2021 ජුලි 17 වන සෙනසුරාදා

ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න අර අදින ශ්‍රීලනිපය

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 20

කාලයක් තනිව බලය ඇල්ලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද තවත් පක්ෂයක හවුල්කාර පාර්ශ්වයක් වී හමාරය. බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත්ව ප්‍රගිතිශීලී කඳවුර නියෝජනය කරමින් ශ්‍රීලනිපය ලෙස පැමිණි පසු කිහිප වතාවක්ම දරුණු සෝදාපාළු රුසකට මුහුණ දුන්නද පසුගිය පස් අවුරුදු කාලය තුළ ශ්‍රීලනිපය මුහුණ දුන්නේ ඉතාම අඳුරු යුගයකට බව ඕනෑම කෙනකුට පැහැදිලිව හඳුනාගත හැක.

2014 නොවැම්බර් 21 එවකට ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා තම කඳවුර අතහැර විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමත්, ඔහු එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කොට රටේ ජනාධිපතිවරයා වීමත්, එසේ ජනාධිපති වී නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීමත් සමඟ එකී අඳුරු කාල පරාසය නැවතත් ආරම්භ වූ බව බැලූ බැල්මට පෙනෙන දෙයකි.

ශ්‍රීලනිපය තමන් බාරගත්තේ තම පාක්ෂිකයා ආරක්ෂා කරගැනීමේ පරමාර්ථයෙන් බව  සිරිසේන මහතා කීවත් යහපාලන රජය විසින් රාජපක්ෂවරුන්ට එරෙහිව ගත් නීතිමය ක්‍රියාමාර්ගත්, ඔහු එජාපය සමඟ එක්ව ක්‍රියා කිරීමත්, මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම ඇමතිධුර බාර නොගෙන ආණ්ඩුවේ විරුද්ධ පක්ෂය නියෝජනය කිරීමත් තවත් කණ්ඩායමක් ආණ්ඩුවේ ඇමතිධුර දැරීමත් යන කාරණා නිසා ශ්‍රීලනිප පාක්ෂිකයා සිටියේ දැවැන්ත කැළඹීමකිනි.

එම කැළඹීම තුනීකොට සටනක් කරා ගෙන යාම ක්‍රමයෙන් ආරම්භ වන්නේ යහපාලන රජය දිගින් දිගටම විවේචනයට ලක්වීමත් සමඟය. එනිසාම අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂය බාර දී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම එළියට බැසගත්තේ අලුත් ගමනක් ආරම්භ කරමිනි. සැබවින්ම සීසීකඩ විසිරුණු පාක්ෂිකයන් බහුතරයක්ද එම කණ්ඩායමේ එල්ලී එළියට බැස්සේ තවදුරටත් ශ්‍රීලනිපය අපේ කඳවුර බව අමතක කරමිනි.

ඒ අනුව 2017 වසරේදී රාජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් ආරම්භ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාමත් ශීඝ්‍රයෙන් සංවිධානය වෙමින් ශ්‍රීලනිපයට පමණක් නොව සමස්ත ආණ්ඩුවටම අභියෝගයක් එල්ල කරන්නට සමත් විය. කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ තත්ත්වය කොතැනදැයි ප්‍රථමයෙන්ම පරීක්ෂාවට ලක්වන්නේ 2018 වසරේ පළාත් පාලන මැතිවරණයේදීය. එනම් සමස්ත පළාත් පාලන ආයතන 340න් 239ක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවට හිමිවිය. එජාපයට හිමිවූයේ ආයතන 42ක බලයකි. ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ආයතන 38ක බලය ලබාගත් අතර වසර ගණනාවක් බලය සමඟ ගනුදෙනු කළ ශ්‍රීලනිපයට හිමිවූයේ ආයතන 07ක බලයක් පමණි. මෙය පක්ෂයේ දැවැන්ත කඩාවැටීමක් වූ අතර ඒ අවස්ථාවේ එතෙක් පක්ෂයේ එල්ලී සිටි පාක්ෂිකයන් සහ මැති ඇමැතිවරුන් පවා තමන්ගේ දිශානතිය මාරු කළ යුතු බවට පැහැදිලිව තීරණය කළ අවස්ථාවක් විය. මේ නිසා ඇතැම් අය පක්ෂය අතහැර ප්‍රසිද්ධියේම මහින්ද රාජපක්ෂ කඳවුර වෙත ඇදී ආවේ තවත් සිටියොත් අනාථ වන බව දැනගනිමිනි.

