2021 ජුලි 17 වන සෙනසුරාදා

ෆෝන් ගෙන්වීම නැවැත්වුවොත් ලක්ෂ ගාණක් අනාථයි

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 145

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කිහිපයක් මෙරටට ගෙන්වීම සීමා කිරීමට සැලසුම් කරන බවට පසුගියදා වාර්තා වුවද තවමත් රජය විසින් එවැනි තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.
කෙසේ වුවද මෙලෙස සීමා කිරීමට තීරණය කර තිබූ භාණ්ඩ අතරට ජංගම දුරකථනද එක්ව තිබීම හේතුවෙන් ජංගම දුරකථන අලෙවිකරුවන් මෙන්ම ජංගම දුරකථන හිමිකරුවන්ද පසුවන්නේ දැඩි කනස්සල්ලෙනි. මෙලෙස ජංගම දුරකථන ආනයනය කිරීම සීමා වුවහොත් දිවයින පුරා විසිරී සිටින බොහෝ සේවක සේවිකාවන්ගේ රුකියාවලටද විශාල ගැටලුවක් ඇතිවන බව ඔවුහු පවසති.

මේ වන විට ජංගම දුරකථනය අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් විදිහට නෙවෙයි අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අද බොහෝ බැංකු කටයුතු, අධ්‍යාපන කටයුතු සිදුවන්නේ මේ අතේ තියෙන පුංචි ජංගම දුරකථනයෙන්. මාස ගණනාවක සිටම පාසල් සහ අමතර පන්ති ඉගැන්වීම් නැති මොහොතක බොහෝ දරුවන් තම Online අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ ජංගම දුරකථනය ඔස්සේ. ඒ වගේම සංචරණ සීමා තිබූ කාලය පුරාවට බොහෝ දෙනා තම බැංකු කටයුතු සිදු කරනු ලැබුවේ ජංගම දුරකථනය ඔස්සේ. අදටත් බොහෝ දෙනා බිල් ගෙවන්නේ ජංගම දුරකථන මගින්. වර්තමානයේ කාර්යබහුලත්වයත් එක්ක බොහෝ දෙනා ජංගම දුරකථනයට බොහෝ ළංවෙලා තියෙනවා. වර්තමානයේදී රූපවාහිනියෙන් ඈත්වී ජංගම දුරකථනයට කිට්ටු වුණු සමාජයක් තියෙන්නේ. රූපවාහිනියෙන් නොබලන ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති විවේකයක් තිබුණු මොහොතක ජංගම දුරකථනයෙන් බලන පිරිස අද වැඩියි.* යැයි ශ්‍රී ලංකා ජංගම දුරකථන අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති සමිත සෙනරත් මහතා දේශයට පැවසීය.

ගෝලීය වසංගතය හමුවේ ජංගම දුරකථනය අද බොහෝ වැදගත් උපාංගයකි. සෑම කටයුත්තක්ම Online වීමත් සමඟම ජංගම දුරකථනය ක්‍රියාකාරී මෙන්ම අත්‍යවශ්‍ය මෙවලමක් වී තිබේ. ලෝකයේ බොහෝ රටවල්වල ජනතාව පරිගණකය, ලැප්ටොප් වැඩි වශයෙන් පරිහරණය කරති. ඇතැම් රටවල්වල ජනතාව ලැප්ටොප් සහ ජංගම දුරකථනය යන උපකරණ දෙකම පරිහරණය කරති. නමුත් ලංකාව වැනි රටවල්වල ජනතාව පවතින වර්තමාන තත්ත්වය හමුවේ වැඩි වශයෙන් පරිහරණය කිරීමට හුරු වූයේ ජංගම දුරකථනයයි. Online අධ්‍යාපනය හමුවේ ජංගම දුරකථනයත් ගැනීමට නොහැකිව අසරණ වුණු මව්පියන් කෙසේ හෝ මුදල් එකතු කොට හෝ මුදලක් ණයට ගෙන ජංගම දුරකථන තම දරුවන්ට මිලදී ගෙන දෙනු ලැබුවේ මේ අවස්ථාවේදී ජංගම දුරකථනයක ඇති තදබල අවශ්‍යතාවය හේතුවෙනි. මේ අනුව ගෝලීය වසංගතයත් සමඟ ලංකාවේ දරුවන් අධ්‍යාපනයට යොදාගන්නා ජංගම දුරකථනය මේ වන විට සුඛෝපභෝගී භාණ්ඩයක් නොව අත්‍යවශ්‍ය උපකරණයක් ලෙස හැඳින්විය හැකිය.

