෘතියේ සඳහන් වෙයි.
ස්ථිර නිවේදකයකු ලෙස එච්.එම්. කටයුතු කොට ඇත. ශබ්ද පුරෝගාමියකු වූ ඩී.එම්. කොළඹගේ පටන්ගත් නිවේදක පරපුරේ අනුප්‍රාප්තිකයා වූයේ එච්.එම්. ය. 1953 දී බී.බී.සී.යෙන් (බ්‍රිතාන්‍ය ගුවන්විදුලියෙන්) ලද ශිෂ්‍යත්වයක් ලැබ ලන්ඩනයට ගොස් %සංදේශය^ වැඩසටහන මෙහෙයවූ කාලයේ ලෙනාඩ් වුල්ෆ් මහතා හමු වී විශේෂ සාකච්ඡාවක්ද කර ඇත. ඊට අමතරව මවුන්ට් බැටන් සාමි, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන යන ජන නායකයන් සමඟ ද සාකච්ඡා කර ඇත. 1953 දෙවැනි එළිසබෙත් මහ රුජිනගේ මෞලි මංගල්‍ය බකිංහැම් මාලිගාව අබියස සිට සුමියුරු ලෙස සිංහල හා ඉංග්‍රීසි බසින් ඔහු සහ ලිවී විජේමාන්න විස්තර ප්‍රචාරය කළහ. මෙය මෙරට සිංහල නිවේදකයකු එතෙර සිට කළ මුල්ම සිංහල කථනය ලෙස ලංකා ගුවන්විදුලියේ සටහන් වී තිබේ. විජේමාන්න ප්‍රථම ඉංග්‍රීසි විස්තර ප්‍රචාරකයාය.

1962 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරාධනය අනුව සංවර්ධනය වන රටවල සන්නිවේදන ක්‍රම පිළිබඳ ගුවන්විදුලි හා පුවත්පත් කලාවේදීන් සහභාගි වූ සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ එච්.එම්.ය. බැංකොක් සිට ටෝකියෝ, නිව්යෝක් සිට ටෝකියෝ, නිව්යෝක්, ජිනීවා සහ රෝමය දක්වා ඔහු එදා සංචාරය කළේය. 1968 දී ගුවන්විදුලියේ සිංහල අංශයේ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කොට රෑපවාහිනී මාධ්‍යයට එක්විය. ස්වාධීන රෑපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂක ලෙස 1981 පත්වූ හෙතෙම 1983 ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂක ලෙසද ජර්මනියේ ෆෙඩ්රික් ඊබට් ආයතනයේ කොළඹ මාධ්‍ය උපදේශකවරයා ලෙසද කටයුතු කළේය.

ගුවන්විදුලි මාධ්‍යයත්, රූපවාහිනී මාධ්‍යයත් ජයගත් මේ දැවැන්ත මාධ්‍ය විශාරදවරයා මෙරට ශ්‍රාවක ප්‍රේක්ෂකයාගේ උසස් රසවින්දනය ඉහළ නැංවීමට කළ යුග මෙහෙය සුළු පටු නොවේ. එච්.එම්. ශ්‍රී ලංකා තාගෝර් සංගමයේ සභාපතිව සිටි කාලයේ එම සංගමයේ ලේකම්වරයා වූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී උපසේන ගුණවර්ධන 1997 සැප්තැම්බර් මාසයේ කල්කටාවේ තාගෝර්තුමාගේ නිවහනත් ශාන්ති නිකේතන නැරඹීමට ගිය අවස්ථාවත් විස්තර කර තිබුණි.

සැඳෑ සමය ගෙවී ගොස් රාත්‍රිය එළඹෙයි. මුළු මහත් පරිසරයම නිහඬය. බයිසිකල් රික්ෂෝවල නලාවලින් නැගෙන නාදයත් රුක් ගොමු අස්සේ සිට කුරුල්ලන් නගන ශබ්දයක් හැර වෙන කිසිදු ශබ්දයක් නොමැති වූ මෙම පරිසරය ශාන්තය. විශේෂයෙන්ම ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයකින් නැගෙන ගීත රාවයන් සමඟ මුසු වූ තාම්පුරා වලින් නැගෙන ඉමිහිරි නාදය කන්කලුය. එච්.එම්. මෙම පරිසරයෙන් ප්‍රබෝධමත් වූ බැව් ඒ වෙලාවේ ඔහුගේ මුහුණින් පිළිබිඹු විය. දැන් තමයි නියම ශාන්ති නිකේතනය ඔහු සෙමින් මට පැවසීය. එදා තාගෝර්තුමන්ගේ නිවහන අද භාරතයේ තිබෙන වැදගත් සරසවියකි. එම ස්ථානයෙන් පිටත් වූ අපි දෙදෙනා ඉන් පසුව බටහිර බෙංගාලයේ %ගීත කෝකිලාව^ නමින් හඳුන්වන වන ශ්‍රීමතී සුචිත්‍ර මිත්‍රාගේ නිවහනට ගියෙමු. කල්කටාවේ ගාරිහථා මාවතෙහි පිහිටි තට්ටු නිවාසයක සුචිත්‍රා මිත්‍රාගේ නිවහන පිහිටියේය. රබීන්ද්‍ර ගී ගායනයේ විශාරදවරියක වන ඇය ප්‍රසංග ඉදිරිපත් කිරීමට කිහිප වරක්ම අප රටට පැමිණ ඇත. ඉතා සුහදව අප දෙදෙනා පිළිගත් ඇය යළිත් වරක් අප රටට පැමිණීමට කැමැත්තක් තිබෙන බවද පළ කළාය. නවදිල්ලියට ගිය විට එහි සමස්ත ඉන්දීය ගුවන්විදුලි මධ්‍යස්ථානය, ආකාශ්වානි රූපවාහිනී මධ්‍යස්ථානය ද නැටුම්, ගැයුම් හා වැයුම් උගන්වන ප්‍රධාන පෙළේ ආයතනයක් වූ ශ්‍රී රාම් භාරතීය කලා කේන්ද්‍රය ද අපි නැරඹුවෙමු.