මෙම තත්ත්වයත් සමඟ ශ්‍රීලනිපය නියෝජනය කළ මැති ඇමැතිවරුද ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම ආරම්භ කරන්නට වූහ. එවකට සිදුවූ මහ බැංකු කොල්ලය, හම්බන්තොට වරාය ගිවිසුම හා ඇතැම් කැබිනට් යෝජනා සම්බන්ධයෙන් ශ්‍රීලනිප ඇමැතිවරු ප්‍රසිද්ධියේම විවේචනය කරන්නට වූහ. මේ අතර එවකට වූ ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම දැන්වූයේ මෛත්‍රීපාල මහතා ඉක්මනින් නිවැරදි තීන්දුවක් ගතහොත් නැවත තම කණ්ඩායමට බලය ඇල්ලිය හැකි බවය. මේ නිසාම ප්‍රහාර එන්න එන්නම වැඩිවුණු අතර ශ්‍රීලනිපය මේ තමන් එක්ව හදාගත් ආණ්ඩුව බවත් මේ තමන්ගේ පක්ෂයේ නායකයා යටතේ ක්‍රියාත්මක වන ආණ්ඩුවක් බවත්, තමන් නියෝජනය කරන ආණ්ඩුව බවත් අමතක කර දැමීය. සම්පූර්ණයෙන්ම එම සාමූහික වගකීමෙන් මිදී ආණ්ඩුවේ අනෙක් කණ්ඩායම මත වගකීම පවරමින් ශ්‍රීලනිපය අත පිහදාගැනීමේ කපටි න්‍යාය භාවිත කරන්නට විය. මේ නිසා එකා දෙන්නා තනතුරු අත්හරිමින් ස්වාධීන වන්නට වූහ.

අවසානයේ 2018 ඔක්තෝබර් 26 වැනිදා රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කළ මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළේය. ඒ බහුතර ජනමතය සහ පාර්ලිමේන්තුවේ බහුතරයටද පයින් ගසමිනි. ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සියල්ල අමතක වූ අයෙක් ලෙස බත්තරමුල්ල ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා දැඩිව විවේචනයට ලක් කළේය. මේ තමන් බලයට රැගෙන ආ පිරිස් නේදැයි ඔහුට අමතක වී ගියේය. මේ තමන් යටතේ සිටි ආණ්ඩුව නේදැයි අමතක විය. එදා මහින්ද රාජපක්ෂට වැඩිම විවේචන ඉදිරිපත් කළේ එජාප බලයෙන් ජනාධිපති වූ සහ යහපාලන ආණ්ඩුවේ නිර්මාතෘ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එකී විවේචන බොහෝ දෙනා තිගැස්සී යන තැනට පත්වුණේ එලෙස මුල අමතක වීම ගැන පුදුම වෙමිනි. මහින්ද රාජපක්ෂ මහතා පවා කියා සිටියේ මෛත්‍රීපාල ගත් තීන්දු කිසිදා තමන්ට ගත නොහැකි බවය.

එහෙත් දින 51 ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධී බවට ලැබුණු අධිකරණ නියෝගය සමඟ අවසානයේ පරාජයට පත් විය. නැවතත් රනිල්ට අගමැතිකම නොදෙන බව කී මෛත්‍රීපාලට නැවත එය ලබාදීමට සිදුවිය. නැවතත් මෛත්‍රී රනිල් පාලනය ඇතිවිය. එතැන් පටන් පොහොට්ටු සාමාජිකයන්ටත් වඩා ශ්‍රීලනිප සාමාජිකයෝ යහපාලන ආණ්ඩුව විවේචනය කළහ. නැවතත් මෛත්‍රී මහින්ද ආණ්ඩුවක් හදන බව කීහ. මෛත්‍රී මහින්ද ආණ්ඩුව ගැන පොහොට්ටු සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් කියා සිටියේ එවැනි තීන්දුවකට නොපැමිණ ඇති බවය. එනිසා ශ්‍රීලනිප සිහිනය බොඳවී ගියේය. එයට ප්‍රධාන හේතුව වුණේ යහපාලන රජය බලය ඇති මොහොතේ එල්ල වූ පාස්කු ප්‍රහාරයයි. මේ නිසා ජනතාව නැවතත් රාජපක්ෂ පාලනයක් කෙරෙහි කෙමෙන් කෙමෙන් ඇදී එන්නට වූහ.  