පොත්හල්වල අලෙවිය පහළ යද්දී ජංගම දුරකථන වෙළෙඳසල්වල අලෙවිය ඉහළ ගියා. පෑන්, පැන්සල් අලෙවියට වඩා රීලෝඩ්, ඩේටා කාඩ් මිලදී ගත් පිරිස වැඩි වුණා. ඒක තමයි ඇත්ත. මේ වන විට ලංකාව විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. ඒ ගැටලුවලට පිළියමක් විදිහට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ජංගම දුරකථනය සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස නම් කර එය ආනයනය කිරීම නතර කරන්නට පෙර රටකට අවශ්‍ය නොවන කීයක් නම් භාණ්ඩ ප්‍රමාණයක් මේ රටට ආනයනය කළාද? වාහනයක් ගත්තොත් ඉලක්කම් දෙකේ තුනේ වාහන වුණත් අලුත්වැඩියා කරගෙන මේ රටේ දුවන්න පුළුවන්. නමුත් ජංගම දුරකථනයක් වැනි උපකරණයක් නිෂ්පාදනය කරන්නේ කාල රාමුවකට අනුවයි. වර්තමානයේදී මිලදී ගනු ලබන ජංගම දුරකථනය තවත් අවුරුදු තුන හතරකින් පාවිච්චි කරන්න අමාරුයි. දුරකථන නිෂ්පාදනය කරන ලද සමාගම් දුරකථන නිපදවුවද එහි මෘදුකාංග නිපදවන්නේ වෙනත් සමාගමකයි. හැම මොහොතකම ඒ මෘදුකාංග නිපදවන්නේ අලුත් දැනුමත් එක්කයි. එවිට රටක් ලෙස අපි ජංගම දුරකථනය ගෙන්වීම තාවකාලිකව නැවැත්තුවොත් අපිට සිදුවන්නේ එක තැන නතර වීමටයි.* යැයි ද සමිත සෙනරත් මහතා වැඩිදුරටත් පැවසීය.

මෘදුකාංග අලුත්වීමත් සමඟ ජංගම දුරකථන ඔස්සේ ඇතැම් ජංගම යෙදුම් (Mobile App) හඳුන්වා දෙයි. මීට වසරකට උඩදී පැවති මොබයිල් ඇප් වෙනුවට අද අලුත් වූ මොබයිල් ඇප් බොහොමයක් ජංගම දුරකථනය ඔස්සේ හඳුන්වා දී තිබේ. මේ වන විට ඇතැම් පැරණි ජංගම දුරකථන ඔස්සේ 200m වැනි ඇප් භාවිත කළ නොහැක. රටක් ලෙස ජංගම දුරකථන තාවකාලිකව හෝ ගෙන්වීම නතර කළද ලෝකය ජංගම දුරකථන හෝ අලුත් මෘදුකාංග නිෂ්පාදනය කිරීම නතර නොකරයි. මේ නිසා නවීන තාක්ෂණය අනුව අප රටට ඉදිරියට යා නොහැකි තත්ත්වයක් උදාවිය හැකිය. මේ නිසා ලෝකය ඉදිරියට ගමන් කළද අපට සිදුවන්නේ එක තැන කොටුවීමට පමණි.

