
එක්ස්ප්‍රස් පර්ල් නැව යළිත් කතාබහට ලක්ව තිබේ. ඒ නැවේ පරිසර හානියෙන් විපතට පත් ධීවරයන්ට වන්දි ගෙවීමේ කටයුතු පසුගිය 12දා සිට ආරම්භ වූ නිසාය. පසුගිය මැයි 20දා කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගැනීමට ලක්වූ මේ නැව ජූනි 17දා මුහුදේ ගිලී ගියේය. එම ව්‍යසනය සම්බන්ධයෙන් රජය අපරාධ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.
මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර පවසන්නේ නෞකාවේ ගින්නෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලෙස ඩොලර් මිලියන 3.6ක් හෙවත් රුපියල් කෝටි 72ක මුදලක් රජයට ලැබුණු බවයි. මෙම මුදල රජය ඉල්ලා ඇති හානිපූර්ණ වන්දියේ කොටසකි. එම මුදලින් ඩොලර් මිලියන 2ක් හෙවත් රුපියල් කෝටි 40ක් ධීවරයන් 16000කට ලබාදීමට නියමිත අතර ඉතිරි මුදලින් කොටසක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ලැබීමට නියමිතය.
සමහර දේශපාලනඥයන්ගේ කතාවලින් පෙනෙන්නේ නැව ගිනි ගැනිමෙන් සිදුවූ හානිය ගැන නොව ලැබෙන වන්දියේ වාසිය ගැනයි. එහෙත් මෙම සිද්ධිය නිරීක්ෂණය කළ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විශේෂඥයන් සඳහන් කළේ මෙම හානිය ලංකාවට පමණක් නොව සමස්ත පෘථිවි තලයටම විශාල විනාශයක් ගෙන එන බවයි.
නෞකාවේ ගින්න නිසා මියගිය මසුන් දිනපතා වෙරළට ගොඩගැසුවත් සමහර දේශපාලනඥයන් දිගින් දිගටම පැවසුවේ වාරකන් කාලයට සිදුවන ස්වභාවික මරණ බවයි. ඒත් සාගර විශේෂඥයන් මෙන්ම සාමාන්‍ය ධීවරයන්ද තහවුරු කළේ ඒ මත්ස්‍ය සහ කැස්බෑ සංහාරයට හේතුව නැවේ ගින්න බවයි.
මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්ෙය්ෂක සජීව චාමිකර:
මේ වනවිට කැස්බෑවන් 230ක් මැරී ගොඩ ගසා තිබෙනවා. ලංකාවේ ජීවත්වන කැස්බෑ විශේෂ පහම එහි ඇතුළත්. ඉතා දුර්ලභ දාර කැස්බෑවෝ පවා මැරිලා. ඩොල්පින් හා තල්මසුන්ද මේ අතර සිටිනවා.
මේ වනවිට කියැවෙන්නේ ධීවරයන්ට වූ හානිය ප්‍රතිපූරණය කිරීම ගැනයි. සාගරයට වූ හානිය ගැන සංවාදයක් හෝ එය ප්‍රතිපූරණය කිරීමේ යාන්ත්‍රණයක් නෑ. අපේ ගොඩබිම වගේ අට ගුණයක් විශාල සාගරයක් අපට තිබෙනවා. මේ සාගරයේ කටයුතු ගැන ජාත්‍යන්තර සම්මුති කිහිපයකටම අපි අත්සන් කර තිබෙනවා. නමුත් ඒ සම්මුති පදනම් කරගෙන තැනූ ශක්තිමත් නීති පද්ධතියක් රටේ නැහැ. අප එවැනි නීති පද්ධතියක් තැනීම අත්‍යවශ්‍යයි. දැනට තිබෙන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී පනත ශක්තිමත් නෑ. ලංකාව පිහිටා තිබෙන්නේ ඉතා වැදගත් සමුද්‍ර මාර්ගයක. ප්‍රධාන වරායන් තුනක් තිබෙනවා. නමුත් නාවික අනතුරු වළක්වා ගැනීමේ දියුණු තාක්ෂණයක් අපට නෑ.
මේ අතර නෞකාව ගිනි ගැනීම නිසා හටගෙන ඇති පරිසර හානිය සහ ජනතාවට එල්ල වී ඇති බලපෑම වෙනුවෙන් පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ ධීවර ක්‍රියාකාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබේ. නෞකාවේ හිමිකරුවන්ට සහ එහි නියෝජිතයන්ට එරෙහිව අවශ්‍ය සාපරාධී හා සිවිල් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති. එවැනි ආපදා ඉදිරියේදී සිදුවීම වැළැක්වීමට අදාළ නීති හා රෙගුලාසි සෑදීමට රජයට නියෝග කරන ලෙසද ඉල්ලා ඇත.
මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කඩිනමින් එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා ලෙස දැනුම් දී ඇති බව වෙළෙඳ නැව් අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටී. නෞකාව එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා තුරු එය රුකබලා ගැනීමට නැව අයත් රක්ෂණ සමාගම වෙනම පාර්ශ්වයක් පත්කර තිබේ. එය මේ වනවිට අබලි නැවක් ලෙස සැලකේ.
සාගරයට මේ නිසා වුණු බලපෑම ප්‍රතිෂ්ඨාපනය වීමට අවුරුදු ගණනාවක් යනවා. නැව ගිලුණු ප්‍රදේශයේ වැලිපර හා ගල්පර තිබෙන්නේ. ඒවා හානියට පත්වෙලා තිබෙනවා. එම හානිය නැවත ප්‍රතිෂ්ඨාපනය වීමට කාලයක් ගතවේවි. තෙල් හා වෙනත් රසායනික ද්‍රව්‍ය නිසා මුහුදේ ඇල්ගා බිම්, මුහුදු තණබිම් හා මඩ තැනිවලට හානිවෙලා. එය මත්ස්‍ය වාසස්ථාන අහිමිවීමට බලපානවා. මත්ස්‍ය ගහණය අඩුවීම නිසා නැවත සාමාන්‍ය තත්ත්වයට ඒමට විශාල කාලයක් ගත වෙනවා. ගහණ ඝණත්වය විශාල වශයෙන් පහළ යාම ඒ ජීවීන් වඳවී යාමට බලපානවා. ඒක සාගර කැස්බෑවන්ට විශාල අවදානමක් සජීව චාමිකර වැඩිදුරටත් කීවේය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුහුදට ගොඩගැසූ සත්වයන් වන කැස්බෑවන්, ඩොල්පින් සහ තල්මසුන් යන සතුන්ගේ සිරුරු 200කට අධික ප්‍රමාණයක් එකතු කරගෙන ගියත් මේ වනතෙක් ඒ මරණවලට හේතුව ප්‍රසිද්ධියට පත්කර නැත. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා තිබෙන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් විමෝචනය වීම නිසා මඳ අම්ල වැසි ඇතිවීමේ අවදානමක්ද පවතින බවයි.
මේ අතර තවත් අරුම පුදුම දේද සිදුවෙමින් පවතී. කොළඹ වරාය නාවික මෙහෙයුම් මැදිරියේ වී.ටී.එම්.එස්. දත්ත පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් නිසා එක්ස්ප්‍රස් පර්ල් නැව හා ඇතිවූ පණිවුඩ හුවමාරු දත්ත මැකී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබේ. මැකීගොස් තිබෙන්නේ 2021 මැයි 1දා සිට ජූනි 10දා දක්වා කාලයට අයත් දත්තය. කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරිය දැනුම් දී ඇත්තේ එම දත්ත තාක්ෂණික දෝෂයක් නිසා මැකී ගිය බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ රස පරීක්ෂකවරයා වෙත අදාළ යාන්ත්‍රය ඉදිරිපත් කර එකී දත්ත මැකී අද්දැයි යන්න සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.

අධිකරණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වන්දි මුදල් ලබාදීමේදී ධීවර ජනතාවට ප්‍රමුඛත්වය දෙන බවත් නෞකාවේ කන්ටේනර් ඇති ස්ථාන හඳුනාගැනීමට ක්‍රියාකරමින් සිටින බවත්ය. ඒ සඳහා ඉන්දීය නාවික හමුදාවේද සහාය ලැබෙන බව පැවසේ.
වන්දි ලබාගැනීමේ ක්‍රියාවලියේ නීතිමය කටයුතු කිරීම ජාත්‍යන්තර රක්ෂණ සමාගම් සමඟ සිදුකරන නිසා අපේ රටට හිමිවිය යුතු හිමිකම් කියාපෑමට ජාත්‍යන්තර නිතීඥ සමාගමක සහාය ලබාගැනීමට තීරණය කර ඇති බවත් අධිකරණ අමාත්‍යංශය සඳහන් කර සිටී.
කුසුම්සිරි විජයවර්ධන