
මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න
1960 වසරේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වූයේ මාර්තු 19 වැනිදාය. එදා දේශපාලන ක්ෂේත්‍රයේ චතුර කථිකයන් කැපී පෙනුණි. රට අල්ලන කට නමින් ඔවුන් කැපී පෙනුණි. මහජන එක්සත් පෙරමුණේ පිලිප් ගුණවර්ධන, ලංකා සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, රොබට් ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ ආර්. ප්‍රේමදාස, ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කේනමන්, ස්ටැන්ලි තිලකරත්න, ජාතික විමුක්ති පෙරමුණේ කේ.එම්.පී. රාජරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බී.එච්. බණ්ඩාර, සෝමවීර චන්ද්‍රසිරි මේ අතර සුවිශේෂය. මේ හැමටම වඩා වියත්, ගැඹුරු, කතා ශෛලියකින්, දිය ඇද හැලෙන රිදී ධාරාවක් මෙන් කතා පැවැත්වූ කථිකයා ලෙස කැපී පෙනුණේ පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්නය.
මේ මහ මැතිවරණයේ මහජන එක්සත් පෙරමුණේ ප්‍රචාරක රැස්වීමක් මා උපන් කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ පැවැත්වූදා මතකයෙන් බැහැර නොවේ. එවකට දහතුන් හැවිරිදි වියේ පාසල් ශිෂ්‍යයකු වූ මා මේ දේශකයා ගැන වැඩිහිටියන් කියන කතා ඔස්සේ දැන සිටි නිසා ඒ කතාව ඇසීමට කුහුලකින්, මම ගියෙමි. ආචාර්ය කරුණාරත්න එදා පැමිණියේ රැස්වීම අවසන් වීමට ආසන්නව තිබූ වේලාවකය. ඔහු එනතුරු එදා රැස්වීමට පැමිණි සෙනඟ කුතුහලයෙන් බලා සිටියහ. සුදු ජාතික ඇඳුමෙන් සැරසුණු මේ කෙසඟ පුද්ගලයා සෙනඟ පීරාගෙන එන විට නැගුණු අත්පොළසන් හඬ කොස්ගස් හන්දියේ අනික් රැස්වීම්වලින් අසා නොතිබුණි. ඔහු කෙළින්ම ගියේ මයික් එක අසලටය. කතා කරමින් සිටි කථිකයා ඔහු වේදිකාවට එනතුරු කතාව නැවැත්වූයේ සෙනඟ ඔහුට දැක්වූ උණුසුම් ප්‍රතිචාර නිසාය. අවට රතිඤ්ඤා පත්තු විය. හිස අවුල්ව සිටි මේ විද්වතා කතාව පටන් ගත්තේය. එය සත්තකටම දිය ඇල්ලකින් ඇදී හැලෙන රිදී දිය ධාරාවක් මැවීය. ඇල්පෙනෙත්තක් බිමට වැටුණත් ඇසෙන තරමට නිහඬතාවය මැද ඔහු කතාව පටන් ගත්තේය.
දේශප්‍රේමී පොදු මහජනතාවගේ ජාතික පරමාර්ථ සාධනය අරමුණු කොටගෙන, දේශීය සංස්කෘතියට අනුව සකස් වුණු ප්‍රගතිශීලී සමාජවාදී පොදුජන රජයක් පිහිටුවා එමගින් මේ රටේ සාධාරණ, යුක්තිය පදනම් කොටගත්, නිදහස් නිවහල් ප්‍රතාපවත් ජාතියක් ගොඩනැංවීම මහජන එක්සත් පෙරමුණේ එකම උණුසුම් බලාපොරොත්තුවයි. නොකිලිටි ජාත්‍යාලයෙන් කිතිකැවුණු දේශාභිමානයෙන් එඩිතර වුණු ජාතියක් සෞභාග්‍යය හා තේජෝබල පරාක්‍රමය දනවන ප්‍රගතිය කරා ගමන් කරවා ශිෂ්ට සම්පන්න ශීලාචාර ප්‍රතිපත්තිගරුක වීර පුරවැසි පරපුරක් ඇතිදැඩි කොට විවිධ ජාතීන්ගෙන් හා ආගමිකයන්ගෙන් සැදුම්ලත් සංකීර්ණ ලාංකික ජන සමාජය තුළ සමගිය හා සමාදානයත් අභිවෘද්ධිය හා සංවර්ධනයත් අන්‍යෝන්‍ය විශ්වාස හා ගෞරවයත් තහවුරු කිරීම මහජන එක්සත් පෙරමුණේ උදාරතර අවංක අභිලාෂයයි.