අවසානයේ ශ්‍රීලනිපය පිළිබඳව තීන්දුවක් නොව මීළඟ අපේක්ෂකත්වය තීන්දු කරන තැනට මහින්ද රාජපක්ෂ පත්විය. ඔහුත් ඔහුගේ කණ්ඩායමත් තීන්දු කළේ මීළඟ අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදිය යුතු බවය. එයට විරුද්ධ නොවී එකඟවීමට ශ්‍රීලනිපයට අවසානයේ සිදුවිය. එහෙත් ශ්‍රීලනිපය පොදුජන පෙරමුණේ සහෝදර පක්ෂයක් ලෙස යෝජනා කිහිපයක් ගෙනාවේය. එනම් තමන්ට ලැබෙන අමාත්‍යධුර, රාජ්‍ය අමාත්‍යධුර සහ විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙන තනතුරු පිළිබඳවය. එහෙත් එම ජනාධිපතිවරණය නිසාත්, ඉන් පසුව බිහිවෙන ආණ්ඩුව තාවකාලික ආණ්ඩුවක් නිසාත් එම යෝජනා ගැන මහමැතිවරණයේදී සලකා බැලීමට පොහොට්ටුවත්, අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාත් තීන්දු කළහ. එනිසා අවසානයේ ශ්‍රීලනිපය ඇතුළු පක්ෂ කිහිපයක එකතුවෙන් ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්විය. ඒ ලක්ෂ 69ක වාර්තාගත ඡන්ද ප්‍රමාණයත් සමඟය.

පසුව පත් කළ තාවකාලික අණ්ඩුවේ තනතුරු කිහිපයක් ශ්‍රීලනිපයට ලැබුණද ඒ සම්බන්ධයෙන් සංවාද ගැටුම් ඇතිකරගන්නට ශ්‍රීලනිපය නොපෙළඹිණි. ඒ අනාගතයේ තීරණාත්මක අවස්ථාවේ එම තීන්දුව ගත යුතු බවට විශ්වාස කළ හෙයිනි. එහෙත් පුදුමය නම් ශ්‍රීලනිපයට වූයේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා හා සමාන වැඩකි. එනම් 69 ලක්ෂයේ ඡන්ද ප්‍රමාණයට වශී වූ ශ්‍රීලනිප ඉහළ ස්ථරයේ සාමාජිකයන් මෙන්ම පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ නගර සභා සාමාජිකයන් එකා දෙන්නා පක්ෂය අත්හැර පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගන්නට වූහ. ඒ පිළිබඳව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මොන දේ කීවද එම පිරිස ඒ ගැන තඹ සතේක පිළිගැනීමක් නොකළහ. මේ නිසා කැළඹුණු ශ්‍රීලනිපය පොහොට්ටුවට ඇනුම්පද කියන්නට විය. යෝජනා ඉදිරිපත් කරන්නට විය. ඒ තම සාමාජිකයන් බඳවා නොගන්නා ලෙසය. එහෙත් මහින්ද මහතාගේ සැලුන් දොර නිතර එහේ මෙහේ වන්නට විය.