වසර කිහිපයකට පෙර අප රටට පැමිණ කථක් නැටුම් ප්‍රසංග ඉදිරිපත් කළ රාණි කානම් නැටුම් ශිල්පිනිය එහිදී අප ඉතා සුහදව පිළිගත්තාය. එදින රාත්‍රී කනම් ශිල්පිනියගේ නිවහනෙහි, රාත්‍රී කාලය ගත කළ අප දෙදෙනා පසුදින නවදිල්ලියේ සිට තමිල්නාඩු නම් වූ ශීඝ්‍රගාමී දුම්රියෙන් මදුරාසිය බලා පිටත් වූයේ ඊට පසුදින නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාව බලා ආපසු ඒමේ බලාපොරොත්තුවෙනි.
2002 වසරේ එච්.එම්. මියගොස් තෙමසක් නිමිත්තෙන් පසු නැසී ගිය උපසේනයන් විසින් ලියූ (2002 අගෝස්තු 11 සිළුමිණ) ලිපියකින් කොටසකි ඒ. කලක් ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හා ජාතික රෑපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර දැරූ ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා මෙසේ කියා තිබුණි.

එච්.එම්. ගුණසේකර ශූරීන් ජාතියේ රුචිකත්වය ඉහළ තලයට නැංවීමට කටයුතු කළ සන්නිවේදකයෙකි. ඉරිදා සංග්‍රහය මෙහිදී දැනට සිහියට නැගෙන වැඩසටහනකි. තාගෝර් ගීතයක අර්ථය මෙන්ම බටහිර ගීතයක සංගීතමය ලක්ෂණ ද ඔහු මෙහිදී ඉතා සරල ලෙස විවරණය කරයි. සුචිත්‍ර මිත්‍රයෝ, %ඇට්නචලෝ^ ගීත මෙන්ම සුචිත්‍ර මිත්‍ර අමරදේව සමඟ ගායනා කළ චන්දෝ මා බිළිඳේ නුඹ නාඬන් ගීතය ද සදා නොමියන මතකයට එක්වුණේ ඉරිදා සංග්‍රහය තුළිනි. පසුව එච්.එම්. ගේ හා නැසී ගිය රවිලාල් විමලධර්ම ශූරීන්ගේද සහාය ඇතිව රෑපවාහිනියට සුදුසු පරිදි අර්ථපූර්ණ ජීවන කාව්‍යයක් බවට සුචිත්‍ර මිත්‍ර ගයන %ඇට්නචලෝ^ ගීතය පත් කිරීමටද මම උත්සාහ කළෙමි. බෙංගාල සංගීතයට මෙන්ම තාගෝර්තුමාටද එච්.එම්. තුළ තිබුණේ අසීමිත ආදරයකි.

සරල, චාම් ජීවිතයක් ගත කළ එච්.එම්. ගුණසේකර මහතා තම බිරිය මියයාමේ සොවින් ජීවත් වූයේ අටලෝ දහම සිහි කරමිනි. 2002 වසරේදී මැයි මාසයේ රෝගාතුර වූ මේ මාධ්‍ය ලෝකයේ දිසාපාමොක් සිය ජීවිතයේ අවසන් ගමන ලෙස ගියේ ඔහුට අයත්ව තිබූ 6 ශ්‍රී 8716 දරණ රථය පදවාගෙන කොළඹ ඩර්ඩන්ස් රෝහලට ගිය ගමනයි. එහිදී හෘද රෝග විශේෂඥ වාළුපුල්ලේ හමුවී තමන්ම රථය පදවාගෙන පැමිණි බව කී විට දොස්තර මහතා නළලේ අත තබා විශ්මය පළ කළේ ඒ තරම් දරුණු හෘදයාබාධයක් හටගනිමින් තිබියදී පැමිණි ගමනක් නිසාය.

පසුදා සන්නිවේදනයේ දිසාපාමොක් ඇදුරු සිය දයාබර පුතණුවන් වූ උදිතගේ දෑත් තරයේ අල්ලා අවසන් ගමන සඳහා සැරසුණි. ඩර්ඩන්ස් රෝහලේ හෘද රෝග ඒකකයේ යන්ත්‍ර රැසකට මැදි වී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමිනි.
ඒ ප්‍රබල, ශාන්ත, ගැඹුරු, සුපැහැදිලි කටහඬ නිහඬ කරමින් එච්.එම්. කෙටි වචනයෙන් රටක් දැන සිටි මාධ්‍ය ඉසිවරයා 2002 වසරේ මැයි 11 වැනිදා නිහඬ විය.

 

I ඒ.ඩී. රන්ජිත් කුමාර