එදා කොස්ගස් හන්දියේ වේගවත්, එහෙත් සංයමයෙන් සිත් ඇදගත් කතාවක් කළ ආචාර්ය කරුණාරත්න තොටළඟ මංසන්ධියේ කළ කතාව ඇසීමට කරදර කොට මාමා සමඟ එහි ගිය අයුරු මට අදත් මතකය. ඔහු එතැන කතා කළේ අලුත් සංකල්ප සහිත කතාවකි. මාර්තු 19 වැනිදායින් පසු ධර්මානුකූලව රට කරනවා යන්න තේමාව කරගත් ලිච්ඡවි රජදරුවන්ගේ කාලයේ චිත්‍රපටයක් උතුරු කොළඹ ජනතාවට මවාපාමිනි.

ආගම ධර්ම ඇදහීමේ නිදහස දී ක්‍රමානුකූල ජීවිතයට අනුව ජනතාව හැඩගැස්සීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය බව කී ඔහු ආගමේ නාමයෙන් මිනිස් හදවතෙහි බය උපදවා දුප්පතුන් පෙළීමටත්, අසරණයන් ගසාකෑමටත්, දේශපාලන කුමන්ත්‍රණ කොට ලෞකික බලය අල්ලා ගැනීමටත්, පූජකයන් හෝ පූජ්‍යයන් උත්සාහ කරත් නම් එවැන්නන්ගේ වෙස්මුහුණු ගලවා ආගම ආරක්ෂාවත් ශාසන සංශෝධනයත් ඇතිකිරීම රජයේ යුතුකමක් වෙයි.
ආචාර්ය කරුණාරත්න මේ මැතිවරණයේදී මහනුවර ආසනයට තරග කළද එක්සත් ජාතික පක්ෂයේ ඊ.එල්. සේනානායකට වැඩි ඡන්ද 1624කින් පරාජය වූ අතර මහජන එක්සත් පෙරමුණට ලබාගත හැකි වූයේ ආසන 10ක් පමණි. විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස පැවිදි හා ගිහි ශිෂ්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ කීර්තිමත් කථිකාචාර්යවරයෙක් ලෙස හෙතෙම ජනප්‍රිය විය. ඔහුගේ දේශන ඇසීමට ශිෂ්‍යයෝ ප්‍රිය කළහ. බුදු දහම, බෞද්ධ දර්ශනය, බෞද්ධ ශිෂ්ටාචාරය ඇතැඹුලක් සේ දැන කරන දේශනද නොකඩවා ගලා එන රිදී දහරක් වැනි විය. හෙතෙම වරෙක ඉංග්‍රීසි බසින්ද තවත් වරෙක සංස්කෘත ශ්ලෝක ගෙනහැර පාමින්ද තවත් වරෙක පාලි භාෂාවෙන්ද නිදසුන් දක්වමින් පැවැත්වූයේ පොතක් හෝ සටහනක් ළඟ තබාගෙන නොවේ.
