
ආණ්ඩුව සහ සහල් ආනයනය කිරීමට සැරසෙන්නේ ඇයි? ආණ්ඩුව සහල් ආනයනය කරන ක්‍රමවේදය කුමක්ද? සහල් ආනයනය කළ පමණින් සහල් මිල ගැටලුවට විසඳුම් ලැබේද? ගොවියන්ට සිදුවන්නේ කුමක්ද? මෙවන් වූ ප්‍රශ්නාවලියක් මෙරට පාරිභෝගික ජනතාව සතුව තිබේ. එහෙත් මෙම ප්‍රශ්න නිසි බලධාරියකුගෙන් විමසා පිළිතුරු ලබා ගැනීමට ඔවුන්ට නොහැක. එම නිසාම මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් සහල් ආනයනය යථාර්ථය පිළිබඳව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් අපි ප්‍රශ්න කර සිටිමු.
මෙරට සහලින් ස්වයංපෝෂිත කළ හැකි බවත් පිටරටින් එකදු සහල් ඇටයක් ගෙන ආ යුතු නැති බවත් පැවසූ ජාතිකවාදී ආණ්ඩුවක් සහල් ආනයනය කරන්නට සැරසෙන්නේ ඇයි? අප පළමුව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මහතාගෙන් ප්‍රශ්න කර සිටියෙමු.
අතිගරු ජනාධිපතිතුමාගේ පැහැදිලි ප්‍රතිපත්තිය වුණේ මේ රටේ නිෂ්පාදනය කළ හැකි සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකිරීම. එය එසේ වුවත් එම නිවැරුදි, රටට යහපත්, ගොවීන්ට හිතවත් තීන්දුව වැරදි විදිහට භාවිත කළා වී මෝල් හිමියන් සහ සැපයුම්කරුවන් විසින්. ඔවුන් පසුගිය කාල පරිච්ඡේදය පුරාවට රජය නියම කළ උපරිම සිල්ලර මිලට සහල් අලෙවි කළේ නැහැ. ඒ නිසා මේ වනවිට නාඩු කිලෝවක් රුපියල් 120ක් 130ක්, සම්බා කිලෝවක් රුපියල් 150ක් 180ක්, කීරි සම්බා කිලෝවක් රුපියල් 220ක් වගේ මිලකට විකිණෙන්න පටන් අරගෙන තියෙනවා. සතොස හැර අනෙකුත් සෑම වෙළඳසලකම ඇති මෙම තත්ත්වය යටතේ පීඩාවට පත්වන්නේ අති බහුතර පාරිභෝගික ජනතාව. කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතා අපහසුවෙන් ජීවත්වෙන ජනතාවගේ බත්පතට සිදුවී ඇති මේ දේ නිසා ඔවුන් අපටත් ආණ්ඩුවටත් සියලු දෙනාටමත් සාප කරනවා.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වනවිටත් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් විකිණූ ස්ථාන දහස් ගණනක වැටලීම් සිදුකර ඇති බවයි. ඒවාට නඩුද පවරා තිබේ. නඩුවේ වරදකරුවන් වන ඔවුන්ට නියම වන දඩය රුපියල් 2500ක් පමණි. වෙළඳ අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි මෙම දඩ මුදල අදාළ මෝල් හිමියන් විසින් වෙළෙඳුන්ගේ ගිණුම්වලට බැර කරනු ලබයි. මේ සම්බන්ධයෙන් සාක්ෂි දීමට සුළු පරිමාණ වෙළඳුන්ට කතා කළද ඔවුන් එය ප්‍රතික්ෂේප කරන්නේ හේතු සහිතවය. ගිණුමට සල්ලි දැමූ පසුව නැවතත් සහල් ගෙනැවිත් බාන බව ඔවුහු පවසති.