මේ හිත් රිදවීම් සියල්ල මැද මහ මැතිවරණය ළඟා විය. එහිදී ශ්‍රීලනිපය යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. කැබිනට් අමාත්‍යධුර හතරක්, රාජ්‍ය අමාත්‍යධුර කිහිපයක්, ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර කිහිපයක්, ආණ්ඩුකාරධුර කිහිපයක්, සංස්ථා සභාපතිකම් කිහිපයක් ඒ අතර විය. එම යෝජනා සියල්ලට පොහොට්ටුව එකඟ විය. එනිසා එක සිතින් මහ මැතිවරණය සන්ධානගතව තරග කිරීමට ශ්‍රීලනිපය තීරණය කළේ විශාල බලාපොරොත්තු ගොන්නක් සමගිනි.
එහෙත් අනාගත බලාපොරොත්තු ගත් තැනම ලොප් වෙමින් ශ්‍රීලනිපයේ සාමාජිකයන්ට අපේක්ෂක ලැයිස්තුවල ඉඩ වෙන්වීම සීමා විය. වැඩි කොටස පොහොට්ටුවේ සාමාජීකයන්ට ලබාදීම නිසා ශ්‍රීලනිප අපේක්ෂකයෝ රුසක් එළියට විසිවෙන්නට වූහ. ඒ අතර ජ්‍යෙෂ්ඨයෝද වූහ. මේ නිසා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු කිහිප දෙනෙක් ශ්‍රීලනිපයේ නායකත්වය ඇතුළු කිහිප දෙනකු සමඟ විරසක වූහ. ඒ නිසාම ඔවුහු වෙන්ව වෙනත් පක්ෂයකින් තරග කිරීමට තීරණය කළහ. මේ නිසා පක්ෂය අවුලෙන් අවුලට තල්ලු විය. මේ සිදුවීම දුර පළාත් සභා අපේක්ෂකයන් ඔවුන්ට අනාගතයේ වෙන්නට යන ඉරණම දැක කලින්ම පොහොට්ටුවට එකතු වන්නට විය.

අවසානයේ 2/3ක බහුතරයක් ආණ්ඩුවට හිමිවිය. ශ්‍රීලනිපයේ 13 දෙනකු ඡන්දයෙන් පත්වූ අතර එක් අයකුට ජාතික ලැයිස්තුවෙන් ඇතුළු වීමට අවස්ථාව උදාවිය. ශ්‍රීලනිපය ජාතික ලැයිස්තුවෙන් දෙදෙනකු බලාපොරොත්තු වුවත් එය සිදු නොවීය. එය පළමු පොරොන්දු කඩ කළ අවස්ථාව විය.

එහෙත් සියල්ල අමතක කළ ශ්‍රීලනිපයට කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී හෝ තමන්ට අවස්ථාවක් උදාවනු ඇතැයි අපේක්ෂාවක් තිබිණි. එහෙත් පුදුමය නම් එම පොරොන්දුවද කඩවීමය. එනම් ඇමැතිධුර හතරක් අපේක්ෂාවෙන් සිටියද ඔවුන්ට හිමිවුණේ දෙකක් පමණි. මෛත්‍රීපාල සිරිසේන මහතාට එකක් ලබාදීමට උත්සාහ කළද ඔහු එය ප්‍රතික්ෂේප කළේය. එහෙත් ශ්‍රීලනිපය සිතුවේ ඒ අමාත්‍යධුරය නැවත වෙන කෙනකු වෙත ලබාදෙනු ඇතැයි කියාය. එය ද නොලැබිණි. අඩුම තරමින් බලාපොරොත්තු වූ රාජ්‍ය අමාත්‍යධුර පවා නොලැබිණි. ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකරට පවා ලැබුණේ රාජ්‍ය අමාත්‍ය ධුරයකි. එහෙත් ශ්‍රීලනිපය විවේචන ඉදිරිපත් කරන්නට ගියේ නැත. විපක්ෂයේ පිරිස් ශ්‍රීලනිපයට සිනාසී විහිළු ඇමැතිකම් ලබාදී ඇති බව කීවද බතික් රාජ්‍ය අමාත්‍යවරයා වූ දයාසිරි කීවේ තමන් මේ අමාත්‍යංශයෙන් වැඩක් කරන පෙන්වන බවය. එය ක්ෂේත්‍රයේ ජනතාවට කළ අපහාසයක් බව ඔහු කීවේය. ඒ තරමට ඔවුහු සමීපව සිටින්නට වූහ.
මේ අතර සභාපතිකම්, අධ්‍යක්ෂ තනතුරු පිළිබඳ ශ්‍රීලනිපය සිහින දැක්කද ඒවාටද විසඳුම් නොලැබිණි. මේ නිසා මහලේකම් දයාසිරි රාජප්ක්ෂ මහතා කියා සිටියේ පොහොට්ටුව පොරොන්දු කඩමින් සිටින බවය. මේ සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා සමඟ කතා කරන බවද කීවේය.