මීට වසර 43කට ඉහත මේ ගුරු දෙවියා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ කාර්යාලයේදී අපට හමුවුණේ නව යුගය පුවත්පත චරිත හමුව^ විශේෂාංගය ලිවීමට 1978 ජනවාරි මාසයේ මුලදී කැමරා ශිල්පී නෝමන් ග්‍රිබ් සමඟ ගිය අවස්ථාවේදීය. මහාචාර්යතුමා සමඟ කතා කරන විට ඔහුගේ වාග් විලාසය දෙස බලා සිටීම මිස කිසිවක් සටහන් කර ගැනීමට අපට අමතක වීම අපටම පුදුමයකි. එදා මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුද එහි විය.
ඔහු කවුද?
විජයසිංහ සුගතදාස කරුණාරත්න ඉපැදුණේ 1928 දෙසැම්බර් 24 වැනිදා මහනුවරට කිට්ටු කටුගස්තොටදීය.
ඔහුගේ පියා වූ ඩබ්ලිව්.ඩී. කරුණාරත්න පොලිස් සාජන්ට් කෙනෙකි. ඔහු කුඩා කාලයේ ඉගෙනගෙන ඇත්තේ බම්බලපිටියේ පොලිස් අභ්‍යාස විද්‍යාලයීය පාසලේය. සිය පියාගේ රාජකාරිය පළාතින් පළාතට මාරු වී යනවිට ඔහු ඉගෙනගත් පාසල් ද මාරු කිරීමට සිදුවිය.
මම බදුල්ලේ ධර්මදූත විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ මගේ ඉගෙනීමට ඍජුවම බලපෑවේ තාත්තා. මගේ පියාට බෞද්ධ දර්ශනය ගැන හොඳ දැනුමක් තිබුණා. ඔහු හොඳ කවියෙක්. හිටවන කවි කියන්න රුසියා. ඒ වගේම යාළුවෝ එක්ක කතා කරන විට සංස්කෘත ශ්ලෝකයකින් උත්තර දෙන්නේ. සංස්කෘත භාෂාව ගැන තාත්තාට දැනුමක් තිබුණා. සංස්කෘත ශ්ලෝකයක් එවලේම කවියට නගලා කියන්න පුළුවන් වුණා. මම පුංචි කාලේ ඉඳලම බෞද්ධ සංස්කෘතිය ගැන ඇල්මක් ඇතිවුණේ තාත්තාගේ ආභාසය නිසා. මට තාත්තා සිංහල පත්‍ර බලන්න ඉඩ දුන්නේ නෑ. ඩේලි නිවුස් පත්‍රයත්, ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියත්^ ගෙනත් දීලා පත්‍රයේ කර්තෘ වාක්‍ය පරිවර්තනය දීලා මගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරන්න උනන්දු කළා. ඒක මගේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරන්න තාත්තා යෙදූ උපායක්.
ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු ලංකාවෙන්ම මුල්තැනට තේරී කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණි කරුණාරත්න ශිෂ්‍යයාට පාසලේ පුස්තකාලයේ අල්මාරියක එක තැනක සිට සියලුම පොත් කියවීමට හැකි විය.
මම ඉගෙනගත් කාලය තුළ කිසිම විභාගයකින් දෙවැනියා වෙලා නෑ. 1947 පැවති විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයෙන් මුළු ලංකාවෙන්ම මුල්තැනට තේරුණේ ආනන්දයේ මම. දෙවැනියා වුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය හිටපු අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක. තුන්වැනියා වුණේ කොළඹ කාන්තා විද්‍යාලයේ ෂාමතී සිවඥාන සුන්දරම් සිසුවිය. ෆීලික්ස් හා ෂාමතී දෙදෙනාගේම තාත්තල ලංකාවේ සුප්‍රකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරයන්. මේ දෙන්නව පරාජය කර පොලිස් සාජන් කෙනකුගේ ආනන්දයේ පුතකුට මුල්තැන ලැබීම පුදුමයක් නේද?
මහාචාර්යවරයා එදා මා දෙස බැලුවේ දඟකාර චණ්ඩියකු මෙනි.