මේ විදියට සහල් මාෆියාව දිගින් දිගටම රජයට අභියෝග කරනවා. එහෙම අභියෝග කරන්න ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එකක් අපි ළඟ ආරක්ෂිත සහල් තොගයක් නොතිබීම. දෙවැන්න ජනාධිපතිතුමාගේ තීරණය අනුව පිටරටින් සහල් ආනයනය නොකිරීම. ඒ නිසා ප්‍රතිපත්තිය එලෙසින්ම තිබුණත් මේ තත්ත්වය තුළදී රට ඇතුළේ සහල් නැතිනම් ආරක්ෂිත සහල් තොගයක් රඳවා ගැනීමට වෙළෙඳ ඇමැතිවරයා විදිහට මට වගකීමක් තිබෙනවා. ඊට හේතුව අපි පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට බැඳී සිටීම. ඒ නිසා අපි හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා තීන්දු කළා.
අමාත්‍යවරයා පවසන පරිදි සහල් මාෆියාවේ බලපෑමෙන් මිදීමේ අරමුණෙන් ආණ්ඩුව සහල් ආනයනය කිරීමේ තීන්දුව ක්‍රියාත්මක කරයි. එසේ නම් අපට මීළඟට මතුවන්නේ සහල් ආනයනය සිදුකරන ප්‍රසම්පාදන ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳ ගැටලුවයි. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ වනවිට සිදුකර ඇත්තේ අන්තර්ජාතික තරගකාරී මිල කැඳවීමකි. සහල් ආනයනය සඳහා අවශ්‍ය පිළිවිතරයන් බතලගොඩ වී පර්යේෂණ ආයතනය විසින් සකස් කොට අදාළ ටෙන්ඩර් ලිපිගොනුවලට ඇතුළත් කොට තිබේ. අදාළ සැපයුම්කරුවන් මෙම ටෙන්ඩර් ලිපිගොනු ඇමරිකානු ඩොලර් පන්සීයක මුදලකට ලබාගෙන ඇත.
පසුව ඒ අය නියැඳි සමඟ මිල ගණන් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පිළිබඳව රජයේ උසස් නිලධාරීන්ගෙන් ප්‍රසම්පාදන කමිටුව කටයුතු කරනවා. ඔවුන් විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දෙනවා, කවුද ඉල්ලුම් කරලා තිබෙන්නේ? මොනවද මිල ගණන්? කියලා. ඒ සියල්ල පිළිවිතර සමඟ මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා කැබිනට් මණ්ඩලයට ඉදිරි සතියේදී. එම කැබිනට් පත්‍රිකාවෙන් පසු කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරනවා කොතරම් සහල් ප්‍රමාණයක් රටට ගෙන එනවද යන්න. මං හිතන්නේ අපිට පුළුවන් මෙට්‍රික් ටොන් 15000 අපි ගෙනැල්ලා රජයේ ආහාර දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ ගබඩාවේ ගබඩා කරන්න. ඊටපස්සේ අපිට හැකියාවක් තියෙනවා පළමුව රජය විසින් දක්වා ඇති උපරිම සිල්ලර මිලට පාරිභෝගිකයන් වෙත සහල් බෙදාහරින්න.
මෙහිදී අපට මතුවන ගැටලුව නම් සහල් ආනයනය කර බෙදාහැරීම සිදුකළ පමණින් සහල් මාෆියාව බිඳ වැටේද යන්නයි. නීතියේ අඩුලුහුඩුකම් මෙන්ම ආර්ථික දේශපාලන බලපුළුවන්කාරකම් මත සිදුකෙරෙන මෙම සහල් මාෆියාව බිඳ දමන්නේ කෙලෙසද? අපි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළෙමු. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සහල් ආනයන වැඩපිළිවෙළට අමතරව පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කිරීමටද පසුගිය සතිවලදී කැබිනට් සතියේදී කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි. ඒ අනුව අදාළ පනතේ සංශෝධන 75ක් සිදුකිරීමට නියමිතය. වැඩි මිලට සහල් විකුණන වෙළඳුන්ට එරෙහිව පනවා තිබෙන රුපියල් රු.2500 දඩය රුපියල් ලක්ෂයක් දක්වා වැඩි වන්නේ මෙම සංශෝධනයන්ට අනුවයි. පනත සංශෝධනය කොට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණු පසුව මෙම ගැටලුවට සැලකිය යුතු ප්‍රමාණයකට විසඳුම් ලැබෙනු ඇත.