මේ සියලු ප්‍රශ්න මැද ආණ්ඩුව ඉදිරියට ඇදී ගියද ශ්‍රීලනිපය නැවත බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනය පිළිබඳ පණිවිඩයත් සමඟ කැළඹිණි. එනම් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීමත් ඔහුට අමාත්‍යධුරයක් සකසා දීමත් කළ හැකි නම් ශ්‍රීලනිපයට එය නැත්තේ ඇයි ද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් විය. මේ නිසා දයාසිරි ජයසේකර එළිපිට ප්‍රහාර එල්ල කළේය. එනම් තමන්ට ලැබුණු විහිළු අමාත්‍යධුර සැකසුවේ බැසිල් රාජපක්ෂ බව කීවේය. තමාට පාක්ෂිකයන්ට මුහුණදිය නොහැකි බවද කීය. නැවත ඔවුන්ගෙන් ඡන්දයක් ඉල්ලා සිටීමට නොහැකි බවද කීවේය. මෙකී දැඩි විවේචන අනුව කැළඹුණු බැසිල් රාජපක්ෂ හිතවාදීහු දයාසිරිට ඇමැතිකම අත්හරින ලෙස කීහ. බැණ වැදුණාහ.

මේ සියලු ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවූ අතර එහිදී දයාසිරි කියා සිටියේ අවශ්‍ය නම් තමන් අමාත්‍යධුරයෙන් ඉවත්වන බවය. එය කළ හැකි බවත් කීවේය. එහෙත් පිරිස ඊට එකඟ නොවූහ. මේ අතර ආණ්ඩුවෙන් ඉවත්වීමේ අදහසක්ද විය. එහෙත් ඊට ජ්‍යෙෂ්ඨයෝ කැමැති නොවූහ. අවසානයේ දයාසිරිගේ යෝජනාව පමණක් නොව ආණ්ඩු විරෝධී යෝජනා කිහිපයක්ම විසිවිය. මෛත්‍රීපාල සිරිසේන පවා කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් නොවන බවය. එනිසා නැවතත් ඔවුහු ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට තීන්දු කළහ.   

කෙසේ වෙතත් මෙලෙස විවේචනය කර කර නොසිට ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නැතිද යන්න බොහෝ දෙනකුට ඇති ගැටලුවයි. එයට පිළිතුර මුල සිටම පෙනී යයි. එනම් දැන් ඉවත් වුවහොත් ඔවුන්ගේ පක්ෂයේ තවත් කිහිප දෙනකු පක්ෂයෙන් ඉවත්ව පොහොට්ටුවට එකතු වනු ඇත යන්නය. එසේ වුවහොත් එය අනවශ්‍ය ගැටලුවක් ඇති විමේ අවදානමකි. එනිසා මේ අවස්ථාවේ ඔවුන් ඉවසාගෙන සිටිනු ඇත. අනාගතයේ තීරණාත්මක මොහොතක  තීරණයක් ගනු ඇත. එක්කෝ ආණ්ඩුවෙන් ඉවත්වනු ඇත. නැතහොත් ආණ්ඩුව සමඟ එකට එකතු වනු ඇත. එලෙස තීරණ ගන්නේද රට ගැන සිතා නොව තම පක්ෂය ගැන සිතාය. බල අරගලයන් තුළ කිසි දවසක ප්‍රශ්න නිමවන්නේ නැත. එමෙන්ම ගැටුම් නවතින්නේද නැත. එය මේ රටේ දේශපාලනයයි.

 ගයාන් ගාල්ලගේ