ඔබතුමාගේ පෙනුම දඟකාරයි. කුඩා කාලෙත් ඔබ චණ්ඩියෙක්ද? අප ඇසූ ප්‍රශ්නයට මහාචාර්යවරයා මෙසේ කීවේය.
මගේ පෙනුම දඟකාර බව කියන්නේ ඔබ නේ? නමුත් මම පුංචි කාලේ අම්මා කිව්ව වචනවලින්ම කිව්වොත් මම විනීත ගැහැනු ළමයෙක්. නව දෙනකුගෙන් යුතු පවුලක මම දෙවැනියා. නංගිලා මල්ලිලා අක්කා කෙනෙක් වගේ බලා හදාගත්තේ මම. මම හවසට ඉස්කෝලේ ෆුට්බෝල් සෙල්ලම් කළා. නිවාඩු කාලේ ගෙදර ගොවිතැන් කළා.
කුඩා කල සිට ඔහු ස්වාධීනව, සැහැල්ලු දිවිපෙවෙතක් ගත කළ අතර සීමාන්තික අදහස්වලින් තොරව, චංචල ලෝකයක් තුළ නිශ්චල තීරණවලට එළඹීමට අකැමැති වූ ඔහු දරදඬු සම්මුතිවලටද අකැමැති චරිතයි. ඉතා අමාරුවෙන් අඩුපාඩු මැද ජීවත් වූ ඔහුට විචාර පූර්වකව සිතීමට පුරුදු කළේ පියාය. පියා පුතා සමඟ කතා කළේ ඉංග්‍රීසි බසෙනි. පියා දුන් අවවාදයක් ඔහු අපට කීවේය. කවුරු මොනව කිව්වත් එහි මුල් කොටස අවිශ්වාස කරන්න. දෙවැනි කොටස සැකයට භාජනය කරන්න.
මම ඉගෙනගන්න හුඟක් මහන්සි වුණා. දුක් වින්ඳා. අමතරව කීයක් හරි හොයන්න ටියුෂන් දුන්නා. මගේ විෂයයට අමතර පොත්පත් රුසක් මම කියෙව්වා. ආගම් දර්ශනය, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව වගේ පොත්.
ඩබ්ලිව්.එස්. කරුණාරත්න නම් ඔහු ඉපදුණේ ඉගෙනීමටය. ලංකා විශ්වවිද්‍යාලයට සමත්ව 1952 ගෞරව සහිත මුල් උපාධියෙන් විශිෂ්ට ලෙස සමත් වූ ඔහු 1956 ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පී.එච්.ඩී. උපාධිය ලැබීය. ඔහු තම ආචාර්ය උපාධිය සඳහා තෝරාගත්තේ පටිච්ච සමුපාදය හා හේතු ඵලවාදයයි. විශ්වවිද්‍යාලයේදී වාග් චාතුර්ය සඳහා සිංහල සහ ඉංග්‍රීසි විෂයන්ට ඔහු රන් පදක්කම් ලැබූ අතර 1948 - 1952 කුණ්ඩන්මාල් ශිෂ්‍යත්වය හා විශ්වවිද්‍යාලයීය උපාධි අපේක්ෂක ශිෂ්‍යත්වය දිනාගෙන ඇත. සිවිල් සේවා විභාගය හැර විශ්වවිද්‍යාල කථිකාචාර්ය තනතුර ඔහු අගය කළේය.
ඔබේ ජීවිතය දෙස ආපසු හැරී බලන විට දැන් මොකද සිතන්නේ? යැයි අප ඇසූ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරයි මේ.
කරුණු දෙකක් බලපෑවා. එක උට්ඨාන වීර්යය. දෙක යම් ස්ථිර අරමුණක් ඇතිව වැඩ කිරීම. මේ ගුණාංග දෙකම මගේ ජීවිතයට බලපෑවේ බෞද්ධ දර්ශනය හැදෑරීමෙන් පසුව.