ලංකාවට ජංගම දුරකථනයක් ගෙන්වීමේදී එයට ඇත්තේ එක් HS Code (Harmonized system) එකක් පමණයි. ඒ නිසා වර්ගීකරණය වන්නේ එක් සමගාමී පද්ධතියකට අනුවයි. මෙම ගැටලුවේදී කෙනකු දරුවන්ට ඉගෙනීමේ කටයුතු කරන්නට හැකි ජංගම දුරකථන පමණක් ආනයනය කරනවා යැයි පවසා තිබුණා. දේශපාලනික වශයෙන් මේ ආණ්ඩුවත් සමඟ බොහොම හිතවත්ව ඉන්න ජංගම දුරකථන ව්‍යාපාරයේ ඉහළින්ම ඉන්න පුද්ගලයකුට වාසි ලැබෙන කතාවක් විදිහටයි අපි ඒක හිතන්නේ. ඇත්තටම ජංගම දුරකථනයක අවශ්‍යතාවය පිළිබඳව වඩාත්ම හොඳින් හිතන්න හොඳම කාලය මේ ගෝලීය වසංගත කාලයයි. යැයි සමිත සෙනරත් වැඩිදුරටත් පැවසීය.

දළ වශයෙන් හෝ මේ වන විට ලංකාව පුරා කෙතරම් ජංගම දුරකථන පරිහරණය වනවාදැයි නිශ්චිතවම පැවසීමට නොහැක. ඒ ඇතැමුන් එකදු ජංගම දුරකථනයක් හෝ පරිහරණය නොකළද සමහරුන් ජංගම දුරකථන එකකට වඩා පරිහරණය කිරීම හේතුවෙනි. ඇතැම් නිවෙස්වල ජංගම දුරකථන එකක් හෝ කිහිපයක් වැඩිපුර තිබිය හැක. එවැනි ජංගම දුරකථන ඉඳහිට හෝ ක්‍රියාත්මක වනවා වන්නට ඇත. නමුත් ලංකාවේ සිටින ජනගහණයට අනුව ජංගම දුරකථන ගෙන්වීම කළ යුතු යැයි කෙනකුට සිතුණද ගෙන්වනවාට සාපේක්ෂව ජංගම දුරකථන අස්ථානගතවීම, කැඩී යාම, ක්‍රියා විරහිත වීම ද සිදුවේ. ජංගම දුරකථන නම් මෙවලමට ආවරණයක් කොතරම් යෙදුවද අතේ ඇති දේ වැටී හෝ කැඩී යාමේ ප්‍රවණතාවය වැඩිය. කැමරාවක් ගෙදරට ගන්නේ නැති කෙනෙක් ජංගම දුරකථනයක් මිලදී ගන්නේ එක දෙයකින් කාර්යයන් කිරීමට හැකිවන බැවිනි.

දළ වශයෙන් මාසයකට ඇන්ඩ්රොයිඩ් (Android) ජංගම දුරකථන හැටපන් දහසක් පමණ දිවයින පුරා විකිණෙනවා. ඊට අමතරව සාමාන්‍ය පොඩි මුදලට විකිණෙන key phone මාසයකට ලක්ෂයක පමණ ඉල්ලුමක තියෙනවා. මේ වන විට ලක්ෂ හයක් පමණ මෙම ජංගම දුරකථන අලෙවි කිරීමේ සේවයේ නිරතවෙලා ඉන්නවා. එයින් වක්‍රව තවත් බොහෝ පිරිසකට රුකියා ලැබිලා තියෙනවා. අප සංගමයේ මේ වන විට එක්දහස් දෙසිය දාහත් දෙනකු සාමාජිකත්වය දරනවා. ඇත්තටම ජංගම දුරකථන ආනයනය කිරීම තහනම් කිරීම හෝ සීමා කිරීම නොකළ යුතු දෙයක්. යැයි ශ්‍රී ලංකා ජංගම දුරකථන අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති සමිත සෙනරත් මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

දිශානි ජයමාලි කරුණාරත්න

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00