පාරිභෝගිකයා පමණක් නොව සහල් අර්බුදයේදී ගොවියාද ආරක්ෂා කර ගැනීම ආණ්ඩුවේ යුතුකමයි. සහල් ආනයනය තීන්දුව සමග ගොවීන්ට සිදුවන්නේ කුමක්ද? ඒ පිළිබඳවත් විමසීමට අප සංවාදයේදී අවකාශය විවර කර ගතිමු.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඔහුගේ අමාත්‍යංශයෙන් ගොවීන්ගේ සිය අස්වනු සඳහා නිශ්චිත මිලක් ලබාදීම ක්‍රියාත්මක කරමින් ඉන්නේ. ඒ අනුව වී අලෙවි මණ්ඩලය තෙත වී කිලෝවක් රුපියල් 44ක මිලටත්, නාඩු කිලෝවක් රුපියල් 50ක මිලකටත්, සම්බා කිලෝවක් රුපියල් 55 කටත් මිලදී ගන්නවා. වෙනත් අය මිලදී ගත්තේ නැතිනම් මුළු තොගයම රජය විසින් මිලදී ගැනීමට රජය සූදානම්. ඒ වගේම ගොවීන්ට අසාධාරණයක් සිදු නොවන්න මිල පහළ වැටීමක් සිදු නොවීමට වග බලාගන්න අලෙවි මණ්ඩලය රටපුරා වී ගබඩා සූදානම් කරලා තිබෙනවා. පැහැදිලිවම මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමා, වී අලෙවි මණ්ඩලය සූදානමින් ඉන්නවා.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙන ආකාරයට මේ ආදී පියවර කිහිපයක් ඔස්සේ සහල් මිල පාලනය කිරීමට සහ ගොවීන්ට හානියක් සිදුවීම වළක්වා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. ඉහත සඳහන් කළ නියමිත සහතික මිලට රජය වී ගොවීන්ගෙන් ලබාගැනීම ඉන් එක් වැඩසටහනක් පමණි. ආරක්ෂිත සහල් තොගයක් ආනයනය කොට ගබඩාකර තැබීමද මෙම වැඩපිළිවෙළේම කොටසකි. එසේම පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කර වැඩිමිලට සහල් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව කිරීමේ සූදානමද මීටම අන්තර්ගතය. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට අනුව සහල් මාෆියාව මර්දනය කිරීමට නීති සකස්වීම අතිශයින් වැදගත්ය. පසුගිය කාලයේ සහල් මෝල් හිමියන්ට විරුද්ධව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේද මෙම අණ පනත්වල වූ අඩුලුහුඩුකම් නිසාවෙනි. සමස්තයක් ලෙස මෙම සියලු කටයුතු සාර්ථක වුවහොත් මෙරට බහුතර පාරිභෝගික ජනතාවට මෙන්ම ගොවි ජනතාවටද සිදුවන්නේ යහපතක් බව අවසානයේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පාරිභෝගික ජනතාව තුළ සහල් ආනයනය සම්බන්ධව ඇති ගැටලුවලට සැකෙවින් හෝ මෙම සංවාදය ඔස්සේ විසඳුම් ලැබෙන්නට ඇතැයි අපි සිතමු. කෙසේ වෙතත් මෙය එක් දිනක, එක් මොහොතක පැන නගිනු ලබන ගැටලුවක් නොවන බව නම් ඔබට හොඳහැටි පැහැදිලි වන්නට ඇත. එහෙත් සියල්ල කිරා මැන බලා සුදුස්ස කවරක්දැයි තීරණය කිරීමේ වගකීම ඔබ සතුය. සහල් ආනයනය මෙරට සහල් මාෆියාව මර්දනය කරන්නට යම් දායකත්වයක් සපයයිද? අපි බලා සිටිමු.
සංවාද සටහන: චමිඳු නිසල් ද සිල්වා