මහාචාර්ය කරුණාරත්න හැටේ දශකයේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ එදා ආන්දෝලනයට තුඩු දුන් සභ්‍ය අසභ්‍යවාදය ගැන අදහස් දක්වා තිබුණේ මෙසේය.
පේරාදෙණියේ පළැලි කයියෝ අසභ්‍ය දේ ලියන්නා සේම කිරීමටත් ගජ හපන්නු බවත්, ඇතැම් ගුරුවරයන් පළැලි කවිපොත් ගෝලයන්ගේ තුති පැසසුම් ලබාගැනීමට අන්‍යෝන්‍ය සමිති පිහිටුවා ඇති බවත් කී මහාචාර්යවරයාගේ කතාවක් 1961 සැප්තැම්බර් 20 දිනමිණ පුවත්පතේ පළවී තිබුණි. 1966 වසරේ රජය විසින් පොත් පළ කිරීමට ගත් තීරණය ගැනද හෙතෙම දැක්වූයේ මෙවැනි මතයකි. මෙය ගුණසේන සමාගම විසින් විවිධ උගතුන්ගේ අදහස් එක් කළ පාසල් පැනය නම් කෘතියෙන් උපුටා ගත්තකි.
රජය කීප දෙනකු අතට අධ්‍යාපනය හිමිකිරීම නිසා මිනිසාගේ විමුක්තිය ශ්‍රේෂ්ඨත්වයේලා සැලකූ බෞද්ධ ප්‍රතිපත්ති අනුව හැඩගැසුණු අපේ සමාජයට විය හැක්කේ අනර්ථයකි.
1978 වසරේ මහාචාර්ය කරුණාරත්න අමෙරිකාවේ ලංකාවේ තානාපති වශයෙන් පත්විය.
මා තානාපති පදවිය බාරගත්තේ පරිපාලකයකු ලෙස කටයුතු කිරීමට නොවෙයි. මහවැලි ව්‍යාපාරය ගැන ජාත්‍යන්තර ජන මතයක් ඇතිකිරීමටත් ඒ සඳහා ආධාර උපකාර ලබාගැනීමටත් මේ තානාපති පදවියෙන් ශ්‍රී ලංකාව උදෙසා ඉටුකොට ගත හැකි පරමාර්ථ හැටියට. මේ සඳහා මගේ ඥානය පමණින්, ශක්ති පමණින් මගේ රටට මෙහෙයක් කිරීමට මම කැමැතියි. සමහර පුද්ගලයන් දිලිසෙන්නේ තනතුර නිසා. සමහර තනතුරු බැබලෙන්නේ පුද්ගලයන් නිසා. මේ නිසා අර්ථවත් සේවයක් මගේ රට වෙනුවෙන් මම විදේශ සේවා රාජදූත කාර්යයේදී ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. මහාචාර්යතුමා අපට කීවේ 1978-01-26 නව යුගය^ පුවත්පතේ සංවාදයට එක්වෙමිනි.
මහාචාර්ය කරුණාරත්න කියා ඇති පරිදි තමා විසින් කරන ලද අසීරුම දේශනය භික්ෂුවගේ උරුමය හා කාර්යභාරය^ බවය. ලංකා භික්ෂු සම්මේලනයේ මංගල සම්මන්ත්‍රණයේදී පවත්වන ලද ශාස්ත්‍රීය දේශනයකි මේ. එය ආරම්භ කරමින් මහාචාර්යවරයා මෙසේ කියා තිබුණි.
සාමාන්‍ය පුරුද්දක් නැහැ සටහනක් ඇසුරෙන් කතාවක් පැවැත්වීමට. මා දන්නා පමණින් එබන්දක් කෙරෙන ප්‍රථම අවස්ථාවයි මේ. විශාල වගකීමක් ඇතිව ශාස්ත්‍රීය ප්‍රතිපත්තියෙන් පිට නොපැන උද්වේගවත් ආවේග දක්වන, හැඟීම් දනවන, දුර්දාන්ත, අවිනීත, ගති පැවතුම්වලට තුඩු දිය හැකි කිසිවක් නොකියා, විනීත ලෙස, බුද්ධිමත් ලෙස, ව්‍යක්ත ලෙස, ශක්ති පමණින්, ඥාන පමණින්, ඒ කියන කරුණු ඉදිරිපත් කිරීමේදී කිසියම් පක්ෂග්‍රාහී දේශපාලන අභිනිවේෂයක හෝ ආකල්පයක පිහිටා නොසිට උපේක්ෂා පූර්වකව, විචාර පූර්වකව ඒ පින්කම කළ යුතු බැවින් මම කල්පනා කළා මගේ ආරක්ෂාවටත්, භික්ෂු සම්මේලනයේ ආරක්ෂාවටත්, ගරු සභාවේ සිටින ගිහි පැවිදි වියතුන්ගේ ආරක්ෂාවටත්, සරිලන පරිදි ඒ කරුණු ලිඛිතව මේ ස්ථානයෙහිදී ගෙන ආ යුතුය කියා. නමුත් මම වඩාත් කැමැති නොනවත්වා එකදිගට පැය එකහමාරක් හෝ දෙකක් හෝ තුනක් නැත්නම් හතරක් දිගින් දිගට කතාවක් පැවැත්වීමටයි. මම සාමාන්‍යයෙන් පුරුදුවෙලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. අද මේ කරන්න යන්නේ අමාරු වැඩක්.
මහාචාර්ය කරුණාරත්න විසින් සිය ජීවිතයේ අවසාන කාලයේ කළ දේශනයේ අන්තර්ගතයෙහි අදට ඇති උපයෝගීතාව ඉතා තදින් දැනෙන බව කියන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් මේ වියත් දේශකයාගේම වචනවලින් එය සම්පිණ්ඩනය කළ හැකි බව පවසා තිබුණි.
ඉතිහාසය කියන්නේ අභියෝග සහ ප්‍රතිචාර ගැන විධිමත් කථාවක්. කලින් කලට, පලින් පලට ඇතිවෙනවා නොයෙකුත් අභියෝග. ජීවත් වන ජන සමාජයක් ඉන්නවා නම් ඒ ජන සමාජය තුළ භික්ෂූන්ට මෙන්ම පැවිදි උතුමන්ට මෙන් ගිහි කාමභෝගී, ඕදාතවසන ජනතාවටත් විචිත්‍ර, භින්න රුචික අවස්ථාවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එම නිසා සිරි ලංකාවේ විවිධ ජාතීන්ට අයිති, විවිධ ආගම්වලට අයිති, විවිධ ගති පැවතුම් ඇති අතිශයින් විචිත්‍ර වූ සම්භින්න වූ, සංකීර්ණ වූ භින්නරුචික වූ එබඳු සමාජයක් තුළ ඇතිවන විවිධ අභියෝගවලට එඩිතර ලෙස, නිර්භීත ලෙස, මුහුණදීමටත් පැරැණ්නන් විසින් පැරුණ්නන් සඳහා මුහුණ දීපු අභියෝගවලට ඉදිරිපත් වූ ප්‍රතිචාර යම් විධියකින් ප්‍රමාණවත් නොවන බව විසි වැනි ශතවර්ෂයේ නව වැනි දශකයේ ජීවත් වන අපට පෙනී යනවා නම් මේ ශතවර්ෂයේ නව වැනි දශකය තුළ ජීවත් වන අප විසින් මුහුණ දෙනු ලබන අභියෝගවලට ප්‍රමාණවත් පරිදි ප්‍රතිචාර සොයා ගැනීම යුගයේ මූලික අවශ්‍යතාවක් බව සඳහන් කරන්නට පුළුවන්. ඒ උදාර කර්තව්‍යයටයි මේ භික්ෂු සම්මේලනය ඉදිරිපත් වෙලා තියෙන්නේ කියන එක මා කල්පනා කරනවා.